වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




‘මට බලපෑවේ බ්‍රැන්ඩෝ නොව පෝල් මුනියි’

‘මට බලපෑවේ බ්‍රැන්ඩෝ නොව පෝල් මුනියි’

ගාමිණි ෆොන්සේකා සමඟ පැවැත් වූ අවසන් සංලාපය

ගාමිණි ෆොන්සේකා රංගේශයාණන් කයෙන් සමුගෙන ගොස් හෙට (30) දිනට වසර 12 ක් සපිරේ. ලාංකේය සිනමාවට මතු නොව මුළුමහත් ආසියානු සිනමාවටම යථාර්ථවාදී රූපණවේදය හඳුන්වා දුන්නේ ඔහුය. එය ලෝක සිනමාවට හඳුන්වා දෙන ලද්දේ ශ්‍රේෂ්ඨ රූපණවේදී මාලන් බ්‍රැන්ඩෝය . බ්‍රැන්ඩෝ මිය ගියේ 2004 ජූලි 1 වැනිදාය. ගාමිණි වියෝ වූයේ 2004 සැප්තැම්බර් 30 වැනිදාය. මිය යෑමට දින කිහිපයකට ඉහත ගාමිණි සමඟ සිදු කළ අවසන් සංලාපය මෙහි පළ වනුයේ ඔහුට උපහාරයක් ලෙසිනි. මේ ලිපිය ලිවීමට එදා ලේඛකයාට නිමිත්ත වූයේ මාලන් බ්‍රැන්ඩෝගේ අභාවයයි. මේ සංලාපය ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රකාශනය කරන ලද “චිත්‍රපට” සඟරාවෙහි (2004 ඔක්තෝබර් - දෙසැම්බර් කලාපයෙහි) මුල්වරට පළ විය.

ලෝක සිනමාවට යථාර්ථවාදී රූපණය හඳුන්වා දුන් මාලන් බ්‍රැන්ඩෝගේ අභාවය හේතු කොට ඔහු පිළිබඳව මෙරට අග්‍රගණ්‍ය රූපණවේදියා වූ එසේම ආසියානු සිනමාවට යථාර්ථවාදී රූපණය හඳුන්වා දුන් පුරෝගාමියා වූ ගාමිණි ෆොන්සේකා සූරීන් දරනුයේ කවර මතවාදයක් ද යන්න පිළිබඳව විමසීමට මම උත්සුක වූයෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆොන්සේකා මහතා සමඟ කළ සංලාපයකින් පසුව මෙම ලිපිය ලියැවිණ. එය ෆොන්සේකා මහතා ජනසන්නිවේදන මාධ්‍යයක් සඳහා පැවැත් වූ අවසන් සංලාපය වේ යැයි මම නොසිතුවෙමි. ලෝකයේ අග්‍රගණ්‍ය රූපණවේදීන් දෙපළක් එකම වසරක ජීවිත සිනමාවෙන් සමුගැනීම දෛවෝපගත සිද්ධියකි. මාලන් බ්‍රැන්ඩෝ, ගාමිණි ෆොන්සේකා දෙපළගේ ශ්‍රේෂ්ඨ නාමයන්ට මෙම ලිපිය උපහාරයක් වේවා යැයි මම පතමි.

* ඔබ කිසිදු රංගන පාසලකින් රූපණය හැදෑරුවෙක් නොව ස්වයං නිරීක්ෂණයෙන් චිත්‍රපට නැරඹීමෙන් ලද පරිචයෙන්, සිනමා පොතපත කියවීමෙන් හා සිනමාවෙහි ප්‍රයෝගිකව නියැළීමෙන් රූපණය හදාළ බව මගේ විශ්වාසයයි. එහිදී ඔබ වඩාත් ආභාසය හා අනුප්‍රාණය ලැබූ පෙර අපර දෙදිග රූපණවේදීන් කවුරුන්ද?

