වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සායක් ඇන්ද වූ ඩි ලා

කරිෂ්මාට අඩි 38 ක සායක් ඇන්ද වූ ඩි ලා

පසුගියදා නිමාව දුටු හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උලෙළේ පසුතල නිර්මාණයන් සහ එකී අවස්ථාවට නිර්මාණාත්මක පැත්තෙන් දායක වූ කලාකරුවන්ගේ ඇඳුම් ආයිත්තම් සිත් නොගන්නා අන්දමින් නොතිබුණා නම් උලෙළ මෙතරම් අලංකාරව පැවැත්වීමට නොහැකි වනු ඇත. දුටුසැනින් නෙතඟ පිනවීමත් වෙනස් අන්දමින් උලෙළහි මා ඉහත කී අනෙක් අංගයන් නිර්මාණය වී තිබීමත් හේතුවෙන් හිරු ගෝල්ඩන් සිනමා උලෙළ ගැන අදටත් බොහෝ දෙනා කතාවෙති. සාමාන්‍යයෙන් මෙවන් වූ උත්සවයක පසුතල නිර්මාණය සහ නර්තන අංගවලට ඇඳුම් ආයිත්තම් සහ රංග භාණ්ඩ නිර්මාණය කිරීම සුළුකොට තැකිය නොහැකි ක්‍රියාවලියකි. ඇතැම් විට එම උත්සවයහි අලංකාරයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් රඳා පවතින්නේ එම නිර්මාණයන් හේතුවෙනි. ඒ ගැන සිතා මෙවර හිරු ගෝල්ඩන් සම්මාන උලෙළෙහි පසුතල නිර්මාණය බාර දුන්නේ මෙරට ප්‍රකට පෙළේ පසුතල නිර්මාණකරුවෙකුටය. නමින් ඔහු නිරෝෂ් සංජීවය. ක්ෂේත්‍රයේ කොයි කා අතරත් නිරෝෂ්ව ජනප්‍රිය ඩිලා යන නමිනි. අප ඩිලාව සරසවියට කැඳ වූයෙමු.

* ඩිලා, ලොකු වැඩක් ඉවර කරලා නේද මේ ඉන්නේ?

ලොකු කියන්නේ මේක ලොකුම ලොකු වැඩක්.

* ඔබට කොහොමද හිරු ගෝල්ඩන් සම්මාන උලෙළට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වන්නේ?

මං ඒ වන විටත් රියැලිටි ෂෝ ගණනාවක පසුතල නිර්මාණය කළා. එහෙම කටයුතු කරද්දී ගොඩ නැගිච්ච සබඳතා එක්කයි මට මේ වැඩේ ලැබෙන්නේ. මේ වෙලාවේ මට ගයාන් ශ්‍රීමාල් කියන මගේ මිත්‍රයාවත් මතක් කරන්න ඕනෑ.

* ඔබ ක්ෂේත්‍රයට ආ අයුරු මතක් කළොත්?

පසුතල නිර්මාණ ශිල්පියකු විදිහටමයි මං ක්ෂේත්‍රයට එන්නේ. ලියෝ කියලා ජනප්‍රිය සමාජයක් තියෙනවා ඔබ අහලා ඇතිනෙ. අන්න ඒ ලියෝ සමාජයේ ඉවෙන්ට්වලට පසුතල නිර්මාණය කරමින් තමයි මං මේ වැඩේට අත ගැහැව්වේ. මේ වන විට අවුරුදු දහයක් මං ක්ෂේත්‍රයට ඇවිත්. ඔය අතරේ මට හිමිවෙනවා සිරස ඩාන්සිං ස්ටාර්ස් වැඩසටහනට පසුතල නිර්මාණය කරන්න.

* ඔබට එය එක්තරා අන්දමකට අභියෝගයක් වෙන්න ඇති?

ඇත්තටම ඔව්. මං සාමාන්‍යයෙන් චැලෙන්ජ්වලට කැමැතියි. ඒක නිසා ඒ අවස්ථාව ගත්ත. පළමුව මං බැලුවා ඩාන්සිං අයිටම්වල තේමාවන් මොනවද කියලා. අන්න ඒක දැනගෙන ඒ ඒ තේමාවල්වලට පසුතල නිර්මාණය කළා.

* එතැනින් පසු ඔබේ ඊළඟ රියැලිටි වැඩසටහන වුණේ?

දෙරන ලිටල් ස්ටාර්. ඊට පස්සේ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස්.

* ඒ සඳහා ඔබව තෝර ගත්තම මොකද හිතුණේ?

මං අර කලින් කිව්වේ, මේක ලංකාවේ තියෙන ලොකු උත්සවයක් කියලා. ඉතින් හොඳම කෙනා තමයි ඔවුන් ඊට යොදා ගත්තේ. මට මං ගැනම පොඩි අභිමානයක් ආවා මේ වැඩේ ලැබීමත් එක්ක. ඒ්ත් සමඟම පුළුවන් උපරිමයෙන් වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා කියලත් හිතාගත්තා.

