වර්ෂ 2018 ක්වූ  ජනවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




මට තවත් ඒ මිනිහා එක්ක ඉන්න බෑ

මට තවත් ඒ මිනිහා එක්ක ඉන්න බෑ

අනුරාධපුරයට ගිය පයින් ආපසු එන්නට සිදු වනු ඇතැයි බිනරි සිතුවේ නැත.ඇය සිතා සිටියේ තාත්තා හමුවන්නටය.එයට කලින් ඇය අනුරාධපුරයට ගොස් තිබුණේ පුංචි දවස්වලය.වන්දනා නඩයක සාමාජිකයන් හැටියට මවුපියන් සමඟ ගිය අයුරු ඇගේ මතකයේ තිබිණ.තාත්තාගේ කඩ කෙරුවාව නිසා පවුලේ අයට විනෝද ගමන් යන්නට ඉඩ ලැබුණේ නැත.ගිය ගමනක් ගියේ පාසලේ විනෝද ගමනක් හැටියටය.එයින් ද සීගිරිය දඹුල්ල ගිය ද අනුරාධපුරයට පැමිණි වගක් බිනරි ගේ මතකයේ නැත.

‘අපිට ඔය කියන තැන හොයා ගන්න පුළුවන්ද ?’

යන්නට පෙර අම්මා දෙතුන් විඩයක්ම බිනරි ගෙන් විමසා සිටියාය.

‘කොහෙද මෙච්චර ඉඳලා තනියම පිටකොටුවට යන්ඩත් බෑනේ.’

බිනරි අම්මාව විහිළුවට ලක් කළාය.ඇය ඒ බසට කිසිත් නොකියා කරබා ගත්තාය.දුම්රියෙන් අනරුධුපුරයට ගොස් එතැනින් බිනරි හෝටලය සොයා ගැන්ම දියනියගේ වෑයම විය.ගෙදර හැදුණු වැඩුණු දියණිය තනිවම තමාත් සමග අනුරාධපුරයට යන ආකාරය අම්මාට පුදුමයක් විය.

‘තාත්තාට කෝල් එකක් දුන්නා නම් ඉවරයිනේ’

චිත්‍රා පැවසුවාය.

‘ඒ මොකට ද ?’

මනෝජ් පිළිබද විමසන හැමවිටම ඇය උත්තරයක් දුන්නේ නැත.කෙසේ හෝ දියනියගෙන් ඒ ගැන විමසිය යුතුය.

‘දුව මට ඇත්ත කියන්ඩ මනෝජ් ආවේ නැත්තේ ඇයි’.

තව දුරටත් ගෑනු සිතට වද දෙන ආකාරය ගැන දෙගිඩියාවෙන් පසු වූ අම්මා ඇසුවේ දුම්රියේ යන අතරතුරය.ගේ ඇතුලේ අසන විට ගේ බිත්ති වලට කන් තිබිය හැකිය. හොඳ වෙලාවට දුම්රියේ අද සෙනග නැත .එය පැද්දී පැද්දි ගමන් කරයි.

‘මට තවත් ඒ මිනිහත් එක්ක ඉන්න බෑ’

බිනරි වහෙන් ඔරෝ නැතව කෙළින්ම කතා කළාය.

අම්මා ගේ අස් උඩ යනු ඇතැයි හෝ ඒ පිළිබඳ තවත් කතා කරනු ඇතැයි බිනරිට සිතුණ ද චිත්‍රා ඒ ගැන විමසන්නට නොගියාය.

චිත්‍රා ඒ වෙනුවට ජනේලයෙන් ඉවත බලා ගත්තාය. දුම්රිය මහා පාලමකට ඇතුළු වූයේ නලාව නාද කරමිනි.

