වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 12

සරච්චන්ද්‍ර හරහා අපේ කට්ටියට යා වුණ නාමෙල් වීරමුනි

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

මෙරට නාට්‍යකරණයේ යෙදුණු බොහෝ දෙනකු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සෙවණ යට පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් බිහි වූ අය බව පැහැදිලිය. ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, සෝමලතා සුබසිංහ, චන්ද්‍රසේන දසනායක මෙන්ම නාමෙල් විරමුනි ද අපට හඳුන්වා දිය හැක්කේ ඒ ආකාරයටය.

නාමෙල් මුලින්ම නළුවෙකි. ඔහු මහාචාර්ය සර්ච්චන්ද්‍රයන්ගේ 'රත්තරන්' නාට්‍යයේ රඟපෑවේය. ඉන්පසු 'රහස් කොමසාරිස්' පසු නිෂ්පාදයක ද රඟපෑවේය. උපාධි ලැබ කොළඹ ආ නාමෙල් තවදුරටත් සම්බන්ධ වූයේ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට නොව ඊට ප්‍රතිපක්ෂව නිපදවුණු 'අපේ කට්ටියේ' සංවාද නාට්‍ය නිෂ්පාදනවලට වීම කැපී පෙනෙන්නකි. සුගතපාල ද සිල්වාගේ 'හරිම බඩු හයක්', 'හෙලේ නැග්ග ඩෝං පුතා' වැනි 'අපේ කට්ටියේ' නාට්‍යවලත් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ 'ගැහැනියක්' යන නාට්‍යයෙත් හෙතෙම රඟපෑවේය.

කෙසේ වෙතත් නාමෙල් තමාගේ මුල්ම නාට්‍යය නිෂ්පාදනය කරන්නේ පේරාදෙණි සරසවියේ සිටියදීය. 'ගොළු බිරිඳ' (1959) නම් වූ මෙම නාට්‍යය ඇනටෝල් ප්‍රාන්ස්ගේ 'ද මෑන් හූ මැරිඩ් අ ඩම් වයිෆ්' නාට්‍යයයේ අනුවර්තනයකි. අනුවර්තනය කළේ එවක පේරාදෙණි සරසවියේම උපාධි අපේක්ෂකයකුව සිටි මහාචාර්ය විමල් දිසානායකය. මෙය විනාඩි 35 ක පමණ ඒකාංගික නාට්‍යයකි.

'ගොළු බිරිඳ' අනුවර්තනයක් වශයෙන් මොන තරම් සාර්ථක වීද කිවහොත් එය මෙරට පිටිසර ගැමි නාටකයක ස්වරූප ගත් බව මෙම නාට්‍යය විචාරය කළ මහාචර්ය ඒ. ජේ. ගුණවර්ධන කියා තිබිණි.

සාහිත්‍යධර ප්‍රැංශුවා රබෙල් ගේ කෘතියක ආ කතා වස්තුවක් ඇසුරෙන් ඇනටෝල් ප්‍රාන්ස් තම නාට්‍යය ලියා ඇති බව පැවසේ. ගොළු බිරිඳක් සමඟ විවාහ දිවියක් ගත කරන අයකු පිළිබඳ පුවතක් රබෙල්ගේ කෘතියේ දක්නට ලැබේ. මොලියර්ගේ 'ඩොක්ටර් බයි කම්පල්ෂන්' නාට්‍යයේ තෙවැනි ජවනිකාව කෙරෙහි ද රබෙල්ගේ කතා පුවත කිසියම් බලපෑමක් කර ඇති වග විචාරකයෝ සඳහන් කරති.

'ගොළු බිරිඳ' මංගල දර්ශනය 1969 දී පේරාදෙණි සරසවියේ හිල්ඩා ඔබේසේකර එළිමහන් රංග ශාලවේදී පවත්වන ලදී. පසුව මෙය දයානන්ද ගුණවර්ධනගේ 'නරිබෑනා' නාට්‍යය සමඟ ද රට පුරා වේදිකාගත විණි.

'ගොළු බිරිඳ' ලන්ඩනයේ හා ඇමෙරිකාවේ ද රංගගත කර ඇත. එය 1994 දී ජාතික රූපවාහිනියෙන් ද විකාශය වූයේය. 2003 දී නාමෙල් - මාලිනි පුංචි තියටරය විවෘත කරන්ට යෙදුණේ ද 'ගොළු බිරිඳ' නාට්‍ය දැක්මකිනි.

