වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




රැජින ලියන්න ඊජිප්තුවටත් ගියා

රැජින ලියන්න ඊජිප්තුවටත් ගියා

මොහාන් රාජ් මඩවල

මොහාන් රාජ් මඩවලගේ අලුත් ම නවකතාව ‘රැජින’ ජනගත කිරීමේ මංගල්‍යය මේ මස 14 වැනිදා පස්වරු 3.30ට කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. එහිදී මහාචාර්ය ජේ.බී. දිසානායක, ස්වර්ණා මල්ලවාරච්චි, ඩබ්ලිව්. ජයසිරි කෙටි දෙසුම් පවත්වති. සංවාද මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ අමිත්ත වීරසිංහ විසිනි. මෙහිදී සිදුවන විශේෂ කටයුත්තක් වන්නේ මංගල බණ්ඩාරගේ ‘අබ සරණයි’, ආනන්ද රමනන්ගේ ‘ටිකට් ප්ලීස්’ කෙටි චිත්‍රපට දෙක ප්‍රදර්ශනය කිරීමයි. මේ පෙළ ගැසෙන්නේ ඔහුගේ නවතම කෘතිය ‘රැජින’ පිළිබඳ ‘සරසවිය’ සමඟ කළ සාකච්ඡාවකි.

ඉතිහාසයේ තවත් කතා ඕනෑ තරම් ලියන්නට තියෙද්දී නවකතාවකට අනුලා බිසවගේ චරිතය ම තෝරා ගත්තේ ඇයි?

ඉතිහාසය හදාරද්දි වර්තමානයේ අපට දැනෙන සමාජ ප්‍රශ්නයක් එහි කොතැනක දී හෝ දැනෙනවා නම් එය මගේ සිතේ ඇති කරන්නේ කම්පනයක්. ඒ ඇතිවුණු කම්පනයත් සමඟයි ඉතිහාසයේ ඒ ඒ අවස්ථා ගැන මගෙන් ලියැවෙන්නේ. එහෙම නැත්නම් ඉතිහාසයේ ලියන්න හැකි තවත් කොයිතරම් කතන්දර, අවස්ථා තිබෙනවා ද? ඒ කිසිම අවස්ථාවක් පිළිබඳ නොලියා වර්තමානයට සම්බන්ධ තැනක් හමුවුණොත් පමණයි ඉතිහාසයේ ඒ මොහොත ගැන ලියැවෙන්නේ. මෙයත් එවැනි අවස්ථාවක්.

මහාවංශ කතුවරයා අනුලා බිසව දැක ඇත්තේ සුබවාදීව නොවෙයි නේද?

මහාවංශයේ දි අනුලාව හඳුන්වන්නේ දැඩි කාමුක ගැහැනියක් ලෙසයි. තමන්ගේ ලිංගික සංතර්පණය සඳහා පුරුෂයන් සමඟ සම්බන්ධකම් පවත්වා, ඔවුන් මරාදැමූ කෲර ගැහැනියක් විදියටයි මහාවංශයේ අනුලා ගැන සඳහන් වන්නේ. ඈ පිළිබඳව ඉතිහාසය සොයාගෙන යෑමේ දී ඒ කාරණය නිවැරැදි නොවන බව මට වැටහුණා. එය වැරැදි කාරණයක් යැයි සොයා ගැනීමට මට හැකියාව ලැබුණා.

ඔබ මෙලෙස නිවැරැදි කරන්නේ මහාවංශ හිමියන්ගේ ඒ වැරැද්ද ද?

අනුලා බිසවට පුරුෂයන් සමඟ රමණය කරන්න වුවමනා වුණා නම් දෙමළ මිනිස්සුත් එක්ක ඒක කරන්න වුවමනා නැහැ. ඒ සඳහා ඈට ඕනෑතරම් සිංහල මිනිස්සු මේ රටෙන් සොයාගන්න තිබුණා. මහාවංශය ලියන්නේ මහාවිහාරයේ මහානාම හාමුදුරුවෝ. ඒ හාමුදුරුවන් අනුලාගේ පරිපාලන කාලය දකින්නේ වෙනස් ම විදියකටයි. දෙමළ මිනිස්සු සහභාගි කරගෙන, ඔවුන්ගේ අයකු යුවරජු කිරීම මඟින් දෙමළ මිනිස්සුන්ට රට දෙන්න යන බිසවක් විදියටයි මහානාම හිමියන් අනුලාව දකින්නේ. ඒ සමඟ ඇතිවන ගැටලුව සමඟයි මහාවංශ කතුවරයා ඈ පිළිබඳ එවැනි අර්ථකථනයක් කරන්නේ. ඕනෑ ම ඉතිහාස ලියවිල්ලකට බලපාන්නේ ඒ ලේඛකයාගේ සමාජ දැක්මයි. මහාවංශය ලියන මහානාම හාමුදුරුවන්ටත් උන්වහන්සේ අවට වූ ආගමික, සමාජීය අංශ බලපෑම් කළා. ඊට අමතරව උන්වහන්සේගේ පන්සලට උදවු කරන, දානමාන ආදිය දෙන අය, පන්සලේ වෙහෙර - විහාර ඉදිකරන අයගේ අදහසතුත් උන්වහන්සේගේ ලියැවිල්ලට බලපෑම් කළා. ඊට විරුද්ධව කවුරු හෝ කටයුතු කරනවා නම් එකල එය දැක්කේ විනාශයක් විදියටයි. ඒ තත්ත්වය අද වගේ ම එදාත් එහෙමමයි වුණේ. ඒ නිසා අනුලාව ඔවුන් දුටුවේ වැරැදි කොණයකින්. නමුත් මේ නවකතාවෙදි මා පවසන්නේ ඒක දැඩි වැරැද්දක් බවයි. ඒ වැරැද්දයි නිවැරැදි විය යුත්තේ.

