|
||||||||
‘සදාදරණීය කුමරුනි! ඔබට සුව නින්දක්’අප සරත් අමුණුගම නමැති කීර්තිමත් සිවිල් නිලධාරියා එදා හඳුනාගත් හැටිය ඒ. 1960 දසකයේ පාසල් පුස්තකාලයේ තිබී කොළ පැහැති පසුබිමකින් යුතු සුදු අකුරින් 'නිසදැස' සඟරාව මුණ ගැසුණි. එහි පේරාදෙණියේ සරසවියේ සිසුන් ලියූ නිසදැස් කවි කියවා රස විඳීමට මට අවස්ථාව ලැබුණි. මේ සඟරාවේ සංස්කාරකවරුන් වූයේ විමල් දිසානායක හා සරත් අමුණුගමය. කුඩා වියේදී ඔහුගේ නම හමු වූ දෙවන අවස්ථාව විය. තුන්වැනුව ඔහුගේ නම හමු වන්නේ 'හද තුළ ආසා' නම් ඔහු ලියූ නිසදැස් කෘතියෙනි.
1971 වසරේ අමුණුගම මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාව සිටියදී මා සරසවියේ මාධ්‍යවේදියකු ලෙස මට ඔහු රාත්‍රී සාදවලදී හමුවීමට අවස්ථාව ලැබිණ. 1972 ප්‍රවෘත්ති බලධරයා වූයේ ඔහුය. සිළුමිණ පුවත්පතේ පිටු ඔහුගේ කාර්යාලයට ගොස් අනුමැතිය ලබා ගැනීමට කර්තෘතුමා එහි යැව්වේ මාය. 1972 රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහි වූ විට ප්‍රථම සභාපතිවරයා වූයේ අමුණුගම මහතාය. සරසවිය පුවත්පතට මුල්ම සම්මුඛ සාකච්ඡාව ලබා ගැනීමේ භාග්‍යය මට ලැබිණ.'බුද්ධිමත් සිනමා ප්‍රේක්ෂකයාගේ සිහිනයක මල් පිපෙයි' නම් මගේම ශීර්ෂ පාඨය යටතේ පළ වූ (1972 පෙබරවාරි 11 සරසවිය) එම ලිපියෙන් 'තරංගනී' සිනමා හල බිහි කිරීම ගැන සභාපතිතුමා එදා කරුණු පවසා සිටියේය. ආසන 600 කින් යුත් මේ සිනමා ශාලවේ වෙන් කළ ආසන සඳහා රු. 3.50 ක් ද, සෙසු ආසන සඳහා රුපියලක් ද අය කොට කොළඹ නගරය තුළ කලාත්මක හා සිනමාත්මක චිත්‍රපට නැරඹීමට අවස්ථාව බුද්ධිමත් ප්‍රේක්ෂකයාට ඉඩ ලැබිණ. මේ නිසා එදා ටූ ඩෝටර්ස්, වයිල්ඩ් ස්ට්‍රෝබෙරි, රෝමියෝ ජුලියට් ඇන්ඩ් ඩාක්නර්ස්, ඩීටා සැක්සෝවා යන සම්භාව්‍ය කෘති නැරඹීමේ අවස්ථාව අපට හිමි විය. කලා විචාරකයකු, කවියකු, ගීත රචකයකු හා සමාජ විද්‍යාඥයකු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු, කීර්තිමත් අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අමුණුගම මහතා ලියූ සමාජ විද්‍යාත්මක ලිපි විදග්ධ පාඨකයින් කිය වූයේ මහත් අභිරුචියෙනි. ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 90 දශකයේය. මා පුද්ගලිකව අගය කරන්නේත්, ආදරය කරන්නේත් දේශපාලනඥ අමුණුගමට වඩා කලා විචාරක, ගීත රචක, කවියකු වූ අමුණුගමටය. සරසවිය සම්මාන උලෙළවලදී ගාමිණි ෆොන්සේකා ජනප්‍රිය නළුවාට හිමි සරසවිය සම්මාන 08 ක් (1966 සිට 1982) අඛණ්ඩව දිනා ගත්තේය. එය වෙනස් වුයේ 1983 වසරේදීය. ජනප්‍රියත්වයේ ඉහළටම ගිය විජය 1983 සිට 1988 තෙක් අඛණ්ඩව ජනප්‍රිය නළුවාට හිමි සරසවිය සම්මාන 06 කට උරුමකම් කීවේය. මුලින් විජය ඒ සම්මානය දිනූ රාත්‍රියේ ගාමිණි ඔහුට සුබ පතා කීවේ 'විජය අනිවාර්යෙන්ම ලංකාවේ ජනප්‍රිය නළුවා ඔබ' කියාය. ගාමිණි ගැන මා සංස්කරණය කළ 'හෙළ සිනමාවේ සක්විති' කෘතිය දොරට වැඩිදා (1986) කොළඹ නව රඟහලේදී විජය කළ කතාව මට දැනුත් සිහිපත් කළ හැකිය. 'මට ඒ දිනය හොඳටම මතකයි. 1966 වසර ඒ. එවකට කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මම ඉගෙනුම ලබමින් සිටියේ. මා උපන් ගමේ (සීදූවේ) තිබුණ සංගීත සන්දර්ශනයකට ප්‍රධාන අමුත්තා හැටියට ආවේ ගාමිණි ෆොන්සේකා. ගාමිණිට ජනතාව දැක් වූ ගෞරවය, ආදරය කෙපමණ ද කියලා දැක්කේ එදා. පැමිණි නරඹන අය 'ගාමිණි' . . . 'ගාමිණි' යයි ඔල්වර දුන්නා. සමහරු අත ඉම්බා. එදා මටත් නළුවකුවීමට අදහසක් ඇති වුණා. ජනප්‍රිය නළුවෙක් වෙලා මටත් මේ වගේ රසිකයන් ආදරය කරනවා නම් කියලා හිතුණා.'
1966 වසරේ සිට විජය මගේ හිතවතෙකු විය. ඔහු තරම් මානව හිතවාදී, හොඳ හදවතක් තිබූ අව්‍යාජ මිනිසකු, නිරහංකාර නළුවකු මට හමු වී නොතිබුණි. විජය ඝාතනය කළ ඒ කුරිරු දිනය මට කිසිදා අමතක නොවේ. දිනය 1988 පෙබරවාරි 16 වෙනිදාය. 'විජයට වෙඩි තියලා' දිනමිණ පුවත්පත් උප කතුවරයකු වූ මෝහන් ලාල් පියදාස සරසවිය කර්තෘ ග්‍රැන්විල් සිල්වාට කීවේ කලබලයෙනි. 'කවුද කීවේ . . .' 'අපේ ධර්මසිරි උදේ මහ රෝහලට ගිහින් තියෙනවා. එතකොටමලු විජයගේ මෘතදේහය ගෙනාවේ . . .' ධර්මසිරි කීවේ දිනමිණ පත්‍රයේ මාධ්‍යවේදී ඇම්. ඩී. ධර්මසිරිටය. මගේ හදවත මොහොතකට නැවතිණ. උගුරේ ලොකු ඊයම් බරුවක් හිර වෙලා සේය. 'විජය ගෙදරින් එළියට බහින කොටම පිට පිට වෙඩි අටක් තියලලු' 'මෝටර් සයිකලයකින් ආපු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනාගෙන් එක් කෙනෙක් විජයගේ ඔළුවට වෙඩි තියලලු' දිනමිණ පත්‍රයේ මාධ්‍යවේදීන් විටින් විට පැමිණ කියනු මට සිහිනෙන් මෙන් ඇසුණි. මුළු ලේක්හවුස් මාධ්‍යවේදීහු කලබලයෙන් එහා මෙහා දුවති. සමහරු ටෙලිෆෝන්වල එල්ලී