වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




කාජල් පුංචි කාලේ මට මතකයි

කාජල් පුංචි කාලේ මට මතකයි

වේශ නිරූපණ ශිල්පී වසන්ත ගුණසේකර

සිනමාවේ, ටෙලිනාට්‍යයේ මෙන්ම වේදිකාවේද ඔහු කතාබහට ලක්වෙන ශිල්පියෙකි. මේ සියලු මාධ්‍යයන්හි සැරි සරන නළු නිළියන්ද කොතෙකුත් ඔහු දෑතින් අනේක වාරයක් හැඩ වැඩ වී ඇත.වේශ නිරූපණ ශිල්පය ඔහු ආගන්තුක නොවේ. දශක තුනකට වැඩි කාලයක සිට ඔහු ඒ කලාවේ සැරිසරන්නෙකි. ඔහු වසන්ත ගුණසේකරයි. මේ ඔහු සමඟ කළ කතාබහකි.

මේ දිනවල ඔබේ කලා කටයුතු වලින්ම අපේ කතා බහ අරඹමු?

මේ දිනවල ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකම වේශ නිරූපණ කටයුතුවල නිරත වෙනවා. ඒ අතර ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙන 'මා ද ඔබම විය ' ටෙලිනාට්‍යයේ වේශ නිරූපණ කටයුතු මතක් කළ යුතුමයි. ඒ වගේම මේ දවස්වල මම සිනමා නිර්මාණයකටත් දායක වෙනවා. ඒ තමයි කුමාර තිරිමාදුර රජුගේ චරිතය රඟන නවතම කොමඩි චිත්‍රපටයක වේශ නිරූපණ කටයුතු සිදු කිරීම. එයත් හරිම විනෝද ජනක වගේම වගකීම් සහගත අත්දැකීමක් බවට පත්වෙලා. එනිසාම මට දැනෙන්නේ වැඩ කටයුතු ගොඩක් සමඟ මම මේදවස්වල වේශ නිරූපණ කාර්යයේ සතුටින් නියැලෙන බවයි.

ඔබ ක්ෂේත්‍රයට එක් වූ ආකාරය ගැන කතාබහ කරමු?

මම වේශ නිරූපණ ශිල්පියෙක් ලෙස මේ ක්ෂේත්‍රයට එක් වුණේ 1981 දී පමණ. මර්වින් ජයතුංගයන් ගේ කලා නිර්මාණයක වේශ නිරූපණ කටයුතු සිදු කළ ඊබට් විජේසිංහ මහත්මයාගේ සහායකයා ලෙස කටයුතු කරන්න මට මුලින්ම අවස්ථාව ලැබුණා. ඉන් පසුව ඒ විදිහට රොබින් ප්‍රනාන්දුගේ සුර දූතියෝ, රණ දෙරණ, ප්‍රාර්ථනා, රන්දෙනිගල සිංහයා වැනි නිර්මාණ රැසක ඒ විදිහට කටයුතු කරන්න මට අවකාශ ලැබුණා.

ඔබ කුඩා කළ සිටම මේ ක්ෂේත්‍රයට ඇලුම් කළාද?

ඒ කාලෙ අද වගේ නෙවෙයි. පාසල් කාලෙම මේ ක්ෂේත්‍රයට යොමු වීමට අපහසුවක් තිබුණා. නමුත් මගේ තිබුණු ආසාව කැපවීම නිසාම මේ ක්ෂේත්‍රයට යොමු වීමට මම ඉඩ ප්‍රස්තා සලසා ගත්තා. මම පාසලේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබත් දී තමයි පාසල් වේදිකාවේ රංගනයට යොමු වුණේ. ඒ ලද පන්නරය මගේ කලා ආගමනයට හේතු වූවා. මේ විදිහට පාසල් නාට්‍යයක රඟපාද්දී ඒ උළෙලට ආරාධිත අමුත්තෙකු ලෙස පැමිණි මර්වින් ජයතුංගයන්ව හඳුනාගන්නට අවස්ථාව හිමි වුණා. ඔහුගේ මඟ පෙන්වීම යටතේ කලාවට සම්බන්ධ වෙනවා.

වේශ නිරූපණ ක්ෂේත්‍රයේ ඔබේ ගුරුවරුන් කවුරුන්ද?

ඊබට් විජේසිංහ සහ රංජිත් මතඟවීර මගේ ගුරුවරුන් වුණා. ඔවුන් යටතේ මා ලැබූ වේශ නිරූපණ දැනුම අපමණයි.

