වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මැනලද අම්මේ කිරි දෙන්නේ...

මැනලද අම්මේ කිරි දෙන්නේ...
සිනමාහල් හිිමියකුගෙන් චිත්‍රපට සංස්ථාවට සන්දේශයක්

තමන්ගේ හැම ප්‍රශ්නයක්ම තාත්තාට කලින් දැනගන්නේ අම්මාය. සිනමාහලේ අම්මා චිත්‍රපට සංස්ථාවය. සිනමාහලේ ප්‍රශ්න සේරම කියන්නේ චිත්‍රපට සංස්ථාවටය. සිනමාහල චිත්‍රපට සංස්ථාවට අම්මා ලෙස සැලකුවත් සංස්ථාව සිනමාහලට සලකන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි. චිත්‍රපට සංස්ථාව සිනමාහල දෙස බලන්නේ හැම දෙයක්ම සැක කරලාය. ඕනැම පවුලක හොඳ ළමයි වාගේම නරක ළමයින් ද සිටිති. හොඳ සිනමාහල් වගේම නරක සිනමාහල් ද ඇත. එහෙත් හැම සිනමාහලක් දිහාම නරකින් බලන විට හොඳ සිනමාහලට ඇති වෙන්නේ දුකකි.

චිත්‍රපට සංස්ථාවට අවශ්‍ය සිනමා හලෙන් ආදායම පමණි. අපි උදේ පටන් රෑ වනතුරු චිත්‍රපට ප්‍රදර්ශනය කර ලබන ආදායම චිත්‍රපට සංස්ථාවට ගෙවිය යුතු වෙමු. එහෙත් මාසේ අන්තිම දවසට එම මුදල ගෙවා දමන්නට නොහැකි වුවහොත් දඩය 2.5% කි. ඊළඟ මාසයේත් පාඩු විඳ ගෙවන්නට බැරි වුවහොත් අර 2.5% තවත් 2.5% ක වැල් පොලී දඩයකි. අම්මා කුඩම්මා යැයි දැනෙන්නේ මෙවිටය.

චිත්‍රපට සංස්ථා පරීක්ෂක මහතුන් සිනමාහලට කඩා පනින්නේ හරියට පොලීසිය හොර කසිප්පු තිප්පොලකට කඩා පනින්නාක් මෙනි. දැන් සිනමාහල්වල සිටින්නේ ඉතා අඩු සේවක මහතුන් පිරිසකි. සමහර විට කළමනාකරුට නියමිත වේලාවට දෛනික වාර්තා පොත ලියන්නට බැරි වුවහොත් එය විශාල වරදක් ලෙස ඔවුහු සලකති. ඇත්ත නම් සිනමාහල ඇතුළේ සිටිනා ප්‍රේක්ෂකයන් ගණන හා නිකුත් කළ ටිකට් ගණන සමාන නම් එතන වංචාවක් සිදු වී නැත. සිදුවී ඇත්තේ දෛනික වාර්තා පොත නියමිත වේලාවට ලියා ගැනීමට බැරිවීමකි. ඉතින් දඩය ලියන්නේ මහා පරිමාණ ගංජා හේනක් වැටලූ පරිද්දෙනි. අනේ සිනමාහල කරබාගෙන එම දඩ මුදල ගෙවා දමයි.

ඊළඟට සිනමාහලට ප්‍රදර්ශනයට ලබා දෙන චිත්‍රපටයක් අනිවාර්යයෙන්ම දින 15 ක් එම සිනමාහලේ ප්‍රදර්ශනය කළ යුතුය. ප්‍රේක්ෂකයන් සිටියත් නැතත් ඒ පිළිබඳ චිත්‍රපට සංස්ථාව තුට්ටුවකටවත් මායිම් නොකරති. සිනමාහලේ චිත්‍රපටය බලෙන් රඳවා තබයි. දින 15 යනු මාස භාගයකි. ඉතිරි දින 15 සිනමාහල නන්නත්තාරය. මාසේ අන්තිමට මොනවා වුණත් සිනමාහලේ සේවක පඩි, විදුලි බිල අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය. පඩි නෙගෙව්වොත් සේවක පිරිසගේ බිරින්දෑවරු සිනමාහල වටලා මහා ප්‍රශ්නයක් වන්නට පුළුවන. විදුලි බිල නෙගෙව්වොත් ලයිට් කපනු ඇත. ප්‍රදර්ශනය කළ හැක්කේ කළුවරේ ජරමරේ පමණි.

