වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




EDITORS CUT

අමාරුවෙන් හෝ නැඟී යා යුතුය

සාමාන්‍යයෙන් තිර ගත වන ලාංකික චිත්‍රපට සම්බන්ධව මා ප්‍රසිද්ධියේ අදහස් දක්වන්නේ ඉතා කලාතුරකිනි. එයට හේතුව සරසවිය ඔස්සේ සෑම චිත්‍රපටයක් පිළිබඳ එක හා සමානව සැළකිය යුතු බැවිනි. එහෙත් චිත්‍රපට පිලිබඳ මගේ පෞද්ගලික කියැවීම අනිකකි. එය මා ගැන දන්නෝ දන්නා කරුණකි. එබැවින් ඇතැම් සිනමා කෘති පිළිබද මගේ කියැවීම යාලු මිත්‍රකම් සාද වලට පමණක් සීමා වෙයි. එහෙත් පසුගියදා මම එම පිළිවෙතින් මඳක් බැහැර වූයෙමි. ඒ මෝටර් බයිසිකල් චිත්‍රපටය සම්බන්ධයෙනි.

එම චිත්‍රපටය පිළිබඳ මම ටෙලිවිෂන නාලිකාවකින් අදහස් දැක්වීමක් ද සිදු කළෙමි. එයට හේතුව මෝටර් බයිසිකල් යනු අපේ සිනමාවේ නව පරම්පරාවක ආරම්භය සනිටුහන් කරන විශේෂ අවස්ථාවක් ලෙස සැළකිය යුතුයැයි හැඟුණ නිසාය. මේ පරම්පරාව මහා සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජ යන්ගේ පාරදිගේ සිනමා කෘතියේ කියැවෙන පරිදදෙන් මුල් නැති වුනත් දළු එන ජාතියේ පරම්පරාවකි. එයින් මා හඟවන්නට උත්සහ කරනුයේ මෝටර් බයිසිකල් යනු ආචාර්ය ලෙස්ටර් ගේ රේඛාව හෝ පතිරාජයන්ගේ අහස් ගව්ව හෝ වැනි දේශීය සිනමාවේ සංධිස්ථානයක් යන්න නොවන බව සිහියේ තබා ගත යුතුය.

සිනමා ඉතිහාසයේ සංධිස්ථානයක් ද නැත් ද යන්න කාලයා විසින් ගොඩ නගන්නාක් විනා සමකාලීනව එක රැයකින් සහතික දිය හැක්කක් ලෙස මා අදහන්නේ නැත. එය සිනමාවට පමණක් නොව පොදුවේ සියළු කලාවන් සම්බන්ධ කියැවීමකි. රටේ තොටේ සිදුවීම්, දේශපාලනය පමණක් නොව ජීවිතය සම්බන්ධව ද එය පොදු කාරණයකි. කෙසේ වෙතත් මෝටර් බයිසිකල් පිළිබඳ සමාජ කතිකාවක් ගොඩ නැඟිය යුතු වන්නේය.

එසේ නොවන්නේ කලාව සම්බන්ධව අප තුළ වර්තමානයේ ඇති හුදු නිද්‍රාශිලී පිළිවෙත නිසාවෙන්ද යන්න විමසිය යුතුය. අනික් අතට සිනමාව වර්තමානයේ පෙර මෙන් පොදුවේ රස විඳීන මාධ්‍යයක සිට හුදකලා රස විඳීමකට විතැන් ව ඇති හෙයින් ද යන්න විමසිය යුතුව ඇත. අද පරපුරේ කෝකටත් තෛලය බඳු සමාජ වෙබ් අඩවි පවා වෙනත් කලා මාධ්‍යයන්ට සාපේක්ෂව සිනමාව පිළිබඳ ඇති කතිකාවන් නිද්‍රාශීලිය.

පසුගිය වකවානුවේ අලුත් නිර්මාණශීලී සිනමාකරුවන් රැසක් සිය නිර්මාණ දායකත්වය සැපයුව ද ඔවුන්ගේ බහුතරය තිර ගතවීමේ අර්බුදයට මුහුණ දෙමින් කල් අරිමින් පසුවෙති. ඇට්ට කුණා වූ මතවාද වලින් පිරි අපේ සිනමා බලධාරින් හිතාමතාම නව සිනමාකරුවන් පිළිබඳ වගකීම කර හරිති.පසු ගිය වසරේ තිර ගත වූ ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ හෝ ගාණ පොකුණ තිර ගත වන්නට බොහෝ කල් ගත විය. එයට මැදිහත් වූයේ සුනිල් ටී ප්‍රනාන්දුය. එහෙත් හෝ ගාන පොකුණ අති සාර්ථක වනු ඇතැයි සුනිල් ටී. පවා විශ්වාස කළේ නැත.

