වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට හැදූ තාත්තලා පුතාලා

චිත්‍රපට හැදූ තාත්තලා පුතාලා

ආලෝකෝ උදපාදි සමඟ තවත් පියපුතු දෙපළක්

අපේ සිංහල සිනමාවේ මේ දක්වා අධ්‍යක්ෂවරුන් රැසකගේ දායකත්වයෙන් විවිධාකාර සිනමා නිර්මාණ එළිදුටුවා. ඒ අතරේ සුවිශේෂත්වයක් විදියට පෙනුණේ, අධ්‍යක්ෂණයට‍ පිවිසි පිය - පුතුන්. සිංහල සිනමාවට පිවිසි අධ්‍යක්ෂවරුන් අතරින් කිහිප දෙනෙකුගේ පුත්‍රරත්නයන්ද තම පියවරුන්ගේ අඩිපාරේ යමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසුණා. ඒ ගැන වඩාත් කතාබහට ලක්වුණේ පසුගියදා චත්‍රවීරමන් අධ්‍යක්ෂණය කළ 'ආලෝකෝ උදපාදී' චිත්‍රපටය තිරගතත වීම ආරම්භයත් සමඟින්.

පිය පුතු අධ්‍යක්ෂවරුන් ගැන කතා කරන විටදී සිංහල සිනමාවේ මුලින්ම සිහියට නැඟෙන්නේ, සිරිසේන විමලවීර සහ ඔහුගේ පුතු දයා විමලවීර ය. සිරිසේන විමලවීරයන් හැඳීන්වෙන්නේ, දේශීය සිනමාව වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක නිරත වූ සිනමාවේදියකු ලෙසිනි. කලාත්මක සිනමා නිර්මාණකරණයෙහි ප්‍රකට ඔහු 'අම්මා', 'සීදේවි', 'පිටිසර කෙල්ල', 'සරදියෙල්', 'අසෝකා', 'සිරකරුවා', 'එකමත්එක රටක', 'මා ආලය කළ තරුණිය', 'වනමල' චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. මෙරට සිනමාකරුවකු සතු වූ එකම චිත්‍රාගාරය ලෙසින් නවජීවන චිත්‍රාගාරයේ හිමිකරු වූයේද සිරිසේන විමලවීරයන් ය. දයා විමලවීර සිනමාවට පිවිසෙන්නේ තම පියා සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ 'රොඩී කෙල්ල' චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ලෙසිනි. ‍දයා විමලවීර මෙරට සිනමාවේ කීර්තිමත් වාණිජ සිනමාකරු‍වකු ලෙසින් හැඳීන්වෙන අතර 'වීදුරු ගෙවල්', 'පහයි හතලිස් පහ', 'ජීවන කඳුළු', 'මිහිදුම් සිහින', 'මේජර් සර්', 'දෙව්දුව', විජය කුමාරතුංග අවසන් වරට රඟ පෑ චිත්‍රපටය වන 'මධු සිහින', 'ඡායා', 'බඹසර බිසව්', සීතල ගිනි කඳු' වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. 'සුජාතා', 'බඹසර බිසව්', සීතල ගිනි කඳු' චිත්‍රපට සංස්කරණය කළේද ඔහු විසිනි.

දයා විමලවීර තම පියා විසින් රචනා කළ ගීතයක් පසු කලෙක තම චිත්‍රපටයක් වෙනුවෙන් යොදා ගත්තා. ඒ 'සුජාතා' චිත්‍රපටයේ එන "නාරිලතා පුෂ්පේ" නම් ගීතය යි. දයා විමලවීරගේ දියණිය ශිරන්ති විමලවීර 'මධු සිහින' චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂිකාවක ලෙසින් කටයුතු කළද ඇය අධ්‍යක්ෂණයට පිවිසියේ නැත. ඇය එලෙස අධ්‍යක්ෂණයට පිවිසියා නම්, වීමලවීර පවුල සිනමා අධ්‍යක්ෂණයේ තෙවන පරම්පරාවක් නියෝජනය කරනු ඇත.

