වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




අඹ පේර විකුණන, මාතර බස් මඟ හරවන කොන්දොස්තර

අඹ පේර විකුණන, මාතර බස් මඟ හරවන කොන්දොස්තර

චම්පික පි‍්‍රයදර්ශන

මා රඟපාන්නේ දීර්ඝ ටෙලි නාට්‍යයක් ද, නැත්නම් කොටස් වශයෙන් යන සති අන්ත නිර්මාණයක් ද කියන කාරණය මට වැදගත් නැහැ. මට වැදගත් වන්නේ රඟපෑමට ලැබෙන චරිතයයි. අනෙක් කාරණය දීර්ඝ නාට්‍ය කියන්නේත් නාට්‍යවලට තමයි. එහෙත් එය කරගෙන යන විදියයි වැදගත් වන්නේ. එහි එක් රූපරාමුවක් ගැනීම සඳහා යොදන කාලය පිළිබඳයි වැදගත් වන්නේ.

අනුරාධපුරයෙන් කොළොම්පුරවරයට පිවිසුණු චම්පික ප්‍රියදර්ශන බොහෝදෙනා හඳුනන්නේ “අඹ.... පේරේ.....” කියන වෙළෙඳ දැන්වීමේන්. ඉන් පස්සේ බස්එකේ යන නැඟණියකට ගාල්ල නැවතුමෙන් බහින්න යැයි පැවසීමට අමතක වන නිසා ම මාතර ගිහින් නැවතත් ගාල්ලට පැමිණීමට උදව් කරන බස් කොන්දොස්තර විදියට. මේ වෙළෙඳ දැන්වීම් ද්විත්වයෙන් ශ්‍රී ලාංකේය නරඹන්නන්ගේ සිත් බැඳගත් චම්පික ප්‍රියදර්ශන ඉදිරියට යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි තාරුණ්‍යයේ සිටින රංගන ශිල්පියෙක්. මේ දවස්වල ‘සල් සපු නා’ ටෙලි නාට්‍යයේ ෂැගී විදියට ඔබගේ ආලියන්දයට පැමිණෙන ඔහු පිළිබඳයි මේ දිගහැරුම.

ඔබ රංගනයට පිවිසෙන්නේ සිතුවේ ඇයි?

මුලින් ම මා කරන්නේ නර්තනයයි. ඒ අතරදි ලැබෙන අභියෝගයක් භාර ගැනීම සඳහායි මා රංගනයට යොමු වන්නේ. ඒ සඳහා මා පළමුව කරන්නේ රංගනය සම්බන්ධයෙන් නාට්‍ය වැඩමුළු රැසක් සඳහා සහභාගි වීමයි. එහි ප්‍රතිඵලයක් මතයි මා කොළඹට පිවිසෙන්නේ.

ඒ ඔබට එල්ල වන අභියෝගය මොකක් ද?

මගේ පෙනුමත් එක්ක රංගන ශිල්පියකු වෙන්න බැහැ කියන මතයේයි මගේ ගමේ සිටි කිහිපදෙනෙකු ම පසු වුණේ. ඒත් ඒ අදහස මා කිසිම දිනෙක පිළිගත්තේ නැහැ. එවිටයි ඔවුන් පවසන්නේ පුළුවන් නම් රංගන ශිල්පියකු වී පෙන්වන ලෙස. මා ඒ අභියෝගය භාර ගත්තා.

ඇත්තටම රංගන ශිල්පියකු වීමට සුන්දර රූපයක් අවශ්‍ය ද?

ඕනෑ ම කෙනෙකුට යම් පෞරුෂයක් තිබිය යුතුයි. එහෙම නැතිව රඟපෑමට සුන්දර රුවක් ම අවශ්‍ය වන්නේ නැහැ. එහෙම නම් අපට සිටි ප්‍රවීණ නළුවකු වූ ජෝ අබේවික්‍රම වගේ කෙනෙක් කිසිම දිනෙක රංගන ක්ෂේත්‍රයට දායක නොවේවි.

ඊට පසුව ඔබ රංගනය හදාරනවා?

ඔව්. ඒ හැදෑරීමේදියි මට හැඟෙන්නේ රංගනය කියන්නේ හැදෑරිය යුතු දෙයක් බව. එක්වර ම සිතේ තිබෙන ආසාවට රඟපාන එක නොවෙයි, රංගනය කියන්නේ කියන කාරණය මට දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනීම ඇතුළේ කාලයක් මා විවිධ ගුරුවරුන් යටතේ රංගනය පිළිබඳ හදාරනවා. ඒ අතර මමත් රංගනය පිළිබඳ ස්ව අධ්‍යයනයක නිරත වෙනවා.

ඒ ඔස්සේ ඔබට විවිධ නිර්මාණවලට දායක වීමට අවස්ථාව හිමි වෙනවා ද?

