වර්ෂ 2018 ක්වූ  ජනවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර
0728384283 ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිළිබඳ ඔබගේ අදහස් විශේෂයෙන් ලියා එවන්න.

අපේ ටෙලි

අපේ සමහර නාලිකාවල විකාශය කෙරෙන ටෙලි නාට්‍යවල අවසානයක් නැති වීම අභාග්‍යයකි. කුමන හෝ ගොතන ලද කතාවකින් ප්‍රේක්ෂකයා වෙහෙසට පත් නොකර සාර්ථක ලෙස අවසාන කරන්නේ නම් ටෙලි නාට්‍ය ජනතාවට අප්‍රිය නොවනු ඇත.

අයිලීන් සෝවීස්

සොයිසාවත්ත

වැලිසර

රාගම

************************************

නුදුටු ප්‍රියන්ත

විනෝදාත්මක චරිත තුළින් ජනප්‍රියත්වයට පත් වී සිටි ප්‍රියන්ත සෙනෙවිරත්න පිනි ටෙලි නාට්‍යයේ ඩැඩාගේ චරිතය වෙනුවෙන් කරන රංගන විශිෂ්ටයි. එම චරිතය තුල සංවේදී අවස්ථාවල හදවතේ ඇති වේදනාව වචනවලට නොහරවා මුහුණේ ඉරියව්, හැඟීම් ඔස්සේ ප්‍රකාශ කරන අයුරු ඉතාම තාත්විකයි. මීට පෙර අප නුදුටු ප්‍රියන්ත කෙනෙකු පිනි ඔස්සේ අපි දකින්නෙමු. ඔබට ජය.

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව

************************************

සුදු අඟුරු ටෙලියේ රොෂාන්

රොෂාන් රණවන සුදු අඟුරු ටෙලි නාට්‍යයේ ඉතා ප්‍රබල රංගනයක නිරත වේ. ඉතාම දක්ෂ ලෙස ඔහු එම චරිතයට පණ පොවන අතර ඉදිරියටත් එම ජවයෙන්ම කටයුතු කරන්නට සුබ පැතුම් ගෙන එමි.

ක්‍රිෂා ක්‍රිෂාන්ති

දළුවකොටුව

************************************

ලතා - ඇන්ජි

සිංහල කලා ලොවේ ගී කෙත සරු කළ ප්‍රවීණ ගායිකා දෙපොළක් වන ලතා වල්පොල සහ ඇන්ජලීන් ගුණතිලක පසුගිය දිනෙක හමුවූ පුවත රසික අපට ගෙන ආවේ සතුටකි. අපට සිටින ප්‍රවීණතම ගායිකාවන් වන ලතා - ඇන්ජි අපට දෙවියන් දුන් දායාදයකි. මිනිස්කම පෙරට ගෙන නිහතමානීව කටයුතු කිරීම මේ අවස්ථාවේදී ඔබ දෙපළ ගෙන් අනෙකුත් කලාකරුවන්ට ලැබෙන ආදර්ශයකි. ඔබ දෙපළටම නිරෝගි සුව සමඟින් චිර ජීවනය පතමු.

විරාජ් හර්ෂනාථ

හුළුගල්ල පාර

නිකවැරටිය

************************************

අපූරු ටෙලිය කේතුමතී

ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය කෙරෙන කේතුමතී ටෙලි නාට්‍යය ඒකාකාරී ටෙලි නිර්මාණවලින් මිදුණු ගැමි පරිසරය විදහා දැක්වෙන අපූරු ටෙලි සිතුවමකි. රංගනයේ යෙදෙන නළු නිළි පිරිස ද කතාවට අපූරු දායකත්වයක් ලබා දී තිබේ.