ඩබ්ලිව්. එම්. එස් තම්පෝ සිංහල සිනමාවේ සුවිශේෂ අධ්‍යක්ෂවරයෙකි. ශ්‍රී ලාංකිකයකු වන ඔහු වෘත්තියෙන් නීතිඥයකු විය. සම්මානනීය ජනප්‍රිය නිළි නීටා ප්‍රනාන්දු සිනමාවට හඳුන්වා දුන්නේද ඩබ්ලිව්. එම්. එස් තම්පෝ විසිනි. ඇය ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ඔහු අධ්‍යක්ෂණය කළ 'ළඳක මහිම' චිත්‍රපටයේ ය. ජනප්‍රිය නිළි සුවීනීතා වීරසිංහ සිනමාවට පිවිසියේ ඩබ්ලිව්. එම්. එස් තම්පෝගේ පුතු රොබින් තම්පෝ අධ්‍යක්ෂණය කළ 'සුහද දිවි පිදුම' චිත්‍රපටයෙනි.

 'සුදෝ සුදු', 'සිරිමලී', 'සැඟවෙන සෙවනැල්ල', 'මහදැනමුත්තා' ඔහුගේ චිත්‍රපට අධ්‍යක්ෂණයන් වන අතර ඔහු අධ්‍යක්ෂණය කළ 'සුදු සඳේ කළු වළා', 'සුලලිත සෝබනී' වැනි චිත්‍රපටවලට ඉහළ ජනප්‍රියතාවයක් හිමි විය. තම්පෝ පිය - පුතු දෙපළම නිෂ්පාදනයටද පිවිසි අතර ඩබ්ලිව්. එම්. එස් තම්පෝ මීනා මූවිස් නමින් චිත්‍රපට නිෂ්පාදනය කරන විට පුතු රොබින් ආර්.ටී. ෆිල්ම්ස් නමින් නිෂ්පාදනයට පිවිසියා.‍

සිංහල සිනමාවේ ජනකතාකරු ලෙසින් හැඳීන්වෙන කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා සහ ජයන්ත දාස් පෙරේරා ද මෙරට සිනමාවේ අධ්‍යක්ෂණයට පිවිසි පිය - පුතු යුගලකි. කේ. ඒ. ඩබ්ලිව් සිනමාවට පිවිසෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'රේඛාව' චිත්‍රපටයේ දෙබස් රචකයා ලෙසිනි. 'කපටිකම', 'අපරාධය සහ දඬුවම', 'දුලීකා', 'ළසඳා', 'ජනක සහ මංජු', 'බංගලි වළලු', 'හිඟන කොල්ලා', 'සසර', 'වතුර කරත්තය', 'රේල් පාර' වැනි චිත්‍රපට කේ. ඒ. ඩබ්ලිව් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරට ඇතුළත්. 'ජනක සහ මංජු' චිත්‍රපටය වාණිජ අතින් ඉහළ සාර්ථකත්වයක් වාර්තා කළ අතර එහි ජනකගේ චරිතයට පණ පෙව්වේ ඔහුගේ පුතු ජයන්ත දාස් පෙරේරා විසිනි. 'බංගලි වළලු', 'වතුර කරත්තය', 'රේල්පාර' චිත්‍රපටවලටද ජයන්ත රංගනයෙන් දායක විය. 'ළඳුනි ඔබ දෙවඟනකි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජයන්ත විසිනි.

'ජීවන ගීතය' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අයි. පී සේනගේ පුතු ලාල් ප්‍රියදේව ද පසුකාලීනව සිනමා අධ්‍යක්ෂණයට පිවිසියේය. ලාල් 'ජීවන ගීතය' චිත්‍රපටයේ ළමා චරිතයක්ද නිරූපණය කළ අතර පිටපත් රචකයකු මෙන්ම සංස්කාරකවරයකු ලෙසින්ද ඔහුගේ දායකත්වය මෙරට සිනමාවට ලැබී ඇත. 'ජොලි හලෝ', 'ජොලි හලෝ -2', 'පතිනියගේ හෝරාව', 'විශ්ම රාත්‍රිය', 'නොම්මර එකේ චණ්ඩියා', 'අලි පැංචෝ ඔය යි මම යි', 'මගෝඩි ගොඩයි', 'අපේ යාළු පුංචි භූතයා' චිත්‍රපට ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයන්.