එය ප්‍රදර්ශක මණ්ඩලයේ තිර ගත කරවන්නට මුලින් තෝරා ගත්තේ අතිරේක තිර ගත කරවීම (ගැප්)කටය. එහෙත් චිත්‍රපටය දරුවන් අතර විලාසිතාවක් විය. හෝ ගාන පොකුණ අති සාර්ථක වනු ඇතැයි මා විශ්වාස කරන ලද්දේ එය මුල් වරට නැරඹූ අවස්ථාවේය. ඒ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දීය. එදා එයට ලැබුණු ප්‍රතිචාරය මවිත කරවන සුළු එකක් විය. එහෙත් මෙරට ප්‍රේක්ෂකයා එය දැක ගන්නේ එයින් වසර ගණනාවකට පසුවය.

ලාංකික සිනමාවේ මුල් හැරවුම් ලක්ෂය රේඛාව තිර ගත කර ලබන දෙසැම්බරයට හැට වස් සපිරෙයි. රේඛාව යනු මුල් වරට විදෙස් සිනමා උළෙලකට සහභාගී වූ ලාංකික චිත්‍රපටය ද වෙයි. ඒ ලොව විශිෂ්ට සිනමා උලෙළක් වන කාන් සිනමා උළෙලෙටය. රේඛාව නිර්මාණය වනුයේ අධිශ්ඨානශිලී තරුණ සිනමාකරුවකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ කැපවීම මතය. රේඛාව වැනි චිත්‍රපටයක් තිර ගත කරවීමට එසමයෙහි ප්‍රදර්ශකයන් එකවර කැමැති වූයේ ද නැත.

මිනිසුන් සිතන පතන ආකාරය සහ පුරුදු වී සිටි ආකාරය වෙනස් කළ නොහැකියැයි ප්‍රදර්ශකයන් කෙස් පැලෙන තර්ක ගෙන ආහ. කෙසේ වෙතත් චිත්‍රපටය තිර ගත කරවීම සඳහා ආචාර්ය ලෙස්ටර් එවකට ලාංකික සිනමාවේ දැවැන්තයා වූ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමේ අධිපති ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.ගාඩිනර් හමුවට ගියේය. සර් ගාඩිනර් ඒ වන විට තමා ආයෝජනය කළ හොඳම සිංහල චිත්‍රපටය නරඹන්නට ලෙස්ටර් නම් තරුණ සිනමාවේදියාට ඇරැයුම් කළේය.

ඒ සැඩ සුළං චිත්‍රපටයයි. පසුව රේඛාව තිර ගත කරවන්නට පමණක් නොව ඒ සදහා ණය මුදලක් ලබා දෙන්නට පවා සර් ගාඩිනර් එකඟ වුව ද ඔවුන් හොඳ චිත්‍රපට ලෙස ඇදහුවේ රේඛාව නොව සැඩ සුළං ය. සර් ගාඩිනර් යනු උගත් ඉංග්‍රීසි භාෂිත ඉහළ පැලැන්තියට අයත් ලෝකයේ කලාවන් පිළිබඳ අධ්‍යයනයක් ලැබූවෙකි. නො එසේ නම් ඔවුන් ට අයත් කොළඹ රීගල් සිනමා හල ඉතා ප්‍රෞඩ විසිතුරු සිනමා මාලිගාවක් ලෙස ගොඩ නැගෙන්නේ නැත. එසේ වුව ද සිනමා කෘතින් නිර්මාණයේ ඔවුන් සිටියේ ඉන්දියානු මනසිනි.

