වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




අනෝජාට, ගීතාට එතෙරින් ලැබුණු සැලකිලි දුටුවෙමි

අනෝජාට, ගීතාට එතෙරින් ලැබුණු සැලකිලි දුටුවෙමි

1991 ජනවාරි 10 වෙනිදා සිට 20 වැනිදා දක්වා මදුරාසියේ පැවති 22 වැනි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ (International Film Festival of India)  මදුරාසියේ සිරිපෝට් හි පැවැත් වූ අවස්ථාව සරසවිය කර්තෘ ලෙස මට නියෝජනය කිරීමට ලැබිණ. මේ උලෙළ ශ්‍රී ලංකාව නියෝජනය කළේ පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ සිරි මැදුර චිත්‍රපටයයි. මේ චිත්‍රපටය ජනවාරි 14 වෙනිදා උලෙළේ තිරගතවීමට ප්‍රථම එහි රඟපෑ අනෝජා වීරසිංහ හා අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල වේදිකාවට කැඳවා සංවිධායකවරු මල් කළඹක් පිරිනමා පිළිගත්හ. එදින චිත්‍රපට දර්ශනය අවසන් වූ පසු ශාලාවෙන් එළියට පැමිණි අමෝජා වට කරගත් විදේශීය හා ඉන්දියානු විචාරකයින් හා පුවත්පත් කලාවේදීහු තොරතුරු අසන්නටත්, පින්තූර ගැනීමට පටන් ගත්හ. එයට විශේෂ හේතුව වුයේ අනෝජා නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී හොඳම නිළිය වීම නිසා ජාත්‍යන්තර හා ඉන්දීය මාධ්‍යවේදීන් ඇයට වඩාත් ලෙන්ගතු වූහ. එපමණක් නොව අදූර් ගෝපාලක්‍රිෂ්ණන්, ශ්‍යාම් බෙනගල්, සාජි එන්. කරුන්, ගෝවින්ද නිහලානි වැනි ශ්‍රේෂ්ඨ භාරතීය අධ්‍යක්ෂවරුන්ද, ෆිලික්ස් ඩී රෝයි නම් නෙදර්ලන්ත අධ්‍යක්ෂවරයා ද පෝල් කොක්ස් නම් ඕස්ට්‍රේලියානු අධ්‍යක්ෂවරයා ද අනෝජාගේ සමීප හිත මිතුරන් වූහ.

එවර චිත්‍රපට උලෙළට චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ ටී. එම්. සංඝදාස, නදීකා ගුණසේකර, බුද්ධි කීර්තිසේන, ටී. අර්ජුන, ඈෂ්ලි රත්නවිභූෂණ, රංජනී රත්නවිභූෂණ, බන්දුල ගුණවර්ධන, ධර්මසිරි ගමගේ, සීතා ගමගේ, සරසි කර්තෘ බන්දුල පද්මකුමාර, මාධ්‍යවේදී සිවකුමරන් එවර මා සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කළ පිරිසට ඇතුළත් වූහ. පසුව ආතර් යූ. අමරසේන හා බී. සී. පෙරේරා ද අපට එක් වූහ.

අනෝජා විශේෂ පුවත්පත් සාකච්ඡාවේද'ී 'ඉන්දියා ටූ ඩේ' පුවත්පතේ විචාරකයාගේද ඉන්දියානු දූරදර්ශන් රූපවාහිනියේ සාකච්ඡාවකට එක් වුූවාය. අප නවාතැන් ගත් මදුරාසි ට්‍රයිඩන් හෝටලයේ මගේ කාමරයට යාබද කාමරවල සිටියේ පරාක්‍රම නිරිඇල්ල හා බන්දුල ගුණවර්ධනය. අප උදේ තේ බීමට ගියේ එකටය.

'ලංකාවේදී වගේ නෙවෙයි, අපට සැනසිල්ලේ කතාබහ කරන්න ලැබෙන්නේ මෙහෙදි' පරාක්‍රම කිවේය.

