වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




VIEWFINDER

VIEWFINDER

බ්‍රිතාන්‍ය නළු ජෝන් හර්ට් සමුගනී

බ්‍රිතාන්‍ය ජාතික ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පී ශ්‍රීමත් ජෝන් හර්ට් පසුගියදා සිය ජීවන රඟමඬලින් සමු ගත්තා. පසුගිය ජනවාරි 25 වැනිදා ඔහු මිය යන විට 77 වැනි උපන්දිනය සමරා ගත වී තිබුණේ දින තුනකි. 1962 වසරේදී The Wild and the Willing  චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහුට  The Elephant Man ,Alien Ç චිත්‍රපට වල රංගනය සමඟින් ඉහළ ප්‍රසිද්ධියක් හිමි වුණි.

Indiana Jones and the Kingdom of the Crystal Skull (2008), Harry Potter චිත්‍රපට මාලාව මෙන්ම V for Vendetta, The Skeleton Key, Tinker Tailor Soldier Spy  ඇතුළු චිත්‍රපට රැසකට ජෝන් හර්ට්ගේ රංගන දායකත්වය ලැබුණි. රංගනයෙන් පමණක් නොව ඔහුගේ හඬ බ්‍රිතාන්‍යයේ මෙන්ම හොලිවුඩයේ ද සුවිශේෂ විය.

Watership Down, 1978 වසරේ තිරගත වූ The Lord of the Rings, The Black Cauldron  මෙන්ම මෙරට ජනප්‍රිය වූ බ්‍රිතාන්‍ය කතා මාලාවක් වූ Merlinහි මකරාගේ චරිතයට හඬ ලබා දුන්නේද ඔහු විසිනි. 2015 වසරේදී තමා අගන්‍යාශයික පිළිකාවකින් පීඩා විඳීන බව ඔහු විසින් ප්‍රකාශයට පත් කළ අතර කලාව වෙනුවෙන් ඔහුගේ සේවය අගය බ්‍රිතාන්‍ය මහරැජන විසින් නයිට් පදවියක් පිරි නැමූයේද එම වසරේදීමය. දෙවරක් ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ ලද ශ්‍රීමත් ජෝන් හර්ට් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සහ ජාවජීව සම්මානයද ඇතුළුව බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන හතරකින් පිදුම් ලබා ඇත.


රේඛාව හැට සමරයි...

අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ රේඛාව සිනමාපටයට වසර හැටක් සපිරීම නිමිති කර ගනිමින් ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. මෙහිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. ඩී. රන්ජිත් කුමාර විසින් රචිත හැට වසරක රිදී රේඛාව ග්‍රන්ථයත්, අජිත් ගලප්පත්ති විසින් රචිත පනස් හයේ රේඛාව නමැති ග්‍රන්ථයත් එළිදක්වන ලදී.


ආදර දඩයම වැඩ ඇරඹේ

ජනක මල්ලිමාරච්චි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ආදර දඩයම ටෙලි සිතුවමේ මුහුරත් උලෙළදා ගත් සේයාරූ කිහිපයකි මේ. එය ආචාර්ය ජගත් විජේනායකගේ නිෂ්පාදනයක් වන අතර බුද්ධිනී ජයවර්ධනගේ රූපවාහිනී රචනයකි.


Amour නිළියගේ සමුගැනීම

ප්‍රංශ ජාතික නිළි එමානුඓල් රිවා සිය දිවියෙන් සමු ගත්තේ පසුගිය ජනවාරි 27 වැනිදාය. වසර 89ක් ආයු වළඳා ඇය ජීවිතයෙන් සමු ගත්තේ, පිළිකාවක් හේතුවෙනි. 1927 පෙබරවාරි 24 වැනිදා ප්‍රංශයේදී උපත ලද ඇය, 1959 වසරේදී තිරගත වූ Hiroshima mon amour  චිත්‍රපටය සහ 2012 වසරේ තිරගත වූ Amour චිත්‍රපටය සමඟින් ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවාය.

Amour චිත්‍රපටයේ රංගන වෙනුවෙන් ඇය ඇකඩමි සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙසින් නිර්දේශ වූ අතර එම නිර්දේශය ලද වයස්ගතම නිළිය වන්නේ ඇය යි. එවකට ඇයගේ වයස අවුරුදු 85ක් විය. එම රංගනය වෙනුවෙන් එමානුඓල් රිවා බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මානය ඇතුළුව ලොව ජනප්‍රිය තවත් සිනමා සම්මාන උලෙළල රැසකදී හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබීය.

Adua and Friends, The Hours of Love, The Eyes, the Mouth, Médée, A Man and His Dog  ඇයගේ රංගන දායකත්වය ලද චිත්‍රපට කිහිපයකි.

නිළියක පමණක් නොව කිවිඳීයක මෙන්ම ඡායාරූප ශිල්පිනියකද වන රිවා, Hiroshima mon amour  චිත්‍රපටය රූගත කළ අතරතුරදී ගත් ඡායාරූප ඊට පනස් වසරකට පසු ජපානයේ නිකෝන් සැලූන් හිදි ප්‍රදර්ශනය කෙරිණි. මේ වසරේදී ඇය රංගනයෙන් දායක වූ Lost in Paris  චිත්‍රපටය තිරගතවීමට නියමිතය. - යතේජා