වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




වින්දනීය සිනමා සටහනක්

වින්දනීය සිනමා සටහනක්

මතබේද මැද විවිධ ශෛලීන් අනුදත් සිනමාකරුවා

ඔලිවර් ස්ටෝන්

ඔලිවර් ස්ටෝන්

ඇමරිකා එක්සත් ජනපදය

සැප්තැම්බර් 15, 1946

විශිෂ්ට චිත්‍රපට - ප්ලැටුන්, වෝල් ස්ට්‍රීට්, බෝන් ඔන් ද ෆොරත් ඔෆ් ජුලයි, ජේ. එෆ් කේ.

මතභේදාත්මක විෂයන්හී මාස්ටර් කෙනෙක් වාගේම පුරාවෘත්තමය සිනමාකරුවෙකු ලෙස ඔලිවර් ස්ටෝන් නමක් දිනාගෙන තිබෙනවා. ඔහුගේ චිත්‍රපට විවිධ සිනමා කෝණ සහ ශෛලියන්වලින් පිරී තිබෙන අතරම ඔහු තම නළු නිළියන්ගෙන් ඔස්කාර් සම්මාන ලැබීමට සුදුසු තරම් දක්ෂ රංගන කුසලතාවන් උකහා ගැනීමට නිරන්තරයෙන් සමත් වී තිබෙනවා. ඉඳහිට ඔහුගේ චිත්‍රපටයක් අසාර්ථක වුවත් නැවතත් සාර්ථක නිර්මාණයක් කරමින් ජයග්‍රාහී මාවතට පිවිසෙන්නට ඔහුට තිබෙන හැකියාව සුවිශේෂයි. ඔලිවර් ස්ටෝන් වර්තමාන සිනමාවේ ඉතුරු වී ඇති අතළොස්සක් වූ සත්‍ය (නියම) කලාකරුවන්ගෙන් කෙනෙක් බවට පිළිගැනෙන්නේ ඔහු සැමවිටම චිත්‍රපටයක සිනමා ශිල්පයට (කලාවට) එහි ආර්ථික වාසිවලට වඩා මුල් තැනක් ලබාදීම හේතුවෙනි. ඔහු ඉතා ජනප්‍රිය එමෙන්ම සමහර අවස්ථාවලදී ඉතාමත් ආන්දෝලනාත්මක එහෙත් අති විශිෂ්ට (මාස්ටර්පීසස්) චිත්‍රපට රැසක රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කර තිබෙනවා.

ජැකලීන් කෙනඩිට සහ කොටස් වෙළෙඳපල තැරැව්කරකුවකු වූ ලුවිස් ස්ටෝන්ට දාව ඔලිවර් ස්්ටෝන් නිව්යෝක් නගරයේ උපත ලැබුවා. ඔහුගේ පියා යුදෙව් ජාතිකයකු වූ අතර මව ප්‍රංශයේ උපත ලද රෝමානු කතෝලික කාන්තාවක් වූවා. පාසල් දිවිය හමාර කළ ස්ටෝන් ගෞරවණීය යේල් සරසවියට ඇතුල්වීමට වරම් ලැබූ නමුත් වසරක් ගෙවුණු තැන ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැර ගියා. ඇමරිකානු හමුදාවට බැඳුණු ස්්ටෝන් 1967 අප්‍රේල් සිට 1968 නොවැම්බර් දක්වා වියට්නාම් යුද්ධයට සහභාගී වුණා. (සොල්දාදුවන්ගේ සුභසාධක පනත) ජී. අයි. බිල් එකෙන් ලැබුණු සහයෝගයෙන් නිව්යෝක් විශ්ව විද්‍යාලයට බැඳුණු ස්ටෝන් 1971 දී එහි චිත්‍රපට පාසලෙන් උපාධිය ලැබුවා. (එහි ගතකල කාලයේ ඔහු අධ්‍යක්ෂ මාර්ටින් ස්කෝසේසීගේ සිසුවෙකු වූවා).

