|
ටෲෆෝ ගැන සටහනක්
ප්‍රංශුවා ටෲෆෝ යනු සැබැවින්ම ප්‍රංශ සිනමා නවරැල්ලේ නියමුවකු ලෙස හැඳින්වීම අතිශෝක්තියක් නොවේ. සිනමා විචාරකයකු - තිර රචකයකු - නළුවකු - නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වූ ප්‍රංශුවා ටෲෆෝ ළමා වියේ සිටම නේක දුක් දෝමනස්සයන්ට බඳුන් වූවෙකි. ටෲෆෝ යාන්තම් වයස අවුරුදු 14 වන විටම පිච්චර් පිස්සකු බවට පත් විය. පෝලන්ත සිනමාකරුවකු වූ රෝමන් පොලෙන්ස්කි මෙන්ම අනාථ දරුවකු වූ ටෲෆෝ සැබැවින්ම බාලාපරාධකරුවන්ගේ නිවස්නයක හැදී වැඩුණු අයකු විය. වර්ෂ 1932 දී පියකුගේ ජන්මය නොමැතිව අනාථ දරුවකු ලෙස ප්‍රංශයේ රෝහලක මෙලොව එළිය දුටු ටෲෆෝට පිය වාසගම දෙන්නේ ඔහුගේ මවගේ දෙවන සැමියා වූ රෝලන්ඩ් ටෲෆෝය. එහෙත් ඉනික්බිති මව්පිය සෙනෙහස අයදින පුංචි ටෲෆෝට සිදුවන්නේ මහත් කරදර රැසකට මුහුණදීමටය. සිය මාපියන් විසින් අත්හරිනු ලබන බිළිඳකු වන ඔහුව වයස අවුරුදු 08 ක් යනතුරුම හදා වඩා ගන්නේ ප්‍රංශූවා ටෲෆෝගේ මිත්තණියක විසිනි. මිත්තණිය විසින් උනන්දු කරනු ලැබීමෙන් දිනපතා සංගීතය ඇසීමට හා පොත් කියවීමට පුරුදු වන ටෲෆෝට ඇයගේ අභාවයත් සමඟම නැවත අපාගත වීමට සිදු වෙයි. සිය මවගේ නිවස ඔහුට සිර ගෙයක් වන අතර එනිසාම හෙතෙම දෛනික ජීවිතයේ වැඩි කාලයක් නිවසින් පිට වී ගත කරන්නට පුරුදු වෙයි. පැරිසියේ නව්රුන් වීදියේ පිහිටි අඳුරු තට්ටු නිවාසයක ගෙවී ගිය සිය ළමා කාලය සැබැවින්ම දුක් කන්දරාවක් දරාගත් සමයක් වූ බව ටෲෆෝ නිරතුරු සඳහන් කරයි. එකල ඔහුගේ හොඳම සගයා වූවේ රොබට් ලැහානි නම් කොලු ගැටයෙකි. රොබට් සමඟ පාසල් නොගොස් කට්ටි පනිමින් හොරෙන් සිනමාපට නරඹමින් නවකතා සොරකම් කර කියවමින් ගෙවූ අතීතය ටෲෆෝ සිය ජීවිත කථාවේ සඳහන් කරයි. ඇමරිකානු චිත්‍රපට හොරෙන් නැරඹීම නිසා හටගත් සිනමා උන්මාදය කොතෙක් ද යත් 1948 දී පැරිස් නුවර සිනමා සමිතියක් පිහිටුවා ගන්නට තරමටම ටෲෆෝ සමත් විය. ඉන් ලද පන්නරය මත මහා සිනමා ඇදුරකු වූ අන්ද්‍රේ බැසාන් ඇසුරට පත්වන ප්‍රංශුවා ටෲෆෝ ඒ මතින් සිය සිනමා සිහිනය සඳහා ඇවැසි ඥානය ලබා ගනී. ඒ අනුව එතෙක් පැවති ප්‍රංශ සම්මත සිනමාවට අභියෝග එල්ල කරන හෙතෙම පසුව සිනමාවේ සිය මුල්ම පෙම්පවත රූපයෙන් ලියන්නේ 'ෆෝ හන්ඩ්‍රඩ් බ්ලෝස්' තුළිනි. ෆී හන්ඩ්‍රඩ් බ්ලෝස් යනු සැබැවින්ම ප්‍රංශයේ අඳුරු වීදිවල දුක් විඳිමින් සිටි සිය ආත්මයම බව ප්‍රංශුවා පවසා සිටී. චිත්‍රපටයේ අප දකින