වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

ඔය අවුරුදු දෙක නිකම්ම ගෙවිලා යයි

සැපට හැදුණු තම එකම පුතා හීනෙකින්වත් දුකක් විඳීනවා දකින්නට අම්මාගෙත් කිසිම කැමැත්තක් නැත. ඕනෑම දෙමව්පියෙකු එසේ ය. ඔවුන් උපන් දා සිට ආදරෙන් සෙනෙහසින් දරුවන් හදන්නේත්, රැකබලා ගන්නේත් කෙදිනක හෝ තමන්ගෙන් ඉවත්ව ගියත්, ඕනෑ කරන්නේ දරුවන් සතුටින් සිටින අයුරු දකිමින් සතුටින් මිය යන්නටය. සන්දේශ්ගේ දෙමව්පියන්ට තිබුණේ මිහිරි පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට සිටින පෙම්වතුන් යුවළකි. මිහිරට ‘ඩවුන් සින්ඩ්‍රොම්’ නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙළෙන සොහොයුරෙකු සිටී. ඔහුගේ දඩබ්බර ක්‍රියාකාරකම් දකින සන්දේශ්ගේ දෙමවුපියෝ ඔවුන්ගේ විවාහයට එතරම් කැමැත්තක් නොදක්වති. එහෙත් සන්දේශ් දෙමවුපියන්ගේ කැමැත්ත නොසලකා ඇය හා විවාහ වීමට තීරණය කරයි. දිනක් සන්දේශ් මිහිරි හමුවීමට ගොස් ඒ බව සැලකර සිටියි. එහෙත් ඔහුගේ දෙමවුපියන්ගේ අකැමැත්ත ඇයගේ සිතට වදයකි.

“පසුගිය කාලේ ඔයා මාගේ ජීවිතයට ඇතුල් වෙලා ඔයා මාව ගොඩක් සංතෝෂෙන් තිබ්බා සන්දේශ්. ඒකට ඔයාට ගොඩක් පිං. ආයෙත් ඔයා මගෙන් ඈත් වුණොත් මට ලොකු දුකක් දැනේවි. ඒ දුක නැතිකර ගන්නත් මට සෑහෙන කාලයක් යයි.

“මං ඔයාගෙන් ඈත් වෙන්න යන්නේ නෑනේ. ඔයානේ මගෙන් ඈත්වෙන්න හදන්නේ.

“ආයෙත් ප්‍රශ්නේ මුලට එන එකේ තේරුමක් නෑ සන්දේශ්.

මිහිරිගේ දඩබ්බර සිතුවිලි සමඟ ගැටෙන්නට ඕනෑකමක් සන්දේශ්ට නොසිතෙයි. තමන් කියා තව කොතෙක් ඇයව අස්වසන්නද?

(අද එතැන් සිට)

* * *

මිහිරිගේ වෙනස් හැසිරීම, වරින් වර සන්දේශ්ගේ සිතට ගෙන දුන්නේ කිසියම් බරකි. කාර්යාලයීය කටයුත්තකදී මෙන්ම සැහැල්ලුවෙන් සිටින්නට උත්සාහ දරණ අවස්ථාවලදී පවා තම ආබාධිත සොහොයුරා ඇසුරෙන් මිහිරි තුළ පැන නැගී ඇති මෙම ව්‍යාකූල තත්ත්වය, සන්දේශ්ගේ සිත තදින් කළඹයි. කෙදිනක හෝ මිහිරි විවාහ කරගෙන ඇයට දයාබර සැමියෙකු වී, දරුවෙකු දෙදෙනෙකු හදාගෙන, සුවබර පවුල් දිවියක් ගෙවන්නට තමා තුළ තිබූ ඒ සුන්දර සිහිනය බොඳ වී යන සෙයක් පිළිබඳ කිසියම් බියක් ද සන්දේශ්ට දැනෙමින් තිබිණ.

"එයා මල්ලිව කොහේවත් නවත්තන්න කැමැත්තකුත් නැත්තං, මල්ලිගෙ ප්‍රශ්නෙත් තියාගෙන ඔය මිහිරිව කසාද බඳීනවට අපේ කැමැත්තක් නැති විත්තිය විතරක් හිතේ තියාගෙන ඔයා ඕන තීරණයක් ගන්න. මට කියන්න තියෙන්නෙ එච්චරයි"

මිහිරි පිළිබඳව ඒ තාත්තාගේ අවසාන වදන් ය.