ස්ටෝන්ගේ පළමු චිත්‍රපටය ශිෂ්‍ය චිත්‍රපටයක් වුණා. එහි නම වූයේ ලාස්ට් ඉයර් ඉන් වියට්නාම් (1971), ඉන් පසුව ඔහු සංත්‍රාසය දනවන සීෂර (1974) නිර්මාණය කළේ එහි තිර නාටකයත් ඔහුම ලියමින්. ඊළඟ අවුරුදු හතේදී ඔහු චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළා. මෑඩ් මෙන් ඔෆ් මාටිනික් (1979) සහ මයිකල් කෙන් ප්‍රධාන චරිතය රඟපෑ ද හෑන්ඩ් (1981) එම චිත්‍රපට වූවා. ඒ අතර කාලයේ ඔහු මිඩ්නයිට් එක්ස්ප්‍රස් (1978), කොනන් ද බාබේරියන් (1982), ස්කාර්ෆේස් (1983 ) ඇතුළු චිත්‍රපට කීපයකට තිර නාටක ලිව්වා. ස්ටෝන්ට තම ප්‍රථම ඔස්කාර් සම්මානය මිඩ්නයිට් එක්ස්ප්‍රස් රචනය සඳහා ලැබුණු අතර ඔහුගේ නම ටිකෙන් ටික ක්ෂේත්‍රයේ පැතිර යන්නට පටන් ගත්තා.

1986 ඔහුට වාසනාව ගෙන ආ වසරක් වුණා. එම වසරේ තිරගත වූ සැල්වඩෝර චිත්‍රපටයත් සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලෝකයේ ස්ටෝන්ගේ නම ප්‍රසිද්ධ වෙන්නට පටන් ගත්තා. ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ වුණු ජේම්ස් වුඩිස් ප්‍රධාන චරිතය රඟපෑ සැල්වඩෝර් දේශපාලනික චිත්‍රපටයක් වුණා.

ඒත් ඔහුගේ අති සාර්ථකම නිර්මාණය නැතහොත් ලොකුම හිට් එක වුණේ ප්ලැටුන් (1986) නම් යුද චිත්‍රපටයයි. චාලි ශීන්, විලියම් ඩෙෆෝ, ෆ්‍රැන්සෙස්කෝ ක්වින් සහ ටොම් බෙරෙන්ජර් එහි ප්‍රධාන චරිත රඟපෑවා. බෙරෙන්ජර් සහ ඩෙෆෝ ඔවුන් දෙදෙනා රඟපෑ (එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිටි) සාජන්ට් චරිත සඳහා ඔස්කාර් නිර්දේශ ලැබුවා. චිත්‍රපටයේ දක්වන හමුදා මෙහෙයුමේ චාලි ෂීන් රඟපාන ටේලර් නම් සොල්දාදුවාට වැඩියෙන්ම බලපෑම් කරන දෙදෙනා ලෙස ඔවුන් දෙදෙනා අපූරු රංගනයක යෙදුණා. ස්ටෝන්ට අධ්‍යක්ෂණය සඳහා ප්‍රථම ඔස්කාර් සම්මානය ප්ලැටූන් සඳහා ලැබුණා. හොඳම චිත්‍රපටයටත් හිමි ඔස්කාර් සම්මානය දිනාගත් ප්ලැටුන් අතිශයින්ම බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට පත් වුණා.

ප්ලෑටූන්වලට පසු ස්ටෝන් විචාරක අවධානයට නොමඳව බඳුන් වූ වෝල් ස්ට්‍රීට් (1987) අධ්‍යක්ෂණය කළා. චාලි ෂීන් හ මයිකල් ඩග්ලස් ප්‍රධාන චරිත රඟපෑ මෙම චිත්‍රපටය ස්ටොක්බ්‍රෝකර් වරුන්ගේ සහ ධන කුවේරයන්ගේ ව්‍යාපාරික ලෝකය ගැන හෙළි කළ කතාවක් වටා ගෙතුණා. වෝල් ස්ට්‍රීට් මහත් පිළිගැනීමකට ලක් වූ අතර මයිකල් ඩග්ලස්ට ඔහු රඟපෑ දුෂ්ට ගෝඩන් ගෙක්කෝ ගේ චරිතයට හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලැබුණා.