කතානායක අන්තුවාන් අනෙකෙකු නොව අප කතානායකයා වන ප්‍රංශුවා ටෲෆෝමය. අඳුරු පැරිස් නුවර වීදියක උදෑසන බඩගිනි නිසාම කිරි බෝතලයක් සොරකම් කළ කොලු පැංචා ඔහුමය. කුසගින්නේ බඩ පොත්ත සීතල අඳුරු මාවත් බිමට තුරුලු කර නොනිදා නිදාගත් කොලු ගැටයා ඔහුමය. ඒ ප්‍රංශුවා ටෲෆෝමය. ජීවිතයේ යම් දිනෙක පැරිස් නුවරට යාමේ ආසාවෙන් මා පෙළෙන්නට වූවේ ෆෝ හන්ඩ්‍රඩ් බ්ලෝස් චිත්‍රපටයේ අන්තුවාගේ චරිතයට පෙම් බැඳීමෙනි. මා මෙම චිත්‍රපටය මුලින්ම දකින විට විසි හැවිරිදි වියේ සිටිය ද මා අන්තුවාට මෙතරම් ප්‍රේම කළේ ඇයි? මඩොල් දූව නවකතාව කිය වූ පසුව අප සිනමා මහා ඇදුරු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මඩොල් දූව නැරඹීමෙන් පසු උපාලි ගිනිවැල්ලේ ජින්නා හා පැන ගිය දූව සොයා යන්නට අපට සිත්වීම ස්වභාවිකය. අපි එකල කොග්ගල මළලගම මඩොල් දූව සොයා චාරිකා කළෙමු. එහෙත් ටෲෆෝ ගේ චිත්‍රපටයේ අන්තුවා බඩගින්නෙන් දිව ගිය වීදිය, කිරි බෝතලයක් සොරකම් කළා වූ වීදිය දැකගන්නට මා පෙරම් පිරුවේ ඇයි? ඒ අන් කිසි කරුණක් නිසා නොව ටෲෆෝ නැමැති සරල සුගම සිනමාකරුවා සිය සැබෑ ආත්මය අන්තුවා තුළින් අපට මුදා හල නිසාය. පසු කලක නොසිතූ විරූ ලෙස පැරිස් නුවරට යාමට මට ද හිමිකම් ලැබුණි. ඒ උඩුගංයාමය චිත්‍රපටය ද 2007 කාන් සිනමා උලෙළේ ශ්‍රී ලංකා දිනය සඳහා තෝරා ගත් බැවිනි. එහිදී ප්‍රසන්නගේ පුර හඳ කළුවර, ආචාර්ය ධර්මසේන පතිරාජගේ පොන්මනී, හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න ඇතුළු තවත් චිත්‍රපට කීපයක් තිරගත විය. මා පැරිසිය බලා පිටත්ව ගියේ අතේ හරි හමන් මුදලක් ද නොමැතිවය. නොමිලයේ ලද ගුවන් ටිකට් පතක් රැගෙන ඩොලර් 20 ක් අතැතිව මා ගිය ඒ ගමනට ප්‍රසන්න විතානගේ ද එක් විය. මා පැරිසියේ නිදා ගත්තේ ප්‍රසන්නගේ කුඩා කාමරයේය. ඒ දින කීපය ප්‍රසන්න මට සැබැවින්ම මහත් ධෛර්යයක් විය. ප්‍රංශයේ කාන් නුවර පැවැති කාන් සිනමා උලෙළට වඩා ආස්වාදයක් මට ගෙන දුන්නේ අන්තුවාන් දිව ගිය පැරිසියේ නවරැන් වීදියයි. උදෑසන වුව ද හිමිදිරියේ වීදියේ බඩගින්නට කිසිවක් ලබා ගන්නට පෙළහර පාන කුඩා දරුවන් තුළින් මා දුටුවේ ටෲෆෝගේ චිත්‍රපටයේ අන්තුවාන්ගේ ශෝකාලාපයයි. බඩගින්නට කිරි බෝතලයක් සොරා ගත් ටෲෆෝගේ ආත්මයයි. අන්තුවාන් රැගත් 'ෆෝ හන්ඩ්‍රඩ් බ්ලෝස්' චිත්‍රපටය ප්‍රංශ නවරැල්ලේ ආරම්භය සිදු කළ අතර එයට 1959 වර්ෂයේ කාන් සිනමා උලෙළේ හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ද හිමි විය. ටෲෆෝ යනු සැබැවින්ම සිය නිර්මාණයන් සඳහා අවංකවම කටයුතු කළ සැබෑ සිනමාවේදියෙකි. සිය ආත්මයට රිසි නොවූ කිසිවක් සිය තිර රචනයේ දුටු විට එය නැවත විමසා ලිවීමට තරම් හෙතෙම කාරුණික විය. සිය දෙවන සිනමා කෘති'ය වූ ' ෂුට් ද පියානෝ ප්ලේයර්ස්' රූපගත කරන විට ඔහුට දැනුණේ තමා කල්ලි සටන්කරුවන්ට ප්‍රිය මනාප නොවන බවකි. එහෙත් අවාසනාවකට මෙන් ඔහුගේ නියමිත චිත්‍රපටයේ කල්ලි සටන්කරුවන් ප්‍රධාන චරිත බවට පත්ව තිබුණේ දෛවෝපගත ලෙසිනි. සිය ආත්මයට වද දුන් මේ සිදුවීම නිසා තැවුලට පත් ටෲෆෝ රූපගත කිරීම් සිදුවන විටදීම කල්ලි සටන්කරුවන්ට කිසියම් උපහාසාත්මක වර්ණයක් දීමට උක්සුක විය. එකී උත්සාහය සැබැවින්ම සාර්ථක වූ අතර එය සිනමා විචාරකයින්ගේ නොමඳ අවධානයට ද යොමු විය. වර්ෂ 1973 ටෲෆෝ 'ඩේ ෆෝ නයිට්' නමින් චිත්‍රපටයක් නිර්මාණය කළේය. එහි කතා පුවත වන්නේ ද චිත්‍රපටයක් තුළ චිත්‍රපටයක් තැනීමට පිරිසක් ගන්නා උත්සාහයයි. එහි චිත්‍රපට අදියුරුගේ චරිතය රඟන්නේ ප්‍රංශුවා ටෲෆෝමය. මෙම චිත්‍රපටයට පාදක වන්නේ ද බාල වියේදී නිරතුරුව ආදරය නොලැබූ දරුවකුගේ ශෝකාලාපයයි. එනම් ටෲෆෝම සැබෑ ජීවන අත්දැකීමයි. ඩේ ෆෝ නයිට් චිත්‍රපටයට 1973 දී ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය ද හිමි විය. 1976 දී ටෲෆෝ නිර්මාණය කළ ස්මෝල් චේන්ජ් ඉතා අගනා සිතුමක් ලෙස සිනමා වියතුන් විසින් සලකනු ලැබූ බව පෙනේ. ප්‍රංශයේ පාසලක ඉගෙනුම ලබන ළමුන්ගේ විවිධ සිතුම් පැතුම් - ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ චර්යාවන් කියාපාන ස්මෝල් චෙන්ජ්ස් චිත්‍රපටය සාම්ප්‍රදායික වැඩිහිටි සාරධර්ම නිසා පීඩාවට පත් වූ ළමා ළපටියන්ගේ කතාන්දරයයි. ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වූ මෙම චිත්‍රපටය 26 වන බර්ලින් චිත්‍රපට උලෙළේ ද තිරගත විය. ඉන් අනතරුව ප්‍රංශුවා ටෲෆෝ නිර්මාණය කළ 'ලාස්ට් මෙට්රෝ'' සිනමා කෘතිය ප්‍රේක්ෂකයින් ඇද බැඳ ගත් චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකිය. දෙවන ලෝක යුධ සමයේදී ප්‍රංශයේ ජිවත් වූ නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන ලූකස් ස්ටේනර් සහ ඔහුගේ බිරිය එකල පැවති නාසි හමුදා පාලනය තුළ මුහුණ දෙන නේක දුක්ඛ දෝමනස්සයන් කියාපාන මෙම චිත්‍රපටය සිනමාවට ඇලුම් කරන නව පරපුර විසින් නොවරදවාම