|
පී. යූ. ඩී. ගේ ළමා දින චිත්‍රපටය ජාතික නාළිකාවේ
ලෝක ළමා දිනය වෙනුවෙන් පී. යූ. ඩී. පෙරේරා අධ්යක්ෂ-ණය කළ ළමා ටෙලි චිත්‍රපටය අමිල මිණිමුතු එළඹෙන ඔක්තෝබර් මස 1 වැනිදා සවස 2 ට ජාතික නාළිකාවෙන් විකාශය වේ. වසන්ත විට්ටච්චි, ප්‍රීති විජේසිංහ, උදාර ඩී. පෙරේරා, විදුරංගන ආදී නළු නිළියන් මෙහි රංගනයේ යෙදෙයි. අමිල මිණිමුතු මව්පියන්ගේ නොයෙක් වැරදි නිසා නොමඟට ගිය දරුවන් යහමඟට ගෙන ඒමේ කතා පුවතකි.
ජයසිරි සේමගේ සිතුවම් දැක්ම
ප්‍රවීණ චිත්‍ර ශිල්පී, කලාසූරි ජයසිරි සේමගේ ගේ චිත්‍ර ප්‍රදර්ශනය ඔක්තෝබර් 04 සහ 05 යන දෙදින අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී නොමිලයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. නව මුහුණුවරකින් නව තේමාවක් ඔස්සේ පැවැත් වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනයට ආදරය, කරුණාව, ආලය ආදී තේමාවක් ඔස්සේ සිතුවම් කළ ඇතුළත් වේ. මේ වන විට ලෝකයේ රටවල් රැසක චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇති ජයසිරි සේමගේ ගේ බොහොමයක් සිතුවම් සඳහා පාදක වී ඇත්තේ තරුණ කාන්තා රුවයි. ඔහු මීට පෙර සිය සිතුවම් දැක්ම පැවැත් වූයේ ඕමානයේ මස්කට් නගරයේදී ය. කලාසූරී සම්මානයද ඇතුළුව කලාභූෂණ, කලාකීර්ති, කලාපති සම්මානයන්ද ජාත්‍යන්තර මාධ්‍යවේදී සම්මානය, සර්වෝදය ජාතික සම්මානය, සෝලිස් මැන්දිස් ජාතික සම්මානයෙන්ද පිදුම් ලද ජයසිරි සේමගේ විසින් සිතුවම් කළ චිත්‍රයක් එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ශාලාවේ ස්ථිර ලෙස තැන්පත් කිරීමටද තෝරා ගෙන තිබේ.
අනුර හොරේෂස්ගේ උතුරු ප්‍රදීපය එළිදකී
අනුර හොරේෂස් විසින් රචිත ‘උතුරු ප්‍රදීපය’ නම් චරිතාපදාන ග්‍රන්ථය හෙට (30 වැනිදා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එළිදැක්වීමට නියමිතය. නාගදීප පුරාණ රජමහා විහාරය, දඹකොල පටුන ශ්‍රී සංඝමිත්තා විහාරය හා නාගදීප බුද්ධවලව්ව පුරාණ විහාරය යන විහාරත්‍රයාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ‘ප්‍රවීණාචාර්ය ධම්ම කීර්ති ශ්‍රී’ යන ගෞරව නාමය සහිත උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රධානය ද එහිදී සිදුකෙරේ. |