"ඒ වගේ වයසකට කරන හුරතල් වැඩ නෙවිනෙ පුතේ ඒවා. එදා ඒ පැයේදි ඒ දරුවා කරපු දේවල් දැකලා අපි වුණත් හිතෙන් මොන තරම් දුකක් වින්දද? දැන් හිත තද කරගෙන මොනව හිතුවත් පුතාටත් මුළු ජීවිත කාලෙම ඒ දරුවගෙ අසනීපයත් එක්කම, මිහිරිත් එක්ක ඒ දුක විඳීන්න වෙයි"

සැපට හැදුණු තම එකම පුතා හීනෙකින්වත් දුකක් විඳීනවා දකින්නට අම්මාගෙත් කිසිම කැමැත්තක් නැත. ඕනෑම දෙමව්පියෙකු එසේ ය. ඔවුන් උපන් දා සිට ආදරෙන් සෙනෙහසින් දරුවන් හදන්නේත්, රැකබලා ගන්නේත් කෙදිනක හෝ තමන්ගෙන් ඉවත්ව ගියත්, ඕනෑ කරන්නේ දරුවන් සතුටින් සිටින අයුරු දකිමින් සතුටින් මිය යන්නටය. සන්දේශ්ගේ දෙමව්පියන්ට තිබුණේ මිහිරි පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඔවුන් තුළ තිබුණේ ලේලියක ලෙසින් නොව තමන්ගේම දියණියක ලෙස වුව ද ඇයට පිළිගන්නට තරම් දැඩි ස්නේහයකි. ආබාධිත සොහොයුරා පිළිබඳ ප්‍රශ්නය ඔවුන් කෙසේවත් බලාපොරොත්තු නොවූවකි. තමන්ට තම එකම පුතා මෙන් ම තම එකම අසරණ සොහොයුරා පිළිබඳව ඇයගේ ආදරයත් එසේමය.

සිත ව්‍යාකූල තත්ත්වයෙන් මුදා ගන්නට සන්දේශ් කොතෙක් උත්සාහ කළත් එය පහසු වූයේ නැත. ඔහු රාත්‍රී දහයට පමණ දුරකතනයෙන් නැවත වරක් මිහිරිව අමතන්නට උත්සාහ කළත් ඇය එයට පිළිතුරු දුන්නේ නැත. ඉන් විනාඩි කිහිපයකට පසු ඔහුගේ දුරකතනයට "good night" යනුවෙන් කෙටි පණිවුඩයක් ලැබිණ.

බර යන්ත්‍රෝපකරණ හා ගමන් සේවා පිළිබඳ සන්දේශ්ගේ පියා සතුව ඇති වෙළෙඳ ව්‍යාපාරයේ එකම උරුමක්කාරයා වූයේ සන්දේශ්ය. තවත් සුළු කලකින් සියළු පරිපාලන කටයුතු සන්දේශ්ට බාර කොට, තම ජීවිතයේ සැදෑසමය විවේක සුවයෙන් ගත කිරීමට සන්දේශ්ගේ පියා හිත හදාගෙන තිබුණි. පුතා මිහිරි සමඟ සිදුවන යහපත් පවුල් ජීවිතය පිළිබඳවත් ඔහු සිටියේ ඉතාමත් ප්‍රබෝධමත් සිතකිනි. එහෙත් ඇයගේ සොහොයුරා සමඟ එක්වරම පැන නැගුණු ප්‍රශ්නය, පියාගේත් සිත කිසියම් සසල කිරීමකට පත් කරනු ලැබීය.

කලකට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඇති ව්‍යාපාර කළමනාකරණ ආයතනයක සන්දේශ් දැනුවත්ව පියා යැව් ඉල්ලුම්පතකට එම ආයතනයෙන් පිළිතුරු ලිපියක් ලැබිණ. ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සඳහා යොමු කර තිබූ එම ඉල්ලුම්පත පිළිගත් බවත්, ඒ සඳහා එම කළමනාකරණ ආයතනයට පැමිණ ඊට සහභාගී වන ලෙසත් එම ලිපියෙන් දන්වා තිබිණ.

"අළුත් මෙතඩ්ස් එක්ක අපි නොදන්න ගොඩක් දේවල් දැන් මේ බිස්නස් ඇතුළෙ තියෙනව. ඒවා ගැනත් දැනගෙන ආවම ඒක ඔයාගෙ ඉස්සරහ වැඩවලටත් ලොකු හයියක් වෙයි. අද බිස්නස් කියන්නෙ තනිකරම තරගයක්"

විදේශීය ආයතනයෙන් ලැබුණු කැඳවීම පිළිබඳව පියා සන්දේශ් සමඟ කතා කළේ ඉමහත් සතුටකිනි.

