වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




“මේ මොහොතේ සිනමාව ගරිල්ලා ගේම් එකක්”

“මේ මොහොතේ සිනමාව ගරිල්ලා ගේම් එකක්”

සිනමාව ගැන A ටු Z දැනගත යුතුයි
නැතිනම් සුළඟ අප රැගෙන යාවි

සුළඟ අප රැගෙන යාවි අධ්‍යක්ෂක නුවන් ජයතිලක

සුළඟ අප රැගෙන යාවි තවමත් ලාංකීය සිනමා ප්‍රේක්ෂකයනට විවෘත නොවූ බව සැබෑවකි. දැනට එය ලංකාවේ රමණීය පසුතලවල රූගත වූ බවත් ළමුන් දෙදෙනකුගේ ලෝකයක් ස්පර්ශ කළ කතා පුවතක් බවත් කිව හැකිය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නුවන් ජයතිලකයි. නුවන් රත්නපුර සිට කොළඹ පැමිණ පුවත්පත් මාධ්‍ය කාලවේත් වෙළෙඳ දැන්වීම් කලාවේත් අත්දැකීම් රාශියක් එකතු කොට ගෙන අද ලන්ඩන් නුවර වාසභූමිය කරගත් තරුණයෙකි. සිනමාවට තිබෙන දැඩි ඇල්මත් උද්යෝගී බවත් නිසා 2015 වසරේදී 'සුළඟ අප රැගෙන යාවි' ඔහු කුලුඳුලේම නිර්මාණය කළේය. නුවන් මෙවර ද ලංකාවට පැමිණියේ චිත්‍රපටයේ කටයුතු කිහිපයක් වෙනුවෙනි. ඒ පැමිණි අතරවාරයේ සරසවිය සම්මාන උලෙළලට ද සහභාගි වුණි. අප ඔහුව හමු වන්නේ ස්වාධීන සිනමාකරුවෙකු ලෙස ඔහු ලත් අත්දැකීම් බෙදා හදා ගන්නටය. ඒ පිළිබඳව අප කළ ඉනිල් කතාබහයි මේ.

කලකට ඉහත දී වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේත් පුවත්පත් කලාවේත් නියැළුණු ඔබ සිනමාවට එන්න හිත හදාගන්නේ කොහොමද?

පත්තර කලාවේ නියැළෙන්න පටන් ගත්තේ උසස් පෙළින් පස්සේ. නියැලෙමින් හිටිය වේදිකා නාට්‍යකරණය අතහැරලා මව්බිම ඉරිදා දිවයින පුවත්පත්වල මම සේවය කළේ. ඉන් පස්සේ මම යොමු වුණේ පූර්ණකාලීනව වෙළඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයට. විමුක්ති ජයසුන්දරගේ වෙළඳ දැන්වීම් නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන විධායකයෙක් හැටියට වෙළඳ දැන්වීම් විශාල ප්‍රමාණයක වැඩ කළා. ඒ ඇසුර නිසාම සිනමාව ගැන සෑහෙන අවබෝධයක් මට තිබුණා. නමුත් සිනමාව ගැන මට දැවැන්තව බලපෑම් කළ තැන තමා ඉන්දියාවේ පූනේ හි චිත්‍රපට අභ්‍යාස ආයතනය. කාලෙකට කලින් මම පූනේ ගියා සිනමා හා ජනමාධ්‍යකරණය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වෙන්න. මම චෙන්නායි ගිහින් ඉන්පසු දුම්රියෙන් තමා ඉතිරි දුර ගියේ. ඒ දුම්රියෙන් දවස් කිහිපයක් වෙනස් පරිසරයන් අත් විඳිමින් ගිය ගමන තමා මාව වෙනස්ම කෙනෙක් බවට හැරෙව්වේ.

හොඳයි ඔබේ චිත්‍රපටයට 2016 වසරේ ඇමරිකාවේ හූස්ටන් සිනමා උලෙළේ ඇගයීමක් දෙමින් 'රෙමි' සම්මානයටත් පාත්‍ර වුණා. ඔබ චිත්‍රපටය වෙළෙඳපොළට යොමු කරන්නේ සිනමා උලෙළවල් හරහාද?

