වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

0728384283 ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

යොවුන් නිළි තිළිණි අමල්කාට

දකුණු පුරවරයෙන් රංගන දිවියට පිවිසි ඔබට කලා ලොව දිගු ගමනක් යාමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල


ඩබ්ලිව්. ඒ. සිල්වා සූරින්ට උත්තමාචාරය

වයස අවුරුදු 17දී සිය ප්‍රථම නවකතාව 'සිරියලතා' රචනා කළ ප්‍රථම තිරරචනය ලෙසින් 'කැළෑහඳ' ලියූ, කෘතහස්ත ප්‍රවීණ ලේඛක ඩබ්ලිව්. ඒ. සිල්වා සූරින්ගේ තවත් කෘති රැසක් සිනමාවට නැඟි ඇත. 'හිඟන කොල්ලා', 'රදළ පිළිරුව', 'හඳපාන', 'දෛවයෝගය' ඒ අතරින් රසික ප්‍රසාදය දිනාගන්නා ලදී. අපේ සාහිත්‍යයට අගනා මෙහෙරක් කළ ඒ මහා කතුවරයාට අපගේ උත්තමාචාරය පිරිනමමු.

චන්ද්‍රකාන්ති පියතුංග

කැලණිය


අප දකින හොඳම නිළිය

වේදිකාවේ, සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය ඔස්සේද දක්වන තාත්වික රංගනයෙන් ඉදිරියෙන් සිටින චාන්දනී සෙනෙවිරත්න ඔබ, හොඳම නිළිය නොවුනද අප දකින හොඳම නිළිය ඔබයි.

කාල්‍යාණ ජයනෙත්ති

මැටරඹ

උණවටුන


කලා සාන්ත සොයුරියට මොක්සුව අත්වේවා !

හෙළ සගයුවේ
නියමුවාණන් වූ
සුනිල් සාන්ත සූරින්ගේ දියණිය
කලා සාන්ත සොයුරියට
මොක්සුව අත්වේවා.
 

මිල්ටන් මලවි ආරච්චි

බණ්ඩාරවත්ත

ගම්පහ


අවසානය ගැටලුවකි

අද සෑම නාලිකාවකම රසවත් ටෙලි නාට්‍ය විකාශය වුවත් ඒවායේ අවසානය කිසිම තේරුමක් නැතිව අවසානවීම රසිකයන්හට විශාල ගැටළුවකි.

ගාමිණි මහවෙලගේ

පිළියන්දල


හොඳ සිහියේ හාස්කම

'අනන්තා' ටෙලි නාට්‍යයේ ගෝරිංට ඔලුව විකාර වෙලා. පිස්සු හැදිලා ඉන්න වෙලාවේ අතර මඟදී ලිහිණි දුව දැක්ක ගමන් මන්ත්‍රයක් මතුරා බන්ධනයක් කර තමා ළඟ නතර කර ගැනීමට හොඳ සිහියක් ආවේ කුමන හාස්කමකින්ද?

තිලකරත්න විල්වල

තටාකය පාර

කෑගල්ල


ඔබේ රැඟුම් සදා මතකයේ

දීපාල් සිල්වාගේ හදිසි වියෝව කලා ක්ෂේත්‍රයට විශාල පාඩුවකි. ඔබ වෙන්ව ගියත්, හාස්‍යය උපදවමින් ගැයූ ගීතවලට ඔබ රැඟු රැඟුමන් සදාකල් අප හිත් තුළ රැඳී පවතී.

දයාරත්න

කැලණිය


ජනප්‍රිය සිඳු

දෙරණ නාලිකාවෙන් විකාශ කෙරෙන 'සිඳු' අතිශයෙන්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයකි. එය හැඩ වී තිබෙන්නේ ළමා රංගන ශිල්පීන් නිසා ය. ඒ වෙනුවෙන් දායක වන සියලුම ළමා නළු නිළියන්ට සාර්ථක ගමනකට ආසිරි.

මනහර මහින්ද

බෙලිගල


අමතක වූ පැරණි හඬ

ලස්සන හරවත් ගීත ගැයූ ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ දැඩි නිෂ්ශබ්දතාවක් රකිනවා වාගේ.

දැන් සිටින සංගීත සංදර්ශන සංවිධායකයන්ටත් පැරණි වටිනා ගායක ගායිකාවන් අමතක වෙලා. තවමත් ඔවුන්හට ඒ හැකියාවන් තිබෙන නිසා ඔවුන්ටත් අවස්ථාවක් දෙන්න. එය ඔවුන්ට ප්‍රීතියක් සේම ගෞරවයකි.

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව


රිදී ටීවි වෙත ප්‍රණාමය

රුක්මණී දේවියගේ 38 වැනි ගුණානුස්මරණය සැමරුම වෙනුවෙන් පසුගිය ජනවාරි 15 වැනිදා රිදී ටීවි ඔස්සේ ඇය රඟ පෑ චිත්‍රපට, එතුමියගේ ආදාහන උත්සවය විකාශය කිරීම වෙනුවෙන් පැරණි සිනමා රසික අපගේ හෘදයංගම ස්තූතිය. නමුත් රුක්මණි දේවිය ගායනා කළ ගීත ඇතැමුන් සටහන් අතැතිව වැරදියට ගායනා කිරීම එතුමියට අගෞරවයකි.