"මෙහේ හිටියත් ඔය අවුරුදු දෙක නිකම්ම ගෙවිල යයි. මේ දවස්වල ඔයාගෙ ඔය ඔළුවෙ තියෙන ප්‍රශ්නවලින් ටිකක් නිදහස් වෙලා ඉන්නත් එක්ක ඔය ගමන හොඳයි"

ලැබුණු අවස්ථාව ඔස්සේ පියා ඊට තවත් කොනක් ගැට ගසා ඇති බැව් තේරුම් ගැනීමට සන්දේශ්ට අපහසු වූයේ නැත. එහෙත් දෙමව්පියන්ගේ ආශිර්වාදය හා එරංගගේ ප්‍රශ්නය වඩාත් සිතට නොගනිමින් මිහිරි හා ලබැඳී වන්නට උත්සාහ ගත්තත් ඇය ඉතා සියුම් අයුරකින් තමා මග හරිමින් සිටින බව සන්දේශ්ට තේරුම් ගොස් තිබිණ. ඇය සමඟ තම සිත තවදුරටත් පොර බැඳීමක් සිදු කරනවාද නැත්තම් සියළු දේ කලකට අමතක කොට වෙනත් තීරණයකට එළඹෙනවාද යන දෙගිඩියාවක ටික දිනක් ඔහු ගත කළේය.

* * *

"බිස්නස් මැනේජ්මන්ට් ඩිග්රි එකක්. මාත් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට යන්න වෙයි කියල, තාත්තගෙ නං ඕනකම තියෙන්නෙ මෙහේ බිස්නස් ඉක්මනට මට බාර දෙන්න. ඒ වුණාට මං ආසයි තව ටිකක් ඉගෙන ගන්න"

මෙසේ මුණ ගැසීමක් සඳහා සන්දේශ් මිහිරිව අල්ලා ගත්තේත් සෑහෙන උත්සාහයකට පසුවය. සිත් තැවීම් නොසිතූ හා ඇයට ඒ ගැන කිසිදු සඳහනක් නොකළ ඔහු, පෙර පරිදිම ලෙන්ගතුව ඇය සමඟ කතා බහේ යෙදුණේය.

"කවද්ද යන්න තියෙන්නෙ? "

සුහදබව රැඳුනත් වෙනදා මිහිරිගේ කටහඬෙහි තිබූ සැහැල්ලුබව තරමක් වියැකී තිබුණි.

"අනිද්ද හවස"

"ඔක්කොම ලෑස්තිද? "

"තාම හරියට නෑ. ගෙනියන්න බඩු වගයක් ගන්නත් තියෙනවා"

"ඕස්ට්‍රේලියාවෙ කොහෙද? "

"සිඩ්නිවල"

"මං අහල තියෙන විදිහට සිඩ්නි හරි ලස්සන නගරයක්ලු. දේශගුණයත් මෙහේ වගේලු"

සන්දේශ් මිහිරි මෙලෙස කතා බහ කරමින් සිටියේ නිහඬ වටපිටාවක තිබෙන සුන්දර කුඩා අවන්හලයකය. මෙය රසවත් කෝපි සඳහා ප්‍රසිද්ධියක් උසුලන තැනකි. සන්දේශ් කෝපි කෝප්පයක රස බලමින් සිටියේත් සෑහෙන කාලයකට පසුවය.

"....දවසක් ඇමෙරිකන්කාරයෙකුයි රුසියන්කාරයෙකුයි ලංකාවෙ මිනිහෙකුයි ප්ලේන් එකකට නැග්ගලු ගමනක් යන්න..... මේ තුන්දෙනා වාඩිවෙලා හිටියෙත් එක ළඟමලු.... ඉතින් ටික දුරක් යනකොට..... "

සන්දේශ් සුපුරුදු ලෙසින් විහිළු කතාවකට මුල පිරුවේය. මිහිරි ඔහුගේ මඳ සිනා රැඳී දෙතොල් සහිත මුහුණ දෙස බලා සිටින්නට වූයේ හැඟුම්බර සිතකිනි. අවුරුද්දක පමණ කාලයක් තිස්සේ තම සිතට නැවුම් සතුටක් එක්කළ, එය ප්‍රේමයේ සෙනෙහසින් පිර වූ ඔහු සතු මේ සියළු දේ එක්වරම කෙසේ අමතක කරන්නද? වරෙක අපේ සිත අසීමිත වින්දනයකටත්, තවත් වරෙක මහා වේදනාවකටත් පත් කරවන මේ චෛතසිකයින් ජීවිතය ලැබූ දා සිට, අපට උරුම වූ දේ නොවේද? කෙදිනක හෝ මුළු ජීවිතයම හැර දා යන අප, ඊට පෙර තවත් කොයි තරම් දේවල් හැර යන්නේද? හොඳ නරක මෙන්ම සතුට හා දුකත් මේ ලෝක ස්වභාවයේම පොදු ධර්මතාවයන් ය.