වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




N E W S

යශෝධරා සොයා මහාචාර්ය ආරියරත්න

බුදුන් උපන් රට සැරිසරයි - සිනමාවේ නව වාර්තාවක්

  

බෞද්ධ වංශ කතාවෙහි එන ශ්‍රේෂ්ඨතම කානන්තාවක වන යශෝධරා දේවියගේ ජීවිත කතා පුවත ඇසුරෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කරන බිම්බා දේවිය හෙවත් යශෝධරා චිත්‍රපටයේ යශෝධරා චරිතය සඳහා මේ දිනවල බොලිවුඩයෙන් හෝ සුදුසු නිළියක තෝරන වග වාර්තා වේ. මහාචාර්ය ආරියරත්න ඒ වෙනුවෙන් ඉන්දියාවේ මුම්බාය ඇතුළු සෙසු ප්‍රාන්තවල නිළියක් සෙවිමේ කටයුතුවල නිරත වන බව දැනගන්නට ලැබිණ. මෙම චිත්‍රපටය සමඟ මහාචාර්ය සුනිල් ආරියරත්න සිනමා ඉතිහාසයේ නව වාර්තාවක් ද එකතු කළේය. ඒ මෙරට ප්‍රධාන ආගම් ත්‍රිත්වයක් ඇසුරෙන් චිත්‍රපට නිර්මාණයක් කළ අධ්‍යක්ෂවරයා හැටියටය. ජේසුස් වහන්සේගේ ජීවිත කතාව ඇසුරෙන් තැනූ ක්‍රිස්තු චරිතය, පත්තිනි දේවියගේ ජීවිත කතාව ඇසුරෙන් තැනූ පත්තිනි ද මේ නිර්මාණය කිරීමට සූදානම් වන බිම්බා දේවිය හෙවත් යශෝධරා එම චිත්‍රපටයන් වේ. බෞද්ධ සාහිත්‍යයෙහි එන කුස ජාතකය ඇසුරෙන් නිර්මාණය වූ කුස පබා චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය ආරියරත්නය.

බිම්බා දේවිය හෙවත් යශෝදරා එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණනේ චන්න දේශප්‍රිය ද, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ ද, ගායනයෙන් විශාරද නන්දා මාලිනිය ද, නර්තන අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ ද මේ සඳහා දායක වෙති.

නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ. ඩී. රන්ජිත් කුමාරගෙනි. මනෝහාරි හේවාවසම් නිෂ්පාදන කළමනාකාරිණිය වේ. බිමල් දුෂ්මන්ත කලා අධ්‍යක්ෂණයෙන් ද, සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය ද, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක ද සිනමා සිතුවම හැඩ කරයි. තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණයකි. දෘශ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන්ගෙනි. වස්ත්‍රාභරණ නිර්මාණය තිළිණි හෙට්ටිගමගේ ගෙන්ය. සන්දේශ් බණ්ඩාර මෙහි නිශ්චල ඡායාරූප ශිල්පියාය.


අග්‍රගණ්‍ය ලාංකික චිත්‍රපට ප්‍රත්‍යාවලෝකනය මෙවර විසුල් උලෙළේදී

ප්‍රංශයේ විසුල් අන්තර් ජාතික සිනමා උලෙළේදී විශිෂ්ට ශ්‍රී ලාංකික චිත්‍රපට ඇතුළත් ප්‍රත්‍යාවලෝකන දැක්මක් මෙම 7 වැනිදා ඇරැඹේ.

දේශීය කතානාද සිනමාවට හැත්තෑ වසරක් සපිරීම නිමිති කර ගනිමින් මෙම 14 වැනිදා දක්වා එම චිත්‍රපට ප්‍රදර්ශනය වනු ඇත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ රේඛාව සහ නිධානය, මහාචාර්ය සිරි ගුණසිංහගේ සත්සමුදුර, මහගමසේකරගේ තුංමං හන්දිය, වසන්ත ඔබේසේකරගේ දඩයම, ආචාර්ය ධර්මසේන පතිරාජගේ පොන්මනි සහ අහස් ගව්ව, ප්‍රසන්න විතානගේ ගේ පවුරු වළලු, අශෝක හඳගමගේ මේ මගේ සඳයි, විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස, ප්‍රසන්න ජයකොඩිගේ සංකාරා, සුමිත්‍රා පීරිස්ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා සහ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මේ තිරගත වන චිත්‍රපට වේ.