'මුහුදු යන්නෝ' (1989) නාට්‍යය ද නාමල් නිෂ්පාදනය කළේ 'ගොළු බිරිඳ' සමඟය. එය ජෝන් සිංජ්ගේ 'රයිඩර් ටු ද සී' නාට්‍යයේ අනුවර්තනයකි. අනුවර්තනය රංජනී ඔබේසේකරගෙනි. විශ්වවිද්‍යාලයීය සිංහල නාට්‍ය මණ්ඩලය විසින් එය නිෂ්පාදනය කරන ලදී. මෙය දුඞඛාන්ත නාට්‍යයක් ලෙස හැඳින්විය හැකිය.

'කාසි රටෙන්' (1962) නාමෙල්ගේ ඊළඟ නාට්‍යයි. ඔහු එය ඉදිරිපත් කළේ රත්නපුර සිරිසුමන විදුහලේ ගුරුවරයකු වශයෙන් සිටියදීය. මේ සමඟම ඇන්ටන් චෙකොව්ගේ 'ප්‍රපෝසල්' නාට්‍යයේ අනුවර්තනයක් ද 'මඟුල් ප්‍රස්තාව' නමින් හෙතෙම ඉදිරිපත් කළේය.

ජන විශ්වාස මත පදනම් වූ මනෝ විද්‍යාත්මක තේමාවකින් යුතු වූ 'විරූපි රූප' (1964) නාමෙල්ගේ තවත් නාට්‍යයකි. ටෝනි රණසිංහ, මාලිනි වීරමුනි මෙහි ප්‍රධාන චරිත රැඟූහ. මෙහි සංගීතයක් නොතිබිණි. 'විරූපි රූප' තිස්ස අබේසේකර එකල මහත් ඉහළින් අගය කළ නාට්‍යයකි.

'සකල බුජං පැනලා ගිහින්' (1967) ශොන් පෝල් සාර්ත්‍රෙගේ 'නෙක්රසෝම්' නමැති නාට්‍යයේ අනුවර්තනයකි. ජී. ඩබ්ලිව් සුරේන්ද්‍ර, ප්‍රේමා ගනේගොඩ, නවනන්දන විජේසිංහ, මාලිනි විරමුනි මෙහි ප්‍රධාන චරිත රංගනය කළහ. මෙය ප්‍රහසනයකි. මෙම නාට්‍යය විචාරය කළ නිහාල් රත්නායක (විරංග) කීවේ එය 'අප්‍රාණික නාට්‍යයක්' (ABORTIVE DRAMA) බවය.

'ඉඳහිට යන්නෝ' 1967 ලස්සන නාට්‍ය උලෙළට නාමෙල් ඉදිරිපත් කළ කෙටි නාට්‍යයකි. මෙය ඒක පාත්‍ර නාට්‍යයකි. එනම්, එහි ආවේ එක චරිතයකි. නාමෙල් එම චරිතය රඟපෑවේය.

නැට්ටුක්කාරී (1970) නාමෙල්ගේ වඩාත්ම ජනප්‍රිය නාට්‍යය යැයි මම සිතමි. එය ප්‍රංශ නාට්‍ය රචක ශොන් අනුයිගේ 'කොලොම්බි' නම් වූ නාට්‍යයේ පරිවර්තනයකි.

18 වැනි සියවසේ විසූ සේරා බර්නාඩ් නමැති ශ්‍රේෂ්ඨ නිළියගේ ජීවිතය පදනම් කරගෙන අනුයි මෙම නාට්‍යය රචනා කර ඇත.

මෙහි ප්‍රධාන චරිතය රඟපෑම සඳහා පුහුණු වූයේ රුක්මණී දේවිය. එය තමාගේ ජීවිත කතාව වැනි යැයි ඇය නිතරම කියා සිටියාය. එහෙත් ගෙවීම් පිළිබඳ අපහසුතාවයක් මත ඇය ඉතාම කාරුණිකව මෙම නාට්‍යයෙන් ඉවත් වූවාය. පසුව මෙම චරිතය රගපෑවේ සෝමලතා සුබසිංහය. උපාලි අත්තනායක, ප්‍රේමා ගනේගොඩ, මාලිනි වීරමුනි, වික්‍රම බෝගොඩ, ධම්ම ජාගොඩ, විමල් කුමාර ද කොස්තා, සිරිල් වික්‍රමගේ, ජී. ටී. වික්‍රමසිංහ මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. 'නැට්ටුක්කාරී' නාමෙල් එංගලන්තයේ ද නිෂ්පාදනය කළේය.

