වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

මං ඔයා ගැන ආඩම්බර වෙනවා

‘මේ සුමිත් අයියාගේ කඩේ තමා මං ඉස්සෙල්ලාම වැඩ කළේ'

මානවී පැවසුවේ රවිඳුටය. සුමිත්ගේ මුහුණේ නැගුණ සිනහව බැගෑපත් පෙනුමක් ගෙනාවේය.

'නංගි ගියත් හරි බිස්නස් එක කඩන් වැටුණා'

සුමිත් පැවසුවේ සිය බිරින්දෑ සුනීතා දෙස නෝක්කාඩු බැල්මක් ලමිනි. ඇගේ කුසේ තවත් දරුවෙකි. එදා අත දැරිය දැන් තරමක් ලොකුය. ඈ මානවී දැක සිනාසුණාය. කිරි දත් වැටීමෙන් පසු තවමත් ඇයට දත් ලැබී නැත.

'මොකද ඔයා පෙරහැරක් බලන්න ගියාද?'

මානවී ඇගේ අත් අල්ලාගෙන ළඟට ගත්තාය. දැරිය 'හක හක' ගා මහ හඬින් සිනාසුණාය.

'අපොයි නංගිගේ නාට්‍ය යන කොට ඔක්කොම බලනවා. මතකනේ ඒ කාලේ අතේ තියාගෙන හිටපු ඒවා'

සුනීතා අතීතය සිහිපත් කළාය. මානවී කිසිත් කියන්නට ගියේ නැත. සුමිත් හා තමා බයිසිකලයේ එන විට අලියකු පසුපස පන්නා ආ හැටිත් තමා හා ඔහු අතර සබඳතාවක් ඇතිදැයි සුනීතා විමසූ හැටිත් මානවීට සිහිපත් විය.

'මේ කඩේට අහම්බෙන් ටෙලියක් කරන්න ආවා. මටත් ඉන්න කිව්වා'

මානවී රවිඳුට පැවසුවේ දැරියක විලාසයෙනි.

දහවල් කාලයේ නිවසේ සිටි රවිඳු ගම වටා ඇවිදින්නට වුවමනා යැයි මානවීට පැවසුවේය.

'ඉස්සෙල්ලා නංගි රඟපාන්න බෑම කිව්වා. මං තමයි ඉඳපං කිව්වේ'

සුනීතා පැවසුවේ කතාවට අලගු තියන්නටය. සාප්පුවේ තිබූ සිරියාව අතුරුදන්ව ඇත. ළමෝ වඩා කීර්තිමත් ගුරුවරු සොයා අනුරාධපුරයට යන්නට පටන් ගෙනය. එබැවින් සුමිත් ගේ පන්තිවලට පැමිණි ළමුන් ගණන අඩුවන්නට පටන් ගත්තේය.

'තවමත් අලි ඉන්නවද?'

රවිඳු ඇසුවේ හදිස්සියේය.

'ඉන්නවා. ඊයේත් වැව් ඉස්මත්තේ කෑගැහුවා ඇහුණා.'

සුමිත් පැවසුවේය. කඩය ඉදිරිපිට කිහිපදෙනෙක්ම සිටියේ මානවී දෙස බලමිනි. ඇය සිනහවෙමින් කඩයෙන් එළියට බැස්සාය. ඒ ඈ දන්නා හඳුනන අයය.

'නෝනා කාලෙකට පස්සේ ගමට ඇවිත්'

ගැමි ගැහැනියක ඇගේ උරහිසේ සිට පහළට අත අල්ලමින් කතා කළාය.

'ඇයි නැන්දේ මට නෝනා කියන්නේ?'

මානවී හෙමින් ඇසුවාය.

'අනේ දුවේ උඹට ජයසිරි මහ හාමුදුරුවන්ගේ පිහිටයි. එදා වගේම තමයි'

'උඹ දැන් ලොකු නෝනා කෙනෙක් නේ'

ගැහැනිය තෙපලා අතැති තුවායෙන් ඇසෙහි නැඟුණු කඳුළු පිසදා ගත්තාය. කඩ මණ්ඩියට ආ ගැහැනුන් කිහිප දෙනෙක්ම මානවී හා කතාවට වැටුණු අයුරු රවිඳු කඩය ඇතුළට වී බලා සිටියේය. ඔහුට සියල්ල අමුතුය. ඔහු කඩයෙන් එළියට බටුයේය.

