වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

දෝෂාරෝපණයට ලක් වූ Pink

පසුගිය සතියේ දිල්ලියේ කාන්තාවකට තිස් වතාවක් පිහියෙන් ඇන ඝාතනය කරලා. මේ වැනි සිදුවීම් සිදු වෙද්දී අමිතාබ් රඟන Pink චිත්‍රපටයට දොස් කියන්නේ ඇයි කියා ඇතමෙක් විමසනවා. මොකද මේ දිනවල තිරගත කෙරෙන Pink චිත්‍රපටයට එතරම් සුබවාදි ප්‍රතිචාර ලැබෙන්නේ නැතිලු. මේ වගේ දරුණු සිදුවීම් එක්ක සසඳන විටදී Pink චිත්‍රපටයේ තියෙන භයානක තත්ත්වය කුමක්ද යන්න ඔවුන්ගේ අදහසයි.

හැබැයි Pink චිත්‍රපටය වාණිජ අතින් සාර්ථක තත්ත්වයක් පෙන්නුම් කරලා. තිරගත කරලා දින හතරක් ඇතුළත එය ඉන්දීය රුපියල් කෝටි 36ක් උපයලා. Pink චිත්‍රපටයේ පිරිවැය වුණෙත් ඉන්දිය රුපියල් කෝටි 23ක්. චිත්‍රපටය ගැන විවේචනය කරන කිසිවෙකුත් ආදායම ගැන නම් කතා කරන්නේ නැතිලු.


ජැක්ලීන් කෝපි කඩේ

ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන් ගුවන්තොටුපලවල නැවතී සිටින අයුරු හැමදාම දකින්න ලැබෙන්නේ නැති දෙයක්. ඒ වුණත් ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස්හට පසුගිය දවසක මුම්බායි ගුවන්තොටුපලේ සෑහෙන වේලාවක් රැඳි සිටින්න සිදු වෙලා. ඇය නිව්යෝර්ක් සිට එන ගමනේදී තමයි මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.

රියදුරාගේ ප්‍රමාදය නිසා ජැක්ලීන්ට මේ විදියට ගුවන්තොටුපලේ කෝපි අවන්හලක නතර වෙන්න සිදු වෙලා තියෙන්නේ. රියදුරා පැමිණි පසු ඔහුට ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න සිදු වෙලා. ඔහුගේ ප්‍රමාදයට හේතුව වෙලා තියෙන්නේ මාර්ග තදබදය. කොහොම වුණත් වාසනාවකට ඔහු ගොඩක් බැණුම් අහලත් නැහැ.


තාත්තාට කීකරු පුතා

ශාරුක් ඛාන් පසුගිය දවසක නම්‍යශීලි නොවන කතාවක් කරලා. කාගේත් ආදරය දිනුවත් ඒ කතාවට නම් සමාජයේ ඇතැම් පුද්ගලයන්ගේ අකමැත්ත ශාරුක් වෙත එල්ල වෙලා කියලා ආරංචියි.

දුරකථන සේවා ආයතනයක සන්නාම තානාපතිවරයෙක් ලෙසින් ඔහු පසුගියදා පත්වීම් ලැබුවා. ඒ කටයුත්තේදී තමයි ඔහු වෙත මේ ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ. හැබැයි මේ සියලු දෙනා තම තමන්ගේ අදහස් දැක්වුවත් ශාරුක් ඒ එකකටවත් පිළිතුරු දීලා නැහැ.

හැබැයි සියල්ලන්ගේම අදහස් අවසානයේ ශාරුක් පැවසුවේ, මෙහෙම දෙයක්. “මං මගේ තාත්තා දුන් උපදේශයක් මේ අවස්ථාවේ පිළිපදිනවා. අපේ තාත්තා මට කිව්වේ නිහඬව ඉන්න තරමට ගොඩක් ඇහුම්කන් දෙන්න පුළුවන් කියලයි. අද තාත්තා නැති එක එක අතකින් හොඳයි. මොකද මේ දේවල් අහලා ඔහු ගොඩක් කනගාටු වේවි” ශාරුක් පවසනවා. ඒ විතරක් නෙවෙයි මේ නිසා තවත් දෙයක් ඔප්පු වුණා. ශාරුක් කියන්නේ තාත්තාගේ උපදෙස් පිළිපදින හොඳ පුුතෙක්.