ඊළඟ අවුරුද්දේ ස්ටෝන් ටෝක් රේඩියෝ (1988) අධක්ෂණය කළා. එය බරපතළ සිදුවීම් / ප්‍රශ්න ගැන කතා කිරිමට මැලි නොවන කට හැකර රේඩියෝ නිවේදකයකු (එරික් බොගෝසියන්) වටා ගෙතුණක් වූවා. මෙම චිත්‍රපටය ඔහුගේ කලින් චිත්‍රපට 3 තරම් සාර්ථක නොවුණත් ස්ටෝන් එයින් පසුබැස්සේ නැහැ. ඔහු ටොම් කෲස්ව ඔස්කාර් නිදේශිත චරිතයකට අධ්‍යක්ෂණය කරමින් 1989 දී බෝන් ඔන් ද ෆෝත් ඔෆ් ජුලයි නිර්මාණය කළා. එයින් කියවුණේ වියට්නාම් යුද්ධයේ සිට ආපසු පැමිණි මානසිකව පිරිහුණු (යුද්ධය අප්‍රසන්න වෙච්ච, හිත කම්පා වූ) අබ්බගාත යුද සෙබළෙකු ගැන සත්‍ය කතාවයි. එය හොඳම චිත්‍රපටයට හා නළුවාට හිමි ඔස්කාර් සම්මාන දිනා ගැනිමට අසමත් වුවත් ස්ටෝන්ට හොඳම අධ්‍යක්ෂණය සඳහා ඔස්කාර් සම්මානය දිනා දීමට සමත් වූවා. මෙය ස්ටෝන් ඔහුගේ දිවියේ ලද තුන්වෙනි ඔස්කාර් සම්මානය වුණා.

ස්ටෝන් 1991 දී නැවතත් අධ්‍යක්ෂක පුටුවේ වාඩි වූයේ චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කරමින්ය. වැල් කිල්මර් ආන්දෝලනාත්මක එහෙත් පුරාවෘත්තමය ජිම් මොරිසන් ගේ චරිතයට පණ පොවමින් ප්‍රධාන චරිතය රඟපෑ ඩෝරස් සයිකඩෙලික් (මත් ද්‍රව්‍ය මඟින් මනසේ අවධි බව පුළුල් කළ භ්‍රාන්ත) චිත්‍රපටයක් වුණා. ඩෝරස් යනු කාලයක් ඉතා ජනප්‍රියව සිටි සංගීත කණ්ඩායමක් වූ අතර එහි හිටපු සාමාජිකයෙකු වූ රේ මැන්සරෙක් චිත්‍රපටය පිළිකුල් සහගත ලෙස බැහැර කළ නමුත් එය හොඳ සිනමා නිර්මාණයක් වුණා. වැල් කිල්මර් ජිම් මොරිසන් ගේ පුද්ගලාරූපණය කිසිම වෙනසක් නොපෙනෙන අන්දමට නිරූපණය කිරීමට සමත් වුණා.

