|
ඒ කාලේ අපේ නාට්‍ය බලන්න ආවේ මාතර ඉඳන්11 වැනිදා පිළියන්දළ දී උපහාර ලබන ලාල් පාගොඩආරච්චි
‘පොඩ්ඩක් අඬන කොට තාත්තට දුක හිතෙනවා. භාගෙ ටිකට් එකට සල්ලියි, බීම බෝතලේකුයි අරන් දීලා හෝල් එකට අරලනවා. චිත්‍රපටය ඉවර වුණාම තාත්තා ඇවිල්ලා එක්කගෙන යනවා.’
තිරනාටක රචකයකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු, රංගන ශිල්පියකු, සංස්කරණ ශිල්පියකු, ශබ්ද පරිපාලකවරයකු, චිත්‍ර ශිල්පියකු ඇතුළු කේෂ්ත්‍ර ගණනාවක දස්කම් විස්කම් පාන ලාල් පාගොඩආරච්චි ගේ කලා දිවියට මේ වන විට වසර හතළිස් පහකි. පිළියන්දල , බටකැත්තර ‘සරසි කලා කේන්ද්‍රය’ සිය 20 වන සංවත්සරික සැමරුම මෙවර ලාල් පාගොඩආරච්චි කලාකරුවාගේ නිර්මාණ අගැයුම වෙනුවෙන් වෙන්කර ඇත්තේ ඔහුගේ එම සේවයට ගරු කිරීමක් වශයෙනි. ඒ වෙනුවෙන් එම ‘සරසි කලා කේන්ද්‍රය’ මඟින් සංවිධානය කරන ‘සත්‍ය වේ ජය නාට්‍යකරුවකු ගේ පුනරාකථනය’ මැයෙන් ලාල්ගේ නිර්මාණ පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක් එළිදැක්වීම සහ ‘සරසි ප්‍රසාදනී’ ගෞරව සම්මාන ප්‍රධානය උළෙල මෙම 11 වැනි ඉරිදා සවස 3.00 ට පිළියන්දල නගර සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ. මේ ඒ වෙනුවෙන් ලාල් ගේ නිර්මාණ දිවිය පිළිබඳ ලියැවෙන්නකි. පිළියන්දල නගර මධ්‍යයේ මහරගම පාරට හැරෙන ස්ථානයේ ඇති පළමුව හමුවන නිවහන ලාල් ගේ නිර්මාණ දිවියේ තෝතැන්නයි. විෂ වෛද්‍ය විල්මන් පාගොඩආරච්චි මහතාට සහ සෝමාවතී විජේසිංහ මහත්මියට දාව උපන් දරු දෙදෙනාගෙන් එකම පිරිමි දරුවා ලෙස මෙලොව එළිය දුටු ලාල් යන්තම් බහ තෝරන වියේ පටන් කලාවට ඇලුම් කළ අයෙකි. ‘මං හිතන්නෙ කලාව කියන දේ මට සහජයෙන්ම ලැබුණු දෙයක් කියලා. අපේ තාත්තට හොඳට කවි ලියන්න පුළුවන්. සමහරදාට තාත්තා මාවත්, අක්කවත් ඔඩොක්කුවෙ තියාගෙන කවි කියනවා මට යාන්තම් මතකයි. අපේ නැන්දා කෙනෙක් හිටියා එයා ඒ කාලෙ අම්මත් එක්ක නිතරම චිත්‍රපට බලන්න යනවා. ඒ ඇවිල්ලා මගෙ ඔළුව අතගගා නින්ද යනකම්ම ඒ කතාවල් කියනවා. හරි රසවත්.’ ලාල් රසවින්දනයට මුලින්ම හුරු වූ ආකාරය පැහැදිලි කරන්නේ ඒ අයුරිනි. ‘අපේ ගේ ඉස්සරහාම තියෙන්නෙ තරුණ බෞද්ධ සමිති ශාලාව. ඒක බලාගත්තෙ සයිමන් කෝට්ටෙගොඩ කියලා කෙනෙක්. සමහරදාට එයා සංගීත කණ්ඩායමක් ගෙනල්ලා පැදුරු පාටි දානවා. ඉඳලා හිටලා එච්. ආර්. ජෝතිපාලත් එනවා කියලා අම්මා කියනවා. මමත් ගිහින් බලාගෙන ඉන්නවා. මේකෙ හිටියා ඉස්ලාම් සින්දු කියන කෙනෙකුත්. එයා නිතරම කියනවා ‘සූරංගල්’ කියලා සින්දුවක්. මට ඒක අහලම කට පාඩම් වෙලා තිබුණා. මේක දැන ගත්ත සයිමන් කෝට්ටෙගොඩ මාව එක්කගෙන යනවා උත්සවවලට මේ සින්දුව කියන්න. මම හුඟාක් පුංචි නිසා කවුරුත් ආසාවෙන් අහගෙන ඉන්නවා. මම කොහේ හරි මඟුල් ගෙදරක ගියත් ‘පුතා සූරංගල් කියන්නකො’ කියලා කියනවා. ඒ තරම් මාව ජනප්‍රියයි. මම හිතන්නෙ මගේ කලා දිවියේ ආරම්භය ඇතිවන්නෙත් සයිමන් කේාට්ටෙගොඩයන් නිසා කියලා. ඔහු නොයෙකුත් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා. මාම්පේ, ගනේවත්ත දේවාලෙ පෙරහැර ඒ කාලෙ හරි ජනපි‍්‍රයයි. මගේ අතටත් කාවඩියක් දීලා කාවඩි කණ්ඩායමත් එක්ක ඉස්සරහින්ම නටවනවා. පුංචි නිසා කාගෙත් ඇස් යොමු වෙන්නෙ මා දිහාට. මං මේ විදිහට කාවඩි නටන පිංතූරයක් ඒ කාලෙ පත්තරවලත් පළ වුණා. තව දවසක් ඇත් ගොව්වෙකුට අන්දලා අලියා ළඟින්ම ගෙනිච්චා. අන්තිම දවසෙ නිලමෙ කෙනෙකුට අන්දලා අලියා පිට උඩ ගෙනිච්චා. ඒකෙ පිංතූරත් පත්තරේ පළ වුණා. ලාල් නාට්‍ය කලාවට අවතීර්ණ වන්නේ ද කෝට්ටෙගොඩයන් නිසා බව ලාල් පවසන්නේ ඉතාම නිහතමානීවය. ‘ඒ කාලෙ කෝට්ටෙගොඩ මහත්තයා හැම වෙසක් එකටම නාට්‍යයක් කරනවා. ගමේ ළමයි තමයි මේ නාට්‍යවල රඟපාන්නෙ. මම තමයි පිළිගැනීමේ ගීතය ගයන්නෙ. ඔය කාලෙම කෝට්ටෙගොඩයන් ‘මගේ ආදරය’ සහ ‘කරුණාව’ කියලා නාට්‍ය දෙකක් කළා. මේ දෙකේම ප්‍රධාන චරිතය රඟපෑවෙ මමයි කුමුදිනී කියලා ළමයෙකුයි. ඒ තමයි මගේ කුලුඳුල් රඟපෑම. හර්බි සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ ‘දරුවා කාගෙද’ චිත්‍රපටය රූගැන් වූවෙ, සෝමවීර චන්ද්‍රසිරි මහත්තයගෙ විශ්ව කලාවෙ. ඒකෙ තිබුණ දර්ශනයකට කෝට්ටෙගොඩ මහත්තයා මාවත් එක්කගෙන ගියා. මට තිබුණෙ කැවුම් කකා අවුරුදු