වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ලෝක සාහිත්‍යයේ පෙරළූ නැවුම් පස අපට ගෙනා සිරිල් සී. පෙරේරා

ලෝක සාහිත්‍යයේ පෙරළූ නැවුම් පස අපට ගෙනා සිරිල් සී. පෙරේරා

විශ්ව සාහිත්‍යයේ සම්භාවනාවට පත් කෘති රාශියක් සිංහල භාෂාවට පරිවර්තනය කළ සිරිල් සී. පෙරේරා මහතා පරිවර්තන සාහිත්‍යය සහ, නාට්‍ය කලාවට දැවැන්ත සේවාවක් ඉටු කළ විද්වතකු ලෙස සාහිත්‍යකාමී ජනතාවගේ බුහුමනට පාත්‍රවෙයි.

සිරිල් සිල්වෙස්ටර් පෙරේරා මහතා 1923 ජුනි මස 23 දින බොරලැස්ගමුවේ බෙල්ලන්විලට නුදුරු බෙල්ලන්තර ග්‍රාමයේ උපත ලැබුවේය. ගල්හේනගේ සයිමන් පෙරේරා නම් වූ තම පියාට අයත් බොරලැස්ගමුවේ මංසන්ධියේ තිබූ පාරම්පරික නිවසට ඔහු පදිංචියට පැමිණියේ ළමා කාලයේදීමය.

සාහිත්‍යය පිළිබඳ තමාට උනන්දුවක් ඇති වූයේ ළමා කාලයේදී බවත් ඊට පසුබිම සැපයුණේ බොරලැස්ගමුවේ දී බවත් ඔහු පසු කලෙක ප්‍රකාශ කර ඇත. ඔහු තම ළමා කාලය පිළිබඳ කර ඇති විස්තරය ආනන්ද ජනකය.

කතා කීම සහ කතා ඇසීම සාහිත්‍යයේ මුල් පාඩම නම් මා අකුරුවත් කියවන්නට කලින් ඒ පාඩම් උගත්තේ බොරලැස්ගමුව හන්දියට පැමිණි කවි පොත් කරයන් දෙදෙනාට සවන් දීමෙනි. සතියකට දෙවරක් පමණ සවස් කාලයේ දී පැමිණෙන මෙම කවි පොත් කාරයන්ගෙන් එකෙක් හන්දියේ පකීර් නමැති මුස්ලිම් වෙළෙන්දාගේ බුලත් කඩය ඉදිරිපිට පාර අයිනේ කුඩය දිග ඇර තබා පොත් මිටිය ලිහා කුඩය ඇතුළේ තබා ඉන් එකක් ගෙන හඬ නඟ කියෙව්වේය. ඊළඟ දවසේ එන අනෙක් පොත් වෙළෙන්දා එතැනම බිම කඩදාසි කොළයක් එලා ඒ මත පොත් සකස් කොට තබා පොතක් ගෙන හයියෙන් කියෙව්වේය. ටික වේලාවකින් එම කවි කතා ඇසීමට රැස්වන අයට ඔහු අත වනා හිස නටවා ඇස් කරකවා කටහඬ උස් පහත් කරමින් පණ පොවා කතාව කීවේය. කතාවට වශීවන මිනිස්සු පොත් මල දී ගත්හ. අපි මේ කවි පොත් කාරයන්ගේ පැමිණීම බොහොම ආශාවෙන් බලා සිටියෙමු. (මීට දෙසතියකට පමණ පෙර සිරිල් සී. පෙරේරා බැලීමට ගිය ඔහු මගෙන් ඇසුවේ දැනුත් ඒ කවි පොත් කාරයන් පැමිණ සිටිනවාද කියායි)

සිරිල් සී. පෙරේරා තමා පළමුවරට පාසල් ගිය ආකාරය පිළිබඳ කර ඇති විස්තරයද අපූරුය. එය ඔහු ගේ වචනවලින්ම පහත දැක්වීමට කැමැත්තෙමි.

‘බොරලැස්ගමුව හන්දියේ දකුණු පැත්තේ දෙහිවලට යන පාර අයිනේ පැරණි නා ගහක් තිබුණ නිසා ඒ දවස්වල බොරලැස්ගමුව හන්දියට කිව්වෙ නා ගස් හන්දිය කියලයි. නා ගහ යට තිබුණ තේ කඩයට මිනිසුන් කිව්වෙ මයින කඩේ කියලයි. මයින කඩය ඉදිරිපිට තිබුණ කාසිම් ගේ කඩයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් ගන්න තිබුණා. දවසක් උදේ තාත්තා කාසිම් කඩෙන් ගල්ලෑල්ලකුයි ගල්කූරකුයි සිංහල හෝඩි පොතකුයි අරගෙන මා රත්තනපිටිය ආනන්ද පාසලට කැඳවාගෙන ගොස් ප්‍රධාන ගුරුතුමා ලවා මට නැකතට අකුරු කියෙව්වා මට අද වගේ හොඳට මතකයි.

විසිවන සියවසේ දෙවන දශකයේ මෙරට ගම්වල පැවති තත්ත්වය සහ ගැමියන්ගේ චර්යා රටාව ඉහත ප්‍රකාශයෙන් මැනවින් චිත්‍රනය වී ඇත.