නාමෙල් ඊළඟටත් ඉදිරිපත් කළේ අනුයිගෙම නාට්‍යයකි. ඒ 'වංශක්කාරයෝ'ය. (1972) එය අනුයිගේ 'අඩෙල්' නමැති නාට්‍යයේ පරිවර්තනයකි. අඩෙල් මෙහි ප්‍රධාන චරිතය වුවත් ඇය වේදිකාවට පැමිණෙන්නේ එකම එක අවස්ථාවකදී පමණි. ඒනම් අවසාන ජවනිකාවේදීය. එහෙත් මුළු නාට්‍ය පුරාම ඇගේ චරිතය ජීවමානව පවතී. 'නැට්ටුක්කාරී' නාට්‍යයේ දර්ශනයක් කුරුණෑගලදී සංවිධානය කර නාමෙල් හඳුනාගත් කරුණාරත්න හඟවත්ත මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේය. සෙසු චරිත රඟපෑවේ අමෝමා පෙරේරා, දයා අල්විස්, මාලිනි වීරමුනි, සුමින්ද සිරිසේන හා එච්. ආර්. අයිරාංගනී (වර්ණකුලසූරිය) යන අයය.

1973 රාජ්‍ය නාට්‍ය උලෙළේදී 'වංශක්කාරයන්'ට සම්මාන කීපයක්ම ලැබිණි. ඒ හොඳම පරිවර්තන නිෂ්පාදනය (නාමෙල්) හොඳම නිළිය (මාලිනි වීරමුනි) හොඳම වේදිකා සැරසිලි (මනෝ බ්‍රෙකන්රිජ්) යනාදී වශයෙනි.

මුලින් 'ත්‍රස්තවාදියෝ' යනුවෙන් නම් කර තිබූ 'මාංචු මුදවන්නට කෙනෙක් නැද්ද අපිට' (1972) නාට්‍යය රැඟුම් පාලක මණ්ඩලයෙන් තහනම් කරන ලදී. එය සාර්ත්‍රෙ ගේ 'ද මෙන් විතවුට් ෂැඩෝ' නාට්‍යයේ අනුවර්තනයක් විය. මෙය තෙවරක්ම සංශෝධනය කර රැඟුම් පාලක මණ්ඩලය හමුවේ රංගගත කළ ද අවසර නොලැබිණි. පසු කලෙක ධර්මසිරි බණ්ඩාරනායක 'ධවල භීෂණ' නමින් නිෂ්පාදනය කළේ සාර්ත්‍රෙගේ මෙම නාට්‍යයයි.

නාමෙල්, ආචාර්ය ධර්මසේන පතිරාජගේ 'කොරා සහ අන්ධයා' නාට්‍යයේ පිටපත THE LAME AND THE BLIND යනුවෙන් ඉංග්‍රිසියට නඟා වේදිකා ගත කළේය. මුල් නාට්‍යයේ ආවේ පිරිමි චරිත දෙකකි. එහෙත් මෙහි එක් චරිතයක් ගැහැනු චරිතයක් ලෙස සංශෝධනය කෙරිණ. එම චරිත දෙක රඟපෑවේ නාමෙල් හා මාලිනිය. මෙම නාට්‍යයම 2001 දී නාමෙල්, දයා තෙන්නකෝන් හා මාලිනි වීරමුනි යොදා සිංහලෙන් ද නිෂ්පාදනය කෙරිණි.

1977 දී නාමෙල්, මහාචාර්ය සරච්චන්ද්‍රගේ 'සිංහබාහු' නාට්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. එය ඇමෙරිකාවේදී සතියක් නොකඩවා වේදිකාගත කර ඇත.

වර්ඩි පන්ඩි නමැති නාට්‍යකරුවා ශ්‍රී ලංකාවේදී ලද අත්දැකීමක් පාදක කරගෙන ලියා තිබූ නාට්‍යයක් නාමෙල් 'කට්ටඩියා' නමින් එංගලන්තයේදී නිෂ්පාදනය කළේය. එහි චරිත 48 ක් ඇතුළත් වූ අතර ප්‍රධාන චරිත කාල් ගුණසේන, ආනන්ද වීරකෝන්, රෙනි ගුණසේන යන අය රඟපෑහ. මහාචාර්ය සරච්චන්ද්‍රගේ 'එලොව ගිහිං මෙලොව ආවා' නාට්‍යයේ ඉංග්‍රීසි නිෂ්පාදනයක් ද නාමෙල් එංගලන්තයේදී කර ඇත.