‘තාත්තාට කිව්ව නම් හොඳයි’

අම්මා ඒතරම් සන්සුන්ව කටයුතු කරනු ඇතැයි බිනරිට සිතුණේ නැත.දුම්ර්ය අනුරාධපුරයට ළංවුණේ දහයට පමණය.දුම්රිය පළින් බැස ගත් මගීන් සිය ගමන් මළු කර තබාගෙන එයින් පිටව ගියහ. ඔවුන් ඉක්මන් ගමනින් දුම්රිය පළින් පිටව ගියේ තමන්ට තවත් වැඩ රාජකාරි ඇතැයි පෙනෙන්ට මෙනි.කාලයෙන් ඔවුන්ට වැඩ ඇත.සමහරුන්ට නම් තවත් දුර යායුතුව ඇත.දුම්රිය පොළ ඉදිරිපිට නතර කර තිබුණ කුලී රථ ගොදුරක් ඩැහැ ගන්නට බලා සිටි පරිද්දෙන් එකිනෙකා වෙත සමීප විය.සතියේ දවසක් නිසා දුම්රියට එන සෙනග ගැන ඔවුන්ට අවබොධයක් විය.

බිනරි ඒ ගැන තැකීමක් නොකර අම්මා සමග හෙමින් හෙමින් එළියට ආවාය.ඇය පැලඳ සිටි අව්ව කන්නාඩිය ඇයගේ පිරිපුන් රුව තවත් ඔප කළේය. කිසිදු මගියෙක් ගොඩ නොලැබුණ කුලී රථ රියැදුරෙකු පයින් යන්නවුන්ට සිතින් බැණමින් යළි නගරය වෙතට යන්නට සැරසුණේ එයින් වත් කිසිවකු සොයා ගන්නටය.ඔවුන් ගමන් වාර ලැබුණු සිය සගයන්ට සිතින් ඊර්ෂ්‍යා කරන්නටද මැළි නොවූහ.බලාපොරාත්ත බිද ගැනුණ එක් තරුණ රියැදුරෙක් සියල්ලන්ට පසුපසින් එන බිනරි හා චිත්‍රා දුටුවේය.ලද අවසන් අවස්ථාවේ හෝ පළ නෙළා ගන්නට සිතුන ඔහු සිය ඉතිරි සගයන්ගෙන් වෙන් කොට සිය රථය එදෙසට හැරවූයේය.

‘නෝනලා කොහේටද යන්නේ‘

ඔහු කතා කළේ ලැබුණොත් ඔවුන් ගන්නටය. නැතිනම් මඟින් නොබැස සෙස්සන් මෙන් එදෙසටම යන්නට සිතමිනි.

ඒ වන තෙක් යා යුතු ඉසව්ව ගැන නිසි වැටහීමක් නැතිව සිට බිනරි තරුණයා දෙස බලා මද සිනහවක් පෑවාය.

‘අපිට යන්ඩ ඕනෑ බිනරි හොටෙල් එකට‘

ඇය පැවසුවාය.

ඔහු මොහොතක් කල්පනා කළේය

‘ටිකක් දුරයි.කීයක් දෙනව ද ?‘

‘ඔයාගේ ගාන කියන්ඩකෝ ‘

බිනරි පැවසුවාය.

‘දෙසිය පනහක් වත් ඕනෑ.

බිනරි හෙට්ටු කරතැයි රියැදුරා සිතුවද ඇය එයට ඉඩ නොදී රථයට නඟින්නට අම්මාට ඉඩ දුන්නාය.තමාට වැඩිපුර ගණනාක් කියන්නට තිබිණයැයි රියැදුරාට සිතිණ.

රථයෙන් බැස ගත් රියැදුරා බිනරි අතැති ගමන් මල්ල එහි ලන්නට උපකාර කළේය.

තමන්ට වඩා ඉක්මනින් තරුණයා ලබා ගත් ගොදුර ගැන කම්පා වුන ඉතිරිව සිටි රියැදුරෙක් ද සිය ත්‍රිරෝද රථය ඉක්මන් ගමනින් නගරය දෙසට පැදවූයේ කලින් ගිය සෙස්සන්ට මෙන් කීයක් හෝ උපයා ගන්නට හැකි වෙතැයි විශ්වාසයෙනි.