මහාවංශය ඇතුළු අවස්ථා කිහිපයක් හැරැණු විට අනුලා බිසව පිළිබඳ කියැවෙන විධිමත් සාක්ෂි නැහැ. එවැනි චරිතයක් නවකතාවක් විදියට පැමිණියාට පසුව ඒ ඔස්සේ ඉතිහාසය විකෘති වීමක් වුණොත් ඒ කාරණයට වගකියන්නේ කවුද?

ඉතිහාසය කියන්නේ නිශ්චිත ස්ථාවර ලියවිල්ලක් නොවෙයි. එය පරිකල්පන සටහනක්. මහාවංශ කතුවරයා ඒක ලියලා තිබෙන්නේ ඉතිහාසය ලියනවා කියලා සිතාගෙන නොවෙයි. උන්වහන්සේගේ කාලයේ අසා තිබුණු දේවල්, දැක්ක දේවල්, පරම්පරාවෙන් දැනගන්නට ලැබුණු දේවල්, යම් රජෙක් පිළිබඳ උන්වහන්සේගේ අර්ථකථනයි මෙහි සඳහන් වන්නේ. එහෙම නැතිව මේ ලියැවිල්ල යථාර්ථවාදී ලියැවිල්ලක් නොවෙයි. මොක ද මේ ලියැවිල්ලේ ම අපගේ සිතේ පුදුමයක් ඇති කරන දේවල් තවත් ඕනෑතරම් හමුවෙනවා. ඒ නිසා මහාවංශය කියන්නේ පරිකල්පනීය ලියැවිල්ලක්. එහෙම නැතිව ඒක ඉතිහාසය නොවෙයි. වර්තමානයේයි අපි එය ඉතිහාසය ලෙස හඳුනාගන්නවා. ඒ ඉතිහාසය ගැන කියැවෙන වෙන සටහනක් නොමැති නිසා. එතැනයි අද මිනිස්සු වරද්දාගෙන තිබෙන්නේ.

ඔබ පවසන්නේ ඉතිහාසය කියන්නේ සත්‍යයක් නොවන බව ද?

උදාහරණයක් විදියට ඉතිහාසඥයකු දුටුගැමුණු කාලය ගැන අලුත් දෙයක් සොයා ගත්තොත් අප හඳුනා ගත්ත ඉතිහාසය එතැනින් එහාට සම්පූර්ණයෙන් ම වෙනස් වෙන්න පුළුවන්. ඒකයි ඉතිහාසයේ ස්වභාවය වන්නේ. ඉතිහාසය කියන්නේ පරිකල්පනීය ලියැවිල්ලක්. ඒක කවුරුහරි ලිවීම ම පරිකල්පනයක්. උදාහරණයකට අනුව මෑත කාලයේ ලියැවෙනවා තිස්වසරක යුද්ධය ආශ්‍රයෙන් යුද්ධය ගැන පොතක්. ඒ ලියැවිල්ල ලියැවෙන්නේ හිටපු පාලන අධිකාරියට හා ඒ අදාළ පුද්ගලයන්ට වුවමනා විදියටයි. ඒ යථාර්ථය ද? අපි හොඳට ම දන්නවා ඒ ලියැවිල්ලේ තිබුණු බොහෝ දේ වැරැදියි කියලා. එහෙම දන්නේ අපි ඒ යුගයේ ජීවත් වන නිසා. තවත් වසර පනහක් හෝ සියයක් ගියාට පස්සේ තිස්වසරක යුද්ධය කියලා අපේ මිනිස්සු ඉතිහාසය යනුවෙන් ගන්නේ ඒ ලියැවුණු කාරණායි. තවත් වසර සියයකින් පස්සේ ඉතිහාසය කියමින් අපේ දරුවන් හෝ ඒ දරුවන්ගෙත් දරුවන් හඳුනාගන්නේ ඒ ලියැවිල්ලයි. ඒ නිසා ඉතිහාසය කියන්නේ ඇත්ත නොවෙයි. එය පරිකල්පනීය තත්ත්වයක්. එහි තිබෙන සියල්ල බොරුත් නොවෙයි. ඇත්තත් නොවෙයි.