'හතරවැනි තට්ටුව' (2004) නාට්‍යයට නාමෙල් වස්තු කර ගත්තේ නයිජීරියාවට ඉන්දියන් සාගරය පවා උගස් කොට එම රට රැවටූ එමිල් සෞන්ද්‍රනායගම් නමැති කට්ට කෛරාටික වංචනික ලාංකිකයකුගේ චරිතයකි. ඔහු බ්‍රිතාන්‍යයේ විසූ අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උගතකු බව ද පැවසේ. එසේම කූප්‍රකට හතරවැනි තට්ටුවේදී එක්කෝ බිමට පැන දිවි නසාගත්, නොඑසේ නම් පොලිසිය විසින් බිමට තල්ලු කර ඝාතනය කරන ලද දොඩම්පෙ මුදලාලිගේ චරිතයද මෙයට ඉවහල්ව ඇති ආකාරයක් පෙනී යයි. සමස්ත නාට්‍යයෙන්ම කෙරෙන්නේ මානවරත්න නමැත්තකුගේ මරණයට වගකිව යුත්තන් සෙවීමේ පරීක්ෂණයකි.

මෙබඳුම සිද්ධියක් අළලා ඉතාලි නාට්‍යවේදී දාරියෝ ෆෝ රචනා කළ 'ඇක්සිටෙන්ඩල් ඩෙත් ඔෆ් ඇනි ඇනාකිස්ට්' නාට්‍යයේ නාට්‍යමය ව්‍යුහය නාමෙල් තම නාට්‍යය සඳහා යොදාගෙන ඇත. 'හතරවැනි තට්ටුව' නාට්‍ය පෙළ 'ගන්ධබ්බ රාජ්‍යයෙක්' නමින් ප්‍රකාශනයට පත්ව ඇත.

'මුන්ගෙත් අං' (2006) හෙන්රික් ඉබ්සන්ගේ 'ඇන් එනිමි ඔෆ් ද පීපල්' නාට්‍යයේ අනුවර්තනයක් විය. මෙම නාට්‍යය මීට ඉහත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර 'ජන හතුරා' නමින් නිෂ්පාදනය කර තිබිණි. 'මුංගෙත් අං' නාට්‍යයේ පෙළ 'කවුදෝ සතුරෝ' නමින් ප්‍රකාශයට පත්ව ඇත.

'මාධ්‍යවේදියකුගේ අසිපත' (2007) නාට්‍ය වැඩමුළුවක් සඳහා නිපදවූවකි. 88 - 89 භීෂණ යුගය මෙයට පසුතල වෙයි. වධහිංසාව මෙහි තේමාවයි. මෙම නාට්‍යයේ විශේෂත්වය වන්නේ වධහිංසාවට ලක් වූ පුද්ගලයන් ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශනවල ආ තොරතුරු ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවන පරිදි මෙයට ඇතුළත් වීමය. වසන්ත කුමාර මෙහි නර්තන රචනය කර ඇති අතර ජයතිස්ස අලහකෝන් සංගීතය අධ්‍යක්ෂණය කර ඇත.

නාමෙල් ඉබ්සන්ගේ තවත් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. ඒ 'හෙඩා ගැබ්ලර්' නාට්‍යයයි. 'ගින්දරයි ආදරයයි' නමින් එය සිංහලෙන් හැඳින්විණි. මෙහි රංගනය සඳහා නීති විද්‍යාල සිසුන් සහභාගිවීම විශේෂත්වයක් විය. ('හේඩා ගැබ්ලර්' නාට්‍යය මීට ඉහත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර අතින් 'ගැහැනියක්' යනුවෙන් වේදිකාවට නැංවිණි. නාමෙල් එහි ප්‍රධාන චරිතයක් රඟපෑවේය).

නාමෙල් ඒකාංග නාට්‍ය ගණනාවක්ම නිෂ්පාදනය කර ඇත. 'වලහා' (කොරා සහ අන්ධයා සමඟ) චෙකොව්ගේ 'ද බෙයාර්' ඇසුරෙන්, 'කොළඹ හතේ නෝනා', 'විලීට විලිරුදා හැදිලා', 'පණ්ඩිත පිල්ලි' (රචනය සෝමපාල ගුණධීර), 'හෙයියම්මාරුව', (රචනය සෝමපාල ගුණධීර), 'දීගෙක ඇවිත්' (චෙකෝව්ගේ 'ද ප්‍රපෝසල්' නාට්‍යය ඇසුරෙන්) 'කන්දොස්කිරියාව' (රචනය සෝමපාල ගුණධීර) ඉන් කීපයකි.