සෝනක්ෂි අලුත් වැඩක

අභිරහස් මරණයක් ගැන කියන Ittefaq  නමින් 1969 වසරේදී තිරගත වූ චිත්‍රපටය යළ ප්‍රති නිර්මාණය කරන සූදානමක් ගැන බොලිවුඩයෙන් ආරංචි වෙනවා. එහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්න ආරාධනා ලබා තියෙන්නේ යොවුන් නිළි සෝනක්ෂි සිං. මේ දිනවල ඇය දායක වූ Akira  චිත්‍රපටයත් සාර්ථකව තිරගත වෙනවා.

හැබැයි සෝනක්ෂි මෙහි මුල් චිත්‍රපටය නරඹලාවත් නැතිලු. කරන් ජොහාර් තමයි මේ නව චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. සෝනක්ෂිට මේ චිත්‍රපටය බලන්න එපා කියලා තියෙන්නේත් කරන් තමයි. ලබන වසරේ ජනවාරි මාසයේදී එහි රූගත කිරීම් ආරම්භ කරන්න නියමිතයි. සෝනක්ෂි සමඟින් ප්‍රධාන නළු චරිතයට පණ දෙන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා.

1969 වසරේදී තිරගත වු Ittefaq  චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ රාජේෂ් ඛන්නා සමඟින් නන්දා. එය අධ්‍යක්ෂණය කළේ යාෂ් චොප්රා. සෝනක්ෂි නම් කියන්නේ චිත්‍රපටය නිර්මාණය කළාට පසුව මේ දෙකම සංසන්දනය කරන්න පුළුවන් කියලයි. “අපේ පරම්පරාවේ අය පරණ චිත්‍රපටය නරඹලා නැති නිසා එය අලුත් අත්දැකීමක් වේවි” ඇය පවසනවා. ඒ වගේම Ittefaq  නව නිර්මාණයේදී අද කාලයට ගැළපෙන පරිදි තිරපිටපතේ යම් යම් වෙනස්කම් සිදුකර ඇති බවත් ආරංචියි.


මතක හිටින චරිත සොයන දීපිකා

දීපිකා පදුකෝන් දැන් හරිම කාර්යබහුල බොලිවුඩ් නිළියක්. බොලිවුඩයේ විතරක් නොවෙයි හොලිවුඩ් නිර්මාණයකටත් ඇයගේ දායකත්වය ලැබෙන නිසා බොලිවුඩයේදී ඇය බලාපොරොත්තුවන නිර්මාණ රැසක් ඇයට මඟහරින්න සිදු වෙලා.

කාර්බහුල වුණත් නැතත් ලැබෙන සෑම චරිතයක්ම භාර ගන්නත් ඇයගේ කැමැත්තක් නැහැ. මිනිසුන්ට මතක හිටින චරිත විතරක් කරන්න තමයි ඇයගේ මනාපය. දීපිකා බොහෝ දෙනෙකුගේ හදවත් සොරකම් කරගත්තේ,  Om Shanthi Om  චිත්‍රපටයේ රංගනය සමඟින්. පසුව Cocktail, Golium Ki Raasleela : Ram Leela, Bajirao Mastani, Piku  වැනි චිත්‍රපටවලත් ඇයගේ චරිත කාටත් අමතක නැහැ.

“ඕනෑම නළුවකුගේ, නිළියකගේ බලාපොරොත්තුවත් එය යි. රසික හදවත් තුළ බොහෝ කල් ජිවමානවී සිටින්න මම කැමැතියි. ඒවගේම චිත්‍රපටයක් ශෝකාන්තයක් තිබීම අනිවාර්ය නැහැ. නමුත් රංගන ශිල්පිනියක් විදියට සමාජයට ධනාත්මක පණිවුඩයක් දෙන්න මම කැමැතියි” දීපිකා පවසනවා.