‘රැජින’ නවකතාව ඔබ ලියන්නේ මහාවංශය ඇතුළු අනෙකුත් පොතපතෙන් හෝ වෙනත් සාධකවලින් සොයා ගන්නා තොරතුරු විශ්ලේෂණයෙන් ද?

‘රැජින’ මගේ සිතේ මැවුණු පරිකල්පනයක් පමණක් ම නොවෙයි. ඉතිහාසය ගවේෂණය කිරීමෙන් මා සොයා ගන්න දත්ත හා අනෙක් තොරතුරු ඇසුරු කරගනිමිනුයි නවකතාව ගොඩනඟන්නේ. අනෙක් කාරණය නම් අනුලා ගැන ලියනවා යැයි පවසමින් පුටුවක් උඩට වෙලා මේ මා ඉතිහාසය ලිව්වා නොවෙයි. ඒ නිර්මාණය ලිවීමට අවශ්‍ය කාලපරිච්ඡේදය පිළිබඳ මා අධ්‍යයනයක යෙදුණා. ඒ අනුව මට, අනුලා පිළිබඳ තොරතුරු ලැබුණේ මහාවංශයෙන් පමණක් නොවෙයි, ඒ කාලපරිච්ඡේදයේ ලියැවුණු දේ හා අනෙකුත් සාධක ඔස්සේ ගොස් තොරතුරු සොයාගත හැකිවුණා. උදාහරණයක් විදියට වෙනත් තොරතුරු ඔස්සේ මට හමුවුණු කාරණයක් වන්නේ එකල තිබුණු ඇදහිලි හා විශ්වාසවල අමුතු විදියේ දෙවිවරුන් ඇදහීම පිළිබඳ සාක්ෂියි. ඒ පිළිබඳ සොයාගෙන යනවිටයි මට ඒ කාලවකවානුවේ මිසරයත් සමඟ අපේ තිබුණු සබඳතාව හෙළිවන්නේ. ඒ කාරණය ගැන සොයාගන්න මා ඊජිප්තුවට යනවා. එහිදී අනුලාගේ කාලයේ ඒ තිබුණු ඇදහිලි විශ්වාසවල, මිසරයේ තිබෙන ඇදහිලි හා විශ්වාසවල ඡායාවන් සොයා ගන්නට මට හැකියාව ලැබෙනවා. ඒ අනුව සොයා ගන්නා දත්ත හරහා ඉදිරිපත් කරන පරිකල්පනයෙනුයි ‘රැජින’ බිහිවන්නේ.

‘රැජන’ නවකතාවේ දී මිසරය හා ශ්‍රී ලංකාව සමඟ තිබුණු සබඳතාව පිළිබඳ ඔබ දීර්ඝ විස්තරයක නිරත වන්නේ ඒ සොයා ගන්න තොරතුරු මත ද?

ඒ අනුව සොයා ගන්න තොරතුරු මතයි ඒ සියල්ල ගොඩනැඟෙන්නේ.

අනුලා බිසව පිළිබඳ පාඨකයන්ගේ සිතේ ඇඳීලා තිබෙන්නේ සාමාන්‍ය අදහසක්. ඔබගේ නවකතාව කියැවීමෙන් පස්සේ ඔබ අනුලා බිසවව සාධරණීකරණය කරන්නට උත්සාහ කරනවා යැයි යම් චෝදනාවක් ඉදිරිපත් විය හැකියි?

