වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




රටම කළඹන “උසාවිය නිහඬයි” 6 වැනිදා තිරයට

රටම කළඹන “උසාවිය නිහඬයි” 6 වැනිදා තිරයට

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ නවතම (වාර්තාමය) සිනමා කෘතිය ‘උසාවිය නිහඬයි’ ලබන ඔක්තෝබර් මස 06 වැනිදා සිට කොළඹ රීගල්, බොරැල්ල ලිඩෝ සහ මහරගම ඇමටිලයිට් යන සිනමා ශාලාවන්හි තිරගත කෙරෙනු ඇත. මෙරට අධිකරණය කොතරම් දුරට සමාජ සාධාරණය ඉටු කරනවාද යන්න මේ මඟින් ප්‍රසන්න විග්‍රහ කරනු ලබයි.

එමෙන්ම ලාංකේය සිනමා ඉතිහාසය තුළ පළමුවරට සිනමා ශාලා කිහිපයක තිරගත වන වාර්තාමය චිත්‍රපටය වනුයේද ‘උසාවිය නිහඬයි’ වේ. මෙහි ධාවන කාලය මිනිත්තු හැ ටකි. එම්. ඩී මහින්දපාල කැමරා අධ්‍යක්ණයෙන්ද, දමින්ද ඩී මඩවල සහය අධ්‍යක්ෂණයෙන්ද ‘උසාවිය නිහඬයි’ සඳහා දායක වුහ. වින්දන ආරියවංශගේ විධායක නිෂ්පාදනයකි. ‘උසාවිය නිහඬයි’ එච්. ඩී ප්‍රේමසිරි සමඟ ප්‍රසන්න විතානගේ එක්ව නිෂ්පාදනය කොට තිබේ.


යාපන උලෙළේදී යාවජීව සම්මානය කේ.පී.කේ බාලසිංහම්ට

පසුගියදා නිමාව දුටු දෙවැනි යාපන අන්තර් ජාතික සිනමා උලෙළේ යාවජීව සම්මානයෙන් කේ. පී.කේ බාලසිංහම් පිදුම් ලැබීය. මෙරට විශිෂ්ට ශබ්ද පරිපාලකවරයකු වූ ඔහු කලක් විජය චිත්‍රාගාරයේ සේවය කරන ලදී. සරසවිය සම්මානයෙන් කිහිප වාරයක් පිදුම් ලැබ බාලසිංහම්ට මෙම යාවජීව සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා අවධානයට පාත්‍ර වූයේ ඉකුත් දිනක සරසවිය පුවත්පතේ ඔහු පිළිබඳ පළ වූ ලිපියක් හේතුවෙනි. මදුරාසියේ අඩ්ඩයාර් විශ්ව විද්‍යාලයෙන් සිනමාව පිළිබඳ හැදෑරු ඔහු සිනමාවට සම්බන්ධ වනුයේ ධීවරයෝ චිත්‍රපටයේ රූගත කරද්දීය. ඔහු පළමුවතාවට ශබ්ද පරිපාලනයට පිවිසුණේ හතරදෙනාම සූරයෝ චිත්‍රපටයෙනි. අනතුරුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, ලෙනින් මොරායස් ඇතුළු නිර්මාණකරුවන් රැසකගේ චිත්‍රපට සඳහා හෙතෙම ශබ්ද පරිපාලනයෙන් දායක විය.


සිරිල් බී. පෙරේරා නමින් විචාර තරගයක්

ප්‍රකට පුවත්පත් කලාවේදියකු, කවියකු, ලේඛකයකු, විශිෂ්ට සිනමා විචාරකයකු, ගීත රචකයකු, කතෝලික සිනමා පර්ෂදයේ සිනමා ජූරි සභිකයකු සහ වාණිජ දැන්වීම් කලාවේ ප්‍රවීණයකු වූ සිරිල් බී. පෙරේරාගේ අභාවයෙන් ලබන 2017 ජනවාරි 20 වැනිදාට වසර විසිපහක් ගත වේ. ඒ නිමිත්තෙන් 2017 ජනවාරි 21 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සමරු උත්සවයට ‘නව තාක්ෂණයට අනුරුපිතව නිර්මාණය විය යුතු ලාංකේය සිනමාව’ යන මැයෙන් ආධුනික චිත්‍රපට විචාර තරගයක් පැවැත්වීමට නියමිතව ඇත. එහිදී නිර්මාණශීලි විචාර තුනක් තෝරා සම්මාන සහතික පත්‍ර සහ අනෙකුත් නිර්මාණ වෙනුවෙන් සහතික පත් පිරිනැමීමටත් සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වේ.