‘ඔබ කියූ පරිදි මා කුඩා කල පටන්ම පෙර අපර දෙදිග චිත්‍රපට නැරඹුවා. ඒවා නැරඹීමෙන් තත්කාලීනව පැවති ආසියානු සිනමා රූපණය ස්වාභාවික විය යුතු යැයි මා විශ්වාස කළා. මෙරට රූගත කළ ඩේවිඩ් ලීන්ගේ THE BRIDGE ON THE RIVER KWAI චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සමයේ එහි රඟපෑ විලියම් හෝල්ඩන්, ජැක් හෝකින්ස්, ශ්‍රීමත් ඇලෙක් ගිනස්, ජෝන් බොක්සර්, සෙසුයි හයකාවා වැනි රංග ශිල්පින්ගේ රඟපැම් පිළිබඳ ස්වයං නිරීක්ෂණයේ යෙදීමට මට හැකියාව ලැබුණා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමඟ රේඛාව, සන්දේශය වැනි චිත්‍රපටවල වැඩ කිරීමෙන් සිනමාවේ ප්‍රායෝගික අංශය පිළිබඳ නිවැරදි අවබෝධයක් මා ලැබූ අතර සිනමාව පිළිබඳව න්‍යායන් හැදෑරුවේ ලෙස්ටර් මහතා සතු වූ අගනා පුස්තකාලයේ පොත්පත් කියවීමෙන්. එම යුගයේ මා වඩාත් ප්‍රිය කළ, මා කෙරෙහි වැඩියෙන් බලපෑ අපරදිග නළුවා පෝල් මුනියි. ‘THE STORY OF LOUIS PASTEUR’, ‘THE GOOD EARTH’ වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනයෙන් ප්‍රකට කළ අද්විතීය ප්‍රතිභාව මා හදවත සසල කළා. දේශීය සිනමාවේ මා වඩාත් ආභාසය ලැබූ රංග ශිල්පියා ලැඩී රණසිංහයි.’

* ලෝක සිනමාවේ වේදිකාවෙන් සිනමාවට සම්පර්ක වූ නාට්‍යාතිශය (Melo Dramatical) රංගන ක්‍රමය මුළුමනින්ම බැහැර කොට තත්විධ රූපණවේදය (Theory of Method Acting) හඳුන්වා දුන් නළුවා ලෙස සැලකෙන්නේ මාලන් බ්‍රැන්ඩෝයි. ඔහුගේ රුපණවේදය ඔබ කෙරෙහි බලපෑවේ කුමන ආකාරයටද?

‘මාලන් බ්‍රැන්ඩෝ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ නළුවෙක්. එහෙත් ඔහුව අතික්‍රමණය කළ තව බොහෝ දක්ෂ නළුවන් සිටිනවා. මා වඩාත් ආභාසය ලැබූ පෝල් මුනි එවැන්නෙක්. ON THE WATER FRONT බ්‍රැන්ඩෝගේ විශිෂ්ට රඟපෑමක් අන්තර්ගත චිත්‍රපටයක් ලෙස සිනමා විචාරකයන් හැඳින්වූවා. ඔහුට මේ සඳහා ඔස්කාර් සම්මානය පවා හිමි වුණා. එහෙත් මා දකින ආකාරයට බ්‍රැන්ඩෝට වඩා මේ චිත්‍රපටයේ දක්ෂ ලෙස චරිත නිරූපණය කළේ රොඩ් ස්ටෙයිගර්. මෙහි දෙසොහොයුරන් (බ්‍රැන්ඩෝ හා ස්ටෙයිගර්) අවසන් වර සම්මුඛ වන දර්ශනයේ ස්්ටෙයිගර්ගේ රඟපෑම් මගේ දෑසට කඳුළු නැංවූවා. බ්‍රැන්ඩෝ දක්ෂ නළුවෙක් ලෙස විවිධ අභියෝග භාර ගත්තා. නළුවෙක් වූ විට තමාට ලැබෙන ඕනෑම ආකාරයක චරිතයක් රඟපෑමට හැකියාව තිබිය යුතුයි. මේ චරිතය මට පුළුවන්, මෙය බැහැ කියන පුද්ගලයාට දක්ෂ නළුවකු විය නොහැකියි. මම නැටුම් කලාව හදාරලා නැහැ. නමුත් අවශ්‍යතාව අනුව බොහෝ ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටවල මට නටන්න සිදු වුණා. මා එබඳු චිත්‍රපටවල රඟනොපෑවා නම් හොඳයි කියා ඇතැම් පටු ආකල්ප ඇති විචාරකයින් කීවා. මම විතර ද චිත්‍රපටවල නැටුවේ? GUYS AND DOLLS’ චිත්‍රපටයේ බ්‍රැන්ඩෝ ද නැටූ බව ඔවුන්ට සිහිපත් කළ යුතුයි.

