වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු 12 ක් නොකඩවා කළ පූජාවක්

අවුරුදු 12 ක් නොකඩවා කළ පූජාවක්

දිනේෂ් ප්‍රියසාද් හා හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අතර තිබුණේ පුදුමාකර බැඳීමක්. දිනේෂ් ගාමිණීව යොදාගෙන කළ සිනමාපට කිහිපයම ඉතාම ජනප්‍රිය වුණා. ඒ වගේම කලක් තමන්ගේ වීරයකුව සිටි ගාමිණීව අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව ලැබීම ජීවිතයේ ලැබූ ඉහළම භාග්‍යයක් බව දිනේෂ් කියනවා. මේ බැඳිම හින්දම වෙන්න ඇති දිනේෂ්ට ගාමිණීගේ වියෝව දරාගන්න බැරි වුණේ. ඒ ගැන දිනේෂ් අදටත් කම්පනයෙන් ඉන්නේ.

ගාමිණී වියෝ වී ඔහුගේ භෂ්මාවශේෂ 2005 මාර්තු 21 ගල්කිස්ස පොදු සුසාන භූමියේ මිහිදන් කළදා සිට දිනේෂ් එක්තරා දෙයක් කළා. ඒ ගැන මේ වෙනකම් අතළොස්සක් හැර කවුරුවත් දැනසිටියේ නැහැ. නමුත් ගාමිණීගේ දොළොස් වැනි සංවත්සරය සමරන වෙලාවේ දිනේෂ් අපිට ඒ රහස හෙළි කළා. 2005 මාර්තු 21 සිට සැම වසරකම මාර්තු 21 සහ සැප්තැම්බර් 30 දා පාන්දර දිනේෂ් යනවා ගල්කිස්ස සුසාන භූමියේ ගාමිණීගේ භෂ්මාවශේෂ තැන්පත් කළ තැනට. ගිහින් මල් පොකුරක් තියලා ගාමිණීව සිහිපත් කරනවා. බොහෝ දෙනෙකු මිය ගියායින් පසුව තමන්ගේ සහෘදයන් අමතක කරන වෙලාවක දිනේෂ් අවුරදු දොළහක් පුරා නොකඩවා කළ මේ කර්තව්‍ය අගය කළ යුතුයි.