'අපි 'අයෝමා' කරමුද?' බන්දුල ගුණවර්ධන ඇසීය.

'මම ඒ නවකතාව කියවලා තියෙනවා' පරාක්‍රම කීවේය.

'දෙනගම සිරිවර්ධන ලිව්ව නවකතාවද? මම කියවලා තියෙනවා' මම කීවෙමි.

එතැන් සිට අපි නවකතාවේ ඒ ඒ චරිතවලට අවශ්‍ය නළු නිළියන් ගැන කතා කළෙමු.

ඒ දිනවල පරාක්‍රමගේ කකුලේ තුවාලයක් නිසා එයින් පීඩා වින්දේය. ඔහු පැලඳ සිටියේ සැඩල්ස් යුවළකි.

මාත්, පරාක්‍රමත් උලෙළේ තිරගත වූ ඉන්දීය ප්‍රාන්තවල උසස් චිත්‍රපටත්, ජාත්‍යන්තර අංශයේ චිත්‍රපටත් තෝරා ගෙන බැලුවේ එකටය. චිත්‍රපට උලෙළ අවසන් වූ 20 වෙනිදා තිරගත වූයේ සත්‍යජිත් රේගේ අලුත්ම චිත්‍රපටය වූ 'ශාඛා ප්‍රශාඛා' චිත්‍රපටයයි. එය නැරඹීමට මදුරාසි විශ්ව විද්‍යාලීය ශාලාවට අති විශාල පිරිසක් රැස් වූහ. මා සිටියේ ශාලාවේ දකුණු පැත්තේ අසුනකය. ඊළඟට පරාක්‍රමය. පරාක්‍රම අසල භාරතීය චිත්‍රපට අධ්‍යක්ෂ රිෂිකේෂ් මුකර්ජි නම් ජ්‍යෙෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරයා සිටියේය. ඔහු 'අභිමාන්' ඇතුළු චිත්‍රපට කිහිපයක අධ්‍යක්ෂවරයාය. ශාලාවට පැමිණෙන ජනප්‍රිය මෙන්ම භාරතීය කලාකරුවන් නළු නිළියන් පැමිණ තම ජ්‍යෙෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ පාද ස්පර්ශ කිරීමට අමතක නොකළහ. ඒ හැම කෙනෙකුම පරාක්‍රමගේ තුවාල කකුල පාගෙන තම ආචාරය පුද කළහ. පරාක්‍රමට දවල් තරු පෙනිණ. ඔහුගේ වේදනාකාරී මුහුණ මම දුටුවෙමි.

'මගේ කකුලේ තුවාලය මුන් පාගනවා. මට වේදනාව උහුලන්න බැහැ' පරාක්‍රම කීවේය.

'මගේ සීට් එක දෙන්නද?'

'එහෙනං මට අලුත් කකුලක් ගේන්න වෙනවා.' පරාක්‍රම කිවේය.

චිත්‍රපටය අවසන් වන විට පරාක්‍රමගේ කකුලේ තුවාල පෑරී ඉදිමී තිබුණි.

'අපි යමු ඩිස්පැන්සරියකට, ඔයාට අමාරුයි' මම යෝජනා කළෙමි.

මේ සිද්ධිය මට කිසිදා අමතක නොවේ. එදා සවස කලාකරුවන් සඳහා තිබූ කොක්ටේල් පාටියට පරාක්‍රම ගියේ නොන්ඩි ගසමිනි. අපට එදා අප දෙදෙනාම ප්‍රිය කළ ශ්‍යම් බෙනගල් හා ගුල්සාර් හමු වී කතා කරන්නට ඉඩ ලැබිණි.

අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන් හා අනෝජා බර කතාවකි. අපි වීදුරුත් රැගෙන ඒ සමීපයට ගියෙමු.

අනෝජා පරාක්‍රම හා මාව හඳුන්වා දුන්නේය.

'අපි මීට වසර 2 කට පමණ පෙර ඔබේ නිවසේදි හමු වුණා මතකදැයි' මම අදූර්ගෙන් ඇසුවෙමි.