* මේ සඳහා ඉන්දීය නළු නිළියොත් ආවා. කොහොමද ඔවුන් සමඟ ගනුදෙනු කිරීම?

අපේ නළු නිළියෝ හොඳයි. ඔවුන් එක්ක ටිකක් අමාරුයි වැඩ කරන්න.

* ඒ කිව්වේ?

ඒ අයට කිව්ව දේවල් ඒ වෙලාවට ඒ විදිහටම ඕනෑ. පොඩි හරි වෙනසක් කරන්න බැහැ. විශේෂයෙන් නීල් නිතින් මුකේෂ් වගේ අය. ඔවුනට සුපිරියටම වැඩේ ඕනෑ. ඒ වගේම තව දෙයක් විශේෂයෙන්ම ඔවුන් නිසා කරන්නට වුණා. ඒ ඉන්දීය නළු නිළියන් සිටි සෑම නර්තන අංගයක රංග භාණ්ඩවලට එල්. ඊ. ඩී. ලයිට් සවි කරන්න වීම. එය ඔවුන්ගේ ඉල්ලීමක්. ඉතින් මට එහෙම කරන්න සිදු වුණා. දස දහසක් පමණ එල්. ඊ. ඩී. ලයිට් ගේන්නත් වුණා.

* ඔබ, කරිෂ්මා කපූර් වෙනුවෙන් නිර්මාණය කළ දිගු සාය ගැන බොහෝ දෙනෙක් කතා කළා?

ඒ සායේ දිග අඩි තිස් අටක්. මිනිසුන් දහ දෙනෙකු විතර ඒක අල්ලගෙන ඉන්න සිදු වුණා. විශේෂ රෙද්දකින් මා එය හදලා එල්. ඊ. ඩී. බල්බ් තීරු කිහිපයක සවි කළා. ඒ එක් තීරුවකට බලය දුන්නේ බැටරියකින්. එහෙම බැටරි අල්ලගෙන හිටියා සාය වටේට අල්ලගෙන සිටි අය. එය හරි ලස්සනට නිම වුණා. ඒ වගේම කරිෂ්මාගේ නර්තනයේදී වැඩ දෙනකු එය දැකලා පුදුම වුණා.

* කරිෂ්මාගේ ප්‍රතිචාරය කොහොමද?

ඇයට ඒ ස්කර්ට් එක ගැන ලෝබ හිතිලා වෙන්න ඇති මගෙන් එය දෙන්න කියලා ඉල්ලුවා. දැන් ඒක ඉන්දියාවට යවන්න සූදානම් වෙනවා.

* හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උලෙළ ඉවර වුණාම ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඉතාම හොඳයි. බොහෝ දෙනෙකු දන්නේ නැහැ මං තමයි ඒ පසුතල නිර්මාණය කළේ කියලා. මේ ලිපිය පළ වුණායින් පසුව මාව මිනිසුන් හඳුනාගෙන තවත් ප්‍රතිචාර ලැබේවි යැයි කියලා විශ්වාස කරනවා.

* ඔබ සාමාන්‍යයෙන් රංග භාණ්ඩ මේ වෙනුවෙන්ම හැදුවද?

ඔව්. ඒක මට අමුතු දෙයක් නෙවෙයි. බෙර වර්ගම කිහිපයක්ම හැදුවා. මං ඒ සඳහා කරන්නේ අවශ්‍ය රංග භාණ්ඩයට සමාන වස්තූන් තියෙනවාද කියලා හොයලා බලන එක. උදාහරණයක් විදිහට මං බෙර හදන්නට ප්ලාස්ටික් මල්පෝච්චි යොදා ගත්තා. ඒක කාටවත් හොයා ගන්නත් බැරි තරම්.

* කොපමණ කාලයක් ඇතුළත මේ වැඩ කටයුතු නිම කළාද?

මේ සේරටම දවස් 12 ගියේ. ඒ කාලය අතරතුරදී දිවා රෑ නොබලා අපි වැඩ කළා. කෙටියෙන්ම කිව්වොත් නිදා ගත්තෙවත් නැහැ. මාත් එක්ක මේ වැඩේදී තව දොලොස් දෙනෙකු වැඩ කළා. ඔවුනුත් එහෙමයි.

* ඔබගේ ගෙවල් කොහේද?

දෙහිවල.

* ඉගෙන ගත් පාසලත් මතක් කළොත්?

දෙහිවල ශාස්ත්‍රානන්ද විදුහලෙනුයි මං ඉගෙන ගත්තේ.

* කාටද අවසන් කොට තුති පුදන්න තියෙන්නේ?

හිරු නාළිකාවේ හැමෝටම, ඒ වගේම මාව විශ්වාස කරලා මට රියැලිටි තරඟයන්හි පසුතල නිර්මාණය කිරීමට අවස්ථාව දුන් අයට. අසංග ද සිල්වා, ලසන්ත ප්‍රමුදිත, තරංග ප්‍රියදර්ශන, අසේල නිලන්ත, මලික් ප්‍රසාද් සහ ගයාන් ශ්‍රීමාල් යන අයට.