අදහස් මතභේද කෙසේ වුවත් ද ඩොරස් ස්්ටෝන්ගේ අති විශාල නිර්මාණයක් වූ ජේ. එෆ්. කේ. (1991) හමුවේ එහි සෙවණැල්ලෙන් වැසුණා. ස්ටෝන් ඔහුගේ නිර්මාණ පෙලේ හොඳම චිත්‍රපටය හැටියට සැලකූයේත් ජේ. එෆ්. කේ. යි. ස්ටෝන්ගේ චිත්‍රපටයේ නිව් ඔරලියන්ස් දිස්ත්‍රික් නීතිඥ ජිම් ගැරිසන් ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ගේ ඝාතනයට වගකිවයුතු කුමන්ත්‍රණකරුවන් සෙවීමේ හුදෙකලා සටනක නිරත වෙනවා. ඉතා ප්‍රසිද්ධ නළුවන් වූ කෙවින් කොස්නර්, ටොම් ලී ජෝන්ස්, ජෝන් කැන්ඩි, ජෝ පෙචී, ඩොනල්ඩ් සදර්ලන්ඩ් සහ වෝ ටර් මැතාවෝ මෙහිදී රංගනයෙන් දායක වුණා. මේ චිත්‍රපටය ස්ටෝන්ගේ සිනමා දිවියේ සුවිශේෂි වෙනසක් ගෙනහැර පෑ නිර්මාණයක් වූවා. ස්ටෝන් මෙහිදී මුල්වරට විවිධ කැමරා ශෛලයන් අත්හදා බලමින් ඒවා සංයෝජනයෙන් බහුමාන ස්වරූපයකින් චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමේ කලාව ප්‍රගුණ කළා. ජේ. එෆ්. කේ. ඔස්කාර් සම්මාන 8 කට නිර්දේශ වෙමින් ස්ටෝන්ගේ සිනමා දිවියේ අති සාර්ථකම නිර්මාණයක් බවට පත් වුණා. කෙසේ වුවත් තම තෙවෙනි හොඳම අධ්‍යක්ෂ ඔස්කාර් සම්මානය ඒ සඳහා දිනා ගැනීමට ස්ටෝන් අසමත් වුණා.

ජේ. එෆ්. කේ. ට පසු ස්ටෝන් ඔහුගේ තුන්වන වියට්නාම් යුද්ධ චිත්‍රපටය වූ හැවන් ඇන්ඩ් අර්ත් අධ්‍යක්ෂණය කළා. එහි වෙනස වුණේ මෙම චිත්‍රපටය වියට්නාම් යුවතියක ගේ දෘෂ්ටි කෝණයෙන් වියට්නාම් යුද්ධය දුටු සැටි විස්තර කෙරුණු කතාවක් වීමයි. ජේ. එෆ්. කේ හී රඟපෑම වෙනුවෙන් හොඳම සහය නළුවා සඳහා ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණු ටොම් ලී ජෝන්ස් මෙහි සහය චරිතයක් රඟපෑවා. චිත්‍රපටයේ දැක්වුණු කාන්තා පර්යාලෝකයත් හොඳ විචාරත් මධ්‍යයේ වුව ද චිත්‍රපටය වාණිජමය වශයෙන් අසාර්ථක වුණා.

ස්ටෝන් එම චිත්‍රපටයේ අසාර්ථකත්වයෙන් සැලුණේ නැහැ. ඔහුගේ ඊළඟ චිත්‍රපටය ඔහුගේ සිනමා ජීවිතයේ අපකීර්තිමත්ම සිනමා නිර්මාණය වුණා. කුවෙන්ටින් ටැරන්ටිනෝගේ තිර නාටකයක් ඇසුරෙන් ස්ටෝන් නැචුරල් බෝන් කිලර්ස් නිර්මාණය කළා. වුඩ් හැරල්සන්, ජුලියෙට් ලුවිස්, ටොම් සයිස්මෝර් සහ රොජර් ඩේන්ජුර්ෆීල්ඩ් (ඔහුගේ එකම නාට්‍යමය රංගනය) මෙහි ප්‍රධාන චරිත රඟපෑවා. විචාරක ප්‍රතිචාර මිශ්‍ර වුවත් නැචරල් බෝන් කිලර්ස්ට හොඳ බොක්ස් ඔෆීස් පිළිගැනීමක් තිබුණා. චිත්‍රපටයේ ගැබ්වුණු අසීමිත ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ප්‍රේක්ෂකයින් එය ස්ටැන්ලි කුප්‍රික්ගේ අ කලෝක්වර්ක් ඔරෙන්ජ් (1971) හට සමාන කළා.