‘වන්දනාවේ ආව ද මිස්‘

රියැදුරා ඇසුවේය.

‘වන්දනාවටත් එක්කම තමා‘

බිනරි පැවසුවේ රථයෙන් එපිට ලෝකය දෙස නෙත් යොමු කරමිනි.

‘වන්දනාවේ යනවා නම් බිනරි එක ටිකක් දුරයි.එයිට වඩා හොද තැන් ටවුමේ තියෙනවා.අම්මට මහන්සියක් නැතිව වන්දනාවේ යන්ඩ පුළුවන්‘

රියැදුරා පැවසුවේය.

‘අපි මෙතැන බුක් කරලා තියෙන්නේ ‘

බිනරි කතාව කෙටි කරන අදහසින් පැවසුවාය.

රථය දුම්රිය මාර්ගය පැන මහ මාර්ගයකට ද කුඩා අතරු පාරක් දිගේ ද වේගයෙන් ගමන් කළේය..

‘මිස්ට ඕන නම් කියන්න වන්දනාවේ යනවා නම් හයර් එකක් හැටියට අපි අරන් යනවා

‘නොම්මරේ බහින කොට දෙන්ඩකෝ

බිනරි පැවසුවොය.අම්මා නිහඬව ගමන් කළාය.නගරයෙනන් බැහැර කුඩා වෙල්යායක් අස්සෙන් ගමන් කළ රථය අනතුරුව නතර වුණේ එය අද්දර තිබූ නිවහනක් සමීපයටය.

එහි බිනරි ගෙස්ට් හවුස් නමින් පුවරුවක් සවිකර තිබිණ.

රථය වත්තට ඇතුළු විය.පිරිසිදු නිවහනක් ද එයට යාබද ව තිබූ තවත් කුටියක් ද සහිත එම ඉඩම අක්කර කිහිපයක් වන්න්ට ඇතැයි රියෙන් බිස ගත් වහාම බිනරිට වැටහිණ.මේ නවාතැන පොළ නගරයෙන් තරමක් බැහැර ය.තාත්තා විසින් අලුතෙන් ආරම්භ කරන ලද ගොවිපළ මෙය විය යුතුය.

හෝටලයක් වුව ද එය ගෙයකින් වෙනස් වූයේ නැත.නිවස ඉදිරිපිට තවත් ත්‍රිවිලරයක් සහ මෝටර් සයිකලයක් ද නතර කර තිබිණ.

බිනරි රියැදුරු තරුණයා ගමන හමාර කරන්නට පෙරාතුව බිනරි අතට සිය ජංගම දුරකතන අංකය දුන්නේය.

එය ඇය කඩදාසි කැබැල්ලක සටහන් කර ගත්තේ ඕනෑවට එපාවට මෙනි.

බිනරි ද චිත්‍රා ද හෝටලයට ඇතුළු විය.එහි සාලය පිරිසිදුවට තබා තිබිණ.ක්‍රියාත්මක වෙමින් පැවැති ටෙලිවිෂනය ළඟ සිටි තරුණයෙක් නැගිට්ටේය.නිවසේ සියළු කාමර සඳහා අංක යොදා තිබිණ.එහි මුල් කාමරය වසා දමා තිබුණ ද එහි කිසිවකු ඇතැයි බිනරිට හැඟි ගියේය.තමන් පැමිණියේ වැරදි තැනකටයැයි ඇයගේ සිත කියන්නට විය.

මේ බිනරි ගෙස්ට් හවුස් එක නේද

බිනරි ඇසුවේ සැක හැර දැන ගන්නටය.

තරුණයා හිස සලා ඔව්යැයි පැවසුවේය

චුට්ටං මුදලාලි නැද්ද ?

මුදලාලි මහත්තයා බබාට අසනීප වෙලා හන්දියට ගියා දොස්තර මහත්තයා හම්බ වෙන්ඩ.