අශේන් මංජුලගේ ගිහින් එන්නම් නිදහස් දිනයට

නිදහස් දිනය නිමිති කර ගනිමින් අශේන් මංජුල අධ්‍යක්ෂණය කළ ගිහින් එන්නම් ඒකාංගික ටෙලි සිතුවම මෙම මස 04 වැනිදා එනම් ජාතික නිදහස් දිනය දා දහවල් 12 ට ජාතික රූපවාහිනියේ විකාශය වේ. ප්‍රසන්නජිත් අබේසූරිය, නලීන් ප්‍රදීප් උඩවෙල, මාධිනී මල්වත්තගේ, සුරංගි රුවන්මලී, සුමේධ දිසානායක, හිරුණි හංසිනී සහ චන්දන ඒකනායක මෙහි රංගනයේ යෙදෙයි. මෙය සුමේධ දිසානායකගේ නිෂ්පාදනයකි. කපිල කුමාර කලිංගගේ කතා පුවතකි. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂවරයාය. සංජීව කුමාර කැමරාකරණයෙන් දායක විය.


ලොව වටිනාම කැමරාවේ හිමිකම සුනිල් රත්නායකට

ලොව ඉහළම තාක්ෂණයෙන් යුතු ඇරි ඇලෙක්ස් සුපර් එක්ස් ටී කැමරාව මෙරටට හඳුන්වා දුන් වග පුවතක් පළ කරමින් අප පසුගිය සතියේ කලාපයෙන් ඔබව දැනුවත් කළා. එම කැමරාව ගෙන්වා තිබුණේ ටෙලිවිව් ආයතනයේ අධිපති සුනිල් රත්නායක විසිනි. දශක කිහිපයක් තිස්සේ විශිෂ්ට නිර්මාණයන් නිෂ්පාදනය කරමින් කීර්තිමත් නමක් දිනාගත් ටෙලිවිව් මඟින් කලා ලොවට සිදු කළ තවත් මෙහෙවරක් ලෙසට ද මෙය හඳුන්වා දෙන්නට හැකියි..

ලොව ඉහළම තාක්ෂණයෙන් යුතු ඇරි ඇලෙක්ස් සුපර් එක්ස් ටී කැමරාව මෙරටට හඳුන්වා දුන් වග පුවතක් පළ කරමින් අප පසුගිය සතියේ කලාපයෙන් ඔබව දැනුවත් කළා. එම කැමරාව ගෙන්වා තිබුණේ ටෙලිවිව් ආයතනයේ අධිපති සුනිල් රත්නායක විසිනි. දශක කිහිපයක් තිස්සේ විශිෂ්ට නිර්මාණයන් නිෂ්පාදනය කරමින් කීර්තිමත් නමක් දිනාගත් ටෙලිවිව් මඟින් කලා ලොවට සිදු කළ තවත් මෙහෙවරක් ලෙසට ද මෙය හඳුන්වා දෙන්නට හැකියි..


දේ.නා.බ.ම. නිලධාරීහු පත් වෙති

දේශීය නාට්‍යකරුවන්ගේ බල මණ්ඩලයේ නිලධාරි මණ්ඩලය පසුගියදා තේරී පත් විය. සභාපති ලෙස කලාභූෂණ ඊ. ඩී. ශ්‍රීයාපාල කටයුතු කරන අතර සම සභාපති මණ්ඩලය වනුයේ සුගත් සමරකෝන්, හෙක්ටර් කුමාරසිරි, ප්‍රසන්න ෆොන්සේකා, ඩීමන් හෙට්ටිආරච්චි, හීනනටිගල ප්‍රේමදාස, රම්‍යා වනිගසේකර, සුවිනීතා සුභසිංහ, සාරංග දිසාසේකරය.