සුපුරුදු පරදි ස්ටෝන් නැවතත් ආන්දෝලනාත්මක විෂයන්ට මැදි වුණේ ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ නික්සන් (1995) සමඟයි. එය හිටපු ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ගේ ජිවිතය ඇසුරෙන් නිම වූ අතර ප්‍රධාන චරිතයට පණ පෙවූයේ ඇන්තනි හොප්කින්ස්ය. ප්‍රසිද්ධ නළු නිලි කැලකගේ සහභාගිත්වයෙන් නිමවුණු මෙහි නික්සන්ගේ බිරිඳගේ චරිතය රඟපෑවේ ජොආන් ඇලන්ය. ඇයත් ඇන්තනි හොප්කින්ස්ත් දෙදෙනාම හොඳම රඟපෑම සඳහා ඔස්කාර් සම්මානයට නිර්දේශ ලැබුවා. ස්ටෝන්ට තම සිනමා දිවියේ හය වෙනි හොඳම තිර රචනා සඳහා ඔස්කාර් නිර්දේශය ද මේ සඳහා ලැබුණා. නික්සන් මිශ්‍ර විචාරවලට පාත්‍ර වූ අතර වාණිජමය වශයෙන් අසාර්ථක වුණා.

මේ වන විට ස්ටෝන් අවුරුදු නවයක් තුළ චිත්‍රපට 10 ක් අධ්‍යක්ෂණය කර තිබුණා. ඉතින් ඔහු ටිකක් තම වේගය අඩු කරමින් 1997 දී යූ ටර්න් අධ්‍යක්ෂණය කළේ ෂෝන් පෙන් සහ ජෙනිෆර් ලෝපේස් ප්‍රධාන චරිතවලට යොදා ගනිමින්. මෙයත් නැචුරල් බොන් කිලර්ස් වාගේම ප්‍රචණ්ඩත්වය උපහාසාත්වයට ලක් කෙරුණු අඳුරු විකෘති සිනමා සිත්තමක් වුණත් එය නැචුරල් බෝන් කලර්ස් ලැබූ සාර්ථකත්වය ලැබුවේ නම් නැහැ.

කෙසේ වෙතත් සාර්ථකත්වය නැවතත් ස්ටෝන් සොයා ආවේ ඇල් පැචිනෝ ප්‍රධාන චරිතය රඟපෑ එනි ගිවන් සන්ඩේ (1999) චිත්‍රපටය සමඟයි. මෙහිදී ස්ටෝන් තමා ආදරය කළ ඇමරිකානු ෆුට්බොල් ක්‍රීඩාව දෙසට හැරුණා. මෙම ක්‍රීඩා චිත්‍රපටය ෆුට්බොල් ක්‍රීඩාවට පසුබිම් වූ ජීවිතය ගැන ගෙතුණු කතා පුවතක් ඇසුරෙන් නිම වූ අතර ඉතා ආකර්ෂණීය නළු නිළි කැලකගේ රංගන සහය එයට ආලෝකයක් වූණා. ස්ටෝන්ගේ චිත්‍රපටවල නිතර දැකිය හැකි නළුවන් දෙදෙනෙකු වූ ජේම්ස් වුඩ්ස් සහ ජෝන් සී. මැක්ගින්ලි මෙහි රඟපෑවා. ඇමරිකානු ෆුට්බෝල් නැමැති මෙගා ක්‍රීඩාවේ පසුබිම් ජීවිතය ඉතාමත් තාත්ත්විකව නිරූපණය කිරීම වෙනුවෙන් මේ චිත්‍රපටය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා. එහි ගිවන් සන්ඩේ ස්ටෝන්ගේ වාණිජමය වශයෙන් වඩාත්ම සාර්ථක වූ චිත්‍රපටයක් වූ අතර එය නැවතත් ස්ටෝන්ව ඔහුගේ නිර්මාණ ජීවිතයේ හරි ට්‍රැක් එකටම ඔහුව ඇද දැමුවා.

