වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ කාලයේ දිරිය දියණියකගේ කතාව

 

“දඟකාරී මම ඔබේම දෝණි ඔබට අකීකරු නැහැ අම්මේ”

අපේ කාලයේ දිරිය දියණියකගේ කතාව

 

සුනිල් අරුණ වීරසිරි

ඩොනල්ඩ් ජයසූරිය ලංකාවට පැමිණෙන්නේ තම එකම මිත්‍ර ලෙනාර්ඩ් ජයවර්ධනගේ අවමංගල කටයුතුවලට පැමිණීමට නොහැකි වූ නිසාය. ලෙනාර්ඩ් ජයවර්ධනගේ වියෝවෙන් පසු එම නිවසේ ජීවත් වන්නේ බිරිඳ පද්මා ජයවර්ධන සහ එකම දියණිය තිලිණිය.

තිලිණි හිතුවක්කාර තරුණියකි. ඇගේ හිතුවක්කාරකමට මුල් වන්නේ ලෙනාර්ඩ් මිය යෑමෙන් පසු ඔහුගේ දේපළවලට ලොබ බැඳ ගෙන සිටි එකම සහෝදරිය, කපටි ගැහැනියක වන ලැටීෂියාට එය අහිමි වූ නිසාය. පද්මාගෙන් පලි ගැනීමට සිතන ලැටීෂියා එයට ඉත්තෙක් කර ගන්නේ තිලිණිවය. තම මව ගැන වැරදි ආකල්පවලින් තිලිණිගේ හිත වෙනස් කර රොජර් නම් සල්ලාල තරුණයෙකුට තිලිණි කසාද බන්දවා රොජර් මාර්ගයෙන් දේපළ ලබා ගැනීමයි ඇගේ එකම අරමුණ වන්නේ.

ඩොනල්ඩ්ගේ පැමිණීමත් සමඟ ලැටීෂියා නිසා තිලිණි පත් වී ඇති අවාසනාවන්ත තත්ත්වය පද්මාගෙන් ඩොනල්ඩ්ට දැනගන්න ලැබෙයි.

තම මිත්‍රයාගේ ගෞරවය ආරක්ෂා කර තිලිණි වැටී සිටින අගාධයෙන් බේරා ගැනීමට ඩොනල්ඩ් පද්මාට පොරොන්දු වෙයි. ඒ සඳහා ඔහු නිවසේ රියැදුරු වීර්යා නම් විශ්වාසවන්ත තරුණයාව සම්බන්ධ කර ගනී.

පසුව වීර්යා කෙසේ හෝ රොජර් සමඟ මිත්‍රකමක් ඇතිකර ගෙන රොජර්ගේ සල්ලාල චරිතය පිළිබඳ සියළු රහස් සොයා ගනී.

තිලිණිගේ සහ රොජර්ගේ මංගල දිනය උදා වෙයි. වීර්යාගේ සහ ඩොනල්ඩ්ගේ ක්‍රියා මාර්ගය සපල වෙමින් සියළු දෙනා ඉදිරියේ රොජර් විසින් අනාථ කරන ලද ගැබ්බර තරුණියක් වීර්යා විසින් ඉදිරිපත් කර තිලිණිව රොජර්ගෙන් බේරා ගනී.

වීර්යාගේ වීරකමත්, ඩොනල්ඩ්ගේ සහායත් නිසා තම දියණිය බේරාගැනීමට පද්මාට හැකි වේ. මේ නිසා පද්මාට වීර්යා ගැන මහත් ප්‍රසාදයක් ඇති වෙයි. පද්මා තීරණයක් ගනී. දෙදෙනා අකමැත්තෙන් වුවත් වීර්යාට තිලිණිව විවාහ කර දෙයි.

මෙයින් ලජ්ජාවට පත් තිලිණි වීර්යාගෙන් පලිගැනීමට සිතයි. වීර්යා තිලිණිගේ හිතුවක්කාරී චරිතය යහපත් චරිතයක් කිරිමට උපක්‍රම යොදයි. මේ අතර අතුරුදහන් වී සිටි රොජර් නැවත පැමිණෙන්නේ කුමන අරමුණක් සඳහා ද? රොජර්ගේ ඊළඟ තුරුම්පුව කුමක්ද? ඉදිරියේදී තිරගත වෙන හිතුවක්කාරි සිනමාපටය තුළින් පේ‍්‍රක්ෂක ඔබට මේ සියල්ලටම පිළිතුරු ලැබෙනු ඇත.

මින් පෙර ‘ටිකිරි සුවඳ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුනිල් අරුණ වීරසිරිගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘හිතුවක්කාරී’ ළඟදීම CEL මණ්ඩලයේ සිනමාහල්වල තිරගතවීමට නියමිතය.