වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක්ට විචාරක දෝස්මුරයක්

ෂාරුක්ට විචාරක දෝස්මුරයක්

පසුගිය වසරේදී බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් රඟන චිත්‍රපට ද්විත්වයක් බොලිවුඩ් රසික රසිකාවන්ට නරඹන්නට අවස්ථාව ලැබුණා. Fan සහ Dear Zindagi නම් වූ එම චිත්‍රපටවලින් පසු මේ වසරේ ඔහුගේ දායකත්වය ලද පළමු වැනි චිත්‍රපටය වූයේ Raees. එය පසුගිය ජනවාරි 25 වැනිදා ලොවපුරා තිරගත කිරීම ආරම්භ කළා.

නමුත් මෙවර ශාරුක්හට ජනප්‍රිය නළු රිතික් රෝෂන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වුණා. ඒ ඔහු රඟන Kaabil  චිත්‍රපටයද ජනවාරි 25 වැනිදා තිරගත කිරීම ආරම්භ කිරීමෙන්. කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට වාණිජ මට්ටමෙන් ප්‍රථම දිනයේ ඉදිරියට පැමිණෙන්න සමත් වුණේ Raees ඒ ප්‍රථම දිනයේ ඉන්දීය රුපියල් කෝටි 20.42ක ආදායමක් ලබමින්. Kaabil  චිත්‍රපටය ප්‍රථම දිනයේ ආදායම ලෙස වාර්තා කළේ ඉන්දීය රුපියල් කෝටි 10.43ක්.

Raees යනු 1980ත් 1990ත් අතර කාල වකවානුවේදී ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ විසූ පුද්ගලයකු පිළිබඳ කතාවකි. සාමාන්‍ය පුද්ගලයකු ලෙස ජීවිතය අරඹන රාඊස් සිය පුද්ගල සම්බන්ධතා සහ නීතිවිරෝධි නමුත් සාර්ථක ව්‍යාපාර කටයුතු නිසා කෙටි කාලයක් තුළ විශාල දියුණුවක් ලබන තැනැත්තෙකි. සැබැවින්ම අපරාධකාරයකු, මැරවරයකු වන නමුත් රාඊස් හදවතින් සංවේදී පුද්ගලයකි. දැඩි අධිෂ්ඨානයත් කැපවීමත් පිළිබිඹු කරන චරිතයක් වන ඔහු ගුජරාටි ප්‍රාන්තයේ ජනප්‍රියම මෙන්ම බලවත්ම පුද්ගලයා බවට පත් වෙන්නේ ද කෙටි කලෙකිනි. රාඊස්ගේ කඩාවැටීම ඇරඹෙන්නේ අපරාධකරුවන්ට සමාව නොදෙන පොලිස් නිලධාරියකු වන මජුම්දාරි සමඟින් ඝට්ටනය පටන්ගත් දා සිටය.

රාහුල් දොලාකියාගේ අධ්‍යක්ෂණයක් වන Raees රිතේෂ් සිධ්වානි, ෆර්හාන් අක්තාර් සහ ගෞරි ඛාන්ගේ නිෂ්පාදනයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශාරුක් සමඟින් මහිරා ඛාන් සහ නවසුදීන් සිද්දික් ය. ආදායම් වාර්තා අතින් සාර්ථක වුවද චිත්‍රපට විචාරකයන්ගෙන් නම් Raees වෙත දක්වා තිබෙන්නේ සෘණ ප්‍රතිචාරයන්.

ඔවුන් පවසන්නේ ශාරුක්ගේ මෙම චරිතය බොහෝ චිත්‍රපටවල දැක ඇති ඉතාම සුලබ චරිතයක් බවයි. කෙසේ නමුත් නවසුදීන් සිද්දික්ගේ රංගනයත් චරිතයත් ඔවුන්ගේ පැසසුමට ලක් වී ඇත.

ගත වූ වසර කිහිපය තුළ ශාරුක්ගේ චිත්‍රපට අතිසාර්ථකව තිරගත කෙරිණි.Jab Tak Hai Jaan, Chennai Express, Happy New Year, Dilwale වැනි චිත්‍රපට ඒ අතර විය. නමුත් ජ්චද චිත්‍රපටයට ද එවැනි ඉහළ සාර්ථකත්වයට ළඟාවීමට නොහැකි වූ බව විචාරක අදහසයි. එපමණක් නොව මෑත කාලයේදී ශාරුක්ගේ චිත්‍රපට ජනප්‍රිය වූයේ චිත්‍රපටවල හොඳකමට වඩා ඔහු වටා සිටින අතිමහත් ප්‍රේක්ෂක සංඛ්‍යාව නිසා බවත් ඇතැමුන්ගේ අදහස විය.

ෂාරුක් විසින් තම සිනමා ශෛලය වෙනස් නොකරගත හොත් ඉදිරියේදී ඔහුට සිදුවණුයේ රතු මිරිස් කකා ජීවත් වන්නටය. (Red Chillies රතු මිරිස් යනු ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට සිනමා සමාගමේ නමයි.)

Raees නිර්මාණයේදී ද විවිධාකාර ගැටුම්කාරී තත්ත්වයන්ට මැදි වූ චිත්‍රපටයක් බවට පත් විය. එහි රූගත කිරීම් සඳහා අහ්මදාබාද්හි පල්ලියක් තෝරා ගැනීම නිසා වරෙක ප්‍රශ්න මතු විය. තවද අබ්දුල්ලා නම් මැරවරයකු ලෙස චෝදනා ලැබ සිටින පුද්ගලයකුගේ පුත්‍රයකු විසින් සිය පියාගේ ජීවිත කතාව අලළා චිත්‍රපටයක් නිර්මාණය වූයේ මන්ද යන්නත් ප්‍රශ්නකර ඇති බවත් වාර්තා වේ.

තවද මෙහි පකිස්තානු නිළියක රඟදක්වන බැවින් ඇය ප්‍රසිද්ධියේ ත්‍රස්තවාදයට විරුද්ධ බව ප්‍රකාශ නොකිරීම නිසා චිත්‍රපටය තහනම් කරන ලෙස බලකිරීම්ද සිදු විය. මෙයින් ගැලවීමට නිෂ්පාදකවරුන් යෙදූ උපක්‍රමයක් වූයේ, මින් පසු පකිස්තාන නළු, නිළියන් තම චිත්‍රපටවලට දායක කර නොගන්නා බවට පොරොන්දුවීමට අමතරව ඉන්දීය රුපියල් කෝටි 5ක් ඉන්දීය හමුදාවේ සුබ සාධනය උදෙසා පරිත්‍යාග කිරීමට පොරොන්දුවීමය. කෙසේ නමුත් ඉන්දීය හමුදාව විසින් එය ප්‍රතික්ෂේප කරන ලද්දේ තම කැපවීම් දේශපාලනීකරණය නොකළ යුතුය යන අදහසිනි.