අනේජා සමඟ කේරළයේ පැවති ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී එක්තරා රාත්‍රියක කේරළයේ අදූර්ගේ නිවෙසේ ප්‍රිය සම්භාෂණයක් පැවැත්විණ. ඒ සඳහා අනෝජාට හා මහාචාර්ය විමල් දිසානායකට ආරාධනා ලැබිණ.

ඒ උලෙළට රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු, තිස්ස නාගොඩවිතාන, ඩිල්මන් ජයරත්න හා මා ද සහභාගි වූහ. ශ්‍රී ලංකාවෙන් පැමිණි අප හතර දෙනා තම සමීප මිතුරන් ලෙස අනෝජා අදූර්ට හඳුන්වා දුන්නාය.

'මේ අයටත් අපේ නිවසට රාත්‍රී කෑමට ආරාධනා කරන්න' යයි අදූර් කිවේය.

වෑන් රථයක නැඟුණ අප කේරළයේ ඈත ගම්මානයක තිබුණ අදූර්ගේ නිවසට ගියෙමු. එය වත්තක් මැද පිහිටි විශාල නිවසකි. අදූර්ගේ චිත්‍රපටයක මේ ගෙය තිබුණා මට මතකය. චිත්‍රපටය 'අන්නතරාම්' විය හැකිය. ඒ නිවස නැටුම් පුහුණුවීම සඳහා ද යොදා ගන්නා බවක් අපට හැඟිණ. රාත්‍රී නිසා අවට පරිසරය දැක ගැනීමට නොහැකි විය. අනෝජා නොවන්නට අපට මෙවැනි අවස්ථාවක් උදා නොවන්නේය. ඇයගේ ඉතා නිහතමානී ගුණය නිසා ලංකාවෙන් ගිය අපට ඒ අවස්ථාව උදා විය. අනෝජාගේ පරාර්ථකාමී ගති ගුණ සැම විටම කැපී පෙනුණි. දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් ද ඇය වටා රොද බැඳීම අරුමයක්ද?

එවැනිම තවත් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළකට ගීතා කුමාරසිංහ, ඇගේ දියණිය හා සහෝදරයා තිලක් සමඟ සිංගප්පූරුවට යාමට අවස්ථාව උදා විය. The Singapore International Film Festival - 1990මේ චිත්‍රපට උලෙළට 'පාලම යට' චිත්‍රපටය ඇතුළත් විය. මේ ආසියානු චිත්‍රපට උලෙළ ඇරැඹුණේ 'පාලම යට' චිත්‍රපටයෙනි. දහස් සංඛ්‍යාත සිංගප්පූරුවාසී ශ්‍රී ලාංකිකයන්ට අමතරව යාබද මැලේසියාවේ හා ඕස්ට්‍රේලියානුවාසී ශ්‍රී ලාංකිකයන් ද සිංගප්පූරුවේ ජේඩ් සිනමාහලට එදින රොක් වූහ. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවෙන් බන්දුල පද්මකුමාර, බී. සී. පෙරේරා යන මාධ්‍යවේදීන් ද, බුද්ධි කීර්තිසේන ද සිංගප්පූරු ශ්‍රී ලංකා මහා කොමසාරිස් එඩ්මන්ඩ් ජයසිංහ ද සහභාගි වූහ. මහා කොමසාරිස්වරයාගේ නිල නිවසේදී පැවැත් වු භෝජන සංග්‍රහයට ආචාර්ය සරත් අමුණුගම හා පිලිප් කුරේ ද එක්ව සිටියහ.

සිංගප්පූරු රූපවාහිනිය වෙනුවෙන් ගීතා විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නාය. අපේ මහා කොමසාරිස් එඩ්මන්ඩ් ජයසිංහ මහතා ද චිත්‍රපට නළුවකු නිසා (හන්තානේ කතාව, ගඟ අද්දර, අනුරාධා හා ඉන්දුට මල් මිටක්) 'පාලම යට' චිත්‍රපටය බෙහෙවින් අගය කළේය.