මහාවංශය ලියැවෙන්නේ පුරුෂ මූලික ඇහැකින්. එවැනි ලියැවිල්ලක තමන්ගේ ජාතිය, ආගමට විරුද්ධ වූ සංකල්පය නිසා, අනුලා පිළිබඳ සඳහන් වෙන්නේ කාමුක ගැහැනියක් විදියට. ඊට අවශ්‍ය සමාජ සාක්ෂි මකලන්තිස්සගේ සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරය හරහා ව්‍යාප්ත වී තිබුණා. ඒ මත හරහායි මහාවංශ කතුවරයා අනුලා පිළිබඳ වැරැදි අයුරෙන් ලියන්නේ. නමුත් මම මේ පිළිබඳ සොයාගෙන යනවිට ලැබුණු තොරතුරු අනුව අනුලා කියන්නේ එහෙම කාමුක බිසවක් නොවෙයි. මුල්කාලයේ මහානාග හා කුඩා තිස්ස නිසා ඈ අතිශය පුරුෂ පීඩනයට ලක්වුණා. ඒ නිසා ම ඈ පසුව පුරුෂයන්ට අකැමැති වුණු ගැහැනියක්. මහාවංශ කතුවරයා ඈට චෝදනා කරන්නේ දෙමළ මිනිස්සුත් සමඟ ඇගේ තිබුණු සබඳතාව මූලික කරගෙනයි. ඒ දෙමළ මිනිස්සුන්ට රට බිලිදෙනවා කියන හැඟීම මතයි. ඒ කාලයේ ම ජාතිය, ආගම මුල්කර ගෙන මිනිස්සු බෙදිලා ඉන්නවා කියන කාරණය මොනතරම් විහිළුවක් ද කියලා අනුලා අවබෝධ කරගෙනයි සිටියේ. මිනිසා කියන්නේ පොදු සමාජ සත්ත්වයකු කියලා අවබෝධ කරගත් ගැහැනියයි මේ තරම් අසාධාරණයට ලක්වන්නේ. ඒ වැටහීම ඇතිව රාජ්‍ය පාලනය කළ නිසයි ඇයව අසාධාරණයට ලක්වන්නේ. එයයි මට ලියන්න වුවමනා වුණේ.

අනුලා බිසවගේ පරිපාලනය ඇතුළේ ඔබ එළාර - දුටුගැමුණු යුද්ධය පිළිබඳත් සඳහන් කිරීමට අමතක කරන්නේ නැහැ?

ඇයි අනුලා බිසව පරිපාලනයට දෙමළ මිනිස්සු සම්බන්ධ කරගන්නේ. ඒ කාරණය ඉතිහාසයත් සමඟ සංසන්දනය කරනවිට ලැබෙන පිළිතුර ඉතා පැහැදිලියි. අනුලා එන්නේ දුටුගැමුණුගෙන් වසර ගණනාවකට පස්සේ. දුටුගැමුණු - එළාර යුද්ධයේ දී ගලාගිය ලේ ගංගාවේ විනාශය අනුලාට දැනෙනවා. ඒ යුද්ධය කිසිම තේරුමක් නැතිව සිංහල දෙමළ මිනිස්සු අතර ඇතිවුණු ගැටුමක්. කාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් ඇතිවුණේ නැහැ. දුටුගැමුණුව එතැනට පත්කරන්නේ බලය විසින්. ඇතැම් ජාතිවාදී හා ආගම්වාදී මිනිසුන්ගේ ඉගැන්වීම් උඩයි දුටුගැමුණු එළාරව මරාදමන්නේ. එළාර අපේ රට වසර හතළිස් හතරක් පාලනය කරනවා. කොහේවත් ඔහු දැහැමි පාලකයකු නොවන බවක් සඳහන් වන්නේත් නැහැ. දුටුගැමුණු විශාල කාර්යභාරයක් කළ බව ඇත්තයි. මේ සියල්ල අනුලා බිසව දැනගෙන සිටියා. ඒ නිසා ම මේ යුද්ධය, ජාතිවාදී බව, ආගම්වාදී බව, කිසිම වැදගම්මකට නැති දෙයක් බව ඈ දැනගෙන සිටියා.

ඔබ මේ නවකතාව කියන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන්. ඒ නිසා ම සමහර අවස්ථාවල ඔබ ඉදිරිපත් වී කතාව කියන්නට යෑම නිසා නවකතාවේ ගලායෑමට බාධා පමුණුවන බවයි පෙනෙන්නේ. මේ පිළිබඳ ඔබට පවසන්න තිබෙන්නේ කුමක් ද?

මේ කතාවේ අන්තර්ගතයත් සමඟ බොහෝ චරිතවල අභ්‍යන්තරය පැහැදිලි කරන්න සිදුවෙනවා. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් මේ නවකතාව ලිව්වා නම් එතැනදි ඒ කටයුත්ත කරන්න මට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසයි ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය නවකතාව ලියන්න තෝරා ගත්තේ.

‘රැජින’ නවකතාව එළිදැක්වීමේ උලෙළ තරමක් වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒ ඇයි?

මිනිස්සු එකම ජාතියක, ආගමක පුරවැසියන් බව ජනිත වන චිත්‍රපට දෙකක් තමයි එදිනට ප්‍රදර්ශනය කරන්නේ. පොතක් එළිදැක්වීමකදි කවදාවත් කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නේ නැති නිසා මේ අත්දැකීම එහි එන අයට වෙනස් අත්දැකීමක් වේවි. එන්න, ඒ වෙනස් අත්දැකීම විඳගන්න. මා සියල්ලන්ට ම ආරාධනා කරනවා.