වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මම කැමතිම නළුවා මහේන්ද්‍ර අංකල් නිළියක් නම් නෑ

මම කැමතිම නළුවා මහේන්ද්‍ර අංකල් නිළියක් නම් නෑ

සරසවිය කුසලතා සම්මාන දිනූ ප්‍රවීන් කටුකිතුල

වෘත්තිය විදියට රංගනයට දායක වෙන්න අදහසක් නම් නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව උසස් පෙළ කලා අංශයෙන් හදාරලා නීතිඥවරයෙක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව. රංගන කටයුතුවලටත් හැකි පමණික් දායක වෙනවා.

33 වැනි සරසවිය සම්මාන උලෙළේදී ළමා පරපුරේ රංගන තරු කිහිප දෙනෙකුත් සම්මානයෙන් අභිසෙස් ලැබුවා. ඒ අතරේ ප්‍රවීන් කටුකිතුල ළමා රංගන ශිල්පියකු ලෙසින් සරසවිය කුසලතා සම්මානයකින් පිදුම් ලැබුවා. ප්‍රවීන්ට මේ සම්මානය පිරිනැමුණේ, ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටයේ සිරිමල්ගේ චරිතය නිරූපණය වෙනුවෙන්. 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය යනු මවක් පියෙක් නැති, ජීවත් වෙන්න හරිහමන් තැනක් නැති, කෑමට හරියට යමක් නැති, අඳීන්න හොඳ ඇඳුම් නැති සමාජයේ අප අතරම ජීවත් වෙන මිනිසුන් පිරිසක් ගැන කියන කතාවක්. එහි සිරිමල් යනු තැන තැන ඇවිදින තවත් වීදි දරුවෙකි.

බොහොම සුව පහසු ජීවිතයක් ගත කරන ප්‍රවීන්ට හිඟන ජීවිතයක් ගත කරන සිරිමල්ව දැනුණේ කොහොමද?

ඇත්තටම ඒක ටිකක් අමාරු චරිතයත් තමයි. මොකද අපේ සාමාන්‍ය ජීවිතයේ චරිතයක් වගේ නෙවෙයිනේ. ඇඳුම්, කතා බව වගේම ජීවත් වෙන තැන ආදි හැම දේම වෙනස්. ඒක කටුක ජීවිතයක්. මාස කිහිපයක් යනකල් අපි හැමෝම ඒ කටුකබවට හුරු වෙලා හිටියා. හැබැයි අපි හැමෝම ඉන්න තැන තිබුණේ පුදුම විනෝදයක්. ඒ විතරක් නෙවෙයි හොරකම් කරන්නත් තිබුණානේ.

එහෙනම් හොරකම් කරන්නත් පුරුදු වෙන්න ඇති?

වීදි දරුවන් ගැන හොයලා බැලුවා. අපට පාරට ගියාම ඕනෑ තරම් වීදි දරුවන් මුණ ගැසෙනවා. අන්තර්ජාලයෙනුත් මම ටිකක් විපරම් කරලා බැලුවා. ඒත් ඉතින් ඔවුන් ‍අපට පේන්න කවදාවත් හොරකම් කරන්නේ නැහැනේ. හොරකම් කරන එක නම් මම'ම හිතලා කළා.

සිරිමල්ගේ චරිතය නිසා සරසවිය සම්මානයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒක ඇත්තටම ලොකු සතුටක්. මට සම්මානයක් ලැබුණේ මම ඒ චරිතය හොඳීන් නිරූපණය කළ නිසානේ. සරසවිය සම්මානය වගේම සිග්නීස් සම්මාන උලෙළේදීත් 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටයේ සිරිමල්ගේ චරිතය වෙනුවෙන් කුසලතා සම්මානයක් ලැබුණා.

ප්‍රවීන් මුලින්ම කලා කටයුතුවලට දායක වුණේ කොහොමද?