සිනමා ප්‍රදර්ශකයකු වන මෙරිල් ඇල්බට් ද මේ අතරට ඇතුළත් වන්නේ ඔහුගේ පුතුද පසු කලෙක සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත්වීම සමඟින්. මතුගම ජානකී සිනමා ශාලාවේ හිමිකාරීත්වය දැරූ මෙරිල් ඇල්බට් 'දහකින් එකෙක් අපි දෙන්නා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. එහි විජය කුමාරතුංගගේ ළමා කාලය නිරූපණය කළේ මෙරිල්ගේ පුතු නිශාන්ත ප්‍රදීප්. නිශාන්ත පසු කලෙක 'වැලි සුළඟ' සහ 'සරා' චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. අධ්‍යක්ෂවරයකු ලෙසින් පමණක් නොව නිශාන්ත සිනමා සංස්කරණ ශිල්පියකුද වෙනවා. 'එක දා වැහි' චිත්‍රපටයේ සංස්කරණය වෙනුවෙන් ඔහු සරසවිය සම්මානයෙන්ද පිදුම් ලැබුවා. පසුගිය වසරේ තිරගත වූ 'හීරෝ නීරෝ' චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් නිශාන්ත.

මෙරට වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා වන්නේ සුනිල් සෝම පීරිස්. මෙරට වාණිජ සිනමා නිර්මාණකර‍ණයෙහි ප්‍රකට ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරේ 'ජය අපටයි', 'මමයි රජා', 'රජ වැඩකාරයෝ', 'යුක්තියට වැඩ', 'ඔබටයි ප්‍රියේ ආදරේ' ඉහළ සාර්ථකත්වයක් ලද චිත්‍රපට කිහිපයකි. ඔහු විසින් නළුවකු ලෙසින් හඳුන්වා දුන් තම පුත්‍රයා ද පසුව සිනමා අධ්‍යක්ෂණයට පිවිසියා. 'රත්තරං මිනිහෙක්', 'දරු උපත', 'මමත් ගැහැනියක්, 'පිංපො' වැනි චිත්‍රපට ඔහුගේ චිත්‍රපට අතරට ඇතුළත්. සුනිල් සෝම පීරිස් සහ සුදේශ් වසන්ත පීරිස් පිය පුතු තවත් විශේෂත්වයක් ඇත. එනම් දෙදෙනාම එක්ව හවුලේ චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමයි. වැඩ බැරි ටාසන්, පිස්සු පූසෝ, පිස්සු ඩබල් ඒ ආකාරයට තාත්තා සහ පුතා සම අධ්‍යක්ෂණයෙන් දොරට වැඩි චිත්‍රපට.

'කිරිමදු වැල්' සම අධ්‍යක්ෂණය කළ සමන් වීරමන් විසින් අධ්‍යක්ෂණය කළ 'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම' චිත්‍රපටයට හිමි වුණේ ඉහළ ජනප්‍රියත්වයක්. දැන් ඔහුගේ පුත්‍ර රත්නයත් අධ්‍යක්ෂවරයකු ලෙසින් සිනමාවට පිවිසිලා. ඒ 'ආලෝකෝ උදපාදි' චිත්‍රපටය සමඟින්. එහිදි විශේෂත්වය වෙන්නේ තාත්තා විසින් පුතා‍ගේ චිත්‍රපටයට පිටපතක් රචනා කිරීමයි. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකගේ පුත් දමිත් ෆොන්සේකාත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට සූදානම් බව ආරංචියි. එහෙම වුණොත් මේ අධ්‍යක්ෂ පිය - පුතුන් අතරට ඔවුන් ද ඇතුළත්. පරම්පරා දෙකක් දක්වා පැමිණි මේ අධ්‍යක්ෂණයෙන් තවම තුන්වැනි පරම්පරාවක් බිහි වෙලා නැහැ.