ඔෂින් ශ්‍රී ලංකාවට පැමිණෙයි

කලක් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබමින් ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ඔෂින් ටෙලි නාට්‍ය මාලාවේ ඔෂින්ගේ කුඩා කාලයේ චරිතය රඟපෑ අයකෝ කොබයෂි මැතිනිය අද දින පස්වරු 5.50ට පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒ අවස්ථාවට සමගාමීව ජාතික රූපවාහිනියේ පස්වරු 6.00 සිට 7.30 දක්වා විශේෂ සජීව වැඩසටහනක් විකාශය වෙයි. මේ සඳහා මහාචාර්ය ප්‍රැක්ටික් රත්නායක, සුනන්දා හෙට්ටිආරච්චි, සුමිත්‍රා රාහුබද්ධ, ග්‍රේස් තෙන්නකෝන්, රසාදරී පීරිස් යන මහත්ම මහත්මීහු සහභාගි වෙති. ඔෂින්ගේ වැඩසටහන සජීව ලෙස මේ වැඩසටහන ඔස්සේ විකාශය කෙරෙන අතර කටුනායක ගුවන් තොටුපළේදී සිදුවන පිළිගැනීම ආදිය ද ඊට ඇතුළත් වෙයි. ඊට අමතරව කොබයෂි මැතිනිය සහභාගි වන විශේෂ වැඩසටහනක් හෙට (03 වැනිදා) පෙරවරු 7.30 සිට 8.30 දක්වා රූපවාහිනි සංස්ථාවේ රජත මැදිරියේදී විකාශය කෙරෙයි. ඔෂින් දැක ගැනීමේ මේ අවස්ථාවට සියලුදෙනාට පැමිණෙන්නැයි ජාතික රූපවාහිනිය ආරාධනා කරයි.


සෙක්කුවට වසර 40යි

සෙක්කුවට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් ඉදිරියේදී කෙරෙන විශේෂ අභිනන්දන උලෙළ හා ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලයන්ට ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බහුරූපී අන්තර්ජාතික නාට්‍ය උලෙළේදී පැවැත්වුණු අභිනන්දනය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි.

1976 වසරේ පරාක්‍රම නිරිඇල්ලගේ පළමු වේදිකා නාට්‍යය නිර්මාණය ලෙස ඇරැඹි ‘සෙක්කුව’ එස්.ජී.පුංචිහේවා විසින් රචිත ‘අහේතුවට හේතුව’ නමැති උපමා කතා පොතේ තිබුණු උපමා කතාවක් ඇසුරෙන් රචනා වූ අතර මේ වේදිකා නාට්‍යය අද වනවිට දමිළ භාෂාවෙන් ද නාට්‍යයට නඟා ඇත.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඒ අවස්ථාවට සහභාගි වූ ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල ප්‍රමුඛ රොනිකා චාමලී, සෙල්වරාජ් ලීලාවතී යන ශිල්පීන් මාධ්‍යවේදීන් ඇමතූ අයුරුයි.


සමස්ත ලංකා අභිරූපණ තරගාවලිය සඳහා අයැදුම් පත් භාර ගැනේ

රූපණ කලාවේ කුසලතා ඇති තරුණ - තරුණියන්ට සිය කුසලතා දක්වා ජාත්‍යන්තරව වුවද කීර්තියක් අත්කර ගැනීමට අවස්ථාව සලසමින් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ රූපණ ලලිත කලා පාසලේ සාඩම්බර එකතුවකින් සමස්ත ලංකා අභිරූපණ තරගාවලියක් සැලසුම් කර ඇත. ඒ සඳහා අයැදුම් පත් මේ දිනවල භාර ගැනේ.

දිවයිනේ විසිර සිටින කුසලතා පූර්ණ රංග කලා ශිල්පීන්ට අතහිත දීමක් ලෙස සැලසුම් වී ඇති මේ සමස්ත ලංකා අභිරූපණ තරගාවලිය පිළිබඳ විස්තර දැන ගැනීමට රූපණ ලලිත කලා පාසල, පරණ පාර, කොට්ටාව, පන්නිපිටිය යන ලිපියනට, ලිපිනය ලියූ මුද්දර ගැසූ දිග ලියුම් කවරයක් යොමු කිරීමෙන් දැන ගත හැකිය. වැඩි විස්තර සඳහා 072-4362304 යන දුරකතන අංකයට අමතන්න.