* ආසියානු සිනමාවට යථාර්ථවාදි රූපණය හඳුන්වා දුන් නළුවා ඔබයි. මෙහිදී එම මෙහෙවර ඉටු කිරීමේදී ඔබ බ්‍රැන්ඩෝ මෙන්ම තත්කාලීන නාට්‍යාතිශය රූපණවේදය බැහැර කළා නේද?

‘වේදිකාවේදී නළු නිළියන් හා ප්‍රේක්ෂකයන් අතර එතරම් සමීප වීමක් නැහැ. සිනමාවේ ගැලරියේ ඉන්නා පිරිස වේදිකා නාට්‍යයක දී පිටුපසට පැමිණ නරඹනවා. සිනමාවේදි එය අවම වශයෙන් දෙසිය ගුණයක්වත් විශාල වෙනවා. එවිට අතිශයෝක්ති රූපණය සිය ගුණයකින් වැඩි වෙනවා. සිනමාව රහසක් කී විට එය පසු පෙළටත් ඇසෙනවා. මේ වෙනස්කම් මුල් සිනමාවේ තිබුණේ නැහැ. වේදිකාවේ ගති සොබා ප්‍රකට කළ මේ රූපණය වෙනස් කළ යුතු බව මා දුටුවා. එය ඉබේම සිදුවූවක් නොව මා කළ එම වෙනස උඩු ගං බලා පිහිනීමක් බඳුයි.

* ඔබට පෙර සිනමාවේ අප දුටුවේ නාට්‍යාතිශය, භාවාතිශය රංගන ශෛලියකින් හෙබි නළුවන්. තෙල් ගා පීරූ බොකුටු කොණ්ඩය, ගිනිකූරු උඩු රැවුල, ඔතෑනි ඕලාරික ගති පැවතුම් මේ තරු තුළින් ප්‍රකට වුණා?

‘ඔවුන් පමණක් නොවේ. තෙල් ගා හිස නොපීරූවාට සුද්දො ගෑවේ බ්‍රිලියන් ටයින්, වැස්ලින් වැනි දේ. ඔය උඩු රැවුල ආසියාවට බෝ වුණේ ක්ලාක් ගේබල්ගෙන්. එවකට දේශීය සිනමාවේ තරුවලින් අප දුටුවේ සමකාලීන යුගයේ ජීවත් වූ තරුණ තරුණියන් නොවේ. මා පාසල් සමයේ සිටම කායවර්ධන ව්‍යායාම්, බොක්සින් වැනි ක්‍රීඩා කළා. රගර් ක්‍රිඩාවට පහසු නිසා මගේ කොණ්ඩය කොට කර කැපුවා. මෙබඳු පසුබිමකින් සිනමාවට ආ නිසා බොහෝ ප්‍රේක්ෂකයින්ට බාහිර ස්වරූපය අනුව එවකට ඔවුන් සමාජයේ දැක පුරුදු තාරුණ්‍යයත් ජවයත් මගෙන් දකින්නට ඇති. මගේ ප්‍රථම ප්‍රධාන චරිතය ‘පිරිමියෙක් නිසා’ (1960) චිත්‍රපටයේ රඟපාද්දී එහි අධ්‍යක්ෂ ටී. සෝමසේකරන් මහතා මෙහෙම කිව්වා.

‘ඔබගේ රඟපෑම් තාත්විකයි. නමුත් අද ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ කිසියම් දුරකට අධි රංගනයක්’ එවිට මා ඔහුට කීවේ මෙයයි. ‘එය ප්‍රේක්ෂකයා ඉල්ලූ දේ නෙවෙයි. දෙමව්පියෝ ළමයින්ට රස කැවිලි දෙනවා වාගේ ඔවුන්ට දීලා පුරුදු කරපු දෙයක්. දැන් එය වෙනස් කළ යුතුයි. චිත්‍රපටය තිරගත වූ පසුව ටී. සෝමසේකරන් මගේ අදහස ඉහළින්ම අනුමත කළා’.