ඉන් ටික කලකට පසු ඔහුගේ දෙමාපියන් සමඟ කළුබෝවිල පදිංචියට පැමිණීමෙන් පසු සිරිල් සී. පෙරේරා මහතා පිළිවෙළින් නුගේගොඩ ශාන්ත ජෝන් මිෂනාරි පාසලෙන් වැල්ලවත්ත ශ්‍රී වෛශාඛ විද්‍යාලයෙන් සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.

මූලික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු රජයේ කාර්මික විද්‍යාලයේ කලා අංශයට සහ ඉංජිනේරු අංශයට සම්බන්ධ වී චිත්‍ර ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, ගොඩනැගිලි ඉංජිනේරු ශිල්පය, සෞඛ්‍ය ඉංජිනේරු ශිල්පය හා ඊට අනුබද්ධ විෂයයන් හදාරා සැලසුම් ශිල්පියකු ලෙස රජයේ සේවයට බැඳුනේය. කොළඹ ක්‍රමය යටතේ ශිෂ්‍යත්වයක් ලැබ ඕස්ට්‍රේලියාවට ගොස් පුහුණුව ලැබූ එතුමා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි සැලසුම් ශිල්පියකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළේය. මධ්‍යම බෙහෙත් ශාලා, මාතෘ නිවාස සහ රෝහල් ගොඩනැගිලි රාශියකම සැලසුම් නිර්මාණය කරනු ලැබුවේ එතුමායි.

වෛශාඛ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සමයේදී පන්ති සඟරාවක් ආරම්භ කර පවත්වාගෙන යමින් එතුමා සිය සාහිත්‍ය සේවාව ආරම්භ කළේය. අනතුරුව ඔහු විසින් රචනා කරනු ලැබූ කෙටි කතා සහ ලිපි පුවත්පත්වල පළ විය.

රජයේ සේවය කරන අතරතුරම සාහිත්‍ය කලා ශිල්ප කෙරෙහි ලැදියාවක් දැක්වූ සිරිල් සී. පෙරේරා මහතා සිංහල සහ ඉංගී‍්‍රසි සාහිත්‍යය ගැඹුරින් හැදෑරීමෙහි ද නිරත විය. චාල්ස් ඩිකන්ස් ගේ ක්‍රිස්මස් කැරොල් නමැති කෘතිය නත්තල් ගීතය නමින් සිංහලට පරිවර්තනය කොට 1958 දී පළකිරීමෙන් එතුමා සාහිත්‍ය කෘති සිංහලට පරිවර්තනය කිරීමේ චාරිකාව ආරම්භ කළේය. නිකොලායි ගොගොල්ගේ මළ මිනිස්සු, ගුස්ටාව් ප්ලෝබෙයාර් ගේ එමා බෝවාරි, මිහායෙල් ෂොලොහොව් ගේ පෙරළූ නැවුම් පස, දොස්තොවොසේකි ගේ කර්මසෝ සහෝදරයෝ, ලියෝ තොල්ස්තෝයි ගේ යුද්ධය සහ සාමය වැනි දැවැන්ත කෘති ඔහු අතින් සිංහලට පරිවර්තනය විය.

තොල්ස්තෝයි, ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, ගීද මෝපසාං, දොස්තොවොස්කි, ඕ හෙන්රි, කාටර් සිං ඩුගාල් සහ මැක්සිම් ගොර්කි වැනි ලෝක ප්‍රකට ලේකඛයන් ගේ කෙටි කතා සිංහලට පරිවර්තනය කොට කෙටි කතා සංග්‍රහ වශයෙන් එළිදැක්වීමට ද එතුමාට හැකිවිය.

ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්‍ෂණය කළ මකරාක්‍ෂයා, ධවල භීෂණ නමැති නාට්‍ය පිටපත් රචනා කිරීමෙන් එතුමා අතින් නාට්‍ය කලාවට ඉමහත් සේවයක් ඉටු විය.

කිහිපවරක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබූ සිරිල් සී. පෙරේරා මහතා 1979 දී ජාත්‍යන්තර සාහිත්‍ය සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය. රුසියාව, බල්ගේරියාව, ජර්මනිය, කොරියාව ආදී රටවල පවත්වනු ලැබූ පරිවර්තකයන් ගේ සම්මේලනවලට ද මෙතුමා ශ්‍රී ලංකාවේ නියෝජිතයා වශයෙන් සහභාගි විය.

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සාහිත්‍ය අනු මණ්ඩලය, නාට්‍ය අනුමණ්ඩලය, අධ්‍යපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ ද එතුමා දිගු කලක් සේවය කළේය.

සංග්‍රහශීලී සහ මිත්‍රශීලී පුද්ගලයකු වූ සිරිල් සී. පෙරේරා මහතා ආචාර්ය කේ. ජයතිලක, මහාචාර්ය ඒ. වී. සුරවීර, ගුණසේන විතාන, රන්ජිත් ධර්මකීර්ති, මහාචාර්ය තිස්ස කාරියවසම් සහ මා සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගියේය.

විසිවන සියවසේ දී සිංහල පරිවර්තන සාහිත්‍යයට නව පරිච්ජේදයක් එක් කරමින් පුරෝගාමී මෙහෙවරක යෙදුන සිරිල් සී. පෙරේරා මහතාගේ අභාවයත් සමඟම එම පරිච්ජේදයේ නිමාව සටහන් වන්නේය.

සිරිල් සී. පෙරේරා මහතාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනය කරමු.