වසර හැටකට පසු අද සැඩ සුළං සහ රේඛාව අතර ම්මිම මොන මට්ටමින් වත් මැනිය නොහැකිය. සැඩ සුළං යනු තවත් එක් චිත්‍රපටයක් පමණි. ඒ ගැන කතා කරනුයේ වැඩිම ගී ඇතුළත් චිත්‍රපටය මෙන්ම ලතා මංගේස්කාර් ගී ගැයු චිත්‍රපටය ලෙස පමණකි. එහෙත් රේඛාවෙන් තොර සිංහල සිනමාවේ ඉතිහාසය ලියනු නොහැක. එදා රේඛාව නැරඹූ ප්‍රේක්ෂකයකු ඒ මුදලින් කාක්කන්ට ආප්ප අරන් දුන්නා නම් කදිමයැයි පැවසු අන්දම අපේ සිනමාවේ පියානන් අතීතාවර්ජනයේ දී පවසන්නේ උපහාසයෙන් යුතුවය.

එපමණක් නොව තවත් දස වසක් ඇවෑමෙන් සිලෝන් තියටර්ස් සමාගමේ අනු සමාගමක් ව පැවැති සිලෝන් ස්ටුඩියෝස් සමාගම වස්තු භංගත්වයට පත් වීම වළක්වා ලනුයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ගොළු හදවත විසින් බැව් දැක ගන්නට සර් ගාඩිනර් ජීවත්ව සිටියේ නැත. එපමනක් නොව ලාංකික සිනමාවේ මහා නිර්මාණය නිධානය නිෂ්පාදනය කිරීමේ ගෞරවය ආචාර්ය ලෙස්ටර් විසින් සිලෝන් ස්ටුඩියෝවට ලබා දෙනු ඇතැයි ද සර් ගාඩිනර් එදා නොසිතන්නට ඇත.

මෙරට මුල්ම සිනමා කොමිසම වන ජෝතියසේන වික්‍රමසිංහ කොමිසමේ එක් සාක්කි කරුවකු වන සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මැනුවෙල් සවරිමුත්තු කොමිසම හමුවේ පවසන්නේ ප්‍රේක්ෂකයන් ඉල්ලන සිනමා කෘති තමන් විසින් ලබා දෙන වගය. එහෙත් මේ ඉල්ලුම ද නිර්මාණය කළේ ද ඔවුන් මය.එම යුගයේ අලුතින් සිතන සිනමාකරුවන් රැසකටම අධිපති සිනමාව සමග යුද වදින්නට සිදු විය. සාමා, සත් සමුදුර වැනි චිත්‍රපට තිර ගත වනුයේ මහත් අරගලයක ප්‍රතිඵලයක් හැටියටය.

අහස් ගව්ව තිර ගත වන සමය වන විට සිනමාවට රාජ්‍ය අනුග්‍රහය නාමිකව ලැබෙමින් පැවැති යුගයයි. චිත්‍රපට සංස්ථාව මැදිහත්ව තිර ගත කළ මුල්ම චිත්‍රපටය වනුයේ එයයි. එයින් පසු වසර විසි පහකට අධික කාලයක් මෙරට බිහි වන ඕනෑම තරුණ සිනමාකරුවකුට තමන්ගේ චිත්‍රපටය කෙසේ හෝ සිනමාහල්වල තිර ගත වන බවට සහතිකයක් විය. එයින් විපුල ඵල නෙළූවේ නිර්මාණශීලි තරුණයන්ට වඩා බාගෙට හදා චිත්‍රපට නමින් විසූක දස්සන පෙන්වූ ජාවාරම් කරුවන් වීම අවාසනාවකි.

එහි ප්‍රතිඵලය වූයේ සිංහල චිත්‍රපටය තුළින් බොහෝ ප්‍රේක්ෂකයන් ඇත්ව යාමය. සිනමාහල් වැසී ගියේ එයට හොඳ චිත්‍රපට නොලැබීම නිසාය. හොඳ චිත්‍රපට පිලිබඳ සහතිකයක් නොලද සිනමාහල් කිසි විටෙකත් යාවත්කාලීන නොවීම අරුමයක් නොවේ. කිසි විටෙකත් අලුත් නොවන සිනමාවක් වෙනුවෙන් නවීන පන්නයේ සිනමාහල්වලට ආයෝජනය කර අත පුච්චා ගන්නට කැමැති මොන මෝඩයා ද ? වර්තමානයේ තරඟකාරි නවීන සිනමාහල් රැසක් බිහි වෙමින් පවතී. ඒවා අපේ වැඩ යැයි කවුරුන් හෝ ලේබල් ගසා ගත්තා ට වැඩක් නැත.