සරම් ඇඳගත් ගැටව් කිහිප දෙනෙක් උනුන් හා රහසින් කතා කරමින් මානවී දෙස බලති. රවිඳු මානවී ළඟට ගියේය.

'මේ බඳින්න ඉන්න සර්ද?'

බුලත් කහටින් දොතොල පුරවා ගත් ගැහැනියක රවිඳු දැක විමසුවාය. රවිඳු මෙන්ම මානවී එයින් අපහසුතාවයට පත් වූයේය.

'නැහැ. මගේ යාළුවෙක්. මහත්තයාට ඕනෑ කළා අපේ ගම බලන්න'

තරුණයකු එතැනට පැමිණියේය. ඔහු ඈ දෙස බලමින් සිටි තරුණයන් අතරින් එකෙකි. ඔහු අත හෑන්ඩ් ෆෝන් එකකි. ඈ මානවී ළඟට පැමිණියේ සෙල්ෆියක් ගන්නටය. මානවී එයට ඉඩ දුන්නාය.

'මේ රවිඳු මහත්තයා නේද?'

තරුණයා විමසුවේ අනතුරුවය. ඔහු කෙසඟය. මුහුණ පුරා රැවුල වැවී ඇත. රවිඳු සිනාසුණි.

'අපි ඔබතුමන්ගේ ටී. වී. ඉන්ටවීව් බලනවා'

තමන්ට ගැළපෙන සගයෙකු මුණ ගැසී ඇතැයි රවිඳු සිතුවේය. තරුණයාගේ මුහුණේ තිබුණේ බැරෑරුම් බවකි.

'ඔබතුමන් අද මේ පැත්තේ'

'මං කවදාවත් ගමකට ඇවිල්ලා නෑ. මට හිතුණා මානවීගේ ගම බලන්ඩ'

රවිඳු පැවසුවේ තරුණයා සමඟ සුහද කතාබහකට මුල පුරන්නටය. සෙසු ගැටවරයන්ද එදෙසට එනු මානවීට පෙනිණ. තමන් හා කතාවට එක් වූ තරුණයා සමඟ රවිඳු එදෙසට ගියේය. සුමිත් ද ඔවුන් හා එක්වනු ඇය දුටුවේ අනතුරුවය.

මානවී සමඟ බොහෝ දෙනාට කතා කරන්නට වුවමනා විය. ගමේ බහුතරයක් නෑදෑයින්ය. ආවාහ විවාහයන්ගෙන් පිටස්තරයකු එකතු නොවන්නට පැරණි ගැමියන් බහුතරයක් එක පවුලකින් පැවතෙන්මෝ වූහ. එහෙත් තමාත් ඔවුනුත් අතර දුරස්ථභාවයක් ගොඩ නැඟී ඇති වග මානවීට වැටහිණ. තවදුරටත් තමා ඔවුන්ගේ සමාන තැනැත්තෙකු ලෙස සලකනනවා වඩා ඉහළින් සලකන්නට ඔවුහු තැත් දරති. ඔවුනගේ වුවමනාවන් ද වැඩිය. දුක් ගැනවිලි ද එමටය. ග්‍රාම සේවකගේ දොස් පරොස් ද ගමට පිටින් ආ අලුත්ම ඉංග්‍රීසි ගුරුතුමා දැරියන්ට මුකුළු කරන වග ද මේ ගැහැනුන් කියා සිටියේ පිහිටක් බලාපොරොත්තුවෙනි. ඔවුන් තවදුරටත් තමා දකින්නේ ගමේ උපන් මානවී හැටියට නොවේ. ටෙලි නාට්‍යවල දකින චරිතයන්ගේ සැබෑ ස්වරූපයක් හැටියටය.

