|
රැලා අපේ කට්ටිය සහ මම
පසුගිය දහවෙනිදා පොතක් එළි දැක්වීමේ උත්සවයකට මම සහභාගී වුණා. එම පොත එළි දැක්වීමට පෙර පෙන්වන ලද ඡායාරූප දැකීමෙන් මගේ ජීවිතයේ සොඳුරුම කාලය නැවත ආවර්ජනය වුණා. අපේ කට්ටියත් සමඟ මා ගත කළ කාලය තරම් සුන්දර කාලයක් කිසි කලෙකත් නැවත අත්විඳීමට ලැබේ යැයි මා සිතන්නේ නැහැ. රැලෙක්ස් රණසිංහයන්ගේ ඡායාරූප සහිත පොත නැවත වරක් මෙරටේ පහළ වූ දක්ෂතම ඡායාරූප ශිල්පියා කවුදැයි මට මතක් කර දුන්නා. එච්. ආර්. ජෝතිපාල මියගොස් අවුරුදු විසි අටක් ගෙවුණද මේ කපේදී ඔහුට සම කළ හැකි ගායකයකු නොබිහිවෙන බව ප්‍රවීණ සිනමා විචාරකයෙක් ඊයේ පෙරදා නැවතත් කියා සිටියා. එසේම කිසි කලෙක නැති අඩුව පිරවිය නොහැකි තවත් කලාකරුවකු බිහි වුණා නම් ඒ රැලෙක්ස් රණසිංහයන් බවයි මගේ අදහස. ඔහුගේ ඡායාරූප බලන විට ඔහුගේ කැමරා කෝණයට හසු වූයේ ඔහුගේ මනසේ අඳින ලද චිත්‍රයි. මෙවැනි ප්‍රශස්ත ඡායාරූප ශිල්පීන් කොතරම් විරලදැයි ලෝකයේ ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශන නරඹා ඇති මට මතක් වුණා. හැටේ දශකයේ ඔහු කැමරාවෙන් කරන ලද වික්‍රමය හා එහි අසීමිත විචිත්‍රත්වය සම කළ හැකි වෙනත් කැමරා ශිල්පියකු මේ කපේදී නම් පහළ නොවන බව මට සිතුණි. ටෝනි රණසිංහගෙන් මම ‘අපේ කට්ටියේ’ සුගතපාල ද සිල්වා හඳුනා ගත්තේ ‘අපේ කට්ටිය’ නිපද වූ ‘තට්ටු ගෙවල්’ නාට්‍යය නැරඹීමෙන් පසුය. ‘තට්ටු ගෙවල්’ නැරඹීමට මා පෙලඹවූයේ ‘විසිතුර’ පත්‍රයේ පළ වූ රැලෙක්ස්ගේ ඡායාරූපයකි. ඒ දිනවල මගේ සිත පිනවා ගිය චිත්‍රපටය වූයේ ‘ජබ් ප්‍යාර් කිසිසේ හෝ තා හේයි’ හින්දි චිත්‍රපටයයි. එහි රඟපෑ ආශා පරේක් නිළිය ලොව එතෙක් මෙතෙක් බිහි වූ ලස්සනම කාන්තාව බව මා සිතුවා. ඇයට සිහිනෙන් පවා මා ආදරය කළා. සිංහල චිත්‍රපටයක් නිපදවීමට කොලු ගැටයකු වශයෙන් මා සිතා ගත්තේ මෙය නැරඹීමෙන් පසුවය. ඒ සඳහා සුගතපාල ද සිල්වා යොදා ගැනීමට මට සිතුණේ ‘තට්ටු ගෙවල්’ නාට්‍යය බැලීමෙනි. මගේ ජීවිතය වෙනස් කළ මගේ ගුරුවරයා වූ මහාචාර්ය ඩග්ලස් අමරසේකර කියා සිටියේ ඔහු දැක ඇති, කියවා ඇති ලෝකයේ විශිෂ්ටතම නාට්‍ය දහයට ‘තට්ටු ගෙවල්’ ද ඇතුළත් විය යුතු බවය. සුගතපාල ද සිල්වා ජීවත් වූයේ දෙහිවල ගමගේ හෝටලය පිටුපස කාමරයකය. මගේ අභිලාෂය වූයේ සංගීතමය චිත්‍රපටයක් නිපදවීම බව කියා ඔහුට එම චිත්‍රපටයේ තිර රචනාව භාර දුන් අතර ඩී. බී. නිහාල්සිංහ සමඟ සම අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. එම