ඉඹුල්ගොඩ අබේසිංහ

ශ්‍රියාණි ජයසිංහ

අලව්ව

************************************

රැජිනියෝ

දිරිය කතුන් පස් දෙනෙකු ජීවත්වීමට වෙනුවෙන් කරන අරගලය ගෙන එන්නේ රැජිණියෝ ටෙලි නිර්මාණය යි. මෙහි දමිතා (මාළු වෙළෙන්දිය), ජයනි (මේසන් බාස්), චතුරිකා (ත්‍රිවිල් රියදුරු), සුජානි (පියා නොමැතිව දරුවකු හදාවඩා ගනී) පබෝධා (පික්පොකට් ගසන්නී) ලෙසින් කරන රංගනයන් ප්‍රාණවත්ය. එසේම එම හැම චරිතයක්ම මව් සෙනෙහසින් පිරුණු තැනැත්තියන් වීම විශේෂය. නෙතලි සහ වරකාගොඩගේ වෙනස්ම චරිත නාට්‍යයට හාස්‍ය රසය ගෙන දේ. කපිල පූගලආරච්චිගේ සංගීතය සහ නෙලූ අධිකාරිගේ ගායනයද නිර්මාණයට විශේෂ අගයක් ගෙන දේ.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව

************************************

වාද්දුව වීනස්

නව වසර උදාවත් සමඟ කාලයක් වසා තිබු වාද්දුව වීනස් සිනමා ශාලාව ඩිජිටල් තාක්ෂණය කැටිව ඩොක්ටර් නවරියන් සමඟින් විවෘත කිරීම සිනමා රසික අපට සතුටකි. එහි කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට රසික අපගේ සුබ පැතුම්.

දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව

************************************

සදා දිළෙන තරුව

වසර ගණනාවකට ඉහතදී සංගීත ලොවට පිවිස තවමත් එහි දිලි දලී බැබලෙන තරුව ඇන්ජලීන් ගුණතිලකයි. මල් හිනා නඟන්න, නීල ගොයම් වැනි ගීත සේම සිංහල සිනමාවේ චිත්‍රපට රැසකට පසුබිම් ගී ගයමින් ඔබ දුන් දායකත්වය මෙලෙසින් විස්තර කළ නොහැකිය. මිල්ටන් මල්ලවාරච්චි, ග්‍රේෂන් ආනන්ද, එච්. ආර් ජෝතිපාල ආදී ශිල්පීන් සමඟින් ඔබ ගැයූ යුග ගී අප මතකයේ සදා රැඳී තිබේ. ඔබට වාසනා.

මිල්ටන් ප්‍රනාන්දු

නව එක්සත් මාවත

මුදුකටුව

************************************

කලා ලොවේ සැමට සුබ පැතුම්

උදා වූ නව වසරේදී සිංහල කලා ක්ෂේත්‍රයට නැවුම් අර්ථවත් නිර්මාණ ගෙන එන්නට නිර්මාණකරුවන්ට අවස්ථාව ලැබේවා. එසේම රංගන ශිල්පීන් ශිල්පිනියන් සහ ගායක ගායිකාවන්ගේ ද සියලු කටයුතු සාර්ථකට ඉටු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.

ඇල්. ඇම්. ප්‍රේමසේන පෙරේරා

ඥානා කුමාරි පෙරේරා

මදු සුරංගි පෙරේරා

************************************

මහේන්ද්‍රගේ නව රංගනයක් දකිනු රිසි

පුරහඳ කළුවර, බහුබූතයෝ, ගින්දරී, ඇඩ්‍රස් නෑ, කොස්තාපල් පුඤ්ඤසෝම වැනි චිත්‍රපට ඔස්සේ අපූරු චරිත මැවූ මහේන්ද්‍ර පෙරේරාගේ අලුත්ම රංගනයක් මේ වසරේදී දකින්න ලැබේවා යි පතමි.

මොනිකා කුමාරි දිසානායක

අනුරාධපුර

************************************

අමතක නොවන මතකයේ රැඳී ගී

සෙනසුරාදා පස්වරුවේ වෙළෙඳ සේවයෙන් ගෙන ආ මතකයේ රැඳුණු ගී දැනට මාස කිහිපයක සිට නවතා දමා ඇත. ප්‍රවීණ නිවේදක ජයන්ත පීරිස් විසින් එම වැඩසටහන පැරණි චිත්‍රපට ගී පිළිබඳව රසවත් තොරතුරු ද සපයමින් ඉදිරිපත් කළ අයුරු අගෙයි. ඉතාමත් සතුටින් එයට සවන් දුන් අප වෙනුවෙන් නැවතත් එය ගෙන එන මෙන් ඉල්ලා සිටිමි.