'ඔයාට පුළුවන්නේ පුතේ අපේ වැඩ ටිකට උදව් වෙන්න'

එක ගැහැනියක් පැවසුවේ එබැවිනි. තවත් තරුණියකට රැකියාවක් සොයා දෙන්නටය. මානවී හිස සැලුවා විනා පිළිතුරු නොදුන්නාය. පසුගිය වකවානුවේ ගමට පැමිණිය ද ඇය මෙලෙස ඇවිදින්නට ගියේ නැත. ඇවිදන්නට වූයේ රවිඳු නිසාය. රවිඳු තරුණයන් සමඟ කතාබහකය. ඔහු කිසියම් පැහැදිලි කිරීමක යෙදෙයි. සියල්ල අසා සිටියදි රැවුල්කාරයා වාදයකය. ඒ සියල්ල මැද රවිඳු කැපී පෙනෙයි.

වටින් ගොඩින් අඳුර වැටීගෙන එයි. ගෙදර සිට හන්දියට ආවේ පයින් ඇවිදිමිනි. පයින් යා යුතු යැයි රවිඳුගේ ඉල්ලීම විය. මානවී එයට අවනත වූවාය.

මානවී තරුණයෙක් ළඟට පැමිණීමෙන් කතාව නතර කෙරිණි. ඇය තරුණයන් දෙස සිනහ වෙමින් ගෙදර යන්නට රවිඳුට සංඥා කළේය.

'හැබැයි මං කැමැතියි ඔයගොල්ල එක්ක කතා කරන්න. එක්කෝ කොළඹ එන්න. ඇවිත් මාව හම්බුවෙන්න. ඒ වගේම මම නිවාඩු දවස්වල මෙහාට එන්නම්.'

ඔහු සාක්කුව අතගා තම කාඩ්පතක් එක් තරුණයකුට දුන්නේය. අනතුරුව මානවී සමඟ ආපසු ගමනට එක් වූවේය.

'ඔයාට මෙහේ ඡන්දෙ ඉල්ලන්න පුළුවන්නේ'

රවිඳු සිනාසෙමින් පැවසුවේය.

'ඔයා මෙහාට ආවේ කැන්ඩිඩේට් කෙනෙක් හැටියට මාව දාන්න පුළුවන්ද කියලා බලන්නද. ඔයගොල්ලන්ට හැම වෙලාවෙම පොලිටික්ස්'

රවිඳු එබසට මහ හඬින් සිනාසුණේය.

'ඔයාට කේන්තිත් යනවානේ'

'කේන්ති ගියේ නෑ. මම කිව්වේ ඇත්ත'

'අපොයි නෑ. මං අර කොල්ලන් එක්ක කතා කළේ ආට් ගැන, ෆිල්ම්ස් ගැන, මියුසික් ගැන. මට හිතාගන්න බෑ උන් හොඳ අවදියෙන් ඉන්න කොල්ලො ටිකක්'

'එක පාරක් රවුමක් ගහලා ගම ගැන තීන්දු ගන්න බෑ. ඒකට මෙහෙ ඉන්න වෙනවා'

'ඒකට ලෑස්ති වෙලා තමයි මං ආවේ'

මානවී ගමන නතර කොට රවිඳු දෙස බැලුවේය.

'මං හිතුවේ අද යනවා කියලා'

'මං හිතුවෙ ඔයා නවතියි කියලා'

'මං අද ඉන්න කියලා තමා හිතුවේ'

'බලන කොට අපි දෙන්නම එක විධියටනේ හිතලා තියෙන්නේ'

රවිඳු පැවසුවේ දිනුමක විලාසයකිනි. මානවී සිනාසී කරබා ගත්තාය.

'හොඳයි මම ගියා නම් ඔයා එන්නේ කොහොමද?'

'එක්කෝ වාහනයක් ගෙන්න ගන්නවා. නැත්නම් ඔන් ලයින් කෝච්චියේ සීට් එකක් බුක් කරනවානේ'

මානවී ගාණක් නැතුව පැවසුවාය.

'නිළියක්?'

'ඒ එහෙම හිතුවොත්නේ, නැත්නම් මට එහෙම නොහිතා කරන්න පුළුවන්'.

රවිඳු පුදුමයෙන් මෙන් ඈ දෙස බලා සිටියේය.

'ඔයා මං හිතුවාට වඩා වෙනස්. මං ඔයා ගැන හරි ආඩම්බර වෙනවා'

මානවී එබසට කිසිත් නොකියා ගමන ඉක්මන් කළාය. වැව් තාවුල්ලේ සිට හමා ආ සුළඟ ඇගේ කෙහෙ රැළි සමඟ නර්තනයකය. ඇය අතින් එය හදාගන්නට තැත් කළාය. ඊළඟ රැල්ල ගවුම වටා යන්නීය. කෙස් වැටිය අත ඇරිය ඇය ගවුම හීලෑ කරන්නට වෙර දැරුවාය.