කේ. ඩී. කේ කරුණාරත්න

ඇන්ඩර්සන් පාර

නැදිමාල

දෙහිවල


විශිෂ්ට ගැහැනිය - ස්වර්ණා

සත්සමුදුර චිත්‍රපටයෙන් කලා ලොවට පිවිසි ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමා අභිමානයෙන් සහෘද සංසදය සමඟින් උපහාර උලෙළක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීම ඉතා කාලෝචිතය. තවද 'නිම්වළල්ල', 'හන්තානේ කතාව', 'තුංමන් හන්දිය', 'සුද්දිලාගේ කතාව' වැනි චිත්‍රපට රැසකින් ඉදිරිපත් කළ රංගනයන් ඉතාම විශිෂ්ටය. ඉදිරියටත් එවැනි චරිත ඔස්සේ රසික රසිකාවන් පිනවීමට සිනමාවේ විශිෂ්ට ගැහැනිය ලෙස ස්වර්ණාට ශක්තිය ධෛර්යය ලැබේවා.

ලියනගේ සෝමරත්න ද සිල්වා

'පියසේන විලා'

මරදාන

අහුන්ගල්ල


සදාදරණීය කලාකරුවා

රංගනයෙන්, ගායනයෙන් සුවහසක් ප්‍රේක්ෂකයන් වෙත සිනහව ගෙන විත් පසුගියදා සිය ජීවන ගමනින් සමු ගෙන ගිය දීපාල් සිල්වා, සදාදරණීය කලාකරුවාට අපගේ බලවත් ශෝකය.

අතුල රම්‍යසිරි

පානදුර


දීපාල් සිල්වාට  නිවන් සුව

සමාජයේ දුබල තැන්වලට පහර වදින ලෙස ගීතයෙන් අමතමින් ජනතාව සිනහ ගැන්වූ දීපාල් සිල්වාගේ අකල් වියෝව පිළිබඳ අපගේ ශෝකය. ඔබට නිවන් සුව අත් වේවා.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ


 

රංගනට මල් මිටක්

රංගන මහත්තයෝ කොපි චැට් නියමයි. ඉදිරියටත් මෙවැනිම වූ සාර්ථකත්වයකින් වැඩසටහන පවත්වාගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

වික්‍රම

මිද්දෙණිය


තිස්ස ගුණවර්ධනට චිරං ජයතු

කලා භූෂණ සම්මානයෙන් ද බස්නාහිර විශ්වාභිනන්දන සම්මානයෙන්ද පිදුම් ලද අප ගුරු පියාණන්, තිස්ස ගුණවර්ධනයන්ට තෙරුවන් සරණයි. චිරං ජයතු.

ඩඩ්ලි ගෝමස් (ආදි ශිෂ්‍ය)

කටුබැද්ද

මොරටුව


ය‍ශෝධරා - පූජා

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කරන 'ය‍ශෝදරා' චිත්‍රපටයේ යශෝධරා චරිතයට ගැලපෙන නිළිය පූජා උමාශංකර් පමණයි.

සංජය

මිනුවන්ගොඩ


නිළි රැජන මාලිනියට

රිදී තිරයේ සුකුමාලිය මාලිනිය යි
රසිකයන්ගේ හද දිනුවෙත් මාලිනිය යි
සිනමා ලොවට පෙම්වතියත් මාලිනිය යි
රිදී තිරයේ නිළි රැජනත් මාලිනිය යි

ගාමිණි විජය තරු සමඟින් රඟපෑවා
සිනමාපට තුළින් ජයකෙහෙළි නැංවූවා
යන එව තැනදි ආදර සැලකිලි ලැබුවා
කවදත් නිළි රැජන ලෙස මාලිනි පත් වූවා

එච්. ඉන්ද්‍රපාල

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේන


ස්වර්ණා රඟන ස්වර්ණ ජයන්තිය

හන්තානේ කතාවෙන් හෙළ රිදී තිරේ
රන් දොර විවර කර පෙරටම යනෙන වරේ
මං සලකුනු තැබූ ස්වර්ණා නිරන්තරේ
සුන්දර මතකයෙන් හද සොම්නසින් පිරේ

අඩසියවසක රංගන දිවි රන් මැදුරු
හැඩ කර මිණි පහනව බිඳ හද අඳුරු
අද හසරැල් නඟන ස්වර්ණා සොඳුරු
සිරිලිය බඳුව වැජඹෙයි නොදනිති කවුරු

සත් සමුදුර මතකය සනසවන හද
දඩයම රන්මලී මැව් නෙත කඳුළු බිඳ
හංස විල කැළඹී ළතැවුල් සුසුම් මැද
ස්වර්ණා මැවු ලොව ළෙලවමු රුවන් දද

විරාජ් හර්ෂනාථ බණ්ඩාර

හුළුගල්ල පාර

නිකවැරටිය