වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මං කලාකරුවෙක් මස් කඩකාරයෙක් නෙවේ

මං කලාකරුවෙක් මස් කඩකාරයෙක් නෙවේ

නාටක මාරයි ගෙනෙන සුරංග සතරසිංහ

හොඳ උල්පතක් ලේසියෙන් හිඳෙන්නේ නැහැ

මං ජනප්‍රිය ද කියලා මං දන්නේ නැහැ

මේ ඉන්නේ සුරංග සතරසිංහ. නමින් වැඩි දෙනෙකු නොදන්නවා වුණාට ඔහුගේ රුව සහ හඬ මේ වන විට ඉතාමත් ජනප්‍රියයි. දෙරණ නාළිකාවේ විකාශය වන නාටක මාරයි හතේදි මාරයි නමැති හාස්‍යෝත්පාදක නාට්‍ය මාලාව තුළින් ඔබ හමුවන සුරංග දක්ෂ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු ද වෙනවා. ඒ වගේම නාටක මාරයි හතේදි මාරයි ලියන්නෙත් මේ සුරංග. කලාවේ අංශ කිහිපයකින්ම දස්කම් පෙන්වන ඔහුව අපි මෙලෙස කතාබහකට එකතු කර ගත්තා.

* සුරංග, කොහොමද ඔබේ ජීවිතය මේ දිනවල ගෙවෙන්නේ? නාටක මාරයි හතේදි මාරයිට අමතරව වෙනත් නිර්මාණකරණයක යෙදෙනවාද?

නැහැ. ඇත්තම කිව්වොත් නාටක මාරයි වෙනුවෙන්ම මගේ ජීවිතේ කැප වෙලා. ඒත් එක්කම ඒ ටෙලි නාට්‍ය මාලවේ ශිල්පීන්ව ප්‍රසංග වේදිකාව සඳහා ද හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ හින්දා හැකි පරිදි ප්‍රසංග වේදිකාවට ගොඩ වෙලා ප්‍රේක්ෂකයන්ව පිනවනවා.

* ඔබේ රූපවාහිනී ආගමනය සිදු වන්නේ හිරු නාළිකාවේ ආටක නාටක සමඟින් කියලා වැඩි දෙනෙකු හිතාගෙන ඉන්නවා?

ඒක වැරදියි. මං කලකට ඉහතදී ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් කිහිපයකට එකතු වුණා. බොහොමත්ම පසුකාලීනවයි මා හිරු එකට එන්නේ.

* නමුත් ඔබව වඩාත් ජනප්‍රිය වෙන්නේ ආටක නාටක නිසා නේද?

ආටක නාටක මගේ ජීවිතයේ යම් හැරවුම් ලක්ෂයක් වුණා. විකට නාට්‍ය කලාව මෙතෙක් ආ ගමනේ ප්‍රබල වෙනසක් ඇති කිරීමට ආටක නාටක සමත් වුණා.

* ඔබ ආටක නාටක තුළින් ඉවත් වෙනවා. ඇයි එහෙම වුණේ?

සාමාන්‍යයෙන් මං වැඩකට බැස්සම ඊට උපරිම වෙර යොදලා එය කරනවා. අයේ ඉතින් කාටවත් දොසක් කියන්න බැහැ. මං ඔය නාට්‍ය මාලාවටත් එසේම කළා. ජීවිතයෙන් වැඩි හරියක් ඒ කාලේ කැප කළේ ඒ වෙනුවෙන්. නමුත් මට තේරුම් ගියා අපිව පාවිච්චි කරමින් එයාලා හම්බු කර ගන්නවා කියලා. අපේ වටිනාකම අඩු වුණා. අනික අපිට කිසිම නිදහසක් නැහැ. වැඩ වැඩ වැඩ. මං කලාකරුවකු මිසක මස් කඩකාරයෙක් නෙවෙයිනේ. ටික කාලයක් බලාගෙන හිටියා. ඒත් තත්ත්වේ එලෙසමයි. ඕන මංගල්ලයක් කරගන්න කියලා මං එළියට බැහැලා ගෙදර ආවා.

* ඊට පසුව ඔබට දෙරණෙන් ඇරැයුම් ලැබුණා?

නැහැ. නැහැ. එළියට බැස්ස ගමන් මට කිසිම නාළිකාවකින් කතා කළේ නැහැ. මම ගෙදරට වෙලා කාලයක් හිටියා. මස් කඩකාරයෙක් වෙනවට වැඩිය ඒක හොඳයිනේ. මගේ වටිනාකම එතකෙට නැති වෙන්නෙත් නැහැ. කාලය ගතවෙද්දි මට දෙරණෙන් කතා කළා. ඔක්කෝටම කලින් මං බැලුවේ මට නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන්ද කියලා.

* ඔබේ ප්‍රතිපත්තිවලට දෙරණ එකඟ වුණා?

ප්‍රතිපත්තිවලටත් වැඩිය මට ඕනෑ කළේ අත දිග ඇරලා නිදහසේ කලාව කරගෙන යන්න පුළුවන් පරිසරයක්. දෙරණින් මට ඒ නිදහස උපරිමයෙන් ලැබුණා. දැන් මං ඔවුන් සමඟ ඉදිරියටත් වැඩ කටයුතු කරගෙන යනවා.