එනි ගිවන් සන්ඩේ චිත්‍රපටයෙන් වසර පහකට පසු ස්ටෝන් තමා කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ඇලෙක්සැන්ඩර් (2004) නම් අති විශාල සිනමා වීර කාව්‍යය නිර්මාණය කළා. කොලින් ෆැරල් මැසිඩෝනියානු නායකයා (ඇලෙක්සැන්ඩර් ලෙස ප්‍රධාන චරිතය රඟපෑවා. ස්ටෝන් උත්සාහ කළේ මහා ඇලෙක්සැන්ඩර්ගේ ශ්‍රේෂ්ඨත්වය ඔහුගේ දේශාටන විජයග්‍රහන ඇසුරින් හුවා පෙන්වීම සඳහායි. චිත්‍රපටය ඇලෙක්සැන්ඩර් සහ දෙමව්පියන් අතරත් (පියා ලෙස වැල් කිල්මර් විශිෂ්ට රංගනයකත්, මව් ලෙස ඇන්ජලිනා ජොලි ඉතාමත්ම සාමාන්‍ය රඟපෑමකත් යෙදුණා) ඔහුගේ බිරිඳ (රොසාරියෝ ඩෝවිසන්) සහ කුඩා කළ සිටි හොඳම යහළුවා (ජැරඩ් ලීටෝ) අතරත් තිබු සම්බන්ධතාවයන් පිළිබඳව වඩාත් අවධානය යොමු කර තිබුණා. ඇලෙක්සැන්ඩර් විචාරක හා වාණිජමය වශයෙන් අසාර්ථක වූයේ එය නිම කිරීමට වැය වූ මුදලවත් නැවත සොයා ගැනීමට නොහැකිවීමෙන්. කෙසේ වෙතත් මේ චිත්‍රපට සඳහා ස්ටෝන් විචාරකයන්ගේ ඉතා අසාධාරන දෝෂ දර්ශනයට ලක් වුණා. මෙම විචාරක ප්‍රහාරවලින් ස්ටෝන් පුද්ගලික වශයෙන් සිත් තැවුලට පත් වූ නමුත් 2006 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් නම් බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපටය සමඟ ඔහු නැවතත් යම් ප්‍රමාණයකට පියවි තත්ත්වයට නැවත පත් වෙන්නට සමත් වුණා. 2001 සැප්තැම්බර් 11 වන දින සිදු වු ප්‍රහාරයේදී සුන්බුන් අතරට යට වූ ගිනි නිවන හමුදා භටයන් දෙදෙනකු පිළිබඳ කතාව මෙයට මූලික වුණා. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් හොඳ විචාරක ප්‍රතිචාරයට පාත්‍ර වූ අතර එය පසුබැස සිටි ස්ටෝන්ට තවත් චිත්‍රපට කිරීමට අවශ්‍ය ධෛර්යය ලබා දුන්නා.

