|
අම්මාගේ උපන්දිනයට මට ලැබුණු තෑග්ග සරසවිය සම්මානයයිතුමිඳු දොඩන්තැන්න
2007 වසරේ සිංහල රිදී තිරයේ දිග හැරුණු සිනමා නිර්මාණ අතරෙන් 32 වැනි සරසවිය සම්මාන උළෙල තවත් නැඟී එන නළුවකු සම්මානනීය කළා. ඔහු තුමිඳු දොඩන්තැන්න. ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ ‘සංඛාරා’ චිත්‍රපටයේ කළ චරිත නිරූපණය තුමිඳු සරසවිය සම්මාන උලෙළේ නැඟි එන නළුවා ලෙසින් සම්මානනීය කරවූවා. එදා මතකය තුමිඳු අද යළිත් සිහිපත් කළා. “ඇත්තටම එදා මට සරසවිය සම්මාන උලෙළේදී සම්මානයක් ගැන නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ වෙනකොට මම දායක වෙලා තිබුණේ ‘සංඛාරා’ චිත්‍රපටයට විතරයි. ප්‍රථම සිනමා රංගනයෙන් සම්මානයක් ලැබෙනකොට ලොකු සතුටක් දැනුණා. 2010 වසරේ ජනවාරි 02 වැනිදා තමයි 32 වැනි සරසවිය සම්මාන උලෙළ පැවැත් වුණේ. මගේ අම්මාගේ උපන්දිනයත් ජනවාරි 02 වැනිදා. එදා මම සරසවිය සම්මානයත් අරගෙන ගෙදර ගියේ රෑ දොළහ විතර වෙලා. “මට තෑග්ගකුත් අරගෙන ආවාද ?” කියලා ගෙදර දොර අරින ගමන් අම්මා ඇහුවා. එතකොට මට සම්මානය ලැබුණු සතුට දෙගුණ වුණා. මට මගේ අම්මාගේ උපන් දිනය එක්ක සරසවිය සම්මාන උලෙළත් සිහියට නැඟෙනවා.”
* වසරේ නැඟී එන නළුවා වෙන්න ‘සංඛාරා’ චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබුණේ කොහොමද? මම ප්‍රසන්න අයියාගේ ‘සංඛාරා’ චිත්‍රපටයේ රංගනයට තෝරා ගැනීම අහම්බයකින් සිදුවුණ දෙයක්. ඒ වෙනකොටත් සත්‍යජිත් මාඉටිපේ නම් මගේ මිත්‍රයා ප්‍රසන්න අයියාගේ චිත්‍රපටය ගැනත්, එයට නළුවන් හොයන බවත් කියලා තිබුණා. කතා කරන්න කියලා මට දුරකථන අංකය පවා දීලා තිබුණත් මට නළුවෙක් වෙන්න ලොකු හීනයක් තිබුණේ නැති නිසා මම කතා කළේ නැහැ. කතා කරලා රඟපාන්න අවස්ථාවක් ඉල්ලන එකත් ඒතරම් හොඳ නැහැ නේද කියලත් හිතුණා. අනික මට ඒ දවස්වල තිබුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන හීනයක්. මම කැම්පස් අවුට් වෙලා කෙටි චිත්‍රපටයක් ලියලා තිබුණේ. ඒක ෂූට් කරන්න කැමරා ශිල්පියෙක් හොයන වෙලාවේදි සත්‍යජිත් අයියාම තමයි මට පාලිත පෙරේරා ගැන කිව්වේ. පාලිත අයියා හමුවෙන්න මම ඔහු සිටි දර්ශනතලයට ගිහින් ඔහු එනතෙක් සිටින විට එතැන ප්‍රසන්න අයියත් ඉන්නවා මම දැක්කා. ඔහු මං දිහා බලාගෙන බවත් පෙනුණා. ඒත් මං බලනකොටම ප්‍රසන්න අයියා අහකබලා ගත්තා. ඒ වෙලාවෙදි මට ඔහු චිත්‍රපටයක් කරන්න සිටින බවත් අමතක වෙලා තිබුණේ. ඊට පස්සේ මම පාලිත අයියා එක්ක මගේ කෙටි චිත්‍රපට ගැන කතා කරමින් සිටින වෙලාවේම “මල්ලි පොඩි ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරමු. ප්‍රසන්න අයියා එයාගේ චිත්‍රපටයට ඔයාව ගන්න කැමැතියි” කියලා පාලිත අයියා කිව්වා. මට සත්‍යජිත් අයියා කිව්ව කතාවත් මතක් වුණේ එතකොට තමයි. ඒ වෙලාවේ එතැන කළ වැඩත් නවත්වලා ටවුන් එකට ගිහින් සිවුරක් අරගෙන ඇවිත් මගේ කොණ්ඩෙත් කපලා, මේක්අප් කරලා කමර්ෂල් එක රූගත කළ කැමරාවෙන්ම මගේ ස්ක්‍රීන් ටෙස්ට් එක කළා. ඇත්තටම ඒක අහම්බයක්. බලාපොරොත්තු නොවුණ දවසක බලාපොරොත්තු නොවුන වෙලාවක ලැබුණු ආරාධනාවක්. එක මගේ ජීවිතයේ වාසනාවන්ත හැරවුම් ලක්ෂයක්.