ඒ අතරතුර මා විවිධ නිර්මාණවලට රංගනයෙන් දායක වෙනවා. රංගන ශිල්පියකු ලෙස එක්වර ම ජනප්‍රිය වනවාට වඩා හෙමින් ගමනක නිරත වීමටයි මට උවමනා වන්නේ. ඒ කාලය ඇතුළතදියි මට අඹ.... පේරේ වෙළෙඳ දැන්වීමට ආරාධනා ලැබෙන්නේ. ඒ මඟින් නොසිතුව විදියට මා ජනප්‍රිය වෙනවා.

අද කලා ක්ෂේත්‍රයේ ඔබ ව හැමෝම දන්නේ ඒ වෙළෙඳ දැන්වීමේ නමින් ද?

ඔව්. අද වනවිට මගේ නියම නම කිසිවකුත් දන්නේ නැහැ. ඒත් ‘අඹේ’ කිව්ව ගමන් හැමෝම දන්නවා. ඔවුන් සියලුදෙනා ම මා අමතන්නේ ‘අඹේ’ කියන වෙළෙඳ දැන්වීමේදී කියැවෙන නාමයෙන්.

ඊළඟට ඔබව ප්‍රේක්ෂකයන්ට දකින්නට නොලැබෙන්නේ ඇයි?

ඊට පසුවත් මා වේදිකාවේ, පුංචි තිරයේ නිර්මාණ රැසකට ම දායක වෙනවා. ඊළඟට මාව ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබෙන්නේ මැලිබන් බිස්කට් ආයතනයෙන් කළ කොන්දොස්තරගේ වෙළෙඳ දැන්වීම ඔස්සේයි. එයත් ප්‍රේක්ෂකයන් අතර නොසිතුව විදියට ජනප්‍රිය වෙනවා.

පසුගිය කාලයේ ඔබ රඟපෑ ‘එරන් ලන්දු’ ටෙලි නාට්‍යයේ බණ්ඩාගේ චරිතය ඔබගේ දක්ෂතාව මනාව විදහා දැක් වූ චරිතයක්?

බණ්ඩාගේ චරිතයට මාව තෝරා ගන්නේ අධ්‍යක්ෂවරයා සහ කලා අධ්‍යක්ෂවරයායි. මට ලැබුණු ඒ චරිතය ගැන අධ්‍යක්ෂවරයා මාව දැනුම්වත් කළා. ඒ ඔස්සේ මගේ සිතේ බණ්ඩාගේ චරිතය ප්‍රතිනිර්මාණය වුණා. එලෙස නිර්මාණය වූ චරිතයයි නරඹන්නන් හමුවට පැමිණියේ. බණ්ඩාගේ චරිතයට මට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා.

ඔබට ලැබෙන ඕනෑ ම නිර්මාණයක් සඳහා ඔබ රංගනයෙන් දායක වනවා ද?

සෑම නිර්මාණයකට ම දායක වීමට මා කැමැති නැහැ. යමක් කළ හැකි චරිතයකුයි මට වැදගත් වන්නේ. මට ලැබෙන චරිතය ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය නූනාට කමක් නැහැ. එය යමක් කළ හැකි චරිතයකුයි විය යුත්තේ. ඒ නිසා මා නිර්මාණයකට දායක වීමට පෙර බලන්නේ පිටපතයි.

වර්තමානයේදී රංගනය වෘත්තිය ලෙස තෝරා ගැනීමට ඔබ තීරණය කරලා තිබෙනවා ද?

ඔව්. ජීවත් වීමට ආර්ථික තත්ත්වයක් ලැබුණත් නොලැබුණත් කලා ක්ෂේත්‍රය දමලා නම් මා යන්නේ නැහැ. මා තෝරාගත් ක්ෂේත්‍රය මෙයයි.

ඔබගේ නර්තන දක්ෂතාවට මොක ද වුණේ?

එය තවමත් මා ළඟ ම තිබෙනවා. එහෙත් එය භාවිත කිරීමට තරම් නිර්මාණයක් තවම මට ලැබිලා නැහැ. කවදා හෝ දවසක එවැනි නිර්මාණයක් මට ලැබුණොත් මගේ නර්තන හැකියාව ඔබට හොඳීන් වැටහේවි.

ඔබ රඟපාන නිර්මාණය දීර්ඝ ටෙලි නිර්මාණයක් ද, කොටස් තිහක ටෙලි නිර්මාණයක් ද කියන කාරණය ඔබට අදාළ ද?

මා රඟපාන්නේ දීර්ඝ ටෙලි නාට්‍යයක් ද, නැත්නම් කොටස් වශයෙන් යන සති අන්ත නිර්මාණයක් ද කියන කාරණය මට වැදගත් නැහැ. මට වැදගත් වන්නේ රඟපෑමට ලැබෙන චරිතයයි. අනෙක් කාරණය දීර්ඝ නාට්‍ය කියන්නේත් නාට්‍යවලට තමයි. එහෙත් එය කරගෙන යන විදියයි වැදගත් වන්නේ. එහි එක් රූපරාමුවක් ගැනීම සඳහා යොදන කාලය පිළිබඳයි වැදගත් වන්නේ.