උත්සවයක් දිහා බලාගෙන ඉන්න. ඒක තමයි මං චිත්‍රපට කැමරාවකට මුලින්ම මුහුණ දුන් අවස්ථාව. ලාල් සිනමාවට පෙම් බඳින්නේද මේ අවදියේමය. ‘පිළියන්දල සීදේවි සිනමා ශාලාව විවෘත කළේ මේ කාලෙ. පළමුවෙන්ම මෙහි තිරගත කළේ ‘සුවිනීත ලාලනී’ චිත්‍රපටය. එදා එහි රඟපෑ සියලුම නළු නිළියන් සීදේවි හෝල් එකට ආවා. මමත් පොරකකා ගිහින් බැලුවෙ නළු නිළියො දැක ගන්න තිබුණු ආශාවට. එදායින් පස්සෙ තමයි මම චිතුපට බලන්න ගොඩාක් පෙළඹුනේ. හැම සෙනසුරාදාවකම ඉරිදාවකම මැටිනි ෂෝ එක බලනවාමයි. අම්මා ටිකක් විරුද්ධ වුණා මේකට ඉගෙනීම කඩා කප්පල් වෙයි කියලා. පොඩ්ඩක් ඉතින් අඬනකොට තාත්තට දුක හිතිලා භාගෙ ටිකට් එකට සල්ලියි, බීම බෝතලේකුයි දීලා හෝල් එකට ගිහින් ඇරලනවා. ඉවරවෙන වෙලාවට තාත්තා ඇවිල්ල එක්කගෙන යනවා. පසු කාලයේත් වැඩක් නැති වෙලාවට මම කරන්නෙ හෝල් එක ඉස්සරහට ගිහිල්ලා කතාව අහගෙන ඉන්න එක. විශේෂයෙන්ම ගාමිණී ගෙ ෂෝ ආවහම. මේ හැම චිත්‍රපටයකම දෙබස් පවා මට මතකයි. ගාමිණීට මගෙ තිබුණෙ පුදුම ආසාවක්. හරියට පිස්සුවක් වගේ. ඇත්තටම ලාල්ට සිනමාව පිළිබඳ, එහි ශිල්පීන් පිළිබඳ අදටත් ඇත්තේ අපූර්ව මතකයකි. පැරැණි ඕනෑම සිංහල, දෙමළ, හින්දි සහ බටහිර චිත්‍රපටයක් ගැන ඔහු තතු දනී. ඒ හැකියාව ඔහුට ලැබී තිබුණේ ඔහුගේ මේ පිච්චර් පිස්සුව නිසාය. ලාල් ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවන්නේ 1972 වසරේ ‘මටයි වැරදුනේ’ නම් නාට්‍යය නිර්මාණය කරමිනි. ඉන්පසු ‘සම්පත් ආශා’ ඇතුළු නාට්‍ය කිහිපයකම නිර්මාණ කරුවා බවට පත් වූ ඔහු ආර්. ජී. සිරිවර්ධන නිර්මාණය කළ ‘ගෝනිබිල්ලා’, ‘එකමත් එක රටක’ වැනි එකල ජනපි‍්‍රය නාට්‍ය කිහිපයකම රඟපෑවේය. ‘ගෝනිබිල්ලා’ නාට්‍යයේ ගෝනිබිල්ලා ගේ චරිතයෙන් ඔහු රංගන ශිල්පියකු ලෙස කා අතරත් ජනපි‍්‍රය විය. එය එම වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන හතකට හිමිකම් කීවේය. මේ අවදියේම ධම්ම ජාගොඩයන් යටතේ පැවැත් වූ රංග ශිල්ප ශාලිකාවට බැඳී කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ ඇසුර ලබන්නටත් ඔහු වාසනාවන්ත විය. ශබ්ද