* එවකට ප්‍රකට සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ ‘පිරිමියෙක් නිසා’ හි ඔබගේ රඟපෑම් ‘බ්‍රැන්ඩෝ පාට් දැමීමක්’ ලෙස (දිනමිණ - චිත්‍රපට විචාරය - 1960. 11. 23) හැඳින්වූවා නේද?

‘එය මාලන් බ්‍රැන්ඩෝගේ රඟපෑම් පිළිබඳවත් මා එවකට කරන්න උත්සාහ කළ වෙනස පිළිබඳවත් නොදැන කළ ප්‍රකාශයක්. බ්‍රැන්ඩෝ සහ මම සිනමා රූපණයේ සිදු කරන්නට යෙදුණු වෙනස එකිනෙකට සමාන වුවත් එම වෙනස උදෙසා අප ගමන් කළේ මාර්ග දෙකක. එය මෙරට බොහෝ විචාරකයින් වටහා ගෙන තිබුණේ නැහැ. වෙනකක් තබා මා සිනමා රූපණයේ යම් වෙනසක් සිදු කළා නම් එය පවා පර්යේෂණාත්මකව මුල්වරට සනාථ කළේ මා සිනමාවට පිවිස දශක හතරකට පසුව නව පරපුරට අයත් ඔබ ලියූ (විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා) කෘතියෙන්. ඇත්ත වශයෙන්ම ඒ කාලයේ සිනමා විචාරයක් ලෙස හැඳින්විය හැකි යමක් කෙරුණා නම් ඒ සිංහල භාෂාවෙන් නෙවෙයි. ඉංග්‍රීසියෙන්. මර්වින් සිල්වා, ලෙනාඩ් ඩාන්ඩ්, බෙනඩික්ට් දොඩම්පෙගම, බොයි ඉන් පියතුමා ආදී කිහිප දෙනෙක් හොඳ විචාර ලියූ අය ලෙස නම් කළ හැකියි. මේ අයටත් ඒ යුගයේ විචාර කාර්යයට අවැසි පොතපත සපයා ගත හැකි වුණේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පුස්තකාලයෙන්.’

* බ්‍රැන්ඩෝ ලෝක සිනමාවට තත්විධ රූපණය හඳුන්වා දීමෙහිලා මුළුමනින්ම පාදක කොට ගත්තේ කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාව්ස්කිගේ රූපණ සිද්ධාන්ත. එහෙත් ඔබ ආසියානු සිනමාවට යථාර්ථවාදී රූපණය හඳුන්වාදීමේදී අපරදිග ස්ටැනිස්ලාව්ස්කිගේ සිද්ධාන්ත හා පෙරදිග භරතමුනිගේ සිද්ධාන්ත සමතික්‍රමණය කළ හැටි මා දුටුවා?