මේ වෙනුවෙන් ඉදිරිපත් කරන නිර්මාණ ලේකම්, සිරිල් බී. පෙරේරා සමරු පදනම, 229/3, එඬේරමුල්ල, වත්තල යන ලිපිනයට ලබන නොවැම්බර් 15 වැනිදාට පෙර එවිය යුතු බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.


බර්මින් නළු නිළියන් සොයයි

වාලම්පුරි සිනමාපටය මෙන්ම ගංගා සහ නිශ්ශංක, ගුරු ගීතය, බෝඩිම, දේදුනු පාලම වැනි ටෙලි සිතුවම් අධ්‍යක්ෂණය කළ බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ නවතම ටෙලි නිර්මාණය හරහා ආධුනික ළමා සහ තරුණ නළු නිළියන් කිහිප දෙනෙකු හඳුන්වාදීමට ඔහු අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් මූලික සම්මුඛ පරීක්ෂණය එළඹෙන ඔක්තෝබර් මස 01 වැනිදා දවස පුරා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වෙනු ඇත.


සුගත චින්තා පිටපතක් සොයා දෙන්න

එඩ්නා සුගතපාල සුගත චින්තා නමින් ග්‍රන්ථයක් රචනා කරනු ලැබුවා. ඒ 1969 වසරේදී. ඉතා හොඳ අළෙවියක් තිබුණු එම ග්‍රන්ථයේ පිටපත් දහසක් නිකුත් වුණා. බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත සුගත චින්තා ග්‍රන්ථය නව මුද්‍රණයෙන් එළ දක්වන්න එඩ්නා අදහස් කරමින් සිටිනවා. එනමුදු ඇය ළඟ මුල් කෘතියක් නොමැති බව එඩ්නා අපිත් එක්ක කිව්වා. එහෙයින් කිසියම් කෙනෙකු ගාව සුගත චින්තා කෘතියේ පිටපතක් ඇත්නම් එය තමන්ට ලැබෙන්න සලස්වන්න යැයි එඩ්නා ඉල්ලීමක් කරනවා. 0779802104 යන අංකයට කතා කොට වැඩි විස්තර දැනගත හැකියි.


ටයි මහත්තයාගේ සෙවණැල්ල සුජාතා සමුගනී

නැසීගිය සිනමාවේදී ටයිටස් තොටවත්තයන්ගේ භාර්යාව වූ සුජාතා තොටවත්ත මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. ටයි මහතාගේ ජීවිතය පසුපස සිටි දැවැන්ත සෙවණැල්ල වූයේ සුජාතාය. ශේෂා පළිහක්කාර යටතේ නර්තන පුහුණුව ලැබූ සුජාතා සිනමාවට එක් වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ විත්ති කථා චිත්‍රපටයක් වූ මුහුදින් නිවසට රඟපාමිනි. එහි ඇය ගාමිණී ෆොන්සේකා සමඟ ප්‍රධාන චරිතය රැඟුවාය. එය ගාමිණීගේ ද මුල්ම රංගනයන්ගෙන් එකකි. පසුව තොටවත්තයන් හා විවාහ වූ පසු ඔහුගේ චිත්‍රපට රාශියක සම සංස්කරණ ශිල්පිණිය සහ නිෂ්පාදන කළමනාකාරිනිය වශයෙන් ද ඇය කටයුතු කළාය. මිය යන විට තොටවත්ත මහත්මිය අසූ දෙහැවිරිදි වියෙහි පසු විය. ඇයගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා බොරැල්ල කනත්තෙදී සිදු විය. ටයිටස් - සුජාතාගේ එකම පුතු දමිත් තොටවත්ත මේ වන විට ගාල්ල මහ අධිකරණ විනිසුරුවරයකි. ටයි මහත්තයා අධ්‍යක්ෂණය කළ සුජාතා තොටවත්ත නිෂ්පාදනය කළ හඳයා චිත්‍රපටයේ කතාව දමිත් තොටවත්තගේය.