පරිපාලකවරයකු ලෙස ඔහු ඉස්මතු වන්නේ ‘සංදීපනී’ රේකෝඩ් බාර් ආයතනයෙනි. එය ඔහු ඉදි කරන්නේ 1981 වසරේ ඔහුගේම නිවසේය. මේ සඳහා ඔහුට ගුරු හරුකම් ලැබෙන්නේ ලාල්ගේ සෑම කලා කටයුත්තකදීම ළඟම සිටි ගී පද රචක පි‍්‍රයානන්ද විජේසුන්දරයන් ගෙනි. පිළියන්දල ප්‍රදේශයේ ආරම්භ කෙරුණු පළමු ශබ්දාගාරය ලෙසත් ඉතිහාසයට එක්වන ‘සංදීපා’ රෙකෝඩ් බාර් ආයතනයට කැසට් පට නිර්මාණයේ වර්ධනයත් සමඟ වැඩ අධික වන්නට විය. සමහරු පාන්දර සිට ගීත පටිගත කර ගැනීමට පැමිණියහ. දිනපතාම සවස් යාමය කලාකරුවන්ගෙන් මෙතැන පිරෙන්නට විය. හේමසිරි හල්පිට, පි‍්‍රයානන්ද විජේසුන්දර, පුන්සිරි සොයිසා, ටෙනිසන් කුරේ, කීර්ති ගාමිණී, ගුණදාස කටුවාවල වැනි කලා කරුවන්ගේ වාසස්ථානය වූයේ සංදීපනී ආයතනයයි. මේ සියලු දෙනාගේ එකතුවෙන් කෙරුණු නිර්මාණ බොහෝය. ලාල්ගේ කලා දිවියේ අපූර්වත්වයක් එක් කළ පැතිකඩක් වන්නේ විවෘත වේදිකා නාට්‍ය කලාවයි. ඔහු මෙයට අවතීර්ණ වන්නේ ‘සිටු කුමාරි’ නම් නාට්‍යය නිර්මාණය කරමිනි. ඒ 1981 වසරයි. ඉන්පසු ‘සුබ දවසක්, සත්‍ය වේ ජය, සුදු නංගි, ආශීර්වාද, සුර ශක්ති සහ සත්‍යවාදී’ ඇතුළු නාට්‍ය කිහිපයක්ම ඔහු අතින් නිර්මාණය විය. සම්ප්‍රදාය ගත විවෘත වේදිකා නාට්‍ය කලාවට නව අරුතක් එක්කරමින් චිත්‍රපටයක ඇති සුන්දරත්වය විවෘත වේදිකාවට ගෙන එන්නට ඔහු සමත් විය. ‘සංදීපනී’ රෙකොඩ් බාර් එකෙන් ලැබෙන මුදල් ඔහු වැය කළේ මේ නාට්‍ය නිර්මාණ සඳහාය. ඔහු නිර්මාණය කළ මෙම නාට්‍ය ප්‍රේක්‍ෂකයාට ගෙන දුන්නේ අපූර්ව වූ රසයකි. දින හතර පහ එක දිගට නිදි වරාගෙන, අසුනක් පවා නොමැතිව, හිටගෙන එක පොදියට මේවා නැරඹූයේ පවුල් පිටින් පිරිවරා ගෙනය. සෑම වසරකම පවත්වන මේ නාට්‍ය මංගල්‍යය නැරඹීමට ගාල්ල, මාතර වැනි දුර බැහැර ප්‍රදේශවල සිට ඔවුන් පිළියන්දලට පැමිණීමට පුරුදුව සිටියහ. එම දිනවලට පිළියන්දල ප්‍රදේශයේ ඇති ඥාති නිවෙස්වලට පැමිණෙන ඔවුන් නැවත ගම රට බලා යන්නේ මේ දවස් හතර පහ ගෙවුණාට පසුය. ‘මම හෝල් එකක 300, 400 ක ජනතාවකට නාට්‍යයක් පෙන්නලා එනකොට ලාල් පිළියන්දල නගරය මැද්දෙ 3000, 4000 ක ජනතාවකට