|
මම සෙව්වේ ආදරයයි මරියාත් මං වගේමයිපූජා උමාශංකර්
මම වැඩිපුර ම හිටියේ නේවාසිකාගාරයේ. ඒ පරිසරයත් බොහොම තහංචිවලින් පිරුණු තැනක්. අප සියල්ලන් ම වෙලාවට කෑම ගත යුතුයි, වෙලාවට ඉගෙන ගත යුතුයි, වෙලාවට නිදා ගත යුතුයි. කැප්ටන් එයාගේ ළමයින්ට දමන කොන්දේසි වගේමයි සිස්ටර්ස්ලා අපව පාලනය කළෙත්. ඒත් ඒ විදියට අපි එදා හැදුණු වැඩුණු නිසයි අද විනයගරුක අය විදියට සමාජයේ ජීවත් වන්නේ. සමාජයට ගියාට පස්සේ ඒ අය කරන දේවල් දැක්ක ම, අප වින්‍යානුකූලව ලැබුව අධ්‍යාපනය ගැන මට දැනෙන්නේ සතුටක්.
නිලට නිලේ දිලෙන තණ පලස ඈතට විහිද යන්නේ අමුතු චමත්කාරජනක සිතුවිල්ලක් හදවතේ ලැඟුම් ගනිමිනි. ඒ අරා ඈතින් නැඟී සිටින කඳුපෙළ යෝධයකුගේ රුව වැන්න. කඳු පෙළත්, තණ නිල්ලත් අතරින් මතුවන රුවකි. ඇත්දළ පැහැති තොප්පියක් පැලඳ ගත් මේ රුව කාගේ දෝ යන්න ඒ දෙස දෙනෙත් දල්වා බලා සිටින්නන්ගේ සිතේ ඇති වන්නේ කුහුලකි. ඒ ඇතිවන කුහුලත් සමඟ අපගේ නෙත ගැටෙන්නේ යුවතියකි. වරෙක ඈ දෙඅත් විහිදා තාලයකට නටමින් ද, රවුම් කිහිපයක් කැරකැවෙමින් ද දුව යන්නේ කිරිල්ලියක සේය. ඒ අතර අපගේ දෙසවන සනහන ගීතයක ස්වරය මුමුනන මේ සොඳුරු යුවතිය තවත් වරෙක මල් පඳුරක් දෙසට ඇවිද යන්නේ ලතාවකට ය. එහි සුපිපි මල් කිහිපය නෙළා ගන්න මේ දඟකාර යුවතිය දෙස බලන කාට වුවද හැඟෙන්නේ උපරිමයෙන් ම ඈ සිය නිදහස බුක්ති විඳීන බවකි. රිදී තිරයේ එවැනි නිදහසක් බුක්ති විඳී ඒ සොඳුරු යුවතිය හමුවන්නට යෑමට පසුගිය දිනෙක අපට ඉඩහසර උදා වූයේ අහම්බයෙනි. “පූජා උමාශංකර්” ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සරිගම’ චිත්‍රපටයේ කිරිල්ලියක ලෙස එහා මෙහා සැරිසරමින්, මරියාගේ චරිතයට පණ පොවන සොඳුරු යුවතිය ඇයයි. “මරියා කියන්නේ මං වගේ ම කෙනෙක්. මරියගෙයි, මගෙයි චරිත ලක්ෂණ බොහෝ දුරට එක හා සමානයි.” පූජා උමාශංකර් නම් ඔබ ආදරය කරන රුවැති, සුන්දර හදවතක් හිමි රංගන ශිල්පිනිය පවසන්නේ මේ දවස්වල රිදී තිරයේ විහිද යන ‘සරිගම’ චිත්‍රපටයේ මරියාගේ චරිතය පිළිබඳ ය. “සරිගම චිත්‍රපටය හැමෝම ආදරය කරන චිත්‍රපටයක් බවට පත්වෙලා. එය නැරැඹුව බොහෝදෙනා මගේ මුහුණු පොතට ඔවුන්ගේ දුවත්, මිනිපිරියත් මේ වගේ ම