|
නිවේදනයට පෙම් බැඳි රුවන් තොටගමුව
රුවන් තොටගමුව දක්ෂ තරුණ නිවේදකයෙකි. ගාලු පුරවරයේ පදිංචි රුවන් වඩාත් ජනප්‍රියව ඇත්තේ එළිමහන් ප්‍රසංග වේදිකා මෙහෙයවන නිවේදකයකු ලෙසටය. රුවන් සතු හැකියාව නිසාම මේ වනවිට ගාලු පුරවරයේ පැවැත්වෙන සෑම එළිමහන් සංගීත ප්‍රසංගයක්ම පාහේ පැවරෙන්නේ ඔහුටය. තම නිවේදන ජීවිතයේ ආරම්භයත්, ඉදිරි බලාපොරොත්තු පිළිබඳවත් රුවන් 'සරසවිය'ට අදහස් පළ කළේ මෙසේය. 'මගේ ගම ගාල්ල. පාසල් ගියේ රත්ගම දේවපතිරාජ ජාතික පාසලට. පාසලේදී විෂය වැඩ කටයුතුවලට වගේම බාහිර වැඩ කටයුතුවලටත් මම නොපැකිළව ඉදිරිපත් වුණා. පුංචි කාලේ ඉඳලාම මගේ හිතේ තිබුණු ආශාව තමයි නිවේදකවරයකු වීම. පාසලේ උසස් පෙළ කරන විට නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පැවැත් වුණා. ඒ උත්සවය ඉදිරිපත් කරන්න විදුහල්පතිතුමා ආරාධනය කරලා තිබුණේ බාහිර පුද්ගලයකුට. එදා ඔහුට එන්න බැරි වුණා. විදුහල්පතිතුමා මට කිව්වා ක්‍රීඩා උලෙළ මෙහෙය වන්න. මම ඒ වැඩේ මට හැකි උපරිම විදියට කළා. පසුවදා මට විදුහල්පතිතුමා කතා කරලා කිව්වා 'රුවන් ඔයා හොඳට ක්‍රීඩා උලෙළ මෙහෙයෙව්වා. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා' කියලා. ඒක මට විශාල දිරිගැන්වීමක් වුණා. එදා මම හිතාගත්තා කෙසේ හෝ දක්ෂ නිවේදකයෙක් වෙන්න.' 'පාසල් අධ්‍යාපනයෙන් පසුව ජාතික තරුණ සේවා සභාව මෙහෙය වූ නිවේදක පාඨමාලාව සාර්ථකව හැදෑරුවා. 2012 / 2013 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ 'යෞවන සම්මාන' තරගාවලියේ දකුණු පළාතේ හොඳම නිවේදක ලෙස මම ජයග්‍රහණය කළා. ඉන් පසුව ගාල්ල ප්‍රදේශයේ එළිමහන් සංගීත ප්‍රසංගවල නිවේදන කටයුතු කරන්න ඉඩ ලැබුණා. අද වන විට ගාල්ල ප්‍රදේශයේ බොහෝ ප්‍රසංග පැවරෙන්නේ මට.' 'මේ වන විට 'පර්පල් රේන්ජ්', 'සන්ෆ්ලවර්', 'සීදූව සකුරා', 'ප්ලෑෂ් බෑක්', 'ඕල් රයිට්', 'සනිධප', 'ඔක්සිජන්' වැනි ලංකාවේ බොහෝ ජනප්‍රිය දක්ෂ කණ්ඩායම් සහභාගි වූ ප්‍රසංග මෙහෙයවා තිබෙනවා.' ප්‍රසංග වේදිකා නිවේදන කටයුතුවලට අමතරව රූපවාහිනි වැඩසටහන් කීපයකම හඬ කැවීම් ශිල්පියකු ලෙස ද රුවන් කටයුතු කරයි. එසේම සංගීත ප්‍රසංග සම්බන්ධිකරණ ශිල්පියකු මෙන්ම වෙළෙඳ ප්‍රදර්ශක හා සැණකෙළි සංවිධායකවරයකු ලෙස ද කටයුතු කරන රුවන් දක්ෂ ගී පද රචකයකු ද වේ. ඔහුගේ මීළඟ අරමුණ වන්නේ බටහිර සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමය. ඔහුගේ දුරකතන අංකය - 0777-494308
|