ගමගේ හෝටලය එකල විශිෂ්ටම බුද්ධියක් ඇති කලාකරුවන් හමුවීමේ කේන්ද්‍රස්ථානයයි. මම ගමගේ හෝටලයට ආ කලාකරුවන් නිසා නැවත උත්පත්තියක් ලැබුවා. ඒ ස්ථානයේ මට කළු කොට රළු මිනිහෙක් හමු වුණා. ඔහු බොහෝ විට කතා කළේ මහත් වූ උපහාසය පෙරදැරි කොටගෙනය. ඔහු සමඟ වාද නොකිරිමට මා සිතා ගත්තේ කලාව සම්බන්ධයෙන් මා කොතරම් අඩු දැනුමක් ඇති පුද්ගලයකු බව වැටහුණු පසුය. එකල මගේ ප්‍රතිරූපය වූයේ විශාල ධනයක් ඉතුරු කර මියගිය මුදලාලි කෙනෙකුගේ වැඩිමහල් මෝඩ පුතකු ලෙසය. බොහෝ දෙනා මේ විශාල ධන සම්භාරය මා විනාශ කරනු ඇතැයි සිතා සිටියා. චිත්‍රපටයක් නිපදවීමට පෙලඹවීම ද මේ කතාව තවත් ස්ථිර කළා. මාසයකට පසු සුගතපාල ද සිල්වා ‘සමනළයෝ’ චිත්‍රපටයේ දළ තිර කථාව ලියා අවසන් බවත් එය නිපදවීමට ප්‍රථම ‘අපේ කට්ටිය’ සියලු දෙනාටම ගමගේ හෝටලයේ හමුවෙන ලෙස දන්වා තිබුණා. මම ද මගේ මිතුරකු වන සැම්සන් පෙරේරා මහතා සමග ගමගේ හෝටලයේ සුගත්ගේ කුඩා කාමරයට ගියා. සුගත් තිර රචනය හා දෙබස් ද ඉතා උවමනාවෙන් කියවාගෙන ගියා. අතරමඟදී අර කළු කොට මිනිසා නැත්නම් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡයාරූප ශිල්පියා තමාගේ උඩු රැවුල එහාට මෙහාට කර මෙවැනි දෙයක් පැවසුවා. ‘මචං සුගත් මොකක්ද උඹ මේ කියවන්නේ. මේක ‘ජබ් ප්‍යාර් කිසි සේ හෝතා හෛයි’ කතාව වගේනේ’. ‘මෙයින් රැලා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මැරුවා. ජබ් ප්‍යාර් කිසි සේ හෝතා හෛයි’ බොළඳ චිත්‍රපටයක් බව මට අවබෝධ වුණා. සුගත්ගේ මුහුණ කළු වුණා. ඔහු පිටපත කියවීම නවතා අප සියලුදෙනාම කැටුව ගෝල්ෆේස් හෝටලයට යාබදව තිබූ සිමියොන් අයියාගේ ‘ප්‍රෙස් ක්ලබ්’ අවන්හලට ගියා. මේ සියලු දෙනාම ගියේ මගේ රතු පාට කාමන්ගියා කාරකේ හිරවෙලා එකාගේ පිට එකා ඉඳගෙන. රෑ දෙක තුන වනතුරු ඔවුන් සියලු දෙනාම මත්පැන් බී සිංහල චිත්‍රපටය හා නාට්‍ය කලාව ගැන නොයෙකුත් විවේචන ගැරහීම් හා ඇගයීම් කළා. මෙයින් රැලෙක්ස් රණසිංහ සිනමා විචාරකයකු නොවූව ද ඔහුගේ දැනුම ගැන මා විමතියට පත් වුණා. ඊට සති තුනකට පමණ පසු දෙවන වරටත් නව පිටපතක් සුගත් කියෙව්වා. ඒ අවසන් වූ වහාම රැලෙක්ස් සුගත්ව බදා ගත්තේ එම පිටපතේ විශිෂ්ටත්වය අගයමිනි. ‘සමනළයෝ’ චිත්‍රපටය අතරමඟ නතර වුණා. එහෙත් මගේ දැනුම වඩාත් පුළුල් තලයකට ගෙන ඒම හා ජීවිතය කුමක්දැයි අවබෝධ කර ගැනීමට රැලා ඇතුළු ‘අපේ කට්ටියෙන්’ ලැබුණු දැනුම කිසිම විශ්වවිද්‍යාලයකින් ලබා ගත නොහැකි වුණා.
|