යැයි පවසමින් ගීත ගායනා කරන අයුරු පටිගත කර එවනවා. ඒ එවන පටිගත කිරීම්වලින් මගේ මුහුණු පොත පිරිලා. ඉන් කියැවෙන්නේ මේ චිත්‍රපටය ළමයින්ගේ වගේ ම මිනිස්සුන්ගේ හදවත අතරටත් ගිහින් තිබෙන බවයි. ළමයින්ට එහි ගීත කටපාඩම්.” බොහොම සුන්දර මෙන්ම දඟකාර සිනහවක් මුවඟට නඟා ගන්න පූජාගේ කතාබහ අපට සිහිපත් කරන්නේ දඟකාර මරියාගේ ගති ස්වභාවයයි. මරියාගේ චරිතය ප්‍රති නිර්මාණය කිරීමට ඔබට දැඩි වෙහෙසක් ගන්නට සිදු වුණා ද? මරියාගේ චරිතය අධ්‍යක්ෂවරයා ලියලා තිබෙන්නේ ශ්‍රී ලංකාවට ගැළපෙන අයුරින්. ඒ චරිතය ගැන සම්පූර්ණ විස්තර සහිතව ලියලා තිබුණු නිසා මට වැඩි වෙහෙසක් නැතිව ම මරියාගේ චරිතය රඟපාන්නට හැකියාව ලැබුණා. ‘සරිගම’ නැරැඹූ බොහෝදෙනා පවසන්නේ හරියට මරියාව බලනවා කියන්නේ පූජාව බලනවා වගේ කියලයි. මරියාත් කටකාරයි. දඟලනවා. ළමයින් එක්ක එකතුවෙලා එක එක දේ කරනවා. මමත් සැබෑ ජීවිතයේදී ඒ වගේ ම තමයි.” අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක ‘සරිගම’ චිත්‍රපටයේ මරියා පිළිබඳ ඔබට පවසන්නේ කොපමණ කාලයකට ඉහත ද? මට මතකයි ‘කුස පබා’ චිත්‍රපටය කරන කාලයේදියි ඔහුගේ ඉදිරි නිර්මාණයක මට චරිතයක් තිබෙන බව පැවසුවේ. ඒ වගේ ම එහි දෙබස් සියල්ල ලියා අවසන් වූ පසුව ඒ ගැන ඔබට කියන්නම් කියලත් කිව්වා. ඒත් ඒ නිර්මාණය ‘සරිගම’ බව මා එදා දැනගෙන සිටියේ නැහැ. කාලයකට පස්සේ නැවතත් ඔහු මට දුරකතන ඇමතුමක් ලබා දුන්නා. ඉන් කියැවුණේ තිරපිටපත් ලියලා අවසානයි. මාව මරියාගේ චරිතයට තෝරාගෙන තිබෙන බවයි. ඒ වෙලාවේ මම ඒ අදහසට උඩ පැනලා හා.... කියලා කිව්වා. අධ්‍යක්ෂවරයා මරියාගේ චරිතය පිළිබඳ ඔබට පැහැදිලි කිරීමක යෙදුණා ද? මරියාගේ චරිතය රඟපාන්න ගියාට පස්සේ අධ්‍යක්ෂවරයා පැවසුවේ මට උවමනා ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටයේ මරියා නොවන බවයි. මා ඇතුළේ ජීවත් වන මරියා පමණක් නිර්මාණයට අවශ්‍ය බවයි ඔහු පැවසුවේ. පිටපත කියවන විට මට දැනෙන මරියායි ඔහු ඉල්ලුවේ. ඔහුට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකා මරියාවයි. ඔබ ‘සරිගම’ චිත්‍රපටය නරඹන්නට පෙර ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටය නරඹලා