නැරඹිය යුතු කෘතියකි. චිත්‍රපටයේ නිරූපිත වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයා සිය නවතම නාට්‍යය ජනතාවට පෙන්වීමට අවසාන පෙරහුරු සකස් කරමින් සිටියි. එහෙත් ඔහුට සිය සිහිනය වන වේදිකා නිෂ්පාදනය දෑසින් බලා ගන්නට නිදහසක් නොමැත. නාසි හමුදාවන් නාට්‍යාගාරය වටලා ඇති අතර ඔහුව සොයමින් සිටියි. නාට්‍ය දර්ශනය ආරම්භ වන අතර නළු නිළියන් රංගනයේ යෙදෙති. අධ්‍යක්ෂවරයා නාටකයේ වේදිකාව යට සැඟ වී සිටිමින් නාට්‍යයේ ආස්වාදය විඳ දරා ගන්නේ පාත්‍ර වර්ගයාගේ වදන් හා සුසුම් හඬවල ආධාරයෙනි. ඔහු එහිදී ජීවිතයත් මරණයත් අතර සිටින අවිහිංසකයකු ලෙස අපට දැනෙයි. තම මංගල නිර්මාණය දිග හැරෙන වේදිකා මණ්ඩපයේ සිටිය ද එය සිය දෑසින් නැරඹීමට හැකියාවක් නොමැති නිර්මාණකරුවකු ගැන තවත් නම් කුමන කතාවන්ද? ලාස්ට් මෙට්රෝ නම් සැබැවින්ම හද සසල කරවන සිනමා සිත්තමකි. ටෲෆෝගේ අවසන් චිත්‍රපටය වූවේ 'කොන්ෆිඩෙන්ටලි යුවර්ස්" චිත්‍රපටයයි. සුදු සහ කළු සිනමා කෘතියක් වූ එය ලෝක පූජිත සිනමාකරුවකු වූ ටෲෆෝ සිත්ගත්ම සිනමාකරු වූ ඇල්ප්‍රඩ් හිච්කොක්ට උත්තමාචාර පිණිස නිර්මාණය කළ සිතුවමකි. ප්‍රංශුවා ටෲෆෝ කෙතෙක් හිච්කොක්ට ඇලුම් කළේ ද යත් හිච්කොක් ගැන ලොව හොඳම සිනමා සටහන ලියා ඇත්තේ ද ටෲෆෝය. එහිදී ඔහු සිය ග්‍රන්ථයේ සඳහන් කරන කියමන් මගේ මතකයට නැඟෙයි. "හිච්කොක් නරඹන්නන් බැඳ තබා ගන්නේ ඔහු ශූර ලෙස සිනමා ශිල්පය භාවිතා කරන නිසා නොවේ. සිය වෘත්තාන්තය ගලායාමේදී ඔහු දක්වන කතාන්දර කීමේ හැකියාව නිසාය. එය කොතෙක්දැයි කිවහොත් ප්‍රංශ තරුණයාට තම සමීප අසුනේ සිටින හිතවතිය අමතක වෙයි. ප්‍රංශුවා ටෲෆෝ යනු සැබැවින්ම සාහිත්‍යයට තදින් ඇලුම් කළ නිර්මාණවේදියෙකි. එය ඔහුගේ බාල වියේ සිටම පැවැති බව ටෲෆෝම පවසයි. තමාගේ එකම අරමුණ වූවේ ළමා වියේදී දිනකට චිත්‍රපට තුනක් නැරඹීමත් එමෙන්ම නවකතා පොත් තුනක් කියවීමත් බව ඔහුගේ පොතක සඳහන්ය. ෆෝ හන්ඩ්‍රඩ් බ්ලෝස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අන්තුවාන් ද ප්‍රංශ ලේඛකයකුගේ පිළිමයක් ඉදිරියේ පහනක් තබනු මට මතකය. ටෲෆෝ එසේ අන්තුවාන් හරහා ප්‍රංශ ලේඛක පිළිරුවට ගෞරව කරන්නේ සාහිත්‍යයට ඇති ආදරය නිසා යැයි මම සිතමි. රංග ශිල්පියකු ලෙස ද කටයුතු කළ ප්‍රංශුවා ටෲෆෝ ස්ටීවන් ස්පීල්බර්ග් නිර්මාණය කළ 'ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්' චිත්‍රපටයේ මහාචාර්යවරයකු ලෙස ද රඟපෑවේය. ටෲෆෝ සැබැවින්ම මානව හිතවාදී මිනිසෙකු විය. වරක් එක්තරා දවසක ටෲෆෝ හමුවීමට එක්තරා තරුණයකු පැමිණියේය. 