* ‘සංඛාරා’ චිත්‍රපටයේ ඔබේ ප්‍රථම රංගනය භික්ෂුන් වහන්සේනමකගේ චරිතයක්. මේ රංගනය ඔබට අභියෝගයක් වුණේ නැතිද ? ඒ වෙනකොට මම නාට්‍ය හා රංග කලාව පිළිබඳ මගේ උපාධිය සම්පූර්ණ කරලා තිබුණේ. වේදිකා නාට්‍යයත් අධ්‍යක්ෂණය කරලා තිබුණා. හැබැයි සිනේ කැමරාවක් ඉදිරිපිට රඟපාන එක මට අලුත්ම අත්දැකීමක් වුණා. මේ චිත්‍රපටය ප්‍රසන්න අයියාගේත් පළමු චිත්‍රපටය. මම ලද මේ සම්මානය පසුපස ඉන්න හැබෑ උරුමක්කාරයා ප්‍රසන්න අයියා. ඔහුට මා ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මම ඊට කලින් චිත්‍රපටවල රඟපලා තිබුණේ නැති එක ඔහුට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණෙත් ඒ නැවුම් බව තමයි. අනිත් කාරණාව නම් ඒක භික්ෂු චරිතයක්. කොණ්ඩේ නෝට් එකට ගාලා සිවුරක් ඇඳලා කළ ඒ රංගනයත් වෙනස්. කැමරාව, ශිල්පීන් මේ සියල්ලත් මට අලුත්. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රංගනය දෙන්න මට එහිදී හැකිවුණා. ඒ වගේම ඒ රංගන සාර්ථක වීම පසුපස තවත් තුන්දෙනෙක් ඉන්නවා. කැමරා ශිල්පී පාලිත පෙරේරා. නිෂ්පාදකවරුන් වන රේණුකා බාලසූරිය සහ ආචාර්ය සෝමරත්න දිසානායක. ඒ වගේම සචිනි සහ නිලූපා ගෙන් ලද සහයත් විශේෂයි. අපිට හොඳ කණ්ඩායමක් විදියට කටයුතු කරන්න ලැබුණා. මේ චරිතය නිරූපණය කරන්න කලින් මම අඳුරන ස්වාමීන් වහන්සේ නමක වැඩ සිටි පන්සලක ටික දවසක් නැවතිලා හිටියා. උන්වහන්සේ බණට වඩිනකොට, දානෙට වඩිනකොට මමත් ඒ තැන්වලට ගියා. උන්වහන්සේගේ වත් පිළිවෙත්, ඇවතුම් පැවතුම් අධ්‍යයනය කළා. උන්වහන්සේ සිවුර අඳීන හැටි මට කියලා දුන්නා. මුලදී නම් අඳීන්න ටිකක් අමාරු වුණා. පස්සේ හුරු වුණාම ඇඟේ කොටසක් වගේ දැනුණා. හැබැයි මම පන්සලේදී උන්වහන්සේ ඉදිරිපිට සිවුරක් නම් ඇන්ඳේ නැහැ. මේ රංගනයේදී තවත් විශේෂ දෙයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයක වගේ සිනමා රංගනයක පෙර පුහුණුවීම් කරන්නේ නැහැ. නමුත් ‘සංඛාරා’ චිත්‍රපටයේදී ප්‍රසන්න අයියා, මම, නිලූපා සහ සචිනි අපි ඇතැම් දර්ශනවල පෙර පුහුණුවීම් පවා කළා. ප්‍රසන්න අයියා සමඟින් මේ ස්වාමීන් වහන්සේගේ චරිතය ගැන කළ කතාබහත් චරිතය සාර්ථක වෙන්න ලොකු බලපෑමක් කළා.