'කාලයකින් පස්සේ දැක්ක හොඳ චිත්‍රපටයක්' ඔහු අපට කීවේය.

සිංගප්පූරුවේ කලා භාර ඇමති බ්‍රිගේඩියර් ජෝර්යෝ සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ ඇරඹුණු දා ගීතා හමුවීම විශේෂ සිද්ධියකි. ඔවුන් දෙරටේ කලාව ගැන කෙටි පිළිසඳරක යෙදුණාහ. ඇමතිවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේ 'පාලම යට' අධ්‍යක්ෂවරයා (එච්. ඩී. ප්‍රේමරත්න) භාරතයේ විශිෂ්ට අධ්‍යක්ෂවරුන් වන අදූර් ගෝපාලක්‍රිෂ්ණන් හා ජී. අරවින්දන්ට සමාන සිනමාකරුවකු බවය. සිංගප්පූරුවේ කලාව භාර ඇමතිවරයා හොඳ කලා විචාරකයකු බව මේ කියමනෙන් අපට වැටහිණි.

'පාලම යට' නැරඹීමට පැමිණ සිටි චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් අපට විශේෂ සංග්‍රහයක් පවත්වනු ලැබීය.

'මේ දිනවල අපි මැලේසියාවේ ජාත්‍යන්තර චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා. ඒ සඳහා අපේ කලාකාරයෝ එහි විශාල පසුතල නිර්මාණය කරනවා. ගීතා, සරත්, රන්ජිත්. බී.සි ඒක බලන්න’ එන්න කියලා ආරාධනය කරනවා' අපට චන්ද්‍රන් විවෘත ආරාධනයක් කළේය.

ඒ සඳහා විසා ගැනීමට අපේ විදේශ ගමන් පත්‍ර ද ඔහු ඉල්ලා ගත්තේය. අප මැලේසියාවට යන විට ගීතා වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. ඒ සඳහා විශේෂ ආරාධනා පත්‍රයක් මැලේසියාවේ චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ කලාකරුවන්, නළු නිළියන්ට ද මාද්‍යවේදීන්ට ද ඇරයුම් කොට තිබිණි. මා එවැනි උත්සවයක් දුටු මුල්ම වතාවය. ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ගැන කලාකරුවන් ගීතාගෙන් සුහද පිළිසඳරේදී විමසන ලදී.

පසු දින අපට චන්ද්‍රන් රත්නම්ගේ ෆිල්ම් ලොකේෂන්' ආයතනයෙන් සම්බ්න්ධීකරණය කළ විදේශ චිත්‍රපටයේ පසුතල ඉදි කරනු බැලීමට කැටුව ගියේය.

ඒ දැවැන්ත පසුතලය ඉදිකරනු ලැබුවේ අපේ කාර්මික පිරිසය. පිරිස සියයකට වඩා වැඩිය. කලා අධ්‍යක්ෂ එරල් කෙලී එහි නියමුවාය. එරල් නම් අපේ හිතවතා අපට මැලේසියාවේ දැකගන්නට ලැබීම ද සතුටක් විය. ඔහු අපට පසුතල කිහිපයක් පෙන්වා චිත්‍රපටය ගැන ද විස්තර කළේය. ප්‍රකට මූර්ති ශිල්පි විමල් ජයවර්ධන මහතා ප්‍රමුඛ ඔහුගේ කලාකරුවන් පිරිසක් ද අපට හමු විය.

ඉන්දියාවේදී අනෝජාට ද සිංගප්පූරුවේදී ගීතාට ද ලැබුණු විශේෂ සැලකිළි දුටු අපට අපේ නිළියන් ගැන ආඩම්බරයක් සිතුණි. ඒ සැලකිලි ගෞරවය ශ්‍රී ලංකාවට ලැබුණු දෙයකි. මාධ්‍යවේදියකු ලෙස අපට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබීම ද දුර්ලභ දෙයකි.