ස්ටෝන් ඔහු සමඟ වෝල් ස්ට්‍රීට් චිත්‍රපටයේ වැඩ කළ ස්ටැන්ලි වයිසර් සමඟ අලුත් ව්‍යාපෘතියකට අත ගැසුවා. එය වූයේ ඩබ්ලිවු (2008) නැමැති චිත්‍රපටයයි. එය ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ගේ ජීවිත කතාව පිළිබඳව ගෙතුනක් වුණා. මෙම ආන්දෝලනාත්මක ජනාධිපතිගේ ජීවිතයේ වැදගත් මං සලකුණු ස්ටෝන් මෙම චිත්‍රපට තුළින් තිරයට ගෙන ඒමට උත්සාහ කළා. ඔහුගේ ළමා කාලය, තාත්තාත් සමඟ සම්බන්ධය, බේබදුකමත් සමඟ අරගල කිරීම, ක්‍රිස්තියානි ලබ්ධිය නැවත පිළිගැනීම, දේශපාලන ජීවිතය, ජනපති කාලසීමාව සහ 2003 ඉරාක ආක්‍රමණය ආදී සිදුවීම් චිත්‍රපටයට ඇතුළත් වුණා. ප්‍රධාන චරිතයට ජෝෂ් බ්‍රෝලින් තේරා ගැනුණු අතර ඊට අමතරව ඔස්කාර් නිර්දේශ ලැබූ රිචඩ් ෙඩ්‍රිෆුස්, ජේම්ස් ක්‍රොමිවෙල්, එලන් බර්ස්ටයින් ඇතුළු ප්‍රතිභාසම්පන්න නව නිළි කැලකුත් මීට දායක වුණා. චිත්‍රපටයට හොඳ විචාර හිමි වුණේ විශේෂයෙන් එහි කතා නිවැරදිතාවය සහ රඟපෑම්වලට මහත් පැසසුම් ලබා දෙමින්ය. මේ ප්‍රතිචාර 1991 දී ඔහුගෙම ජේ. එෆ්. කේ. ලැබූ ප්‍රතිචාර සමඟ සසඳද්දී දෛවයේ සරදමක් වැනි වූවා. ස්ටෝන් තමන්ගේ පුද්ගලික මතවාද අමතක කරමින් ආන්දීලනාත්මක චරිතයක් පිළිබඳව අපක්ෂපාති ජීවන චරිත කතාවක් නිර්මාණය කිරීමට තමාට හැකි බව මුළු ලොවටම මේ චිත්‍රපටයෙන් ඔප්පු කර පෙන්වූවා.

ස්ටෝන් වෝල් ස්ට්‍රීට් චිත්‍රපටයේ දෙවන කොටසක් අධ්‍යක්ෂණය කරන බවට 2009 අප්‍ර්ල් මාසයේදී තහවුරු කර සිටියා. මයිකල් ඩග්ලස් වරක් ඔහු ඔස්කාර් සම්මානය දිනූ ගෝර්ඩන් ගෙක්කෝ ගේ චරිතයට නැවතත් එක්වන බවත්, චාලි ශින් ආරාධිත රඟපෑමක යෙදෙන බවත් එම නිවේදනයෙහි කියැවුණා. ඊට අමතරව ෂයා ලබෆ් මෙයට අළුතින් එක් කරගත් චරිතය වුණා. එම චිත්‍රපටය වොල් ස්ට්‍රීට් 2 මනී නෙවර් ස්ලිප්ස් යන නමින් 2010 දී තිරගත වුණා.

ඔලිවර් ස්ටෝන් වියට්නාම් යුද්ධය පිළිබඳව චිත්‍රපට තුනක් සෑදුවා (ප්ලැටුන්, බෝන් ඔන් ද ෆෝත් ඔෆ් ජුලයි, හැවන් ඇන්ඩ් අර්ත්) ඒවායේ කතාවන් යුද්ධයේ වෙනස් පැති තුනක් ගැන වෙන් වෙන්ව සාකච්ඡා කෙරුණු නිර්මාණයන් තුනක් වූ නමුත් ස්ටෝන් ඒවා තමාගේ වියටනාම් ත්‍රිත්වය යනුවෙන් හැඳින්වූවා. මේ චිත්‍රපට තුනම වියට්නාම් යුද්ධය පිළිබඳ ස්ටෝන්ගේ පුද්ගලික අත්දැකීම්වලින් අනුභාවික වූ නිර්මාණ වූවා. ප්ලැටුන් යනු ස්ටෝන්ගේ යුද්ධ සටන් අත්දැකීම් පිළිබඳව අර්ධ ස්වයං චරිතාපදානයක් වූ අතර බෝන් ඔන් ද ෆෝත් ඔෆ් ජුලයි පසුබිම් වුණේ රොන් කෝවික්ගේ ස්වයං චරිතාපදානයයි. හැවන් ඇන්ඩ් අර්ත් සදහා පාදක වුණේ (වෙන් හැවන් චේන්ග්ඩ් ප්ලේසස් - ද ටෲ ස්ටෝරි ඔෆ් ලෙලයි හෙයිස්ලිප්) නැමැති යුද්ධයෙන් තම ජීවිතය බිහිසුණු ලෙස පීඩාවට පත් වියට්නාම් දැරියක් පිළිබඳව ලියවුණු චරිතාපදානයක්.