* ‘සංඛාරා’ දර්ශන තලයේ අමතක නොවන අත්දැකීම් එහෙමත් ඇති? මේ චිත්‍රපටයේ මගේ ලොකු හාමුදුරුවන්ගේ චරිතයට පණ පෙව්වේ මිල්ටන් පෙරේරා නම් කලා අධ්‍යක්ෂවරයා යි. ඔහු චිත්‍රපටය පුරාවට මට ලොකු සහයෝගයක් දුන්නා. වැඩියෙන් දර්ශන තිබුණෙත් අපි දෙන්නාටම තමයි. ඒ නිසා අපි දෙන්නාට ගොඩක් දෙබස් තිබුණා. එත් එක්කම මිල්ටන් අයියාට නිතරම දෙබස් අමතක වෙනවා. ඒනිසා අපි දෙන්නා නිදිමරාගෙන දෙබස් කට පාඩම් කළා. පහුවෙනිදා උදේ දර්ශන තලයට ගියාම ‘ඔය එක දෙබසක්වත් එපා. ඒවා හිතේ තියාගෙන නිකන් රඟපාන්න’ කියලා ප්‍රසන්න අයියා කියනවා. ඉතින් මිල්ටන් අයියාට හරි සතුටුයි. ඉහේ මලක් පිපුණා වගේ. කොහොමද මේ දෙබස් ටික නොකියා රඟපාන්නේ ? මට ලොකු අර්බුදයක්. අතිශයෙන්ම නිහඬයි. මුහුණේ හැඟීම් විතරයි තිබුණේ. ඒක වටිනා අත්දැකීමක් වුණා.
* ප්‍රථම සිනමා රංගනයෙන් ලද සරසවිය සම්මානය ඔබේ කලා ජීවිතයට කළේ මොන වගේ බලපෑමක්ද? ඒ වෙනකොටත් මට වේදිකාවෙන් සම්මාන රැසක් හිමි වෙලා තිබුණා. ‘සංඛාරා’ චිත්‍රපටයට කලින් මම ටෙලි නාට්‍යවල රඟපාලා තිබුණට සම්මාන හිමි වුණේ නැහැ. සිනමාව වෙනුවෙනුත් දැනටත් මා සතු එකම සම්මානය සරසවිය සම්මානය යි. ඒ නිසා සරසවිය සම්මානය විශේෂයි. මොකද සරසවිය සම්මානය නිසා ක්ෂේත්‍රය තුළ මා කතාබහට ලක් කළේ සරසවිය සම්මානය යි. ඒක මගේ රංගන ජීවිතයට ලොකු ශක්තියක් වුණා. ඒ විතරක් නෙවෙයි ‘සංඛාරා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එවර හොඳම නළුවා වෙනුවෙන් වූ නාමයන් අතරටත් මගේ නම නිර්දේශ වුණා. ඒකත් මට විශාල සතුටක්.
* ඔබේ දායකත්වය ලැබෙන්නේ කලාත්මක සිනමා නිර්මාණ සඳහා පමණක්ද? එහෙම සීමාවක් පනවා ගන්න වුවමනාවක් මට නැහැ. දැනට මම කලාත්මක සිනමා නිර්මාණ වගේම මැද මාවතේ සිනමා නිර්මාණ කිහිපයකටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ අවුරුද්දෙත් මම දායක වුණු චිත්‍රපට දෙකම ඉහළ කලාත්මක ගණයේ නිර්මාණ නෙවෙයි. වාණිජ චිත්‍රපට කිහිපයකට මට කතා කළ අවස්ථා කිහිපයක් තිබුණා. ඒවා නිර්මාණ බවට පත් වුණේ නැහැ.
* එදා සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන්න දුටු හීනයට මොකද වුණේ? ඒ හීනය තවම බොඳ වෙලා නැහැ. එදා මම මගේ කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. මගේ රස්සාවෙන් හම්බ කළ මුදල් යොදවලා ‘සංඛාරා’ චිත්‍රපටයට කලින් මම ඒක පාලිත අයියා එක්ක නිර්මාණය කළා. මගේ අම්මයි තාත්තයි ඒකට විශාල සහයෝගයක් දුන්නා. ඒක මට ලොකු අභ්‍යාසයක් වුණා. අධ්‍යක්ෂණය ගැන ආත්ම විශ්වාසයක් ඇති වුණා. දැනට ප්‍රථම සහ අවසාන චිත්‍රපටය එය යි. අලුත් කතා සාරයකුත් එක්ක අලුත් චිත්‍රපටයක් කරන්න ආසාවෙන් ඉන්නවා. හොඳ නිෂ්පාදකවරයෙක් මුණ ගැසුනොත් ඒ අදහස ඉක්මනින් ඉටු වේවි.
|