තිබුණාද? ඒ නැරැඹුව වාර ගණන ගණන් කරන්න බැරි තරම්. මම හිතන්නේ විසිපාරකට වඩා මා ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ නරඹලා තිබෙනවා. නිවාඩුවලට නේවාසිකාගාරයේ ඉඳගෙන ගෙදර යන සෑම අවස්ථාවක ම මා ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ නැරැඹුවා. මගේ මල්ලිත් චිත්‍රපට නරඹන්න කැමැති කෙනෙක්. ඒ නිසා තාත්තා අපට නරඹන්නට චිත්‍රපට අරගෙන දෙනවා. කොහොම වුණත් ඒ සෑම වාරයක දී ම ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ නරඹද්දි මට දැනෙන්නේ එය අලුතින් නරඹන බවයි. කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නැහැ. නරඹන්න, නරඹන්න ඒ චිත්‍රපටයට මම ආසයි. එහි ගීත මට කටපාඩම්. ‘සරිගම’ චිත්‍රපටයේ ගීතත් මට කටපාඩම්. මරියාගේ චරිතය රඟපෑමේදී ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටයේ මරියාගේ චරිතයෙන් කිසිම දෙයක් නොගත් බව ද ඔබ ඔය පවසන්නේ? ඒ චරිතයෙන් කිසිම දෙයක් නොගත්ත බව පැවසුවොත් මා වැරැදියි. ඒත් ඒ චිත්‍රපටයේ මරියාගේ චරිතය දෙස බලාගෙන ම මා ‘සරිගම’ චිත්‍රපටයේ මරියා රඟපෑවේ නැහැ. මම ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටයේ මරියාගේ චරිතය නොවෙයි ‘සරිගම’ චිත්‍රපටයේදී රඟපෑවේ. මා පිටපත ඉල්ලන ශ්‍රී ලංකා මරියා බවටයි පත් වුණේ. ‘සරිගම’ චිත්‍රපටයේ සිටින දරුවන්ගේ ආකාරයට ද ඔබත් නේවාසිකාගාරයේදී හැදුණේ වැඩුණේ? මම වැඩිපුර ම හිටියේ නේවාසිකාගාරයේ. ඒ පරිසරයත් බොහොම තහංචිවලින් පිරුණු තැනක්. අප සියල්ලන් ම වෙලාවට කෑම ගත යුතුයි, වෙලාවට ඉගෙන ගත යුතුයි, වෙලාවට නිදා ගත යුතුයි. කැප්ටන් එයාගේ ළමයින්ට දමන කොන්දේසි වගේමයි සිස්ටර්ස්ලා අපව පාලනය කළෙත්. ඒත් ඒ විදියට අපි එදා හැදුණු වැඩුණු නිසයි අද විනයගරුක අය විදියට සමාජයේ ජීවත් වන්නේ. සමාජයට ගියාට පස්සේ ඒ අය කරන දේවල් දැක්ක ම, අප වින්‍යානුකූලව ලැබුව අධ්‍යාපනය ගැන මට දැනෙන්නේ සතුටක්. උදාහරණයක් විදියට කෑම කන අවස්ථාවලදි තමන්ට අවශ්‍ය ගණනට වඩා බෙදා ගෙන කෑම වීසි කරන අය මා දැකලා තිබෙනවා. ඒත් සමහර වෙලාවට එතැන ඉන්න අනෙක් අයට කෑම නැති වෙන්නත් පුළුවන්. ඒ අය හරියට බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට කන්න දෙන්නෙත් නෑ කියන්න වගේ. තමන්ගේ ගණනට බෙදා ගත්තා නම් එහෙම වෙන්නේ නැහැ නේ. අප ලැබුව වින්‍යානුකූල අධ්‍යාපනයේ අගය වඩාත් දැනෙන්නේ ඒ වගේ අවස්ථාවලදියි. නිවෙසේ පරිසරයත් මේ හා සමානව ම ද ගෙවුණේ? ඒ කාලයේ අපි නිවාඩුවක් ලැබෙනතුරු සිටියේ ශ්‍රී ලංකාවට එන්නයි. ආච්චි, සීයා හමුවෙන්නේ කවදද? එහෙම ඇවිත් ආප්ප, ඉදි ආප්ප, කිරිබත් කන්නේ කවදද? කියලා අපි බලාපොරොත්තුවෙන් සිටියා. ඒවා අපට එහේදි කන්න ලැබෙන්නේ නැහැ නේ. ඒ නිසා ඒ කාලයේ ශ්‍රී ලංකාව අපට දිව්‍ය ලෝකය වගේ. අදත් ඒ වගේ ම තමයි. ඒ නේවාසිකව ඔබ ලැබූ අධ්‍යාපනය නිසා, චිත්‍රපටයේ ළමයින්ගේ මානසිකත්වය තේරුම් ගැනීමට එය යම් පහසුවක් වූවා ද? මමත් මෙවැනි පරිසරයක සිටි නිසා චිත්‍රපටයේ ළමයින් විඳී දුක් කරදර තේරුම් ගන්න වැඩි වෙහෙසක් ගන්න වුණේ නැහැ. ළමයි හත්දෙනාත් සමඟ අපි හැමෝම යාළු වුණා. ඒ නිසා අපට ඔවුන් සමඟ කටයුතු කරන්න පහසු වුණා. නර්තනයේ යෙදෙන තැන්වලදි එක් කෙනෙක් කියනවා අක්කි අපි මෙතැන මෙහෙම නැටුවොත් හොඳයි කියලා. එතකොට අපි ඔක්කොම ඒ විදියට නටනවා. තවත් වරක් මට මෙතලි පවසන්නේ ඈව වඩාගෙන වටයක් කරකවන්න කියලා. ඔන්න ඒකත් මම කරනවා. ඒ වගේ පුංචි පුංචි අදහස් ඔවුන් මට දෙනවා. මම ඒවා කරනවා. කැප්ටන් ලෙස රඟන අශාන් සමඟ ඔබ රඟපාන්නේ පළමුවරටයි. ඔහුත් සමඟ රඟපෑමෙන් මොන වගේ හැඟීමක් ද ඔබගේ සිතේ ඉපදුණේ? එයා වේදිකා නාට්‍ය ගොඩක් කරලා තිබෙනවා. මා වේදිකා නාට්‍ය එකකවත් රඟපාලා නැහැ. ඒවා මට කරන්නත් බැහැ. වේදිකාවේ රඟපාන එක ලෙහෙසි වැඩක් නොවෙයි. එතැන ටේක් එකක් හෝ ටේක් දෙකක් කරන්න බැහැ. එක ටේක් එකයි නේ තියෙන්නේ. එතැනදි වැරැදි කළොත් වැරැදි කළා ම තමයි. එහෙත් සිනමා මාධ්‍ය කියන්නේ අපට යළිත් ටේක්වලට යන්න පුළුවන් මාධ්‍යයක්. ඒ නිසා අශාන්ට තියෙන දක්ෂකම මට නැහැ. එහෙම වුණත් අශාන්, මට රඟපෑමේදි ගොඩක් උදව් කළා. අධ්‍යක්ෂවරයා හා අශාන් නිසා මට රඟපෑම පහසු වුණා. ඉන්දියාවේ විසූ බොහෝ රංගන ශිල්පීන් කුඩාකල පටන් ම නර්තනය හදාරනවා. ඔබත් දක්ෂ නර්තන ශිල්පිනියක් ද? පාසල් යන කාලයේ වයලින් හා තබ්ලාව, භරත නාට්‍යයම් ඉගෙන ගන්න ඕනෑ කියන යම් ආසාවක් මගේ සිතේ තිබුණා. ඒත් තාත්තා කිව්වේ ඔයා ඕව ඉගෙන ගන්න ඕන නැහැ, හරියට පොතපතේ තිබෙන දේවල් පමණක් ඉගෙන ගත්තොත් ඇති කියලයි. අම්මා හා තාත්තා අවසර දුන්නේ පාඩම් කරන්න විතරයි. ඔවුන්ගෙන් එවැනි විෂය බාහිර කටයුතු (ඇක්ටිවිටීස්) කරන්න මට අවසරයක් ලැබුණේ නැහැ. ඒත් දැන් නම් මම වයලින් වගේ විෂයයක් අනිවාර්යයෙන් ම ඉගෙන ගන්නයි සිතාගෙන ඉන්නේ. ඔබ රංගනය වගේ ම අධ්‍යාපන කටයුතුත් කළ යුවතියක්. ඒ-ලෙවල් කළාට පස්සේ මම කළේ වාණිජවේදී උපාධියයි. ඊට පස්සේ ශාස්ත්‍රීය උපාධිය දක්වා මා ඉගෙන ගෙන තිබෙනවා. ඒ ව්‍යාපාර අලෙවිය පරිපාලනයයි. ඉතුරු වී තිබෙන්නේ ආචාර්ය උපාධිය කරන්නයි. ඒත් ඒ දක්වා ඉගෙන ගන්න මට වෙලාවක් ඇත්තේ නැහැ. ඔබ නිළියක් වීමේ සිහිනය දකින්නේ කුඩා කල පටන් මද? කවදාවත් ම නෑ. කුඩා කාලයේ මගේ සිතේ එහෙම ආසාවක් තිබුණේ නැහැ. දවසක් මා සාප්පු සවාරියේ ගියා. එහිදි අධ්‍යක්ෂවරයෙක් මුණ ගැසිලා බර්ගර් ගැහැනු ළමයකුගේ චරිතයක් කරන්න තිබෙනවා කැමැති ද කියලා මගෙන් ඇසුවා. මුලින් ම මම අකැමැති වුණා. මේ ගැන යහළුවන්ට කිව්වාට පස්සේ ඒ අය මාව රඟපාන්න උනන්දු කළා. මමත් ඒ සඳහා සහභාගි වුණා. ඒ නිර්මාණය වුණේ ‘උල්ලන් කේ කුමෙයි’ කියන චිත්‍රපටය. මේ සඳහා මා මුලින් ම චෙන්නායි ගියේ රඟපෑම කොහොම ද කියලා බලලා එන්නයි. මට සිස්ටර්ස්ලාගෙන් ඒකට අවසරය ලැබුණා. ඒත් මා මේ ගැන අම්මාටවත්, තාත්තාටවත් කිව්වේ නැහැ. දවස් දෙකක්, තුනක් ඉන්න කොට ඒ ගැන මම තාත්තාට කිව්වා. මම දිගට ම රඟපෑමට යනවාට තාත්තා කැමැති වුණේ නැහැ. කිසිම ප්‍රශ්නයක් ඇති නොවන විදියට රඟපෑම කරන බවට මා ඔහුට පොරොන්දු වුණා. ඊට පස්සේ රූගත කිරීම්වලට යනවිට අම්මත් සමඟ යන්න කියලා ඔහු කිව්වා. මේ වනවිට ඔබ දමිළ චිත්‍රපට කොපමණ ප්‍රමාණයක රඟපාලා තිබෙනවා ද? මම හිතන්නේ පහළොවක් විතර. ඒත් මේ වනතුරු ඒ ප්‍රමාණය ගණන් කරලා නැහැ. මා රඟපෑ නිර්මාණ ගණන බොහොම චුට්ටයි. ආර්යයන් එක්ක චිත්‍රපට හතරක්, මාධවන් එක්ක චිත්‍රපට දෙකක්, අජිත් එක්ක එක චිත්‍රපටයක් රඟපාලා තිබෙනවා. මට, විජයත් එක්ක රඟපාන්න බැරි වුණා. පසුගිය කාලයේ ඔබට දමිල චිත්‍රපටවල රඟපෑමට ආරාධනා ලැබුණා ද? ලැබුණා. ඒත් මම එක තීරණයකට ආවා. එක්කෝ මම එතැන ඉන්න ඕනෑ. නැත්නම් මම මෙහේ ඉන්න ඕනෑ. දෙක ම බදාගෙන කරන්න බැහැ නේ. අන්තිමට එකක්වත් නැති වෙනවා. ඒ නිසා එකක් තෝරා ගන්න ඕනෑ. මා දිගට ම සිංහල චිත්‍රපටවල රඟපෑම තෝරා ගත්තා. ඒ මම ශ්‍රී ලංකාවට ආදරය කරන නිසා. ඔබව සිංහල සිනමාවට හඳුන්වා දෙන්නේ චන්න පෙරේරා කියන අධ්‍යක්ෂවරයා? මගේ තුන්වන චිත්‍රපටය ‘අට්ට කාසම්’ තිරගත කරන කාලයේයි ‘අංජලිකා’ චිත්‍රපටයට චන්න අයියා මාව තෝරා ගන්නේ. ඔබ ශ්‍රී ලංකාවෙයි ඉපදුණේ? මමත්, මල්ලිත් ඉපදුණේ ශ්‍රී ලංකාවේ. අපි දෙන්නට ම තිබෙන්නේ ශ්‍රී ලංකාවේ උප්පැන්න සහතික. ඒ අම්මා සිංහල. ගම්පහ ප්‍රදේශයේ. තාත්තා කර්ණාටක. කණ්ණඩා ග්‍රාමයේ. ඔහුගේ භාෂාව කණ්ණඩායි. ඔබට ඉන්දියානු හා ශ්‍රී ලාංකික සංස්කෘති දෙක දැනෙන්නේ කොහොම ද? වෙනසක් නැහැ. අපි හැමෝම දකුණු ආසියාවේ මිනිස්සු. ඒ නිසා සංස්කෘති අතර ලොකු වෙනසක් නැහැ. භාෂාව අතර විතරයි වෙනසක් තිබෙන්නේ. කෑම වුණත් සමානයි. අපි ශ්‍රී ලංකාවේ ඇවිත් කන පිට්ටු, ආප්ප වගේ කෑම කර්ණාටයේ නොතිබුණත් අනිවාර්යයෙන් ම කේරළයේ තියෙනවා. එවැනි වෙනසක් නොමැති වීමයි ශ්‍රී ලංකාවට මා ආදරය කරන්න පෙලඹුණේ. මගේ ආච්චි ඉඳුරුවේ. සීයා ගම්පහ -ඔරුතොට. අම්මා ඉගෙන ගත්තේ විශාඛා විද්‍යාලයේ. ඔබට සිංහල භාෂාව හුරුවුණේ මොන විදියට ද? අම්මා, තාත්තාත් සමඟ විවාහ වුණාට පස්සේ ඉන්දියාවට ගියා. විවාහ වුණාට පස්සේ මහත්තයාගේ භාෂාව ඇතුළු හැමදෙයක් ම බිරිය ඉගෙන ගත යුතුයි. ඒ නිසා අම්මත් තාත්තාගේ භාෂාව ඉගෙන ගත්තා. ඒ නිසා අපට සිංහල බැහැ. ‘අංජලිකා’ චිත්‍රපටයේ රඟපාන විට මට සිංහල බැරි වුණේ ඒ නිසා. හැමෝම සිතුවේ මම දමිළ කියලා. දැන් මට සිංහල ටිකක් කතා කරන්න පුළුවන්. ඒත් තවම ලියන්න බැහැ. ඉදිරියට කොහොම හරි ඉගෙන ගන්නවා. ශ්‍රී ලංකාවේ සමාජයේ ගැවසෙන විට ඒ අය ගැන මොන වගේ හැඟීම් ද ඇති වුණේ? ඒ හොඳ මිනිස්සු නිසයි මම ශ්‍රී ලංකාවට ආසා වුණේ. ඒ නිසා මෙතැන ඉන්න ඕන කියලා ශ්‍රී ලංකාවේ කෙනෙක්ව ම මම විවාහ කර ගත්තා. ඒ අතින් මම බොහොම වාසනාවන්තයි. ප්‍රශාන් බොහොම හොඳ කෙනෙක්. අපි ඉස්සෙල්ලා ම හොඳ යහළුවෝ වුණා. ඒත් ඔබ කාලයක් පැවසුවේ විවාහ නොවෙන්න තීරණය කර තිබෙන බවයි? ඔහු වගේ කෙනෙක් තමයි විවාහයට සුදුසු