‘රූපණය පිළිබඳ සෑම සිද්ධාන්තයක් පිළිබඳවම අවබෝධය නළුවකුට තිබිය යුතුයි. එහෙත් අප ඒවාට වහල් විය යුතු නැහැ. ඒවායෙහි සරු නිසරු තැන් වෙන් කොට ගෙන තමාටම ආවේණික රූපණවේදයක් ගොඩනඟා ගැනීමට නළුවකුට විවේක බුද්ධිය තිබිය යුතුයි. රංග ශිල්ප ශාලිකාවකින් හැදෑරීමක් නොකොට උසස් නළුවකු විය නොහැකි යයි ස්ටැනිස්ලාව්ස්කි වරක් පැවසුවා. මෙය පිළිගත හැකිද? මා කිසිදු රංගන පාසලකින් රූපණය හදාරලා නැහැ. මෙරට ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා වැනි නළු නිළියන් විශිෂ්ට චරිත නිරූපණය කළේ රංගනය හදාරලද? ස්ටැනිස්ලාව්ස්කිගේ ඇතැම් මතවාද අද ඔහු උපන් රුසියාවෙන් පවා ප්‍රතික්ෂේප වෙද්දී අපේ මාලිනී ෆොන්සේකා රුසියාවෙන් සම්මානයක් ලබා ගත්තා නේද? පෝල් මුනි, මාලන් බ්‍රැන්ඩෝ වැනි ශ්‍රේෂ්ඨ නළුවන්ට කිසියම් චරිතයක් නිරූපණය කිරීමට පෙර එම චරිතය හැදෑරීමට කාලයක් ලැබෙනවා. ඒ සඳහා පහසුකම් ලැබෙනවා. එහෙත් අප මෙතෙක් රඟපෑ කිසිදු චරිතයක් සඳහා එබඳු දිගු අධ්‍යයන කාලයක්, සුවිශේෂ පහසුකම් ලැබී නැහැ. කිසියම් චරිතයක් රඟපෑමට පෙර පුද්ගලයෙක් සමාජයෙන් තෝරා ගෙන ඔහුගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම බ්‍රැන්ඩෝ ප්‍රමුඛ බොහෝ දක්ෂ නළුවන්ගේ සිරිතක්. ‘නිධානය’ හි රඟපාද්දී සැබෑ මීමැස්මොර රෝගියකුගේ හැසිරීම් නිරීක්ෂණය කරන්න යැයි මට ලෙස්ටර් මහතා කිව්වා. එහෙත් මා එසේ කළේ නැහැ. මා එහිදී වැඩි අවධානයක් යොමු කළේ මගේ පරිකල්පනයට. පරිකල්පනයෙන් මා මීමැස්මොර රෝගියකු වුණා. රංගන ප්‍රතිභාව කියන්නේ පෙර සසරේ පටන්ම අප රැගෙන එන වාසනා ගුණයක්. කොතරම් භව ගණනක් අප මෙතෙක් පසු කර ඇත්දැයි කිව නොහැකියි. එහෙත් මෙකී භවයන්හි අප විවිධ අනුභූතීන්ට මුහුණපාමින් විවිධ වෘත්තීන්හි නියැළෙන්නට ඇති. සසරින් එතෙර වන තෙක් මෙකී අත්දැකීම් අපට නොදැනී අපගේ උප විඥානයෙහි රැඳී සිට අපගේ ක්‍රියාවන් මෙහෙයවයි. නළුවකුට මෙය විශේෂ වන්නේ රංගනයේ දී උපවිඥානගත අනුභූතීන් තමා නිරූපණය කරන භූමිකාව හා ආබද්ධ කර ගැනීමට රූපණවේදියාගේ චිත්ත ඒකාග්‍රතාව ඉතා වැදගත්. රංගනය භාවනාවක් බඳු යැයි මගේ විශ්වාසයයි.’

* සෑම පුද්ගලයකු තුළම නළුවකු ජිවත් වෙතැයි බ්‍රැන්ඩෝ වරක් පැවසුවා. මේ අදහස සමඟ ඔබ එකඟද?

‘සමාජයේ වාසය කරන සෑම මිනිසකුටම එක්තරා ප්‍රමාණයකට රඟපෑ හැකි බව මා ද විශ්වාස කරනවා. නිදර්ශනයක් වශයෙන් සැබෑ ජිවිතයේදී කෝකියකුට කෝකියකුගේ චරිතය අන් අයට වඩා පහසුවෙන් කළ හැකියි. ඕනෑම කෙනකුට කිසියම් චරිතයකට පිවිසිය හැකි සීමාවක් තියෙනවා. එය හොඳින් හඳුනාගෙන ඔවුන් මෙහෙය වුවහොත් අධ්‍යක්ෂවරයාට හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි. මගේ චිත්‍රපටවලදී මං බොහෝ ආධුනිකයින් දක්ෂ නළුවන් ලෙස හසුරුවා තිබෙනවා. නළුවන් වීමට කිසිදු කලෙක නොපැතූ අය මගේ චිත්‍රපටවල කළ රඟපෑම් තුළින් සම්මාන ලබා තියෙනවා. සැබෑ ජීවිතයේදී සෑම කෙනකුම පාහේ කිසියම් හෝ රඟපෑමක් කර තිබෙනවා. එහෙත් මෙය කැමරාවක් ඉදිරියේ කරන රඟපෑමට වෙනස්. කැමරාවක් ඉදිරියේ විවිධ භූමිකා දක්ෂ ලෙස නිරූපණය කිරීමට නම් වාසනා ගුණයක් තිබිය යුතුයි. පොදු සමාජයෙන් කලාකරුවා සුවිශේෂ වන්නේ මේ වාසනා ගුණය නිසයි.’