වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




පෝය දිනට ශාලා වහලා ඒ වුණාට ටීවී එකේ චිත්‍රපට

පෝය දිනට ශාලා වහලා ඒ වුණාට ටීවී එකේ චිත්‍රපට

සුනිල් ධර්මසිරි

චිත්‍රපට ශාලාවක් නඩත්තු කිරීම ලෙහෙසි නැහැ. ඒක මං අත්දැකීමෙන් කියන්නේ. එක පේ‍්‍රක්ෂකයා ආවත් ප්‍රේක්ෂකයන් පන්සීයක් ආවත් චිත්‍රපට දර්ශනයට යන වියදම එකයි. වෙනසක් නැහැ. හොඳ චිත්‍රපට නැතිකමින් ප්‍රේක්ෂකයා ශාලාවට නොඒම නිසා ශාලා හිමියන්ට තමන්ගේ වියදම් කවර් කරගන්න බැරි වෙනවා. ඒ වගේම විනෝද බද්දක් කියලා බද්දක් ශාලාවලින් අය කරනවා. එහෙම සල්ලි අරගෙන චිත්‍රපට ශාලාවකට කුණු කූඩයක් අරන් දෙනවද කියලා මම දන්නේ නැහැ. බද්ද ගන්නවා විතරයි. මං දන්න ගොඩක් ශාලා වැසුණා විනෝද බද්ද නිසා. ඒ විතරක් නෙවෙයි ජාතික ශෝක දිනයන්වලටත් පෝයටත් චිත්‍රපට ශාලා වහනවා. ඒත් රූපවාහිනි චැනල් එදාට චිත්‍රපට පෙන්වනවා. අනේ මන්දා ඒ වෙනස කොහොමද මනින්නේ කියලා.

සුනිල් ධර්මසිරි යනු සුනිල් ටී චිත්‍රපට සමාගමෙහි සාමාන්‍යාධිකාරිවරයාය. තනතුර එලෙස වුණත් ඔහු දක්ෂ ගී පද රචකයකු බව දන්නේ දන්න අයම පමණි. සුනිල්ට මුවා වී සිටි ඒ අපූරු ගී පද රචකයාව කල එළියට ගන්නේ තවත් සුනිල් කෙනෙකි. ඒ සුනිල් ටී. ප්‍රනාන්දුය. ඔහු නිෂ්පාදනය කළ දරුවනේ සිනමාපටයට සුනිල් ධර්මසිරි විසින් සිය පළමු චිත්‍රපට ගීතය රචනා කරනු ලබයි. දේදුන්නේ පාට අරන් නම් වූ එම ගීය දුවා දරුවන් අතර ඉතාම ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වන්නේ එහි ඇති සරලකම නිසාමය. සුනිල් ලියූ තවත් ගීතයක් මේ දිනවල නිතර දෙවේලේ අසන්න ලැබෙයි. ඒ හැට හතර මායම් චිත්‍රපටයට ඔහු ලියූ පායනා මධු සඳකි වේ. පූර්ණ සචින්ත සහ නෙත්මි පීරිස් එය ගයනු ලබයි. සුනිල් ධර්මසිරි නමැති ගී පද රචකයා ගැන කතා කිරීම අපගේ මූලික අරමුණ විය. එනමුදු චිත්‍රපට සමාගමක සාමාන්‍යාධිකාරීවරයකු ගෙන්වා චිත්‍රපට ක්ෂේත්‍රය පිළිබඳ වචනයක් දෙකක් හෝ කතා නොකිරීම එක්තරා අතකින් නොවිය යුත්තකි. එහෙයින් අතරින් පතර චිත්‍රපට ක්ෂේත්‍රය ගැන අදහස් විමසීමට ද අප අමතක නොකළෙමු.

සුනිල් ඔබ ගීත රචනා ක්ෂේත්‍රයට යොමු වුණ ආකාරය ගැන පළමුව මතක් කළොත්?

පාසැල් කාලෙදිමයි මං ලියන කියන පැත්තට යොමු වන්නේ. නිකම් ඉන්න වේලාවට හිතට එන ඒවා නිසදැස් විදිහට ලිව්වා. මගේ පුරුද්දක් තිබුණා නිතර හොඳ ගීත රස විඳින එක. පැරැණි ගීත නිබන්ධකයින් වන කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි අයගේ ගීත රස වින්දා. ඒ විතරක් නෙවෙයි ඒ ගීතවල තේරුමත් හෙව්වා. ඔය අතරේ මට අහන්න ලැබෙනවා සුනිල් ආරියරත්නයන් ලියූ අපූරු ගීයක්. එය ගැයුවේ සෝමතිලක ජයමහ. යාළු බාල සදේ තමයි ඔය ගීතය. ඇත්තම කිව්වොත් එහි භාෂා ශෛලියට මං වසඟ වුණා. අන්න එදා තමයි මට හිතුණේ මමත් ගීතයක් ලියන්න ඕනෑ කියලා. එහෙම කල්පනා කරලා මං මගේ අදහසක් ගීතයකට පෙරලුවා.