මේ දවස්වල ඔබ රඟපාන ‘සල් සපු නා’ ටෙලි නාට්‍යයේ ෂැගීගේ චරිතය බොහෝදෙනා අතර ජනප්‍රියයි නේද?

මොකක් හෝ දෙයකට වෙළෙඳ පොළට, එහෙමත් නැත්නම් පාරේ යනකොට ලැබෙන ප්‍රතිචාර ගොඩයි. සමහරු ‘ආ...... ෂැගී...... කොහොමද?” කියලා කතා කරනවා. තවත් සමහරු “අපේ කේන්දරෙත් බලලා දෙනව ද?” කියලා අහනවා. ඒ විදියට ඔවුන් කතා කරන්නේ ‘සල් සපු නා’ නරඹන නිසා. ඒ ගැන ඇත්තට ම සතුටුයි.

ඔබ ෂැගී වෙන්නේ කුමන විදියට ද?

මේ චරිතයට මාව අර ගන්නේ එහි අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් මහත්තයා. මේ චරිතය පරිගණකයෙන් කේන්දර බලන තරුණයකුගේ චරිතයක්. ඔහුගේ වැඩ කිඩයි මේ චරිතය මඟින් විදහා දැක් වෙන්නේ. ඒ කටයුතු හා ඔහුගේ චරිත ලක්ෂණයි ෂැගීව ටෙලි නාට්‍ය නරඹන්නන් අතරට අරගෙන ගියේ. ඒ සඳහා මා අධ්‍යක්ෂවරයාගේ උපදෙසුත් අරගෙන වෙන ම ෂැගී කෙනෙකු ප්‍රති නිර්මාණය කළා. ඒ ෂැගී නරඹන්නන්ගේ සිතට අල්ලලා ගියා. එවැනි චරිතයක් නිරූපණය කිරීම සඳහා ඉඩකඩ සලසා දුන් ‘සල් සපු නා’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ඇතුළු සියලුදෙනාට ම මගේ ස්තුතිය හිමි විය යුතුයි.

රංගනය සඳහා ඔබ වඩාත් ම කැමැති ම මාධ්‍ය කුමක් ද?

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය කියන මේ මාධ්‍ය තුනේ ම මගේ රංග දක්ෂතා විදහා දක්වන්න මා කැමැතියි. මේ වනවිටත් මේ මාධ්‍ය තුන සඳහා ම මා රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේ ම ඉදිරියේදි නිර්මාණ කිහිපයකට මත් රංගනයෙන් දායක වීමට ආරාධනා ලැබිලා තිබෙනවා.

ඉදිරියේ දී තව දුරටත් රංගනය හැදෑරීමට යම් අදහසක් ඔබගේ සිතේ ඉපදිලා නැද්ද?

රංගනය කියන්නේ හැදෑරිය යුතු විෂයයක්. ඒත් රංගනය ගැන හදාරන්න අවශ්‍ය රංගන පාසල් අපේ රටේ ඇත්තේ නැහැ. තිබෙන්නේ පෞද්ගලිකව කරගෙන යන පාඨමාලා කිහිපයක් පමණයි. අවස්ථාවක් ලැබුණොත් විදෙස් ගත වී වුණත් රංගනය හදාරන්න මා ඉන්නේ බොහොම කැමැත්තෙන්.

මේ වනවිට ඔබ ප්‍රේමවන්තයකු ද?

ආදරය කියන්නේ විශ්වාසය හා අවබෝධය කියන ප්‍රාථමික කාරණා දෙක මත ගොඩනැඟෙන දෙයක් ලෙසයි මා විශ්වාස කරන්නේ. මාව තේරුම් ගන්න කෙනෙක් කොහෝ හෝ ඉන්නවා නම් එයා මට මුණ ගැසෙයි. එහෙම නැතිව මා ආදරය සොයාගෙන යන්නේ නැහැ. ඒත් කාලයක් මේ විදියට තනිකඩව ඉන්න කැමැතියි.

ඔබගේ ඉදිරි කටයුතු පෙළ ගැසිලා තිබෙන්නේ කොහොම ද?

මේ දවස්වල ‘සල් සපු නා’ ටෙලි නාට්‍යයේ රඟපාන ගමන් ඉදිරියට පැමිණීමට නියමිත මහේෂ්ගේ වේදිකා නාට්‍යයක පුහුණු වීම් කටයුතුවල යෙදෙනවා. ඊට අමතරව ඉදිරියට මා රඟපෑ නිර්මාණ කිහිපයක්ම විකාශය වීමට නියමිතයි. අවසාන වශයෙන් මෙතෙක් රංගන ක්ෂේත්‍රයට පැමිණීම සඳහා මට අතදුන් සියලුදෙනාට ම මා ස්තුති කිරීමටත් අමතක කරන්නේ නැහැ.