වැවේ නාමින් සිටි කෙනෙකු රවිඳු හා මානවී දෙස වුවමනාවෙන් බලා සිටියේ අඩක් හිස දියෙහි ඔබාගෙනය.

ගමේ එක කොටසක් මහ පාර අයිනේය. පැරැණ්නන් බහුතරය සිටියේ වැව් බැම්මේ අනෙක් පසෙහිය. ගම මැදකට බෙදෙන්නේ ඒ මැදින් පිහිටි වෙල්යායය. ගම එක් කළේ වැව් බැම්මය. මානවීගේ නිවස වැව් බැම්ම හරහා යා යුතු විය. ගෙදර තිබුණේ බැම්ම පාමුලය.

'අද මම ඔයගොල්ලන්ගේ ගෙදර නැවතුනාට කමක් නැද්ද?'

රවිඳු එකවරම ඇසුවේය.

'ඇයි?'

'ගැනු ළමයෙක්ගේ ගෙදර එහෙම ඇවිත් නවතින්නේ නෑ නේද? සාමාන්‍යයෙන් මෙහෙ සිරිත් විරිත් කොහොමද? මං දන් නැති හින්දා ඇහුවේ'

රවිඳුගේ විලාසයට මානවීට සිනහ සෙන්නට සිතුණත් ඈ එසේ කළේ නැත. එහෙත් ඔහු අමාරුවේ දමන්නට ඇයට සිතිණ.

'ගෑනු ළමයා කැමති නම්?'

'එහෙමනම් නවතින්න පුළුවන්ද'

'පුළුවන්,පිලෙන් පැදුරක් දාලා දෙන්නම්'

'රෑට කෑම?'

'කුරක්කකන් පිට්ටු ටිකක් හදල දෙන්නම් තිබ්බටුයි ලූල් මාළුවෙකුත් එක්ක'

ඈ පැවසුවේ දඟ හඬකිනි.

'ඇත්තට මම නැවතුණොත් කමක් නැද්ද?'

එවර රවිඳුගේ ස්වරූපය වෙනස් විය.

'ඔයාට එහෙ වගේ ඒ. සී. කාමර නම් නෑ'

'මට ඒවා ඕන නෑ. මට ඕනෑ වෙනසක්. අනික් මිනිසුන්ට ඉන්න පුළුවන් නම් මට බැරිකමක් නෑ'

මානවී ගේ නිවස ඉදිරිපිට නවතා තිබූ බෙන්ස් රථයේ දූවිලි වලාවක් වැදී තිබිණ. ළඟ සිටි කුඩා දරුවකු ඒ මත ඉරි ඇඳ තිබිණ. ඔහු නිතර දෙවේලේ දුව එන අසල්වැසි දරුවෙකි.

'මහත්තයාට මහන්සිත් ඇති. මේ ගිනි කාෂ්ටකේ කොහේ එක්කන් ගියාද'

මිදුලේ වනා තිබූ වී පැදුරක් අකුළමින් සිටි අත්තම්මා පැවසුවාය.

'ඇයි මට මහත්තයා කියන්නේ අත්තම්මා මගේ නම රවිඳු'

රවිඳු අත්තම්මාට නැඹුරු වෙමින් පැවසුවාය. ඔහු වී පැදුර අකුලන්නට උදව් කරන්නට සැරසිණ. අත්තම්මාට එය තනිව කළ හැක. නිර්මලා ගෙයි උළුවස්සට හේත්තු වී රවිඳුගේ ඉරියව් බලා සිටියාය.

'මට වැවට ගියොත් නාන්න පුළුවන්ද?'

ඔහු සිය රථයේ පසුපස විවර කළේය.

'හැබැයි මට නම් එන්න බෑ'

මානවී පැවසුවාය.

'ඇයි?'

'මේ වැවේ පිරිමි නාන මංකඩවල ගෑනු නාන්නේ නෑ'

'ගිනි කාෂ්ටකේ ඇවිත් නානවද'

අත්තම්මා අවවාදයකට සැරසිණ.