මොකක්ද ඒ ගීතය?

මං ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. ඔබ අහපු නිසයි කියන්නේ. මං මගේ පළමු ගීතය දුන්නේ ජනප්‍රිය ගායකයකුට. ඔහු ඔහුගේ කැසට් එකකට එය යොදා ගත්තා. එහි පසු කවරයේ ගීත රචකයා හැටියට මගේ නම නැහැ. ඇහැව්වාම කිව්වේ ප්‍රින්ටිං මිස්ටේක් එකක් කියලා. ඒ ගීතය හුඟක් ජනප්‍රිය වුනා. අද ඒ ගායකයත් ජීවතුන් අතර නැහැ. ඊට පස්සේ වැඩිය ගීත ලියන්න හිතුවේ නැහැ.

ඔබේ දෙවැනි ගමන ආරම්භ වන්නේ සුනිල් ටී ෆිල්ම්ස් හා එකතු වුණාම නේද?

ඔව්. 2002 දී මං සුනිල් ටී චිත්‍රපට සමාගමට එකතු වෙනවා. සුනිල් ටී මහත්මා තමයි මාව ගීත රචනා කලාවට ඇදලා දැම්මේ. මා ඔහුට බෙහෙවින් තුති පුදනවා. පළමුව මං ලියූ චිත්‍රපට ගීතය ඇතුළත් වුණේ දරුවනේ චිත්‍රපටයට. ඒක ජනප්‍රිය වුණා. පසුකාලීනව මං වැඩ බැරි ටාසන්, දෝනි, සිංහයා, මහරජ අජාසත් ආදී චිත්‍රපට රැසකටම ගීත ලිව්වා. දෝනි චිත්‍රපටයේ බාචි සුසාන් ගයන කිරි සිහින බිඳුනදෝ ගීතය බාල මහලු කොයි කවුරුත් ඉතාම ආදරයෙන් වැළඳ ගත්තා. ඉදිරියේදී මං ගීත රචනා කළ චිත්‍රපට දෙකක්ම එන්න තියෙනවා. ඒ රන සයුර සහ පාටක් නැති ආදරයක්.

සාමාන්‍යයෙන් චිත්‍රපට ගීතයක් ලියන්න ආරාධනා ලැබුණාම මොන වගේ කාරණා ගැන ද සැලකිලිමත් වෙන්නේ?

මම මුලින්ම චිත්‍රපටයේ කතාව කියවනවා. එහෙම පිටපත බලන්න බැරි වුණත් අඩුම තරමේ චිත්‍රපටයේ කතා සාරාංශයවත් බලනවා. මං ලියන ගීතය අන්තර්ගත වන තැන මොකක්ද කියන කාරණයත් සොයා බලනවා. මං ලියූ සෑම චිත්‍රපට ගීතයක්ම ඒ අවස්ථාවට මනාව ගැළපුණා. නැත්නම් මමත් ෆේල්, චිත්‍රපටයත් ෆේල්. දෙවනුව බලනවා කියන ගායකයා හෝ ගායිකාව කවුද කියලා. ඔවුන්ගේ ශෛලීන්වල පද ඊට යොදා ගන්නවා. මේ සෑම දෙයක්ම බලලා තමයි මං සිංදුවක් ලියන්නේ.

කොහොමද ඔබ ගීත රචනවලට මූලාශ්‍ර හොයා ගන්නේ?

හරි ලෙහෙසියි. අපි ගම්වල හැදුණු වැඩුණු උදවියනෙ. ඉතින් ගැමි වහර ඔළුවෙ තියෙනවා. ඒ වචන බෙහෝ අවස්්ථාවල යොදා ගන්නවා. ඊට අමතරව පොතපත කියවනවා හැකි සෑම අවස්ථාවකම. ඒවායින් ලැබෙන සාහිත්‍ය දැනුම ඉතාම උසස්. ඒ වගේම මගේ ගීත බෙහෙවින් සරලයි. මං නිරන්තරයෙන් උත්සාහ ගන්නේ ගීතය තුළින් ලබාදෙන පණිවුඩය කොයි කාටත් තේරුම් ගත හැකි අන්දමින් ලබා දෙන්න.