නාට්‍ය පෙන්නනවා නොමිලේ. මේ පිළිබඳ වරක් නාට්‍යවේදී නීතිඥ ඩග්ලස් සිරිවර්ධනයන් ප්‍රකාශ කර සිටියේ එලෙසිනි. දර්ශන වාර 50 කට අධික විවෘත වේදිකා නාට්‍යයක් රඟ දක්වා ඇත්නම් අපේ රටේ ඒ ලාල්ගේම නාට්‍යයක් බව කිව යුතුය. ‘මම නාට්‍යයක් නිර්මාණය කිරීමේ දී හැම අංශයක් කෙරෙහිම උනන්දු වෙනවා. රංගාලෝකය, වෙස්ගැන්වීම, ඇඳුම් පැලඳුම්, රංගනය මේ හැම දෙයක් ගැනම. ඒකට හේතුව විවෘත වේදිකා බොහෝ නාට්‍යවල මං දැකලා තියෙනවා මේ කිසි දෙයක් ගැන එතරම් උනන්දු වෙන්නෙ නෑ. විශේෂයෙන් දෙබස් පටිගත කර ඇති නිසා අත පය එහාට මෙහාට හෙලෙව්වාම ඔක්කොම ෂේප් කියලා හිතන්නෙ. පුහුණුවීම් තුන හතරක් කරලා නාට්‍යය පෙන්වනවා. මම හැම නාට්‍යයක්ම මාස ගණනක් පුහුණුවීම් කරනවා. සම්මත වේදිකාව වගේ නෙමෙයි පටිගත කළ නාට්‍යයක රඟපාන්නත් හොඳට පුහුණු වෙන්න ඕනා. නැත්නම් නාට්‍යයක් නෙමෙයි පෙන්නන්න වෙන්නෙ රූකඩ දර්ශනයක්.’ ඔහුගේ විවෘත නාට්‍ය කලාවේ සාර්ථකත්වයේ රහස එළි කළේ ඒ අයුරිනි. නාට්‍ය පිටපත් රචකයකු ලෙස කීර්තිමත් නමක් ඇති ලාල් තිරනාටක රචකයකු වීමේ භාග්‍යය ලබන්නේ නැසීගිය ගී පද රචක හේමසිරි හල්පිටයන් නිසාය. ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන් අධ්‍යක්‍ෂණය කළ ‘ජැක් ඇන්ඩ් ජිල්’ ඔහු තිරනාටකය ලියූ පළමු චිත්‍රපටයයි. එයට අවස්ථාව ලැබෙන්නේ හල්පිට නිසාය. එතැනින් නොනැවතුණු ඔහු බන්දු සමරසිංහ අධ්‍යක්‍ෂණය කළ ‘ලෙෆ්ට් රයිට් සර්’ සුනිල් අරුණ වීරසිරි නිෂ්පාදනය කරමින් අධ්‍යක්‍ෂණය කළ ‘ටිකිරි සුවඳ’ සහ සුනිල් අරුණ වීරසිරි ගේම නවතම චිත්‍රපටය වන (තිරගත වීමට නියමිත) ‘හිතුවක්කාරී’ චිත්‍රපටවල ද තිරකතා රචකයා ඔහුය. ‘සරසි කලා කේන්ද්‍රය’ සිය 20 වන සංවත්සරික සැමරුම වෙනුවෙන් ලාල් පාගොඩආරච්චි වැනි නිහඬව සේවය කරන කලාකරුවකු ඇගයීමට ලක් කිරීම ප්‍රසංසනීය කටයුත්තකි. එදින සිදුවන තවත් වැදගත් කරුණක් වනුයේ ඔහු නිර්මාණය කළ ‘සත්‍ය වේ ජය’ නාට්‍යය ද වේදිකා ගත කිරීමයි. නොමිලේ රඟදක්වන මේ අවස්ථාවට විවෘත ආරාධනයක් කරන අතරම කලාකරුවන් ඇතුළු ප්‍රභූන් රැසක් ද සහභාගි වීමට නියමිතය.
|