සිටියහ. පුස්තකාලයේ තිබූ විජයගේ පින්තූර ෆයිල් කටිං ෆයිල් ටික දිනමිණ ප්‍රවෘත්ති කර්තෘගේ මේසය මතය. මම හිස ගිනි ගත්තෙකු ලෙස ඒ දෙස බලා සිටියෙමි. සරසවිය කර්තෘ සමඟ නවයුගයේ උපකතුවරයකු වූ අනුර බණ්ඩාර රාජගුරු හා ඡායාරූප ශිල්පී බන්දුල විජේසුරේන්ද්‍ර සමඟ විජයගේ මෘතදේහය බැලීමට මහ රෝහලට ගොස්ය. ඊළඟ සරසවියේ උපාලි ෆොන්සේකා ගත් විජයගේ ඡායාරූපයක් පළ කිරීමට සැලසුම් කර තිබුණේ දෛවයේ සරදමකටද? මට කිසිදු දෙයක් ලිවීමට තරම් මානසික තත්ත්වයක නොසිටි බව අවංකව කිව යුතුය. 'මචං, උඹ විජය ගැන දන්න තොරතුරුවලින් ආටිකල් එකක් ලියල දීපන්' කවුදෝ කීය. 'ඕකට හොඳ පී. බී. එයාගේ චමරියේ විජය නිත්‍ය සාමාජිකයෙක්. මා කීවේ 'සිළුමිණ' පුවත්පතේ උප කතුවරයකු වූ පී. බී. ඉලංගසිංහ ගැනය. ඔහුගේ තලකොටුවේ චමරියේ නිතර ගැවසෙන විජය ගැන හොඳම ලිපිය ලිවිය හැක්කේ ඔහුටම පමණි.
දිනමිණේ කවුඩානේ පියදාස පෙරේරා, වර්නන් ගුණසේකර, සඳුන් ජයසේකර, එම්. ඩී. ධර්මසිරි ගෙනා උණුසුම් පුවත් ඇසීමට මාධ්‍යවේදීහු කුතුහලයෙන් බලා සිටියහ. සරසවිය කර්තෘ හා අනුර බණ්ඩාර රාජගුරු හනික ප්‍රවෘත්ති සකස් කරමින් විශේෂාංග ලිවීමට පටන් ගත්හ. රාජගුරු මෙවැනි රසවත් විශේෂාංග ලිවීමට නව පරපුරේ සිටි එකම මාධ්‍යවේදියා ලෙස එදා කැපී පෙනුණ තරුණයෙකි. අපි පරණ විශේෂාංග ද අලුතින් ලියූ ලිපි ද ඇතුළත් කර විජය අනුස්මරණ පත්‍රයක් සකස් කළෙමු. මා කලකට ඉහත විජයගේ මව තම පුතු ගැන කියූ අපූරු තොරතුරුත් කුඩා කලේ පින්තූරත් ඇතුළත් විශේෂාංගයක්, තවත් පැරණි ලිපියක් මේ විශේෂ කලාපයට ඇතුළත් කළා මිස මම අලුතින් කිසිවක් නොලීවීමි. උපාලි ෆොන්සේකාගේ ඡායාරූපයකින් කවරය සකස් වූ අතර රාජගුරු මුල් පිටුවට 'සදාදරණීය කුමරුවනි! ඔබට සුව නින්දක්' කියා පාඨය ලියා දුන්නේය. ඔහු ද, ලතා බොතේජු, කැමිලස් පෙරේරා, සුනිල් හොරේෂස් හා මා ලියූ ලිපි ඇතුළත් කොට නිකුත් කළ 'සරසවිය' විශේෂ කලාපය ලක්ෂ 03 ක් අලෙවි විය. මම ඉඩ ලබුණු පරිදි විජය දේහය බැලීමට නාරාහේන්පිට විජයගේ නිවසට ගියෙමි. මගේ ජීවිතයේ දුටු විශාල ජන ගංගාවක් දේහය බැලිමට පැමිණ අඬා වැලපෙති. මා දුටු එවකට 'සරසි' පුවත්පතේ ප්‍රධාන කර්තෘ බන්දුල පද්ම කුමාර ශෝකයෙන් භරිත මුහුණින් මා අසලට පැමිණියේය. 