කියලා, ප්‍රශාන්ව ඇසුරු කරද්දියි මට සිතුණේ. විවාහයේදී බලාපොරොත්තු වන්නේ සිනහවෙලා සතුටෙන් ඉන්න නේ. කොයිතරම් සල්ලි තිබුණත් සතුටක් නැත්නම් වැඩක් නැහැ. හොඳ හදවතක් තිබෙනවා නම් සතුටෙන් ඉන්න පුළුවන්. මම හෙව්වේ ආදරය, ඉවසීම, එකිනෙකා තේරුම් ගැනීම වගේ දේවල් තියෙන හොඳ හදවතක්. මා බැලුවේ මට මුණ ගැසෙන අය මොන ජාතියකද? මොන ආගමක ද? කියලා නොවෙයි. ඒ අයට හොඳ හදවතක් තිබෙනවා ද කියලා. කොයි ආගමක වුණත්, ජාතියක වුණත් බැටළු හම පොරව ගත්ත වෘකයෝ ඉන්න පුළුවන්. ඒ අය ඇසුරු කරොත් අපිත් පහළට යනවා. ඒ නිසා ඒ අතර හොඳ හදවතක් තිබෙන කෙනෙක් හමු වුණොත් අපිත් ඉහළට ම යනවා. එතකොට සතුට දැනෙනවා. මම හැමදාම සිතුවේ එහෙම කෙනෙක් නම් මට කිසිම දවසක මුණ ගැහෙන එකක් නැහැ කියලා. එහෙම නම් මුළු ජීවිතය ම තනියම ඉන්නයි මා තීරණය කරලා තිබුණේ. ප්‍රශාන්ව මුණ ගැසුණාට පස්සේ ඒ අදහස වෙනස් වුණා. ඔබ දිගට ම රඟපෑමේ යෙදෙනවාට ඔබගේ සැමියා කැමැති ද? ඔහු මට කියන්නේ පූජා, ඔයාට රඟපෑමෙන් සතුටක් දෙනවා නම් ඒක කරන්න. ඒ කරන කාර්යයෙන් ඔයා අසතුටට පත්වෙනවා නම් ඒක නවත්වන්න කියලා. උදාහරණයක් විදියට අරහේ පෙනෙන, මෙහෙ පෙනන ඇඳුම් ඇන්ඳ ම මිනිස්සු බලනවා නේ. ඇඳුමක් අඳීන වෙලාවට මම ඒ ගැන හිතනවා. ඒ වෙලාවට ඔහු පවසන්නේ ඔයාට කිසිම ප්‍රශ්නයක් නැති වන විදියේ ඇඳුමක් දා ගන්න කියලා. විවාහයෙන් පස්සේ පූජා රඟපෑමෙන් ඉවත් වන බවකුයි බොහෝදෙනා අතර කතාබහක් ඇති වී ඇත්තේ? මම අලුත් ජීවිතයක් නේ පටන් ගත්තේ. එතකොට ඒකට අනුගත වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් මට එතැනත් නෑ. මෙතැනත් නෑ. ඒ නිසා මා පළමු තැන දෙන්නේ මගේ පවුල් ජීවිතයටයි. ඒ නිසා ටික කලක් මා රඟපෑමෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒත් මේ කාලයේ අලුත් නළු - නිළියන් සිනමා ක්ෂේත්‍රයට පැමිණේවිය කියලා මා හිතනවා. මගේ මේ නැවතුම් කාලය ඇතුළේ මා බලාපොරොත්තු වන එක ම දෙය එයයි. මේ වනවිට මුළුතැන්ගෙයි කටයුතු ඇතුළු නිවෙසේ කටයුතු ඉටු වෙන්නේ ඔබගේ සුරතින් ද? තවම මට උයන්න බැහැ. ඒ දෙවල් මට කියලා දෙන්නේ ප්‍රශාන්. ඔහුත් මට නිවෙසේ වැඩවලට උදව් කරනවා. කොහොමත් ශ්‍රී ලංකාව දමලා මා යන්නේ නැහැ.
|