සාමාන්‍යයෙන් ඔබට චිත්‍රපට ගීතයක් ලියන්න කොපමණ වේලාවක් ගත වෙනවාද?

සමහර ගීත විනාඩි පහෙන් ලිව්වා. නමුත් පාටක් නැති ආදරයක් චිත්‍රපටයට ලිව්වා ජාති බේදය ගැන කියවෙන ගීතයක්. එහි මෙලඩිය දීලා එයට තමයි මට වචන දාන්න දුන්නේ. ඒ වැඩේට නම් ටික වේලාවක් ගියා. මෙලඩියට සින්දුවක් ලියන එක හැමෝටම කරන්න බැහැ. සමහර රචකයෝ කැමැතිත් නැහැ මෙලඩියට ලියන්න. අර නිකම් කොටු වෙලා වගෙයිනේ සින්දුව ලියන්න වෙන්නේ.

චිත්‍රපට ආයතනයේ ඇති වගකීම් එක්ක ගෙවන කාර්යබහුල ජීවිතයේදී මොන වගේ අවස්ථාවලදීද ඔබ සින්දු ලියන්නේ?

මං අර කලින් කිව්වේ මට සින්දුවක් ලියන්න වැඩි වේලාවක් ගත වන්නේ නැහැ කියලා. ඒ හින්දා විශේෂ වෙලාවක් වෙන් කරගෙන නැහැ මේ මේ වෙලාවල්වලදී සින්දු ලියනවා කියලා. හිතට එන්නේ කොයි වෙලාවෙද අන්න එතකෙට ගීතය ලියනවා.

ඔබ වැනි අයකුගෙන් චිත්‍රපට ක්ෂේත්‍රය ගැන නොඇසුවොත් ඒක ලොකු අඩුවක්?

අහන්න ක්ෂේත්‍රය ගැන ඕනෑ දෙයක්.

චිත්‍රපට ක්ෂේත්‍රයේ අර්බුදයක් තියෙනවා කියලා බොහෝ දෙනා කියනවා?

අර්බුදයක් නැහැ. තියෙන්නේ හරි චිත්‍රපට නැතිකමක්. ඒකයි ප්‍රේක්ෂකයන් ශාලාවලට නොඑන්නේ. චිත්‍රපටයක් බලලා හිස් අතින් ගෙදර යන්න ප්‍රේක්ෂකයන් අකමැතියි. ඒක මට දැනුන දෙයක්.

ඇතැම් චිත්‍රපට ශාලා පසුගිය සමයේදී වැසීගියා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

චිත්‍රපට ශාලාවක් නඩත්තු කිරීම ලෙහෙසි නැහැ. ඒක මං අත්දැකීමෙන් කියන්නේ. එක පේ‍්‍රක්ෂකයා ආවත් ප්‍රේක්ෂකයන් පන්සීයක් ආවත් චිත්‍රපට දර්ශනයට යන වියදම එකයි. වෙනසක් නැහැ. හොඳ චිත්‍රපට නැතිකමින් ප්‍රේක්ෂකයා ශාලාවට නොඒම නිසා ශාලා හිමියන්ට තමන්ගේ වියදම් කවර් කරගන්න බැරි වෙනවා. ඒ වගේම විනෝද බද්දක් කියලා බද්දක් ශාලාවලින් අය කරනවා. එහෙම සල්ලි අරගෙන චිත්‍රපට ශාලාවකට කුණු කූඩයක් අරන් දෙනවද කියලා මම දන්නේ නැහැ. බද්ද ගන්නවා විතරයි. මං දන්න ගොඩක් ශාලා වැසුණා විනෝද බද්ද නිසා. ඒ විතරක් නෙවෙයි ජාතික ශෝක දිනයන්වලටත් පෝයටත් චිත්‍රපට ශාලා වහනවා. ඒත් රූපවාහිනි චැනල් එදාට චිත්‍රපට පෙන්වනවා. අනේ මන්දා ඒ වෙනස කොහොමද මනින්නේ කියලා.

ඔබේ පවුලේ විස්තර කිව්වොත්?

මගෙ බිරිය තුෂාරි. පුතා දුරුතු අභිෂේක්. ඔහුට වයස අවුරුදු දහහතක්. පුතා කලාවට ළැදියි. චිත්‍රපට දෙක තුනකම රඟපෑවා.

මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?

කවදා හරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට ඕනෑ. ඒ වගේම තව බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නන්දා මාලිනී නෝනට සින්දුවක් ලියන එක.