වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ගෙම්බාගේ ජුක්...ජුජුක්...ජුක්... ඉන්දිකගේ ගුම්...ගුගුම්...ගුම්...

ගෙම්බාගේ ජුක්...ජුජුක්...ජුක්... ඉන්දිකගේ ගුම්...ගුගුම්...ගුම්...

කුසලතා සම්මාන දිනූ දිනේෂ් සුබසිංහ

දවසක් මා සපත්තුව දමන්න කකුල දැම්මට පස්සෙයි මට හැඟුණේ එහි මොකෙක් හෝ සිටින බව. ඌ පත්තෑයකු ද කියලා දන්නේ නැති නිසා මා සෙමෙන් ම කකුල ඉවතට ගත්තා. එකපාරට ම මගේ ඇඟට පැන්නේ ගෙම්බෙක්.

තරුණ සංගීතඥයකු ලෙස මේ වනවිටත් නමක් දිනා සිටින දිනේෂ් සුබසිංහ මෑත කාලයේ කා අතරත් ජනප්‍රිය වන්නේ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළ ගීතත් සමඟ ය. මේ දක්ෂතාව අගයමින් පසුගියදා පැවැත්වුණු සරසවිය සම්මාන උලෙළේදී ද දිනේෂ්ට කුසලතා සම්මානයක් හිමි විය.

ඒ ලැබුණු සම්මානය ගැන මොන වගේ හැඟීමක් ද තිබෙන්නේ?

වසර ගණනකට පසුව පැවැත්වුණු සරසවිය සම්මාන උලෙළේදී ජූරිය විසින් මා නිර්මාණය කළ සංගීතය ගැන අගය කිරීම පිළිබඳ මගේ සිතේ තිබෙන්නේ සතුටක්.

එහෙත් ඔබ සරසවිය සම්මාන උලෙළේදී ඒ සම්මානය ගන්න වේදිකාවට පිවිසියේ නැහැ නේද?

සම්මාන උලෙළ පැවැත්වුණු දවසේ එය ආරම්භ කරන්න කලින් මම කැලණි විශ්වවිද්‍යාලයේ වැඩසටහනක් භාර අරගෙනයි තිබුණේ. ඔවුන්ට මා අවශ්‍ය වූ නිසා ම මට ඒ සඳහා සහභාගි වීමට සිදු වුණා. එය අවසන් කර එන අතරතුරදී මට මුහුණ දෙන්නට සිදු වුණේ වාහන තදබදයකටයි. එය කොයිතරම් දැඩිව තිබුණා ද කිව්වොත් මට සම්මාන උලෙළට එන්න සිදු වුණේ ප්‍රමාද වීයි.

ඒ එනවිට සම්මානයට ඔබේ නම කියැවී අවසන් ද?

ඔව්. මේ සම්මානය ගැන මුලින් ම මට පවසන්නේ චන්න අයියා. ඔහු පැවසූ තොරතුරු අනුව වාහන තදබදයේ ම ඉඳගෙන සම්මානය ගන්න මොහොත පිළිබඳ මා සිතින් මවා ගත්තා.

එහිදි හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙසත් ඔබගේ නම නිර්දේශ වෙනවා?

ඒ රෝහණ වීරසිංහයන් හා නදීක ගුරුගේ යන ප්‍රවීණ ශිල්පීන් සමඟයි මගේ නම නිර්දේශ වන්නේ. අප අතරෙන් නදීකට මේ සම්මානය ලැබීම පිළිබඳ සත්‍ය ලෙස ම මා සතුටට පත් වෙනවා. අපේ පරපුරේ අයගෙන් සම්මාන ලබාගැනීමේ පෙර ගමන්කරුවා වන්නේත් නදීකයි. එය ඔහු ආරම්භ කරන්නේ ‘අබා’ චිත්‍රපටය හරහායි.

‘අබා’ කියන්නේ ඔබගේ පරපුරේ යම් සංදිස්ථානයක් ද?

ඒ වසර අපේ පරම්පරාවේ තීරණාත්මක අවුරුද්දක්. මොකද ජැක්සන් ඇන්තනී මහත්තයා අපේ පරම්පරාවත් සමඟ වැඩ කිරීම ආරම්භ කිරීම ම අපට කළ විශාල ගෞරවයක් ලෙසයි මා දකින්නේ. ඒ වනවිට අපේ පරම්පරාව පිළිබඳ සමාජයේ තිබුණේ ඒ තරම්ම සතුටු දායක අදහසක් නෙවෙයි. ඒ කිසිවක් පිළිබඳ නොතකමිනුයි ඔහු නදීකව තෝරා ගත්තේ. මේ නිර්මාණය සඳහා ප්‍රවීණ ශිල්පියකු තෝරා ගන්න හැකියාව තිබුණත් ඔහු එසේ කළේ නැහැ. ඔහු නදීක පිළිබඳ විශ්වාසය තැබුවා.

ඊට පසුවයි ඔබත් සම්මාන ලබන්නේ?

ඔව්. විශ්වය ඔසවා තබන මොහොතෙයි අප ඉහළට එස වෙන්නේ. ඊට පෙර සම්මාන ලබාගැනීමට අප දඟලලා වැඩක් නැහැ.

මේ වනවිට ඔබ සම්මාන රැසක් ම දිනා ගැනීමට සමත් වනවා?

දෙරණ සිනමා සම්මාන උලෙළේදි සම්මාන තුනකට මා හිමි කිව්වා. ඒ ඉන් දෙකක් ‘හෝ ගානා පොකුණ’ටත්, ඊට පෙර සම්මානය ‘වරිග පොජ්ජ’ටත්. හිරු ගෝල්ඩන් සම්මාන උලෙළේ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය වෙනුවෙන් ජනප්‍රිය ම ගීතය සඳහා සම්මාන ලැබුවා. සිග්නීස් සම්මාන උලෙළේදී හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙනුත් ඇතුළු සිනමාව සම්බන්ධයෙන් මේ වනවිට මට සම්මාන හතක් දිනා ගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ අතරෙන් ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයට පමණක් මා සම්මාන පහක් දිනා ගන්නවා.

මේ ජයග්‍රහණ සමඟ 2016 වසර ඔබට ම වෙන් වූ වසරක් විදියට ද ඔබ දකින්නේ?

ඒ අවුරුද්ද බොහොම සුන්දර අවුරුද්දක්. ඒ අවුරුද්දේ මට රටවල් අටකට යන්න හැකි වුණා. සෑම අවුරුද්දක ම වසන්තය උදා වුණු ගමන් මා රටවල් කිහිපයක සැරිසරනවා. මේ ලැබෙන කාලය මා කරන්නේ ඉගෙන ගැනීම සඳහා යෙදවීමයි. වසරක මා උපයන මුදල ඒ වෙනුවෙන් ආයෝජනය කිරීම මගේ එක් පුරුද්දක්. එලෙස මා කරන්නේ අපේ රටේ යම් දවසක ශිෂ්‍ය පරම්පරාවක් තැනීමේ අරමුණ ඇතිවයි. ඒ අනුව මේ වසරේ අයර්ලන්තය, ආර්මේනියාව, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව ආදී රටවල් රැසක ම මා සංචාරය කරනවා. ඒ වගේ ම ටෙලි නාට්‍ය හයකට හා චිත්‍රපටයක මට සංගීතය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ කාරණාත් සමඟ මගේ සිතේ තිබුණු බොහෝ පැතුම් ඉටු වුණු අවුරුද්දක් ලෙසයි මා මේ අවුරුද්ද දකින්නේ. පරාජ කිහිපයකුත් තිබුණා. එහෙත් ජීවිතය කියන්නේ සමබර බවකින් යුක්ත වන දෙයක්. මේ නිසා 2016 කියන්නේ මට සුබ වසරක්.

ඔබ සරසවිය සම්මානයක් ලබන පළමු අවස්ථාවයි?

සරසවිය සිනමා සම්මාන උලෙළ පැවැත්වෙන්නේ වසර ගණනකට පසුවයි. ඒ නිසා ඒ කාලයේ මා කළ නිර්මාණ ඇගයීමට ලක්වන්න විදියක් නැහැ. නැවතත් සරසවිය සම්මාන උලෙළ දිගට ම පැවැත්වීමට අවස්ථාව ලැබෙන්න කියලා මේ අවස්ථාවේ මා ප්‍රාර්ථනා කරනවා. මොක ද මට මතකයි මා කුඩා කාලයේ ඒ සම්මාන උලෙළ පිළිබඳ කලා ක්ෂේත්‍රයේ තිබුණු උනන්දුව.

‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කිරීම කුමන විදියට ද සිදු වන්නේ?

‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය සම්බන්ධයෙන් මට ලැබුණු සම්මානවල ගෞරවය සම්පූර්ණයෙන් ම හිමි විය යුත්තේ ඉන්දික ෆර්ඩිනැන්ඩුටයි. ඔහු මගේ ඇතුළේ හංඟුණු දක්ෂතාවයි එළියට ඇදලා ගත්තේ. ඒ ඔස්සේ මාව වෙන ම පැත්තකට යොමු කළා.

ඔබ දෙදෙනා අතර සංගීතය සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් ඇති වූවා ද?

මේ චිත්‍රපටයේ ඔහුගෙන් ලැබුණු ආරාධනා මත්තේ මා බොහෝ දැවැන්ත දේ ගොඩනැඟුවා. පස්සේ අප දෙදෙනා විවිධ වාද විවාද කරමින් ඒ ගොඩනැඟූ සමහර දේ ප්‍රතික්ෂේප කරමින් ඔහු මාව වෙනස් ම පැත්තකට අරගෙන ගියා. ඒ ඔස්සේ ඒ ප්‍රදේශයේ දිළිඳු බවත් සමඟ ඇතිවුණු සෞම්‍ය බව ඔප් නංවන සංගීතයක් මගේ අතින් නිර්මාණය වුණා. මේ කටයුතු කිරීමේදී බොහොම ගැඹුරු මානසිකත්වයකයි අප දෙදෙනා ම වැඩ කළේ. අපේ සිත් ඇතුළේ තිබුණු ඒ පිරිසිදු බව නිසා ම දෝ රටේ ම අයගේ හදවත්වල මේ නිර්මාණයට ඉඩක් ලැබුණා.

චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කිරීම ගීතයකට සංගීතය නිර්මාණය කිරීම වගේ ද?

මේ කාරණය බොහෝ දෙනෙක් වැරැදි විදියටයි දකින්නේ. මේ කාරණා දෙක දෙකක්. එකක් නොවෙයි.

ඔබ සංගීත ශිල්පියකු වුණත් ආධ්‍යාත්මික අංශයට බොහෝ නැඹුරු වූ කෙනෙක් ද?

මා භාවනාවට නැඹුරු වූ කෙනෙක්. මගේ ගුරුවරයා වන්නේ රනුෂ්ක ප්‍රනාන්දු යි. නිර්මාණයක් කිරීමට පෙර මා විශ්වයේ යම් වෙලාවක් වෙන්කර ගන්නවා.

ඔබ සතුන්ට බෙහෙවින් කරුණාව දක්වන්නෙක්?

සත්තු සමඟ මගේ බොහොම ළඟ සම්බන්ධයක් තිබෙනවා. පරිසරයේදී උන්ගේ චර්යා සිදු වන ආකාරය බලාගෙන ඉන්න මා බොහොම කැමැතියි. ඒ වගේ ම මා උන්ට බොහොම ආදරෙයි. සමහර වෙලාවට උන්ට කරදර කරන අපේ නිවෙසේ අය සමඟ රණ්ඩු කර ගන්නත් මා අමතක කරන්නේ නැහැ.

‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කිරීම සඳහා යම් බලපෑමක් ඔබට ලැබුණේ උන්ගෙන් බව මතක ද?

දවසක් මා සපත්තුව දමන්න කකුල දැම්මට පස්සෙයි මට හැඟුණේ එහි මොකෙක් හෝ සිටින බව. ඌ පත්තෑයකු ද කියලා දන්නේ නැති නිසා මා සෙමෙන් ම කකුල ඉවතට ගත්තා. එකපාරට ම මගේ ඇඟට පැන්නේ ගෙම්බෙක්. එහිදි ඇතිවුණු බිය නිසා මගේ කටෙන් එකපාරට ම ‘ජුක්... ජුක්...’ කියලා වචනයක් පිට වුණා. ඉන් විනාඩි විස්සකට විතර පස්සෙයි මට ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ යම් කොටසක් පටිගත කරන්න තිබුණේ. මගේ කාමරයේ ඉඳන් ස්ටුඩියෝ එකට යම් දුරක් තිබෙනවා. මේ දුර ඇවිදින ගමන් මා කියෙව්වෙත් ඔය වචනයමයි. ස්ටුඩියෝ එකට ආවට පස්සේ එක් කෙනෙකු බෙරයක් වාදනය කරමින් සිටියා. ඒ තාලයට මා අර වචනය ගායනා කළා. ඒ අතර එකපාරට ම මගේ කටෙන් එළියට පැන්නේ ‘ජුක්... ජුජුක් ජුක්...’ කියන තාලයයි. මා මේ හඬ පටිගත කළා. ඒ ඇසුව ඉන්දික පැවසුවේ මේ වචනවලට අපි ගුම්..ගුගුම් ...ගුම් කියලා දමමු කියලයි. මේ නිර්මාණයේ මුල් අවස්ථාවේ සංගීතය නිර්මාණය වුණේ ඒ වගේ ස්වාභාවික නාද රටා සමූහයක් මඟින්.