ඇත්තටම ගත්තොත් ලෝකයේ සමහර ප්‍රධාන පෙළේ සිනමා උලෙළවල් වෙළඳ පොළක් තමයි. සරලවම කිව්වොත් ඒ සිනමා උලෙළවල් වලට වෙළෙඳපොල ඇතුල් වෙලා හොඳ සිනමාපට ඔසවා තබනවා. මම තනි පුද්ගලයෙක් විදිහට සුළඟ අප රැගෙන යාවි යුරෝපයට අරන් ගිහින් එහේදී වාණිජ ප්‍රදර්ශනයට දාන්න අමාරුයි. මොකද මම දැවැන්ත ප්‍රාග් ධනයක් තිබෙන සිනමාකාරයෙක් නොවන නිසා. ඒ නිසාම මම හොයනවා විකල්ප ප්‍රදර්ශන ආකෘතියක්. මට ඒ විකල්ප ආකෘතිය ලැබෙන්නේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පැවැත්වුණු සිනේකිඩි සිනමා උලෙළ නිසා.

ඔවුන් දක්වපු ප්‍රතිචාරය මොකක්ද?

ඒ වගේ සිනමා උලෙළවල් ලෝකේ ගොඩක් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ උලෙළවල්වලට අදාළ රටේ වගේම වෙනත් කලාපවල සිනමා ප්‍රේක්ෂයින්, විවිධ සමාගම්, විවිධ සංවිධාන වගේ අය එනවා. අන්න ඒ අය තමා අපි වගේ කුඩා සිනමාකරුවන්ට අත දෙන පිරිස. ඔවුන් කැමතියි ඔවුන්ගේ රටේ ඔවුන්ගේ කලාපයේ මේ චිත්‍රපට පෙන්වන්න අවස්ථාව දෙන්න. ඒ වගේ අවස්ථා ඇත්තෙන්ම අපට වරප්‍රසාදයක්. චිත්‍රපටය සිනමා ශාලාවක පෙන්වනවා වගේම ශ්‍රවණාගාර, සාමාන්‍ය සංස්කෘතික මධ්‍යස්ථාන ආදී සම්ප්‍රදායක නොව තැන්වලත් පෙන්වනවා. ඒ වගේම මම බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ආසියානු සිනමා උලෙළෙත් චිත්‍රපටය පෙන්වූවා. ඊට පස්සේ ඒක බ්‍රිතාන්‍ය රසික පිරිසක් වැලඳ ගත්තා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ඉන්දියන් සිනමා උලෙළෙත් පෙන්වලා ඕස්ට්‍රේලියන් ප්‍රේක්ෂක පිරිසකගේත් අවධානය දිනා ගත්තා. මේ ආපු ප්‍රතිචාර නිසාම මම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය, නවසීලන්තය, ඔස්ට්‍රියාව ආදී රටවල්වල විටින් විට චිත්‍රපටය ප්‍රදර්ශනය කළා.

විකල්ප ප්‍රදර්ශන ආකෘතියක් කියන්නේ සම්ප්‍රදායක ප්‍රදර්ශන ආකෘතියෙන් බැහැර වීම පමණක්මද?

කොහෙත්ම නැහැ. මේ විකල්ප ප්‍රදර්ශන ආකෘතිය බොහෝ විට දියුණු පැතිරිච්ච ක්‍රමයක්. පොදු ප්‍රදර්ශන ක්‍රමවලට අමතරව ඩී වී ඩී වෙළඳපොළ අද ගොඩක් පැතිරිලා තිබෙනවා. අන්තර් ජාලය භාවිත කරමින් අද ගොඩක් දෙනා චිත්‍රපට රස විඳිනවා. ව්ඥබටතඪය කියන්නෙත් අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන හොඳම විකල්පයක්. ඒ වගේම තමා 'ඔන් ඩිමාන්ඩ්' ක්‍රමය. කේබල් සහ චන්ද්‍රිකා රූපවාහිනි භාවිත කරන අයට ඒ පහසුකම ගන්න පුළුවන්. මේ ළඟදී මට ලංකාවෙන් අහන්න ලැබුණා කොමියුනිකේෂන්වල තියෙන රීලෝඩ් දාන මැෂින් එක වගේ චිත්‍රපට අපේ උපාංගවල දාන්න පුළුවන් මැෂින් එකක් තරුණයෙක් නිර්මාණය කරලා තිබෙනවා කියලා. ඒකත් මුදල් ගෙව්වම චිත්‍රපටය තමන්ට ලැබෙන ක්‍රමයක්. මේකත් හොඳ විකල්ප ක්‍රමයක් තමයි. වැදගත්ම දේ තමයි ලෝකයේ ස්වාධීන සිනමාකරුවෝ කියන පිරිස බිහි වෙන්නෙම මෙන්න මේ විකල්ප ක්‍රම ඔස්සේ තමන්ගේ ගමන යන ඉතිහාසයක.

ලෝකයේ බොහෝ ස්වාධීන නිර්මාණකරුවෝ නිර්මාණය කරන්නේ ආර්ට් හවුස් හෙවත් කලාත්මක සිනමා නිර්මාණ, ඔබත් ඉන්නේ ඒ ගොඩේ. මේක ලෝකයේ දැවැන්ත ප්‍රවණතාවක්. ඔබ කෙහොමද මේ ආර්ට්හවුස් සිනමාව විග්‍රහ කරන්නේ?

ආර්ට් හවුස් කියන එකෙත් ප්‍රභේද තිබෙනවා. ලාංකික අර්ථයෙන් කලාත්මක කිව්වම කෙනෙක්ගේ හිතේ මැවෙන්නේ බොහොම කඨෝර නොතේරෙන අන්තර්ගතයක් තිබෙන සිනමාවක්. උදාහරණයකට අපි චැට්පොං වීරසෙනාකුල්ගේ චිත්‍රපටයක කැමරාව එක එල්ලේ තියාගෙන ඉන්නවා ඉන්නවා. රූපරාමුවේ මොකක්ද වෙන්නේ කියන එක කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. නමුත් මම ඉන්නේ ඒ සිනමා රීතියේ නෙවෙයි. මගේ සිනමාව කතා කලාව හා රසය කියන එක වැඩියෙන් ඉස්මතු කරන එකක්.

ලංකාවේ වුවත් තරුණයෝ ඔබ ඉන්න තැණේ ඉඳන් වෘත්තාන්ත චිත්‍රපටයක් කරන්න කැමැතියි. නමුත් ඔවුන්ට අවස්ථා හිඟයක් තිබෙනවා නේද?

මම නම් කොහෙත්ම හිතන්නේ නැහැ එහෙම තත්ත්වයක් තිබෙනවා කියලා. ඔවුන් සිනමාව ගැන ඒ ටු ඉසෙඩ් දැනගෙන යමක් කරන්න උත්සාහ ගන්නවා නම් මම හිතන්නේ නැහැ ඒක අපහසුයි කියලා. චිත්‍රපටයක් හදලා පෙන්වගන්න බැරි ගැටළුව අද ඊයේ ආපු එකක් නෙවේනේ. ඒක ලෙස්ටර් මහත්තයාගේ ඉඳලා අද මම දක්වාම තියෙන ප්‍රශ්නයක්නේ. කාට හෝ එහෙම උවමනාවක් තිබෙනවා නම් මම හිතන්නේ නැහැ ඔහු නාහෙන් අඬ අඬ ඉඳිවි කියලා. යුරෝපයේ චිත්‍ර කලාව දන්න අයට තැනක් නැත්නම් ඔවුන් ගිහින් තාප්පවල හරි අඳිනවා. බොඩි පේන්ටින් දන්නවා නම් ඔහු තමන්ගේ ඇඟේ හරි ඇඳගන්නවා. මම උදාහරණයක් දෙන්නම්. උගන්ඩාවේ ඉන්නවා අයිසෙක් නබුවානා කියලා සිනමාකරුවෙක්. ඔහු තමන්ගේ ගමේ ඉඳන් කොළ පාට තිරයක් දාලා රූපගත කරලා. ඒවට දෘශ්‍ය ප්‍රයෝග යොදලා චිත්‍රපට හදනවා. අන්තිමේදී ඔහුම තමා ඒවා ගෙයින් ගෙට ගිහිල්ලා අළෙවි කරන්නෙත්. අද හොලිවුඩ් සමාගම් කිහිපයක් පවා ඔහු සමඟ වැඩ කරනවා.