ඉස්කෝලේ කලා කටයුතු හැරුණාම මට මුලින්ම දායක වෙන්න අවස්ථාව ලැබුණේ සිරස ටීවී එකේ 'පුංචි පැංචි' වැඩසටහනටයි. ඒ වැඩසටහනට මම දායක වුණේ හරිම ආසාවෙන්. 'පුංචි පැංචි' වැඩසටහනේ මම අවුරුදු දෙකක්ම සීයාගේ චරිතය කළා.

එතකොට 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබුණේ කොහොමද?

ජැක්සන් ඇන්තනි අංකල්ගේ ලොකු පුතා අඛිල දනුද්ධර අයියා තමයි 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටයේ සිරිමල්ගේ චරිතයට මම ගැලපෙන බව ජැක්සන් අංකල්ට කියලා තිබුණේ. ඊට පස්සේ තමයි ජැක්සන් අංකල් කතා කරලා මට සිරිමල්ගේ චරිතය දුන්නේ. ඒ වගේම චරිතය ගැන විස්තර කරලා මට රඟපාන්න ආශිර්වාද කළා. ජැක්සන් අංකල් දර්ශන තලයේදී කවදාවත් සැර කරලා නැහැ. 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය පුරාවට අංකල් මට ගොඩක් වටිනා උපදෙස් ගොඩක් දුන්නා. ඒ උපදෙස් ඉදිරි රංගන ගමනටක් ලොකු අත්වැලක්.

මීට කලින් දායක වුණු නිර්මාණ මොනවාද?

ආචාර්ය සෝමරත්න දිසානායක අංකල් අධ්‍යක්ෂණය කළ 'සිරි පැරකුම්' චිත්‍රපටයේ කම්මලේ ගෙදර පුතාගේ චරිතයත් නුවන් ජයතිලක අංකල් අධ්‍යක්ෂණය කළ 'සුළඟ අප රැගෙන යාවි' චිත්‍රපටයේ කසුන් නම් ප්‍රධාන චරිතය කළේ මම. 'ගැමුණු මහරජ' ටෙලි නාට්‍යයේ කුඩා ගණිත්තාගේ පුත්‍රයාගේ චරිතය සහ 'දස්කොන්' ටෙලි නාට්‍යයේ හින්නි බණ්ඩාර චරිතය වගේම 'අත්තම්මා' ටෙලි නාට්‍යයේ තුෂාරගේ චරිතයත්, 'අසෙනි ඡායා' හි සිරිමල්ගේ චරිතයත් ඇතුළුව 'සංසාරේ පිය සටහන්' ටෙලි නාට්‍ය මාලාවේ චරිත කිහිපයක්ම නිරූපණය කළා.

ඒ වගේම විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අයියලා අක්කලාගේ කෙටි චිත්‍රපට නිර්මාණවලටත් රංගනයෙන් දායක වෙනවා. ඒවාට නම් කවදාවත් මුදල් අරගෙන නැහැ.

කැමැතිම නළුවා සහ නිළිය කවුද?

මහේන්ද්‍ර පෙරේරා අංකල් තමයි මගේ ප්‍රියතම නළුවා. නිළියක් නම් නැහැ. 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටයේ දී මහේන්ද්‍ර අංකල් එක්ක රඟපාන්න ලැබීම ගැන සතුටුයි. ඒවගේම ඔහු රංගනයේදී දුන් උපදෙස් මට ගොඩක් වටිනවා.

ප්‍රවීන් ඉගෙන ගන්නා ඉස්කෝලේ ගැනත් කියමු?

මම ඉගෙනුම ලබන්නේ මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ දහය වසරේ. ප්‍රාථමික අංශයේදී ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හෙබවූවා. නිවේදන කටයුතුවලට දායක වෙනවා. දැන් මේ සාකච්ඡාව ඉවර වෙලා ඉස්කෝලේ ක්‍රිකට් තරගයේ නිවේදන කටයුත්තට දායක වෙන්න තියෙනවා.

ගිය අවුරුද්දේ පන්තියේ කී වැනියාද?

මම හිමි වුණේ තුන්වැනි ස්ථානය.