ජී. එම්. කරුණා මාලිනි

කිතුල්ගල

************************************

අර්ජුන කමලනාත්ට

රිදී තිරයේ ජනප්‍රියම නළුවකු ලෙස රංගනයේ යෙදී චිත්‍රපට නිෂ්පාදනයෙන්ද සිනමාවට එක් වීම වෙනුවෙන් අපගේ ප්‍රණාමය.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

************************************

එදා සිනමාවේ නළඟනන්

සිංහල සිනමාවේ ඇතැම් චිත්‍රපටවලට අවැසි විට නැටුම් ජවනිකාවලට දායක වූයේ චන්ද්‍රකලා, හෙලන් කුමාරි, ෆරිනා වැනි රංගන ශිල්පිනියන්ය. ඔවුන්ගේ නිශ්ශබ්දතාවය සමඟින් සමාජශාලා නර්තනාංග සිනමා නිර්මාණවලින් ඉවත් වී නව පරපුරේ නිළියන් මල්ගස් වටේ දුවන චිත්‍රපට බිහි වීම සිනමා කර්මාන්තයට මරු පහරක් වී දැයි සිතේ.

ආතර් ජයකොඩි

රියෝ සිනමා

කොම්පඤ්ඤවීදිය

කොළඹ 02

************************************

චාන්දනීගේ අලුත් රංගනය

කලක් වේදිකාව, රිදී තිරය, පුංචි තිරය තම තාත්වික රංගනයෙන් ඔපවත් කළ චාන්දනී සෙනෙවිරත්නගේ තවත් රංගනයක් මෑතකදී ඒ ලෙවල් චිත්‍රපටයෙන් දකින්නට ලැබීම සතුටකි.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

************************************

එදා හඳයාට මෙන්ම මෙදා හඳයාටත්

ප්‍රවීණ කලාකරුවකු වූ ටයිටස් තොටවත්ත නිර්මාණය කළ විශිෂ්ටතම ළමා චිත්‍රපටය වූ හඳයා එකල අප කුඩා අවදියේ ආසාවෙන් නැරඹු චිත්‍රපටයකි. එහි පෝනියා සේම සූප්පුවාගේ චරිතයද අපගේ මතකයේ තවමත් රැඳී තිබේ. දක්ෂ රංගන ශිල්පියකු වූ හෙන්රි ජයසේනයන්ගේ සහ එහි දායක වූ ළමා රංගන ශිල්පීන්ගේ මතකයන් තවමත් අප හදවත් තුළ රැඳී තිබෙන්නේ, චිත්‍රපටයේ ඇති ගුණාත්මක බව නිසාමය. වර්තමානයේ එහි ප්‍රතිනිර්මාණයක් ටෙලි නාට්‍යයක් ලෙසින් පුංචි තිරයේ දිග හැරී ඇති අතර මුල් නිර්මාණයට හානියක් නොකර අධ්‍යක්ෂවරයා විසින් එය නිර්මාණය කර ඇති බව පවසමු.

එදා හඳයාට මෙන්ම මෙදා හඳයාටත් සුබ පැතුම්.

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

මීරිගම පාර

පස්යාල

************************************

ගී කුසුම නන්දා මාලිනිය

ජාතියේ යශෝරාවය ඒකාත්මික ගී කුසුම නන්දා මාලිනිය යි. හදවතට කාවදින සුභාවිත ගී ආරක් මඟින් රසික දෙසවනට මනරම් වින්දනයක් ලබා දෙන ඇය ජාතියේ පිනට පහළ වූ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනියකි. ගායන දිවියේ සුවිශේෂි ගමන් මඟකට යොමු වී සිටින නන්දා මාලිනියට රසික අපගේ හදපිරි සුබ පැතුම්.

එච්. ඉන්ද්‍රපාල

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේන

************************************

හදවත් මත් කළ ෆ්‍රෙඩී

ගැයුමෙන් ද, රැඟුමෙන් ද අපගේ හදවත් මත් කළ ෆ්‍රෙඩී සිල්වා අපට කවදත් අමතක නොවන දක්ෂ කලාකරුවෙකි. සිනමාවට අනගි මෙහෙවරක් කළ ඔබ මතු උපදින හැම භවයකදීම මේ ලක් දෙරණේ ඉපදේවා.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල

************************************

රම්‍යා ශ්‍රියාණි පතිරණට සුබ පැතුම්

කෙටි කාල සීමාවක් තුළ ඔබේ හඬ ගුවනින් අසන්නට නොලැබුණි. ප්‍රවීණ නිවේදිකාවක් වූ ඔබතුමියට සිදු වූයේ කුමක් දැයි කියා අප කම්පාවට පත් වුණෙමු. සිනාමුසුව නිරතුරුව දිවි ගෙවන ඔබතුමිය දෙස සොබාදහම වුවද බලා සිටී. චිරාත් කාලයක් අප හා රැඳෙන්නට ඔබේ දිවි මඟ වාසනා වී සුවහසක් පැතුම් ඉටුවන්නට පැතුම් ගෙන එමි.

සමන් ගාල්ලගේ

කැටපල

ගණේගොඩ

************************************

ජීවරාණිගේ ජීවමාන රංගනයන්

රන්මුතු දූව, ඉපදුනේ ඇයි, යටගිය දවස, සැනසුම කොතැන ද, සිඟිති සුරතල්, අදට වඩා හෙට හොඳයි වැනි චිත්‍රපටවල ඔබ රඟ පෑ චරිත සේම ලස්සන සැමදේ මොහොතක සුව දේ, ගම්මානය කලඑළි වූවා වැනි ඔබ පෙනී සිටි ගීත ද අප හදවත් තුළ ජීවමානව පවතී.

ජයන්ත අමරතුංග

චන්දන පොකුණ

පොළොන්නරුව

************************************

සදා අමරණීය එච්. ඩී ප්‍රේමරත්න

නළු නිළියන්ට කිරුළු පැළැන්ඳු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ එච්. ඩී ප්‍රේමරත්න සදා අමරණීය යි.

අතුල රම්‍යසිරි

පානදුර

************************************

බොදු ගී ගැයූ බෙග් මාස්ටර්

අල්හාජ් මොහිදින් බෙග් ගායනා කළ බොදු බැති ගී අපගේ හදවත් තුළ එදා මෙන් නොමැකී පවතී. නැවතත් ඔහු අප අතරම ඉපදේවා.

එච්. එල් තිලකසිරි ද සිල්වා

මරදානවත්ත

මීටියාගොඩ

************************************

අපේ නිර්මාණවලට යන කල දවස

විදෙස් නාට්‍ය ගෙන්වීම දැන් වැඩි වෙමින් පවතින මෙවන් යුගයක අපගේ නාට්‍ය නිර්මාණවලට යන කල දසාව ගැන කවර කතාද? සෑම නාලිකාවක්ම මේ පිළිබඳව සැලකිලිමත් වීම වටී.

ගාමිණි මහවෙලගේ

පිළියන්දල

************************************

අපේ හින්දි ගී කෝකිලාවිය

මෙරට හින්දි ගී කෝකිලාවිය ලෙස ජනප්‍රියත්වයෙන් ඉහළම තැන සිටින ඔබ අපේ ලතා මංගේෂ්කාර් ය. ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වේග රිද්ම හින්දි ගීතයෙන් ශ්‍රාවක සිත් වින්දනයට පත් කරමින් ඔබ එදත් අදත් නොමැකෙන මතක සටහන් තැබීමට සමත් ගායිකාවකි. යන්න දිගු ගමනක්. ඔබ අපේ හින්දි ස්වරය යි.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල