වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති

රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති

අලුත් අධ්‍යක්ෂකවරයකු සමඟ ති.නා අලුත් චිත්‍රපටයක් තනයි

මීමුරේ ඇවිද්ද හුඟ දෙනකු පවා නොදැක්ක මීමුරේ කඳු මායිමෙන් මෙපිට පහළ ඇලහැරට මහියංගනයට බිබිලට හෙට්ටිපොලට මඟ වැටෙන මේ ඉසව්වෙන් ඉහළ අහසට නැඟී සිටිනා තරමක් සිටින්නේ සද්දන්ත කඳු ඇටන්වල, පිටවල, දුම්බර, කරගස්තැන්න එහෙම මායිම් කරගත්ත මේ ගම්මානයි. ඉලුක්කුඹුර මධ්‍යඹ පළාතේත් මැද්දෑව වෙන මේ හරහා රටේ ඕන පළාතක ලෙහෙසියෙන් යත හැකි.

ඒත් රයිගමටවත් ගම්පලටවත් අයිති නොවෙනා මේ සීතල රිවස්ටන් මායිමේ නකල්ස් රක්ෂිතයේ ඕකුරුලන්ද අවට තමයි මේ දිනවල රයිගමයයි ගම්පලයයි රුගත කෙරෙන්නේ.

‘මේ ළමා චිත්‍රපටය අපට හරි ලෙහෙසියෙන් කොළඹ අවට රූගත කරන්න තිබුණා. ඒත් පුංචි දරුවන් වෙනුවෙන් කරන මේ ළමා චිත්‍රපටය සොබා දහමේ ලස්සනම ලස්සන එකතුවෙන්න ඕනය කියන මතයේ අපි සිටිනවා. ඒ නිසා අධික වියදමක් දරාගෙන රිවස්ටන් ආවේ රිවස්ටන්වලත් හුඟ දෙනෙක් නොදැක්ක ලස්සන කැමරාවට අරන් ඒ ලස්සන ළමයින්ට දකින්න සලස්වන්න අපි සිතුවෙ. ඒ වටපිටාව ඇතුලේ අපෙන් ටිකින් ටික ගිලිහෙන අපේ ජන කතාමයි අපි සිනමා රූපයෙන් ළමයින්ට තිළිණ කරන්නේ’

රයිගමයයි ගම්පලයයි චිත්‍රපටය තිස්ස නාගොඩවිතාන චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනය කරන හරේන් නාගොඩවිතානනයොත් සම නිෂ්පාදකවරුන්ගේ සහ විධායක නිෂ්පාදකවරයාගේත් අදහස එහෙමයි. ගාලු පැත්තේ ඇවිදලා කරලා දර්ශන තල සොයලා අන්තිමේදී රිවස්ටන්වලින් නැවතිච්ච බවයි අධ්‍යක්ෂ ලලිත් පේ‍්‍රමතිලක කියන්නෙත්. රයිගමයයි ගම්පළයයි කතා සංකල්පය, තිර රචනය, ගීත රචනය වගේම අධ්‍යක්ෂණයත් ලලිත්ගේ.

කාලෙක ඉඳන්ම පිටපත් ලියාගෙන චිත්‍රපටයක් කරන්න පුල පුලා බලා සිටිය ලලිත්ගේ තුන්වැනි තිර පිටපත තමයි මේ. ඒ තිර පිටපත සිනමා රූපයට නඟන තිස්ස නාගොඩවිතාන චිත්‍රපට නිෂ්පාදනය කරන සිව්වැන්න තමයි රයිගමයයි ගම්පලයයි. කෝලංකාරයෝ, කැකිල්ලේ රජ්ජුරුවෝ සහ මරුවා සමඟ වාසේ චිත්‍රපටවලට පස්සේ දශක තුනක විතර නිහඬතාවකින් තමයි නාගොඩවිතාන චිත්‍රපට දැන් අලුත් වැඩකට අතගහලා තියෙන්නේ.

කඩේකට යා ගන්න කිලෝ මීටර හතළිහක් විතර යන්නෝන. දුරකතන කුළුණුවලින් මේ අවටට සංඥා බෙදන්නේ හරියට අපිත් එක්කලා අරියාදුවට වගේ. උදේට ඇස් බොඳ කරන මීදුම. මිදුමත් එක්කලා පොර බඳලා පොර බඳලා යන්තම් ඉර එළි තීරු තීරු ගම් වදින්නේ දවසටම හෝරා හත අටකට නකල්ස් රක්ෂිතයේ රෙඩ්බානා වනමන්දාව තමයි රිවස්ටන් අද්දර වැජඹෙන මුරණ්ඩුම කැලෑව. හැන්දෑවේ පහ වෙද්දී කොරගන්න ෂූටින්නෙකක් කොරන් ඈවර කරගන්නවලා. ඕ මං නොකිව්වයි කියන්නෙපා කියන්නා වාගේ අඬ අඳුරක් තමයි ඒ කැලේ ඇතුළේ විහිදෙන්නේ.

ගම්පලයා කුමාර තිරිමාදුර. රයිගමයා ගිරිරාජ් කෞශල්‍ය (ගිරා) ගායන දක්ෂතා අපි වටින් ගොඩින් දැක තිබෙනා තිරිමාදුර මේ චිත්‍රපටයෙන් පසුබිම් ගායකයකු විදියට දොරට වඩිනවා.

‘අබරා සිල් ගත්ත වාගේ
ඇටි කෙහෙල් කෑ උගුඩුවා සේ
කබරගොයත් තලගොයා කළා
ඉඳල වැඩක් තියෙනවද මලේ . . .’

ඔය ආරෙට ගිහිල්ලා ගම්පලයාට ඒ දෙන්නගෙ පැටිකිරිය අපූරුවට සින්දුවෙන්ම කියන්නේ.

වංශෙ කබල්ගානවට වඩා
පැදුරෙ සීනි පැණි රහයි කියා
කීවා වගෙ අපි එකතු වෙලා
හීන් නූල අඹරමු දෙන්නා’ කියලා

ගම්පලයා තමයි තිරිමාදුරට හොඳටෝම සැට් වෙච්ච චරිතේ කියල තමයි ලොකේෂන්නෙකේ හුඟ දෙනෙක් කියන්නේ. එයින් මෙයින් මොත්තෙ පාරෙන් පානියෙන් තමයි රයිගමයයි ගම්පලයයි දෙන්නා මේ ෆිල්ම්මෙකේ තේ කඩේ එල්ලිලා තිබිච්ච කෙසෙල් කැනට වග කිව්වේ. රිහසල් කරන වාරයක් වාරයක් ගානේ මේ ඩබල කෙසෙල් ගෙඩි දෙක ගානේ ගිලලා දාන එක අධ්‍යක්ෂවරයා අන්තිමේ තරවටු කරලයි නවත්වා ගත්තේ.

තිරිමාදුරයි ගිරයි දෙන්නා හැරෙන්න ෂූටිං වැඩ පොඩියකට තුරල් වෙද්දිම රස කතාවක් දෙකක් කියන අංග රචක හෙන්රි ප්‍රේමරත්න ළඟටමයි ප්‍රොඩක්ෂන්නෙකේ කොල්ලෝ වට වෙන්නේ. ඒ වෙලාවට ලොකේෂන්නෙකටම හිටිය එකම ළමිස්සිය වෙච්ච කෞෂි ටිකක් ඈතට වෙන්නේ ඒ කට්ටියගේ ෙබ්‍රික් නැති කටවල්වල හැටි දැනගෙනවත් ද මන්දා?

ගිරාට ෂූටිං නැතිනම් ප්‍රොඩක්ෂන්නෙකේ වැඩ කරන මල්ලිලා හැමෝටම මුණ ගැහෙන මුණ ගැහෙන වාරයක් ගානේම ගිරා කියන කතාවක් තියෙනවා.

‘මල්ලි . . . මට හෙට ෂූටිං නෑ. හැබැයි මං කොළඹ යන්නේ නෑ. ලොජ්වෙලා ඉන්නවා. මල්ලි ෂූටිං නැති වුණාට මං කනවා. මල්ලි හෙට ෂූටිං නැති වුණාට මං බොනවා හරිද අනේ පරක්කු කරන්ඩ එපා රජෝ . . . කියලා.

ගිරයි තිරිමාදුරයි ලොජ්වෙලා ඉන්නෙත් කැලේ ඇතුළකට වෙන්න. ගිරා ෂූටිං නැති දවස්වලට ඒ පැත්තේ ෆෝන්වලත් එච්චර සිග්නල් නැති එකේ කට්ටියට ගිරාව අමතක වෙයි කියලා හිතලයි රයිගමයා (ගිරා) එහෙම කියන්නේ. කොහොමටත් අමතක වන සුළු ගතිය වැඩි ප්‍රොඩක්ෂන්නෙකේ සමහරු නිසා තමයි අනුර බණ්ඩාර රාජගුරු රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයේ රඟපාන්න කොළඹ ඉඳන් රිවස්ටන් ආවේ නැත්තේ කියලයි අපට දැනගන්න තියෙන්නේ.

වරක් අයියා මේ කීවෙනි වතාවටද නිර්මාණයකට කෝරලේ මහත්තයට අඳින්නේයි ඇහුවාම පුරුදු නිරහංකාර හිනාවෙන්ම ඔහු කිව්වේ ඒ ගැන නිච්චි නැති බවක්. ඒත් බොහොම වතාවක් ආරච්චිලාට, කෝරලේ මහත්තයලාට රඟපාන්න ලැබුණු බව තමයි විජේරත්න වරකාගාඩ ඒ මතක අලුත් කර කර කීව්වේ.

දැන් දැන් අඩුවෙන් යාළුවා ආස්සරේ කරන්නෙ ලෙඩ ඇඳට වැටුණාම ළග හිටියේ බිරින්දෑ විතරක්ම නිසා කියලයි ‘අලිඩොං’ අපට කිට්ටු කරලා කිව්වේ. මේ චිත්‍රපටයේ තේගිසාගේ චරිතය මවනා ඔහු ලක්ෂ්මන් අමරසේකර. විකට චරිතවලින් ටිකකට බැහැර වෙලා කර්කෂ පරිසරයක ජීවත්වෙන දුප්පත් තාත්තා කෙනකුගේ චරිතයක් රඟපාන්නයි ලක්ෂ්මන් ආසාවෙන් ඉන්නේ. ඒත් තව එහෙව් ආරාධනාවක් නම් ලැබිලා නැති එකයි අහේතුව.

මහනුවර ජීවත්වන රෝහිත් මාන්නගේ සංගීත කණ්ඩායමේ කටයුතු කරන් යන අතරේ හොඳ නිර්මාණවලටත් දායක වන බවයි කියන්නේ. තිස්ස නාගොඩවිතානයන් සිනමාවට කරන මෙහෙවර රෝහිත් අවධාරණයෙන් සිහි කළ තවත් කරුණක්.

‘එක්තරා පර්යේෂණයක් වගේ අපිට දැනෙන්නේ. සමහර වෙලාවට අපිට අපිම අධිරංගයකට යොමුවෙන්න වෙන ගතියකුත් දැනිලා තියෙනව.ා කොහොම වුණත් රයිගමයයි ගම්පොලයයි ළමයින් වෙනුවෙන් කරන චිත්‍රපටියක්. අන්තිමේදී ළමයි තමයි තීරකයන් වෙන්නේ . . .’

ලොකේෂන්නෙකේ දිවා භෝජනයට ෆයිඩ් රයිස් හදලා තිබිච්ච දවසක අද නම් කොලොස්ටරෝල් ටිකක් කත හැකි කියලා කොලොප්පමට කිය කියමයි රයිගමයයි ගම්පලයයි අපට එහෙම සීරියස් ටෝක්ස් දුන්නෙත්.

‘මේ චිත්‍රපටියේදී පරණ කතා හතර පහක් එකට ගැළපෙනවා. ඇත්තටම ඒ හුඟක් ඒවා අට වසර පන්තියෙ පෙළ පොතේත් එනවා. වානිජ පැත්තට බර නමුත් ළමයින්ට ආදර්ශවත් වීම අපි ඉහළින්ම චිත්‍රපටයේදී සැලකු දෙයක්. කැමරාකරණය, ශබ්ද සංයෝජනය, සංගීතය සියල්ලටම අපි ඉහළම තාක්ෂණය යොදා ගන්නවා. අසභ්‍ය, දෙපිට කැපෙන කිසිම වචනයක් මං යොදා ගන්නේ නැහැ. ළමයි ලොකු අයගෙන් නිතර ඉගෙන ගන්නවානේ. ඒ ඇත්ත ළමා මනස පිනවන විදියට පාවිච්චි කරන්නයි මං උත්සාහ කළේ’

රූගත කිරීම් අතරතුර ලැබෙන කෙටි විවේකයකදී ළඟට කිට්ටු කරන අපට ලලිත් ප්‍රේමතිලක (අධක්ෂවරයා) නළල රැලි ගන්වලා බැරෑරුම්ව කියන්නෙ එහෙම.

නාගරික මැද පන්තියේ පෙම්වතී චරිතයෙන් වැඩිපුර අප හමුවෙච්ච පියුමි හංසමාලි පත්තර පිටු අතරටත් වඩා වැඩිපුර ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලවලනේ. ඕන්න වෙනසකටත් එක්ක පියුමි රියිගමයයි ගම්පලයයි චිත්‍රපටයෙන් ගැමි කෙල්ලකුගේ කැපී පෙනෙන චරිතයකින් ළඟදී සිනමාවෙන් පේ‍්‍රක්ෂකයා හමු වෙන්නයි යන්නේ හොඳේ. කාලෙක ඉඳන්ම ලොකේෂන්වලදී ධම්මික පතිරත්න කරන කොළොප්පම රිවස්ටන්වලදිත් කළා. ඒ ඔයාලා ඉතින් අපි ගැන පත්තරවල දාන්නේ නෑනේ කියලා.

ගිරිරාජ් කෞශල්‍ය, කුමාර තිරිමාදුර, පියුමි හංසමාලි, විජේරත්න වරකාගොඩ, රෝහිත් මාන්නගේ, ලක්ෂ්මන් අමරසේකර, හේමන්ත ජයලත්, ආනන්ද විජේතිලක, බුද්ධික එදිරිසිංහ, කෞෂි තිලකරත්න, සමන් ශාන්ත ලංකාපුර, එච්. එම්. චමින්ද (රිවස්ටන් චමින්ද) ඉසුරු නාවෝද්‍ය, සමිත මධුශාන් ආදීන් තමයි රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයේ රඟපාන්නේ.

අධ්‍යක්ෂණයෙන් ලලිත් ප්‍රේමතිලකත් සහාය අධ්‍යක්ෂණයෙන් අමිල පහතගෙදරත් එක්වන රයිගමයයි ගම්පලයයි චිත්‍රපටය තිස්ස නාගොඩවිතාන චිත්‍රපට වෙනුවෙන් හරේන් නාගොඩවිතාන නිෂ්පාදනයක්, ඊට සම නිෂ්පාදනයෙන් හර්ෂ පණ්ඩිතරත්න සමඟ කුෂාන් විජේසිංහ එක්වෙනවා. විධායක නිෂ්පාදනය රොෂාන් සංජේ හේරත්ගේ. කැමරාව බුද්ධික මංගලගේ. කලා අධ්‍යක්ෂණය හේමන්ත ජයලත්. වේශ නිරූපණ ශිල්පියා හෙන්රි ප්‍රේමරත්න. සංගීත අධ්‍යක්ෂණය ශාන්ත පීරිස්. සංස්කරණය අනුර බණ්ඩාරගේ. නිෂ්පාදන කළමනාකරු උෂාන් පෙරේරා. කුමාර තිරිමාදුර සහ ශාන්ත පීරිස් තමයි රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයේ පසුබිම් ගායනා කරන්නේ.