'සර් මං මගේ චිත්‍රපටය රූපගත කරන්නට ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකක් හැදුවා. ඒක හොඳද කියලා කියන්න' ටෲෆෝගේ පිළිතුර මෙසේ විය. 'පුතා, මට මේ ගැන යමක් කියන්නට බැහැ. එය යුක්ති සහගතත් නැහැ. ඔබගේ චිත්‍රපටයේ වැඩ අවසන් කළ පසුව මටත් කියන්න. මා නරඹා එය ගැන මට හිතෙන දේ කියන්නම්' මෙහි අදහස කුමක්ද? ටෲෆෝ යනු කාර්මික තිර රචනය පසෙක තබා සිනමාව යනු ලොව මිනිසුන්ගේ මුහුණු තුළ මැවෙන නාටකීය බව නළු නිළියන්ට නොරිදවා කැමරාවෙන් සියුම්ව හසු කර ගැනීම යැයි විශ්වාස කරන නිර්මාණකරුවෙක් වීම යැයි මට සිතේ. එය එක්තරා අතකින් ඇත්තය. ටෲෆෝ නිතරම පැවසුවේ මගේ රූප රාමුව නිතරම සැකසෙන්නේ පසුතල ඉසව්වකදී මගේ නළු නිළියන් පුහුණුවීම් කරන අවසාන මොහොතෙන් පසුව බවය. 1983 මේ මහා සිනමාකරුවා හදිසියේ රෝගාතුර වූ අතර එයට හේතු වූවේ මොළයේ හටගත් ගෙඩියක ආසාදනයයි. වසරක් පුරා රෝගීව සිටිය ද සිය සිනමා ආත්මයට පණ දුන් මේ මානව හිතවාදී සිනමාකරුවා ඉන් වසරකට පසුව 1984 ඔක්තෝම්බර් 21 වැනි දින හදිසියේ සිය ජීවිතයෙන් සමුගත්තේ දහසක් සිනමා ප්‍රේක්ෂකයින් සෝ සයුරේ ගිල්වමින්. මිය යන මොහොත වන විට ටෲෆෝ නියමිතව සිටියේ සිය හිතවතකු වූ මයිලස් ෆෝමාන්ගේ ඇමඩියස් චිත්‍රපටය නැරඹීමට සූදානම් වෙමිනි. ටෲෆෝ සිය ජීවිත කාලයෙන් ඉල්ලා සිටියේ මිය යාමට පෙර චිත්‍රපට 30 ක් නිර්මාණය කරන්නටය. එහෙත් සියල්ල එයට හරස් විය. පැරීසියේ නවරැන් වීදිය දිගේ බඩගින්නට කිරි බෝතලයක් සොරකම් කළ සැබෑ අන්තුවාන් නොඑන ගමනක් ගොස් තිබුණි. මට යළිත් පෙර දිනෙක පැරිසියේ මාවතක බඩගින්නට යමක් ඉල්ලමින් සිටි අපේ කාලයේ අන්තුවාන්ලා මතක් වෙයි. ඔවුන්ගේ මුහුණු තුළින් මා එදා දුටුවේ මහා සිනමාකරු ප්‍රංශුවා ටෲෆෝගේ මුහුණයි. බඩගින්නට කිරි බෝතලයක් හොරකම් කළ ප්‍රංශුවාගේ මුහුණයි. ඒ මුහුණ සැබැවින්ම පින්බරය. නොකිළිටිය. අමතක නොවන සුලුය. පෙරදිග ලෝකයේ කුඩා දිවයිනක සිනමාවට පෙම් බඳින මා වැනි කුඩා එකෙකු යුරෝපීය සංස්කෘතියකට හැඩ ගැසුණ සිනමාවේදියකුට මෙතරම් සමීප වූවේ ඇයි? ඒ වෙන කිසිවක් නිසා නොව ප්‍රංශුවා ටෲෆෝ සිය නිර්මාණ තුළින් ලොව පොළෝ තලයේ නේක දුක් විඳින මිනිස් වර්ගයා ගැන අපරිමිත දයාවෙන් බැලූ නිසා යැයි මට සිතෙයි.
|