රංගන කටයුතුවලට ඉස්කෝලෙන් තහංචි වැටුනේ නැතිද?

අධ්‍යාපන කටයුතු අතරේ රංගනය වෙනුවෙන් දායකවීමේදී විදුහල්පතිතුමා ඇතුළු ගුරු මව්වරුන් පියවරුන් ගෙන් ලද සහාය නම් අප්‍රමාණයි. චිත්‍රපටය වෙනුවෙන් මට තරමක් කොණ්ඩය වවාගෙන ඉන්නත් සිදු වුණා. මම ඉස්කෝලේ නිවේදන කටයුතුවලටත් දායක වෙන නිසා ඒ හැම අවස්ථාවකදීම විදුහල්පතිතුමාගේ කතාව තුළ මා හඳුන්වා කොණ්ඩය වවන්න හේතුවත් කියවුණා. පන්ති භාර ගුරුතුමිය වගේම විෂය භාර ගුරු මව්වරුන් පියවරුන් කළේ විශාල උපකාරයක්. මට අතපසු වුණු ඇතැම් පාඩම් ඔවුන් නැවතත් මා වෙනුවෙන් කියා දුන්නා.

දැන් සාමාන්‍ය පෙළ විභාගයටත් සූදානම් වෙනවා ඇති?

විශේෂ විදියට නම් සූදානමක් නැහැ. සාමාන්‍ය විදියට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. තවම දහය වසරේ නිසා බරපතල විදියට හිතන්නේ නැහැ. හැබැයි මම මෙගා නාට්‍යවලට නම් දායක වෙන්නේ නැහැ. මේ අවුරුද්ද ඇතුළත තව එක චිත්‍රපටයකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රවීන්ගේ පවුලේ විස්තරත් කියමු?

මගේ තාත්තා ප්‍රදීප් කටුකිතුල. අම්මා සුදර්ශනී කටුකිතුල. මල්ලි සුදම් කටුකිතුල. තාත්තයි අම්මායි නිතරම මට කියන්නේ අධ්‍යාපන කටයුතු සමඟින් රංගන කටයුතු සමබරව කරගෙන යන්න කියලායි මල්ලිත් දැන් රංගනයට යොමු වෙලා ඉන්නේ. 'සුළඟ අප රැගෙන යාවි' චිත්‍රපටයේදී මල්ලිත් මාත් එක්ක රඟපෑවා. උදයකාන්න වර්ණසූරිය අංකල්ගේ 'මධුර චාරිකා' චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිතයට පණ පොවන්නේ මගේ මල්ලි.

ඉදිරියේදී ප්‍රවීන්ගේ අලුත්ම රංගනයන් දකින්න ලැබෙන නිර්මාණ තියෙනවාද?

සුමිත් රෝහණ අංකල්ගේ පුංචි අන්දරේ චිත්‍රපටය ඇතුළුව ඉදිරියේදී මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට තුනක් විතර තිරගත වෙන්න තියෙනවා.

ප්‍රවීන්ගේ බලාපොරොත්තුව දිගටම රංගනයේ නිරත වෙන්නද?

වෘත්තිය විදියට රංගනයට දායක වෙන්න අදහසක් නම් නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව උසස් පෙළ කලා අංශයෙන් හදාරලා නීතිඥවරයෙක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව. රංගන කටයුතුවලටත් හැකි පමණික් දායක වෙනවා.

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න ආසා නැතිද?

මම දැනටමත් අධ්‍යක්ෂවරයෙක්. පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මඟින් පැවැත්වූ කෙටි චිත්‍රපට තරගාවලියේ සමස්තලංකා තෙවන ස්ථානය මට හිමි වුණා. ඒ කෙටි චිත්‍රපටයේ නම Switch Off.

ප්‍රවීන්ට තවත් විශේෂ යමක් කියන්නත් ඇති?

මගේ අම්මා, තාත්තා ඇතුළුව මට මේ තැනට එන්න නන් අයුරින් සහයෝගය දැක්වූ හැමෝටම මේ සම්මානය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.