වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




උලත් එකයි පිලත් එකයි

පොලිසියේ හතර-පහ වෙලා
රසවත් සිදුවීම් මැද රූ ගැන්වුණු උලත් එකයි පිලත් එකයි

උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිත තුනක් තිබුණා. ඉන් එකකට අප තෝරා ගත්තේ කලා පවුලකින් පැවත එන ජනප්‍රිය නව පරපුරේ නිළියක්. ඇයට චිත්‍රපටයේ කතා සාරංශය පවා අප කියලා තිබුණා. පිටපත ගෙනත් දෙන්න කිව්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව ළඟට. එයා එතන ප්‍රදර්ශනයක වැඩ කටයුත්තක ඉන්නවා කියලයි කිව්වේ. අපි එතනට ගිහිින් කෝල් ගන්නවා ගන්නවා ඇය ආන්ස්වර් කරන්නේ නැහැ. පැය තුනක් අපි බී. එම්. අයි. සී. එච් එක ඉස්සරහ රස්තියාදු වුණා. එදා තීරණය කළා ඒ චරිතය මීට පෙර කිසිම චිත්‍රපටයක නොසිටි නවක නිළියකට දෙන්න. අහම්බෙන් තමයි අපිට රුක්ෂානාව මුණ ගැසුණේ. ඇයව අප ඩයලොග් ටෙස්ට් එකකට යොමු කළා. ඉන් ඇය ඉහළින් සමත් වුණා. හවස දුරකතනයෙන් ඇයට අප කතා කළා. රුක්ෂානා හිතාගෙන ඉඳලා තියෙන්නේ ඇයව මේ තෝර ගත්තේ චිත්‍රපටයේ සුළු චරිතයකට කියලා. අප කිව්වම ඇය උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට තෝරා ගත්තා කියලා එවලේ ඉඳලා රුක්ෂානා සද්ද නැහැ. මොකක්දෝ වැටෙන සද්දයකුත් එහා අන්තයෙන් ඇසුණා. බැලින්නම් ඒ පණිවුඩයට ඇය තුෂ්නිම්භුත වෙලා. පුටුවක් අරගෙන වාඩිවෙන්න හදද්දී අත වැදිලා පුටුවත් වැටිලා. අප චිත්‍රපටයට ගනිද්දී රුක්ෂානා හිටියේ එකම එක ටෙලි නාට්‍යකයි. නමුත් ඇයට අවස්්ථාවන් රැසක් උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයට තෝරා ගැනීමෙන් පසුව ලැබුණා.

උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ නිෂ්පාදක දිනිත් චමින්ද රණසිංහ කතාබහ ඇරැඹියේ එලෙසින්. මේ ඔහුගේ දෙවැනි සිනමා නිෂ්පාදනයයි. උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ රූගත කරද්දී වෙච්ච තවත් සිදුවීම් කිහිපයක් දිනිත් මෙලෙස දිග හැරියා.