එදා අද වේෂ නිරූපණ ශිල්පය ඔබ දකින්නේ කොහොමද?

එදා වේෂ නිරූපණ ශිල්පීන් දක්ෂයි. අද දක්ෂතාව තිබුණත් මේ ක්ෂේත්‍රයේ කටයුතු කරත් දී තිබෙන කැපවීම වගකීම් සහගත බව අද ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව මට පෙනෙනවා. මට මතකයි එදා ඊබට් සිල්වා වගේ කෙනෙක් එක්ක වැඩ කටයුතු කරත් දී අපි කටයුතු කළේ පියවරෙන් පියවරයි. මුලින්ම මට අවස්ථාව ලැබුණේ අදාළ නළුවාගේ හෝ නිළියගේ මුහුණේ බේස් එක දමන්නයි. එය මාස ගණනක් ප්‍රගුණ කරලා තමයි ඊළඟ පියවරට ගියේ. ඒ කලාව ප්‍රගුණ කිරිමේ දී මහත් ඉවසීමක් වගේම පළ පුරුද්දක් අපි ලැබිය යතුයි. මම දකින්නේ වේශ නිරූපණ කලාව ප්‍රගුණ කළ යුත්තේ පියවරින් පියවරයි. ඒ විදිහට තමයි අපි ක්ෂේත්‍රයේ ඉදිරියට ආවේ.

අද වේශ නිරූපණ කලාව තාක්ෂණයත් සමඟ ඉදිරියටම ගිහින් තිබෙනවා නේද?

ඔව්. අද ත්‍රිමාණ වේශ නිරූපණ කලාව කලා ක්ෂේත්‍රයේ ඉදිරියටම ගිහින් තිබෙනවා. නවීණ තාක්ෂණය ශිල්පිය ක්‍රම හැම දෙයක්ම දියුණු වෙලා තිබෙනවා. මෙයට සාපේක්ෂව අපිත් මේ සමඟ යායුතු වෙනවා. වේශ නිරූපණය කියන දේ හැමදාමත් අලුත් වෙනවා විනා එක තැන පල්වෙන කලාවක් නොවෙයි.

අද මේ කලාවට ඉක්මනින්ම නවකයන් සම්බන්ධ වන බවක් පෙනෙනවා?

මෙහෙමයි. අද රෑපලාවණ්‍ය ගැන හැම දෙනාම උනන්දුයි. ඉතින් රූපලාවණ්‍ය කරන අය හිතන්නේ වේශ නිරූපනයත් ඒ වගේ කියලයි. ඒ සිතුවිල්ල වැරැදියි. වේශ නිරූපණයයි රූපලාවණ්‍යයි කියන්නේ අහසට පොළොව වගේ. සමහර නවකයින් මේ කලාවට එක් වන්නේ සහායකයෙක් විදිහට දින කිහිපයක් වැඩ කරලා. එයත් වැරැදියි. මම වේශ නිරූපණ ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට එක් වෙන්න සහායක ශිල්පියෙක් විදිහට වසර 8ක් පමණ ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර වැනි ප්‍රවීණයන් යටතේ කටයුතු කළා. එවන් අත්දැකිම් පළපුරුද්දක් ලැබුවට පසුව තමයි මම වේශ නිරූපණ ශිල්පියෙක් විදිහට කටයුතු කරන්නේ.

වේශ නිරූපණ කලාව ඔබ හඳුන්වන්නේ කොහොමද?

වේශ නිරූපණය කියන්නේ ඕනම කලා මාධ්‍යයක ප්‍රබලම මෙවලම කියල සරලව හඳුන්වන්න පුළුවන්. රංගනයේ නියැළෙන නළුවාට හෝ නිළියට තම චරිතය සකසා දෙන්නේ අංග රචනය හෙවත් වේශ නිරූපනය ඔස්සේයි. ආහාරය අභිනයන්ගේ මුලිකම කඩඉම වේශ නිරූපණයයි.

අද ඔබ වේශ නිරූපණයෙන් ඉදිරියටම ඇවිත් ඉන්නවා ඒ ගැන මොකද හිතන්නේ?

විශාල සතුටක් දැනෙනවා. මෙය එක රැයකින් ගොඩනඟාගත් දෙයක් නෙමෙයි. පියවරෙන් පියවර තමයි ඉදිරියට ආවේ. අද මට ලැබෙන නිර්මාණ දෙස බලන කොට ලොකු සතුටක් දැනෙනවා.