'අවමඟුල් වැඩසටහන අපි හදමින් හිටියේ. කලාකරුවන් වෙනුවෙන් කතා කරන්න ගාමිණි ෆොන්සේකාට ආරාධනා කරන්න අපි හිතුවා. රන්ජිත්ට පුළුවන් ද ඒ වැඩේ බාර ගන්න.' බන්දුල අසලම ඔසී අබේගුණසේකර, සරත් කෝන්ගහගේ, ජීවන් කුමාරතුංග, ප්‍රේමසිරි පෙරේරා, ෆීලික්ස් පෙරේරා, සරත් ගුණවර්ධන ද එහි සිටියා මට මතකය. 'බන්දු මේකයි ප්‍රශ්නෙ, ගාමිණිට කතාවක් දෙන එක හොඳයි. නමුත් ඒක ආරාධනයක්. ඒ ආරාධනය කළ යුත්තේ චන්ද්‍රිකා නෝනා. මටත් කියතැහැකි ඊට පස්සේ. මම අද හවස ගාමිණිගේ ගෙදර යනවා. අපි කියමු චන්ද්‍රිකා නෝනට ෆෝන් කරලා ආරාධනා කරන්න කියලා.' බන්දුත්, ඔසීත්, සරතුත්, ප්‍රේමසිරිත් චන්ද්‍රිකා මහත්මිය අසලට ගියහ. බන්දු මා කී කාරණය කීවේය. 'ඔයා හරි, ඒක තමයි විය යුත්තේ, රන්ජිත් අතන තියෙන ටෙලිෆෝන් එකෙන් ගාමිණිව අරන් දෙන්න මම කතා කරන්නම්' ඇය කීවාය. 'ගාමිණි අයියා, චන්ද්‍රිකා කුමාරතුංග නෝනට කතා කරන්න ඕනෑලු' මම ගාමිණිට කතා කොට රිසිවරය ඇයට දුනිමි. ඇය කළ ආරාධනය ගාමිණි පිළිගත් බව කතාබහෙන් පැහැදිලිය. එදා ගාමිණි කලාකරුන් වෙනුවෙන් කතා කළේය. එය තරමක විවාද සම්පන්න කතාවක් ද විය. මගේ ජීවිත කාලයේ දුටු, අවමඟුලකට සහභාගී වූ විශාල සෙනඟ එය විය. පාසල් යන කාලයේ සිටම මගේ කලණ මිතුරා වූ සම්මානනීය ගීත රචක කුලරත්න ආරියවංශ ගැන මම වරින් වර මෙම ලිපි පෙළේ සඳහන් කළෙමි. ඔහු අනාගතයේ පරිණත කවියෙකු වන බවට ඉඟි පාසල් යන කාලයේ සිටම අපි දුටුවෙමු. නිසදැසින් ලියූ ඒ කාව්‍ය සංකල්පනා ආනන්දයේ අපට සිංහල විෂයත්, සිංහල සාහිත්‍යයත් ඉගැන් වූ බර්ටි විජයසිංහ, සාන්තන රාජපක්ෂ, ඩබ්ලිව්. ඩී. කේ. ගුණවර්ධන ගුරු මහතුන් අගය කළහ. පසුගියදා කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිය මට අපේ සහෘද සමුද්‍ර වෙත්තසිංහ සොහොයුරා ඔහුගේ පොත් කුටියේදී හමු විය. 'කුලේ අයියා ලියපු ගීත රචනා පොත දැක්කදැයි' ඔහු ඇසීය. මම පුදුමයට පත්වීමි. 'නැහැ. පමා වී හෝ කුලේ ලියූ ගීත රචනා පොත් පළ කළ එක කොච්චරද? ප්‍රේම් දිසානායකත්, මාත් කුලේට කොච්චර වධ කළාද? කෝ . . . කුලේ ඒක කල් දැම්මා. හරිම සතුටුයි ප්‍රමාද වෙලා හරි මේක පිට කළා.' මම කීවෙමි. ප්‍රේම් හා මා ගීිත රචනා පොතක් කරමු කියලා කොතෙක් ඔහුට වද කළ ද ඔහු සිනාසී එය මඟ හැරියේය. අද දිවයිනේ ප්‍රකට පොත් ප්‍රකාශකයකු වන ප්‍රේම් කුලේගේ කලණ මිතුරෙකි. දිනෙන් දිනම කුලේ එය කල් දැම්මේය.