* ඇතැම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඔබගේ වැඩි ජනප්‍රියත්වයේ මුල් අඩිතාලම දැමූ හිරු නාළිකාව ඔබ අමතක කරලා කියලා?

මං විශ්වාස කරන කරුණක් තියෙනවා. ඒ මගේ මුල තියෙන්නේ මා ළඟ කියලා. මගේ හදවතෙන් තමයි මගේ කලා ගමන ආරම්භ වුණේ. එතෙන්දි මං ක්‍රියා කළ විදිහ අනුවයි මං ජනප්‍රිය වුණේ. ඒක කොතෙන්දි කොහොම කොයි වෙලාවෙදි හරි මගේ වෙලවට ඒ ඒ දේවල් සිද්ධ වුණා. ඒකයි මට කියන්න තියෙන්නේ.

* සුරංග සතරසිංහ කියන තැනැත්තා කලාවට එන්නේ කොහොමද?

මං ගුවන් විදුලි ශිල්පියෙක්. මං ගුවන් විදුලියට ආවේ 1990 වසරේ. එතැන් පටන් වසර ගණනාවක් මං ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පියකු හැටියට හිටියා.

* ඔබට ඒ කාලයේ හාස්‍යෝත්පාදක ගුවන් විදුලි නාට්‍ය කලවේ පතාක යෝධයින් වන ඇනෙස්ලි, බර්ටි, සැමුවෙල් යන තිදෙනාව හමු වෙනවා?

ඔව්. මං ඒ ගැන තමයි ඊළඟට කියන්න හිටියේ. ඔවුන් එක්ක බලන කොට මං ඉතා පුංචි මිනිහෙක්. නමුත් ඔවුන් මට අවස්ථාවන් ලබා දුන්නා. මමත් පුළුවන් තරම් ඒ අයගෙන් ශිල්පය උකහා ගත්තා.

* සාමාන්‍යයෙන් ගුවන් විදුලි ශිල්පීන්ට ඒ කාලයේ නොයෙක් කෙනෙහිලිකම්වලට මුහුණ දෙන්නට සිදු වුණා. ඔබටත් ඒ තත්ත්වය පොදු වුණාද?

මොකද නැත්තේ, මිහිරි අත්දැකීම්වලට වඩා අමිහිරි අත්දැකීම් තමා තියෙන්නේ. නමුත් මං වැටෙන්නේ නැතුව වවුලා වගේ එල්ලිලා හිටියා.

* හාස්‍යෝත්පාදක කලාව හැම නළුවකුටම අහු වෙන්නේ නැහැ. නමුත් ඔබ එයට මනාව අනුගතව තිබෙනවා?

මේක මට දෙවියෝ දුන්නු තෑග්ගක්. හැමෝටම එහෙම වෙන්නේ නැහැ. අනික යම් කිසි අධ්‍යාපනයක් සහ විනයක් තිබිය යුතුයි මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න.

* නාටක මාරයි හතේදී මාරයි හි පිටපත රචනා කරන්නේ ඔබ. කොහෙන්ද ඔච්චර විහිළු?

සාමාන්‍යයෙන් හොඳ උල්පතක් තියෙන ළිඳක් ලෙහෙසියෙන් හිඳෙන්නේ නැහැ. හාරන්න හාරන්න උල්පත් මතු වෙනවා. මටත් එහෙමයි. ලියන්න ලියන්න අදහස් එනවා.

* සමහරු විහිළු කියලා කියන්නේ දෙපිට කැපෙන වචනවලට?

එහෙම වෙන්න බැහැ. මොකද නාටක මාරයි හතේදි මාරයි බලන පිරිස අතර වැඩිපුරම ඉන්නේ පුංචි ළමයි. අපි ඔවුන්ට ආදර්ශවත් විය යුතුයි. ඒක නිසා මං කවදාවත් දෙපිට කැපෙන වචන භාවිත කරන්නේ නැහැ.

* ඔබ මේ වන විට ජනප්‍රියද?

මට ඒක තක්සේරු කරන්නට බැහැ. හැබැයි මම නළුවා වෙන්නේ කැමරාව ඉදිරියේදී පමණයි. අනෙක් වෙලාවන්වලදී මං සාමාන්‍ය තැනැත්තෙක්. මොනවා වුණත් මට පාරේ බැහැලා යනකොට මිනිස්සු ළඟට ඇවිත් කතා කරනවා. අන්න එතකොට හිතෙනවා මං ජනප්‍රියයි කියලා. හැබැයි මං කොච්චර ජනප්‍රිය ද කියලා මං දන්නේ නැහැ.

* ඔබේ පවුලේ විස්තර සඳහන් කළොත්?

මගේ බිරිය ජෙනී සතරසිංහ. මගේ පුතා සංගීත්. ඔහු විවාහ වී සිටින්නේ උදාරි කෞශල්‍යා එක්ක. උදාරිත් අපේම ක්ෂේත්‍රයේ කෙනෙක්.