මිහිර සිරිතිලක මෙහි රඟපාන්නේ සාජන්ට සෝම ප්‍රේමචන්ද්‍ර හැටියට. ඔහු තරමක් මෝඩ ගතිගුණ තියෙන කෙනෙක්. ප්‍රේමචන්ද්‍රට සිදු වෙනවා ඉනිමඟක් දිගේ නැගලා තාප්පයකින් පනින්න. අපි රූගත කිරිම් සඳහා යොදාගත් වැලිසර ගෙදර තාප්පය ඊට උචිත බවයි අපට හිතුණේ. නමුත් ඒකේ කම්බි කටු ගහලා තිබුණා. නමුත් මිහිර කිව්වා ඒ තාප්පෙන්ම පනින්නම් කියලා. අපි සෑහෙන්න බය වුණා. මොකද ඒ කම්බි කටු ටිකක් විශාල ඒවා. ඒ වුණාට මිහිර කම්බි අල්ලගෙන බොහොම තාත්ත්විකව රඟපෑවා. අපි එදා මිහිර බිමට බහිනකම් හිටියේ ඇඟේ ලේ වතුර වෙලා. මේ චිත්‍රපටයේ කතාව ඇතුළේ තියෙනවා නදී නමැති චරිතයක්. ඇය ඇඳගෙන ඉන්නේ ඇඳුමක් නෙවෙයි. ටකරමක්. බොහෝ නිළියන් ටකරං අභියෝගය බාරගන්න බැහැ කිව්වා. නොබියව ටකරමක් ඇඳගෙන රඟපාන්න එන්නම් කිව්වේ බියංකා ෆොන්සේකා විතරයි. මං හිතන්නේ චිත්‍රපට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙන්න ඇති නිළියක් ටකරමක් ඇඳගෙන රඟපාන්නේ. චිත්‍රපටය නරඹන බොහෝ දෙනෙක් මේ ටකරං ගෑනු ළමයා ගැන අහනවා. ඒත් එක්කම විමසනවා ඒ ඇදගෙන ඉන්නේ ඇත්ත ටකරමක් ද කියලා. ඔව් ඒක ඇත්තම ඇත්තටම ටකරමක්. රූගත කිරිම්වල යෙදෙන දවසින් වැඩි වෙලාවක් බියංකා මේ ටකරම ඇඳගෙන හිටියා. ඇගේ දෙපා පවා කැපී ගිය අවස්ථා තිබුණත් ඇය ඒ වගක් නොසලකා ඒ අභියෝගාත්මක චරිතය රඟපෑවා. රජිත හිරාන් චාමිකර හෙවත් පිංපොං උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ රඟපාන්නේ ටියුෂන් ගුරුවරයකුගේ චරිතයක්. ඔහු ඇඟපතින් කුඩා වුණත් කටකාරකම ඕනැවටත් වඩා තියෙනවා. චිත්‍රපටයේ දර්ශනයකට අනුව තියෙනවා දර්ශන් ධර්මරාජ් විසින් රජිතගේ පසුපසට පා පහරක් එල්ල කරන්න. රජිතට ඒ පහර ඇත්තටම වැදුනා. චිත්‍රපටයේ ඔහු පා පහර කාලා ඇඹරි ඇඹරි ඇවිදිනවා. ඔහු ඒ කලේ රංගනයක් නෙවේ සැබෑවටමයි. අපි කොටුව ස්ටේෂන් එකේ රූපගත කිරිමක් කළා. රොෂාන් රණවනගේ පිටුපසින් පොලීසියෙන් එලවනවා. ජයතිස්ස අතුලසිරි, අනිල් ජයසිංහ ඇතුළු පොලිස් නිලධාරින් හතර දෙනෙක් රොෂාන්ව ලුහුබඳිනවා. මෙන්න ටිකක් වෙලා යද්දී පොලිස් නිලධාරින් හතර දෙනා, පස් දෙනා වෙලා. අපි බැලුවා කොහොමද එහෙම වුණේ කියලා. බැලින්නම් ස්ටේෂන් එකේ ඉන්න ආරක්ෂක නිලධාරියෙක් රොෂාන් ඇත්තම හොරෙක් කියලා පස්සෙන් එලවලා. අන්තිමේ ඔහුට කිව්වාම මේක රූගත කිරීමක් කියලා ඔහු ලැජ්ජාවට පත් වුණා. ඩිල්ෂානි රඟපාන්නේ මන්ද මානසික තරුණියකගේ චරිතය. ඇය ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ කසාදයක් හරි ගිහින් නැති නිසා. ඇය බලන්නට මනාලයෙක් එන්න හදනවා. ඩිල්ෂානි බුලත් හෙප්පුවත් ළඟ තියාගෙන ඒකෙන් බුලත් කොල කකා දැන් රඟපානවා. කොහොම හරි ඇයට බුලත් කොළ සෑහෙන ප්‍රමාණයක් කන්න සිදු වුණා. ඩිල්ෂානි ටික වේලාවක් මත් වෙලත් හිටියා. දර්ශන් ධර්මරාජ්ගේ චරිතයේ නම කරාපිටියේ දර්ශන්. මැර නායකයෙක්. දර්ශන් ඇතුළු පිරිස ගමේ පොලිස් ස්ථානාධිපතිව පැහැර ගන්නවා. මෙන්න මේ දර්ශනයට අපි වාහන සෑහෙන ගාණක් යොදා ගත්තා. එක පෙළට වාහන වේගයෙන් යද්දී මට විශාල ශබ්දයක් ඇසුණා. දුවගෙන ගිහින් බලද්දී අපේ නළුවෙක් පැදගෙන ගිය බයිසිකලයක් පෙරළිලා තියෙනවා. පාර එහෙම පිටින්ම රතු පාට වෙලා. මට අනේ අපොයි කියවුණා. මං හිතුවේ ඒ ලේ කියලා. ඒත් ඒ ලේ නෙවෙයි. බයිසිකලයේ ටැංකියේ තිබුණු පෙට්‍රල්. මං හිතුවේ ඒ නළුවා ඉවරෙටම ඉවරයි කියලා පාර රතු පැහැ ගැන්විලා තිබුණු විදිහට.

දින තිහකට ආසන්න කාලයක් රූගත කිරීම් පැවති උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය මේ වන විට ඉතාම සාර්ථක අන්දමින් එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වෙනවා. මෙය දෙමළ චිත්‍රපටයක කොපියක් කියලත් මේ දිනවල රාවයක් පැතිරෙනවා. ඒක බොරුවක්. උලත් එකයි පිලත් එකයි හි අන්තර්ගත කතාව සියයට දාහක්ම ස්වතන්ත්‍ර කතාවක්.

ඒ වගේම මේ මෙහොතේ මට නිෂ්පාදනයෙන් සහාය වුණු කේ.ජේ. ඒ. නිශාන්තවත් මතක් කළ යුතුමයි.