කුලේගේ ගීත රචනා ඇතුළත් 'පිනිබර මලක්' පොත පිටු පෙරළා බැලූ විට මට මගේ පැරණි මතකය අවදි විය. ඒ 1979 වසරය. කුලේ 29 හැවිරිදි තරුණයකුව සිටියදී විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ අපේ සුමිතුරු විජය රාමනායක නිෂ්පාදනය කළ 'ආරාධනා' චිත්‍රපටයට අපූරු ගීතයක් ලියුවේය. එය ගැයුවේ විශාරද අමරදේවයන්ය. රෝහණ වීරසිංහයන් හාපුරා කියා සංගීතය අධ්‍යක්ෂණය කළ (එච්. එම්. ජයවර්ධන සමඟ) චිත්‍රපටය ද 'ආරාධනා' චිත්‍රපටයයි. මෙහි තනුව රෝහණගේය. 'ජීවිත තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සනසා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න ආරාධනා . . . ආරාධනා' අමරදේවයන් ගැයූ කුලේ ලියූ මේ ගීතය මා ඔවුන් දෙදෙනා ගැයූ හා ලියූ ගීත අතුරින් වඩාත් කැමැති ගීතයයි. ගුවන් විදුලි වැඩසටහන් කිහිපයකම මා ඒ බව සඳහන් කළේය. මගේ ප්‍රියතම ගීතය පටිගත වූ දින අප කෙතරම් සතුටක් භුක්ති වින්දාද? 'ආරාධනා' චිත්‍රපටය 1981 වසරේ තිරගත වූ අතර, 1982 වසරේ සරසවිය සම්මාන උලෙළේදී හොඳම ගීත රචකයා වූයේ කුලේය. සරසවිය පුවත්පතේ ජ්‍යෙෂ්ඨ උප කතුවරයා වූ මා විනිශ්චය කටයුතු සම්බන්ධීකරණය කළත් විනිශ්චයේ අවසන් තීරණ ගන්නා අවස්ථාවලට මම සහභාගි නොවීමි. එය අතිශයින්ම රහස්‍ය කටයුත්තකි. එදා විනිශ්චය මණ්ඩලයේ සභාපති වූයේ එල්. පියසේන (හිටපු දේශීය ආදායම් කොමසාරිස් හා රාජ්‍ය චිත්‍රපට සංස්ථා හිටපු සභාපති) මහතාය. මහාචාර්ය නන්දසේන කෝදාගොඩ, එච්. එම්. ගුණසේකර, නවරත්න සෙනරත් (එවකට රේගු පාලක), එච්. එම්. ගුණසේකර, ධර්ම ගුණසිංහ (එවකට නාලන්දයේ විදුහල්පති), එස්. කොටකදෙනිය මහත්මිය (එවක මෝටර් රථ කොමසාරිස්), හේමා ජයසිංහ (එවකට විශාඛා විදුහල්පතිනිය) මහත්ම මහත්මීන් සෙසු සාමාජිකවරුන් වූහ. ඔවුන්ගේ බුද්ධිමත් තීරණය අනුව කුලේ හොඳම ගීත රචකයා වීම කොතරම් සතුටක්ද? අවසාන රහස්‍ය ප්‍රතිඵල ලේඛනය සීල් තබා සරසවිය කර්තෘට බාර දුන් පසුවයි අපත් එය දැනගත්තේ. 'ඔන්න ඔයාගේ යාළුවා හොඳම ගීත රචකයා වෙලා' සරසවිය කර්තෘ ප්‍රතිඵල ලේඛනය බලන ගමන් කියන විට මගේ දෑසේ සතුටු කඳුළු මතු විය. කුලේට සම්මානයක් ලැබිය යුතු ගීතයකි ඔහු ලියා තිබුණේ. එම ගීතය ඇසූ පසු කවුරුත් එය අගය කරමින් කීහ. සම්මානය ලැබූදා මා කුලේ වැලඳ ගෙන සිපගත්තේ එම සම්මානය මට ලැබුණාටත් වඩා සතුටකිනි. එය මට අමතක නොවන සම්මාන රාත්‍රියකි. |
||||||||