මේ කලාව දවසින් දවස දියුණු වෙන කලාවක් නේද?

ඔව්. තත්ත්පරෙන් තත්ත්පරය වේශ නිරූපණ කලාව ඉදිරියට යනවා. විවධ ශිල්පීය ක්‍රම, තාක්ෂණය මෙයට බද්ධ වෙනවා. අපිත් ඒවා සමඟ නිරන්තරයෙන්ම ඉදිරියට යා යුතුයි. එක තැන පල් වෙන වේශ නිරූපණ කලාවෙන් අපි මිදිය යුතුයි. අලුත් අලුත් දේ මේ ක්ෂේත්‍රයට එක් කළ යුතුයි.

විදෙස් නළු නිළියන් සමඟත් ඔබ අත්දැකීම් සම්භාරයක් මේ කලාව තුළින් ලැබුවෙක්?

ඇත්තටම මම හින්දි සිනමාවේ නළු නිළියන් පස්හයදෙනෙකු සමඟම මේ වන විට වැඩ කර තිබෙනවා. ඒ අතරින් කාංල්ගේ අම්මා ප්‍රවීණ සිනමා නිළි තනූජා සමඟ මා වැඩකළ සුන්දර දවස් මතකයට නැගෙනවා. ඇයව වේශ නිරූපණය කරන්නට මට අවස්ථාව ලැබුණේ 'පෙරළිකාරයෝ 'චිත්‍රපටයෙන්. දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ 'පෙරළිකාරයෝ' චිත්‍රපටයේ තනුජා රඟපෑවේ විජය කුමාරතුංග සමඟයි. ඒ වන විට මම වෙස් ගැන්වීමේ කලාවට නවකයෙක්. ඔවුන් මට පුදුමාකාර සහයෝගයක් ලබා දුන්නා. එය මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස මම දකිනවා. එතකොට කාජල් හර්ම පොඩි ළදැරියක්. ඇය කුඩා කාලයේ දී මට මතකයි. පසු කලෙක ඇය සමඟ වගේම ගෝවින්ද ඇතුළු තවත් නළු නිළියන් සමඟ මට වැඩකරන්න අවස්ථාව හිමි වූණා.

මේ අය ලංකාවේ වර්තමාන නව පරපුරේ නළු නිළියන් සමඟ සසදද්දී අහසට පොළොව වගෙයි. එතරම්ම නිහතමානීත්වයක්, අත්දැකීම් බෙදා හදා ගැනීමක් ඔවුන්ගේ වගේම අපේ ප්‍රවීණ නළු නිළියන් ගේ තිබුණා.

මේ ක්ෂේත්‍රයේ නියැළෙත් දී ඔබට අමතක නොවන අත්දැකීම් ඇති?

මට 'දෙමෝදර පාලම' චිත්‍රපටය අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි 'රන් දෙනිගල සිංහයා', හිතහොඳ චණ්ඩියා, නින්ජා ශ්‍රී ලංකාවැනි චිත්‍රපට රැසක මම වේශ නිරූපණය කළා. මට මතකයි එක් අවස්ථාවක ලකී ඩයස් මහත්මයට මම මුහුණ පිලිස්සුණු අංග රචනයක් කළා. එයට භාවිතා කළේ සම්පූර්ණයෙන්ම සත්ව මස් වර්ගයක්. ඒ අංග රචනය වගේ තවත් අංගරචනා කිහිපයක්ම මම සිදු කර තිබෙනවා.

අතීතය දෙස හැරී බලත් දී මොකද හිතෙන්නේ?

පුදුමයක් දැනෙනවා. මෙතරම් දුරක් කලාවට දායක වුණේ වෘත්තීය ගරුත්වය රැකගෙන. මගේ ගුරුවරුන් මේ මොහොතේ මම ආදරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම හැම විටම කලාලෝකයේ දී මට ගුරු හරුකම් දෙමින් මාව දිරිමත් කරන ප්‍රවීණ මෙන්ම නව පරපුරේ නළු නිළියන්ට මම ස්තූතිවන්ත වෙනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

මේ ක්ෂේත්‍රයේ ආදර්ශවත් හොඳ ගමනක් මම ඇවිත් තිබෙනවා. ඒ ගමන තව තවත් සාර්ථක කර ගනිමින් ඉදිරියට යාමයි බලා පොරොත්තුව. ඒ වගේම මගේ දැනුම නවකයන්ට ලබා දෙන්න ඕනම වෙලාවක මම සුදානම්.