ඕනෑම අලුත් නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නළු නිළියෙක් චිත්‍රපට සංස්ථාවට මැණික් කැට වගේය. ඔවුන් නිපදවන අධ්‍යක්ෂණය කරන රඟපාන ඕනෑම චිත්‍රපටයක් සිනමාහල අනිවාර්යයෙන්ම එබැවින් ප්‍රදර්ශනය කළ යුතුය. සිනමාහල් කළමනාකරු චිත්‍රපට සංස්ථාවට ගොස් අර චිත්‍රපටවල පෝස්ටර් කටවුට් කර තබාගෙන සිනමාහලට ගෙනත් ඒවා අනුන්ගේ තාප්පවල තමන්ගේ පාප්පවලින් අලවා ගම දෙවනත් කර චිත්‍රපට ප්‍රදර්ශනය අරඹයි. චිත්‍රපටය හොඳ නම් ප්‍රශ්නයක් නැත. සෙනඟ පිරී ඉතිරී සිනමාහල ද ගොඩ යයි. චිත්‍රපටය පුස්සක් නම් සිනමාහලට සිනමා දෙවියන්ගේ පිහිටය. (තිස්තුන් කෝටියක් දෙවියන්ට එකතු වූ අලුත්ම දෙවියන්ය). මේ අයුරින් මුළු අවුරුද්දක් පුරා අලුත් අලුත් නා නා මාදිලියේ චිත්‍රපට සිනමාහල ප්‍රදර්ශනය කරයි. චිත්‍රපටය නරක නම් ප්‍රේක්ෂකයන්ගේ ද බැනුම් සිනමාහල ඇසිය යුතුය. එහෙත් මුදල් සංස්්ථාවට ගෙවිය යුතුය. මුදල් ගෙවීම අතපසු වුවහොත් සිනමාහලට චිත්‍රපට තහනම් කරයි. අනේ කොහෙන් හෝ මුදල් සොයා ගෙන සංස්ථාවට ගෙවා ඊළඟ චිත්‍රපටය ලබාගන්නට මොවුන් වෙහෙසෙති.

සිනමාහල් එදා තිබූ සිනමාහල්මය. සේවකයන් ද බොහෝ විට එකම අයය. මෙවුන් ඒ අයගේ චිත්‍රපට තමන්ගේ සිනමාහල්වල ප්‍රදර්ශනය කර එම මුදල් සංස්්ථාවට යවති. එම මුදල් සංස්්ථාවෙන් ලබාගන්නා නිෂ්පාදකවරු අර සිනමාහල් දෙස ඇසක්වත් ඇර බලන්නේ නැත.

සිනමාහල්වලට චිත්‍රපට සංස්ථා සභාපතිතුමා හමුවීමට කලින් අවසර ගත යුතුය. අවසර නැත්නම් හමුවීමට බැරිය. අර අලුතින් එන නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු, නළු නිළියන්ට රතු පලස මතින් සංස්ථා සභාපතිතුමා හමු විය හැකිය. ඒ කුඩම්මා වන හැටිය. සංස්ථාවට මුදල් ගෙවා සිනමාහලේ විකිණීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර, දෛනික වාර්තා ගන්නට සිනමාහල් කළමනාකරුවන් මේස පහකට හෝ හයකට ආසන්න ප්‍රමාණයකට බිල රැගෙන කැරකිය යුතුය. එහෙම ගොස් එහි සීල් ගසා අත්සන් ගසා විඳවන මානසිකවදය තවත් කුඩම්මාගේ සැලකිල්ලකි.

ලස්සනම දෙය සිදු වන්නේ ඊට පසුවය. අර අප අවුරුද්දක් පුරා ප්‍රදර්ශනය කළ චිත්‍රපට සඳහා සිනමා සම්මාන උලෙළයන් මහා පරිමාන වියදමක් දරා පවත්වයි. නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන්, කාර්මික ශිල්පින්, නළු නිළියන් විරාජමානව ඒ සිනමා උළෙලට සහභාගි වෙති. අනේ සිනමාහලට එම උලෙළට ආරාධනා පත්‍රයක් තබා එම චිත්‍රපට ප්‍රදර්ශනය කළාට ස්තූතියි කියාවත් ලියා ලිපියක් නැත.

මාගේ පියා පඤ්ඤාදාස විජේවික්‍රම වැලිගම චාන්දනී සිනමා නිර්මාතෘ දැනට වසර තුනකට පෙර අපෙන් වෙන් වී ගියත් අද ද ඔහු සිනමාහලේ ලොකු පුටුවේ වාඩි වී සිටිනා බව මට දැනේ. දුක තාත්තා මිය යන තුරුම ඔහුට එකදු සිනමා උලෙළකටවත් ආරාධනා පත්‍රයක් නොලැබීමය. මොන තරම් චිත්‍රපට ප්‍රදර්ශනය කර ආදායම් සංස්ථාවට යවන්නට ඇතිද? එම උලෙළවල්වල වැඩිම ආදායම ලබන චිත්‍රපටයට ද සම්මානයකි. ජනප්‍රියම නළු නිළියන්ටද සම්මානයකි. මේ සියල්ල මහජනයා දකින්නේ අප වන් සිනමාහල්වල විශාල තිරවලින් බව සම්මාන ගන්නා ඔවුනට ඒ වෙලවේදීවත් මතක් නොවීම පුදුමයකි. හේතුව අප හෝල්කාරයන්ය. ඔවුහු අග්‍රගණ්‍ය නළු නිළියන්. සම්මාන උලෙළ දා නළු නිළියන් ෆොටෝ ගසති. සෙල්ෆි ගසිති. පුරසාරම් දොඩවති. අනේ අපි සිනමහල් තුළට වී ටිකට් කඩති, දෛනික වාර්තා ලියති, ප්‍රොජෙක්ටර් කරකවති.

ඒ එක්කම ඔෆිස් කාමරයේ තියෙන පුංචි රේඩියෝවෙන් වික්ටර් රත්නායකයන්ගේ මියුරු ගීයක් මට ඇසේ. ළිඳෙන් වතුර බීලා, ළිඳෙන් වතුර නාලා, ළිඳට ගල් ගසාලා, වතුර බොර කරයි මිනිසා, ගහට ආවඩයි . . .