එම සිනමාහල් සියල්ල ආදායම් උපයනුයේ විදෙස් චිත්‍රපට තිර ගත වන නිසාය. විදෙස් චිත්‍රපට වලට ලැබෙන ඉඩ කඩ කිසි විටෙකත් සිනමාහලක හතර මායිමකටවත් වැද්දා නොගත යුතු සිනමා කෘතිවලට නොලැබීම අගය කළ යුතුය.

ගැටලුව තිබෙනුයේ නමක් දිනූ සිනමාකරුවන් කොයි හැටි වෙතත් තරුණ සිනමාකරුවන් අරබයාද එම හැන්ද ම බෙදීමය. ඔවුන් පිලිබඳ සහතික දෙන්නේ ඇට්ට කුණා වූ මනසින් හා ලෝකය පිළිබඳ ආරෝවක පෙළෙමින් සිටින යල් පැන ගිය සිතුවිලි සහිත පිරිසකි. ඔවුන් ලෝකය පසුගිය දශකය ඇතුළත වෙනස් වූ අයුරු නොදනිති. මෝටර් බයිසියිකල් කොයි හැටි වෙතත් හෝ ගාන පොකුණ පවා තිර ගත කරවීම පිළිබඳ පවා සැක පහල කරන ලද්දේ ඔවුන් විසිනි.

සිනමාව යනු මහල්ලන්ගේ මාධ්‍යයක් නොවේ. ලොවම පිළිගන්නා කරුණ නම් සිනමා කෘති රස විඳීන බහුතරය අවුරුදු දොලහත් තිස් පහත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවය. එසේ‍ නොවී තව දුරටත් නිරන්තරයෙන් සිනමා කෘතින් නරඹන අප වැන්නන් අයත් වනුයේ දිනේෂ් ප්‍රියසාද් හඳුන්වා දුන් සීරසිමා රෝගය වැලඳුන වුන්ටය. සීරසිමා යනු සීමා රහිත සිනමා මාන්දම යන්නයි. එබැවින් තරුණයන් ගුරු කොට ගත් සිනමාවක් අවශ්‍ය ය. පසුගිය වකවානුවේ එබඳු තරුණ සිනමාකරුවන් රැසක් සිනමාවට පිවිසෙනු මම දුටුවෙමි.

මෝටර් බයිසිකල් චිත්‍රපටය පිළිබඳ මගේ කියැවීම වෙනස් මානයක් ගන්නකි. එම සිනමාකරුවාට සහ චිත්‍රපටය කෙරෙහි මට ඇත්තේ විශාල ගෞරවයකි. එයට එක් හේතුවක් නම් සිනමාකරුවා එනම් ශමීර රංගන නාඔටුන්න සතුව පැවැති අප්‍රතිහත ධෛර්යයි. ඔහු සිනමාව පිය උරුමයෙන් ලැබූවක් නොවේ.

වර්තමානයේ බොහෝ තරුණයන්ට යමක් කමක් ඇත්නම් සිනමාව හදාරන්නට විදෙස් ගත වන්නට ඇති පහසුකම් එමටය. සිනමාවේ විවිධ ඉසව් සොයා යන අලුත් පරම්පරාවේ සිනමාකරුවන් රැසක්ම එලෙස විදෙස් රටවල සිනමා විෂයයක් කොට උගත්තවුන්ය. ශමීරට එලෙස හැකියාවක් තිබුනේ නැත. ඔහු සිනමාව හදාරන්නේ ඇඟේ ඇති උණ නිසාමය. චිත්‍රපට සංස්ථාවේ සිනමා පාඨමාලාවේ ශිෂ්‍යයකු ලෙස සිනමාව හැදෑරුව ද ඔහු සිනමා කෘති රැසකටම සහාය අධ්‍යක්ෂ වරයෙක් ලෙස දායක වෙමින් ද සිනමාව අත්හදා බැලුවේය. ඔහු මුලින්ම දායක වනුයේ සුළං කිරිල්ලී චිත්‍රපටයටය.