ස්ටෝන් අධක්ෂවරයෙකු පමණක් නොව වෙසෙස් හැකියාවෙන් සහ සුවිශේෂි කුසලතාවයෙන් යුතු තිර රචකයෙක්. ඔහු සහභාගි වූ තිර රචනා අතර කොනන් ද බාබේරියන් (1982), ස්කාර්ෆේස් (1983), එයිට් මිලියන් වේස් ටු ඩයි (1986) සහ එවීටා (1996) ප්‍රධාන වෙනවා. ඊට අමතරව ඔහු යූ ටර්න් හැර තමා අධ්‍යක්ෂණය කළ සෑම චිත්‍රපටයක් සඳහාම සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් රචනයෙන් දායකවීමට සමත් වී තිබෙනවා.

ඔලිවර් ස්ටෝන් තුන් වරක් ඔස්කාර් සම්මාන දිනා තිබෙනවා. ඔහුගේ චිත්‍රපට සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක්වුණු නමුත් ස්ටෝන්ගේ නාමයට චිත්‍රපට ක්ෂේත්‍රය තුළ අදටත් මහත් පිළිගැනීමක් තිිබෙනවා. ඔහුගේ චිත්‍රපට ඔස්කාර් සම්මාන 31 ක් සඳහා නිර්දේශ වී තිබෙනවා. එයින් 8 ක් රඟපෑම සඳහාත්, 6 ක් තිර රචනය සඳහාත්, 3 ක් අධ්‍යක්ෂණය සඳහාත් වූවා.

ස්ටෝන්ගේ චිත්‍රපට බොහෝ විට ඓතිහාසික සාවද්‍යතා සහ කුමන්ත්‍රන න්‍යායන් (රහස් මෙන්ම බලවත් කාරකයෙකු හෝ සංවිධයක කුමන්ත්‍රණයක් ඇතැයි යන මතය) අනුබල දෙන බවට විවේචනවලට ලක් වුණා. ඇත්තක් හෝ ගෙතුවක් (ප්‍රබන්ධයක්) වුවත් ඔහුගේ චිත්‍රපට හැමවටම මනුෂ්‍යත්වයේ යම් අංගයක් සහ මනුෂයින්ට ජීවිතයේ අත්දකින්නට ලැබෙන පීඩාවන්, මහත් විපත්, හිරිහැර මෙන්ම විජයග්‍රහණ ගැනද අවධානය යොමු කර තිබෙනවා. පල්ප් රචකයෙකු හැටියට බොහෝ විට හංවඩු ගැසුණු නමුත් ස්ටෝන් පසුගිය දශක දෙකකට අධික කාලය තුළට වඩාත්ම කතාබහට ලක්වුනු එමෙන්ම වින්දනයට ලක්වුණු චිත්‍රපට රැසක් රචනා කර අධ්‍යක්ෂණය කර තිබෙනවා. අනුභාවික (නිර්මාණාත්මක කර්යයකට ප්‍රබෝධය, අනුප්‍රාණය, උත්පාදනය දෙන) මිනිසුන් සහ ඔවුන්ගේ කතාන්තර ගැන අදටත් ස්ටෝන් නොනවතින ගවේශනයක යෙදෙනවා.

PERSONAL QUOTE

මං මගේ චිත්‍රපට හදන්නේ හරියට එක මිනිත්තුවක් (ඊළඟ මිනිත්තුව) හරි මඟ හැරුණොත් ඔබ මැරෙන්න පුළුවන් යයි සිතෙන ආකාරයටයි. ඉතින් මගේ චිත්‍රපට නරඹන අතරේ වෙන මොනවාටවත් හිත යවන්න එපා.