ඔබ කියන කතාව හරි වෙන්න පුළුවන්. නමුත් ඔය සියල්ලටම වඩා අලුත් සිනමාකරුවෙක්ට මූල්‍ය තත්ත්වය හරස් වෙන්න පුළුවන් නේද?

මෙහෙමයි, චිත්‍රපට කියන්නේ වැටකොළු පතෝල වගේ ජාතියක් නෙවෙයිනේ. අපට කාගෙන්වත් ඉල්ලන්න බෑ අරක දියව් මේක දියව් කියලා. නමුත් පහුගිය කාලේ කිහිප දෙනෙක් නිෂ්පාදකයන්ගේ සල්ලි අරන් ගිහින් බාගෙට චිත්‍රපට කරලා නිෂ්පාදකයන්ව අනාථ කළා. ඉතින් කොහොමද අලුත් අයට බය නැතුව සල්ලි දාන්නේ. ඔබ දන්නවා නම් ගඩොලක් හදන විදිහ ඔබට පුළුවන්කම ලැබෙනවා ඒක පුච්චලා අලෙවි කරන්න. සිනමවේත් එහෙමයි. චිත්‍රපටයක් නිෂ්පාදනය කරන විදිහ ගැන අග සිට මුලටම දන්නවා නම් ඔබට පුළුවන් මුදල් අඩුපාඩු කියන දේ මඟහරින්න. ඔබට මුදල් නැත්නම් ඔබට පුළුවන් පොදුවේ මිනිස්සු අතරට ගිහින් මුදල් එකතු කරන්න. ඔබට යම් මුදලක් තියෙනවා නම් ශ්‍රම සූක්ෂම ක්‍රමවලට ගිහින් වැඩේ සාර්ථක කරගන්න පුළුවන්.

මොකක්ද ඔබ යෝජනා කරන ශ්‍රම සූක්ෂම ක්‍රමය?

විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මගේ චිත්‍රපටයේ සම්පූර්ණ රූපගත කිරීම් දින 16 යි. පසු නිෂ්පාදන කටයුතුත් එක්ක මේ වැඩේ සම්පූර්ණ කරන්න ගියේ දවස් 30 ක් විතර. සමහර විට මේක වාර්තාවක් වෙන්නත් පුළුවන්. මට එහෙම සාර්ථක වෙන්න පුළුවන් වුණේ මම අධ්‍යක්ෂවරයෙක් නොව සිනමාකරුවෙක් වෙන්න පුළුවන් වුණ නිසා. මේ දෙක දෙකක්. චිත්‍රපටයක් කරන කොට සජිවීව ශබ්ද පටිගත කරන්නේ නැත්නම් ඔබට සිද්ධ වෙනවා ස්ටුඩියෝ බුක් කරන්න. මුළු චිත්‍රපටයම හඬ කවන්න. ඒවට යන වියදම අධිකයි. එහෙම නොකර සියලු ශබ්ද, ශබ්ද පථ 6 කට සකස් කරන්න යන්නේ වෙන්නේ ඉන්දියාවට. ඒවට යන වියදම අධිකයි. ඊට පස්සේ සංස්කරණය කරන්න යන්න අඩුම දවස් 15 කට වත් ස්ටුඩියෝ බුක් කරන්න ඕනෑ. ඊට පස්සේ වර්ණ සංයෝජනයය කරගන්න තවත් දවස් ගණනක් යනවා. මේ ඔක්කොටම යන්නේ වියදම්. විශ්වාස කරන්න මම මේ දේවල් වැඩි හරියක් කරගත්තේ ගෙදර ඉඳන්. ස්වල්ප දවස් ගාණකට විතරයි මට වියදම් ගියේ. මම අත්‍යවශ්‍ය රූප ටික ගෙදරදී තෝරලා සියලු මූලික අදියරයන් ගෙදරදී කළේ සජීවීව. ඉතින් මගේ වියදම් අති විශාල ප්‍රමාණයකින් ඉතුරුයි. ඒ සඳහා කෙනෙක් චිත්‍රපට නිෂ්පාදනය ගැන ඒ බධ ඛ දැනගෙන සිටිය යුතුමයි.

ඔබේ ක්‍රමය සාර්ථක වෙන්න පුළුවන්. ඒත් මේ ක්‍රමය ඒ විදිහටම කෙනෙක්ට ක්‍රියාවේ යොදවන්න පුළුවන්ද?

කෙනෙක් දර්ශන තල බලන්න රට වටේ යනවා නම් ඒකට වෙනම සල්ලි යොදවාගෙන යන්නේ නැතුව යාළුවෝ එක්ක විනෝද චාරිකාවක් යනවා වගේ ගිහින් පුද්ගලිකව ඒක කරන්න පුළුවන්. ගැටළුවක් නැහැනේ. මම හොඳට දැක්ක දෙයක් තමයි ගොඩක් දෙනා පසුතලයට ගියාම කාර්්‍යය සටහන් කරන්නේ නැහැ. ඔවුන්ට කිසි සැලසුමක් නැහැ දවස තුළ උපරිම වැඩ අරන් මුදල් ඉතුරු කරගන්න. ඒ නිසා ඔවුන් ඇනගන්නවා. මම ඒ කාර්යයන් පහසු කර ගන්නේ මගේ අයිපෑඩ් එක හරහා. ඒ දේවල් සැලසුම් කරගන්න සිනමාකරුවකුට වෙනම මෘදුකාංග තිබෙනවා. ඒකෙන් මම සියල්ල අකුරට සැලසුම් කර ගන්නවා. අනික මේ වගේ වැඩ කරද්දී අනේක විධ බාධාවන් එන්න පුළුවන්. අපි ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලලා තිබුණා කොළඹ අවට රූපගත කිරීමක් කරන්න. නමුත් අවසර ලැබෙද්දී පරක්කුයි. ඒ අතර ඩී අයි ජී කෙනෙක් මගේ පිටපත අරන් ඒ රූප රාමු ගැළපෙන්නේ නැහැ, රටේ ආරක්ෂාවට තර්ජනයක් කියලා එයා වෙනම පිටපතක් ලියන්න ගත්තා. මං එයාට ඕනෑ එකක් ලියාගන්න කියලා මං මගේ රූපගත කිරිම් ඉතා සූක්ෂමව කළා. කෙනෙක්ට මේ වගේ ගරිල්ලා ගේම් එකක් ගහගන්න පුළුවන් නම් ඔහු ගොඩ.

ඔබ හිතන විදිහට ලංකාව තුළ විකල්ප වෙළෙඳපොළක් හදාගන්න අපහසු වේවිද?

මම හිතන්නේ නැහැ අපහසුයි කියලා. දැනටත් ලංකවේ සාධනීය දේවල් සිද්ධ වෙනවා. අධ්‍යක්ෂවරුන්ගේ සංසදය හොඳ උලෙළක් බිහි කළා. නමුත් මේක ජාත්‍යන්තර මට්ටමට යන්න නම් රජය ලොකු සහයෝගයක් දෙන්න ඕනෑ. මොකද ඒ වැඩේ නිලධරින්ට පුළුවන් එකක් නෙවෙයි. ළඟදී ආපු අලුත් චිත්‍රපටවලට මාධ්‍ය ආයතනවලින් ඇඩ්වර්ටයිසින් ග්‍රාන්ට් එකක් ලැබුණා. ඒ වගේ අලුත් සිනමාකරුවන්ට යම් යම් දේ ලැබෙන්න ගත්තා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්.

'සුළඟ අප රැගෙන යාවි' අපට ලංකාව තුළ බලන්න ලැබේවිද?

අනිවාර්යෙන්ම පුළුවන්. මේ මොහොතේ තත්ත්වයත් එක්ක ඉක්මනින්ම ශාලාවලට එයි කියලා හිතන්න පුළුවන්. මොකද මම ඒ වෙනුවෙන් වැඩ කරමිනුයි ඉන්නේ.