එයින් පසු මෙරට නම ගිය සෑම සිනමාකරුවකුගේ යටතේ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන ඔහු වාර්තා චිත්‍රපටයක් ද නිර්මාණය කළේය. ඒ බැරි අමාරු කම් රැසක් මැදය. ම විසින් නිර්මාණය කරන්නට යෙදුණ වාර්තා චිත්‍රපට දෙකකට ද ශමීර සහාය අධක්ෂණයෙන් දායක වූයේය. මට ඔහු සොයා දුන්නේ ප්‍රවීණ සහාය අධ්‍යක්ෂ වරයෙක් වන දමින්ද මඩවලය. ඉනෝකා සත්‍යංගනී ඔහු පිළිබඳ කදිම රෙකමදාරුවක් ද දුන්නාය.ඒ අවදියේ ද ඔහුගේ ඔළුවේ තිබුණේ සිනමාකරුවකු වීමේ අභිලාෂයයි.

එහෙත් එම සිහිනය සැබෑ කර ගැන්ම පහසු වූයේ නැත. අවශ්‍ය මුදල් ද හැකියාව ද දැනුම ද සහිතව සිටිය ද වෘත්තාන්ත සිනමාකෘතියක් කරන්නට එඩිතර නොවීමේ පාපයට ලක්වූ ඇතැමුන් මට නම් වශයෙන් කිව හැක්කේය. එසේ නොකිරීම සාධාරණීකරණය කරන්නට දහසක් කරුණු කියන අය ද මා ළග සිටියි. එහෙත් ශමීර එඩිතර වූයේය. කෘතියට අවංක වූයේය. එහි අන්තර්ගතය පිළිබඳ විවාද කළ හැක.එහෙත් මේ සිනමාකරුද සිනමා කෘතිය ද රැක ගැනීමේ වැදගත් කමක් මෙන්ම අවශ්‍යතාවක් ද පවතී.

ඔහු සමග අනාගතයේ තවත් සිනමා කරුවන් රැසක් එළි දකිති. මලිත් හෑගොඩ. කල්පන සහ වින්දන ආරියවංශ දෙසොහොයුරන්, රොහාන් පෙරේරා. තිසර ඉඹුලාන. විශාකේශ චන්ද්‍රසේකර, සංජීව පුෂ්පකුමාර, උදාර අබේසුන්දර මේ අතරින් කිහිප දෙනෙකි. ඔවුන්ගේ සිනමා නිර්මාණ අපේ තරුණයන් අතට පත්වීම වැදගත්ය. එබැවින් මෙම තරුණ සිනමාකරුවන්ගේ එකමුතුවක් ද අවශ්‍ය බැව් ඔවුන්ට මතක් කර දෙන්නට මම කැමැත්තෙමි.

එමෙන්ම තවත් කරුණක් ද මේ සමග සනිටුහන් කළ යුතුය. වර්තමානයේ සිනමාශාලා ව යළි පවුලේ සිනමාවක් ගොඩනගන තැනක් බවට පත්ව ඇත්තේය. එය අපට පමණක් නොව ලොව පුරා පෙනෙන සාධකයකි. ප්‍රසිද්ධ රැඟම් පාලක මන්ඩලය වෙනදාට වඩා ලිබරල් විම අතිශයින් අගය කළ යුතුය. සිනමාකරුවන් වාරණයේ දංගෙඩියට යන්නේ නැති වග සහතිකය. එහෙත් පවුලේ සියල්ලනට එකට සිනමාහලට යෑමේ සහතිකයට වගකිමක් ඇත්තේය. එසේ නොමැති කළ අර්බුදයට පත් වනුයේ පේ‍්‍රක්ෂකයා පමණක් නොවේ.

එයට සිනමාහල් හිමියා ද අයත්ය. පවුලේ සියල්ලන්ටම සහතිකය ලැබ සිනමා හල් වලට ගිය විට තමන් අපහසුතාවයට පත් වන විට ප්‍රේක්ෂකයා බෙල්ල මිරිකනුයේ සිනමා කරු ගේ නොව ළඟින්ම අල්ලා ගත හැකි ශාලා කළමනාකරුගේය.එපමණක් නොව වැඳ හෝ ඇද ගත යුතු ප්‍රේක්ෂකයා යළි සිනමාහලට එන්නේ නැත. ලොව පුරා සිනමාව වාරණයක් නොවී සහතිකයක් ලබා ගන්නේ එබැවිනි. වර්ගීකරණ සහතිකය සියල්ලන්ගේම යහපත සඳහාය. අප බලාපොරොත්තු වන තවමත් ප්‍රමාද කාරණය ද එයයි.