|
සරසවිය ‘සම්මානලාභී’ කිව්වාම ලොකු ගැම්මක්සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ
ආචාර්ය රෝහණ වීරසිංහ යනු අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී වූ චරිතයකි. ඔහු විශිෂ්ට ගී තනු රචකයකු, සංගීතවේදියකු සේම ගායකයෙකු ලෙසින්ද ක්ෂේත්‍රයට කරන්නාවූ මෙහෙවර අනුපමේය වේ. යුග ගණනක රැව් පිළිරැව් දෙන ගීත විශාල සංඛ්‍යාවකට තනු නිර්මාණය කළ ඔහු සංගීතවේදියකු ලෙසින් දශක තුනකටක් අධික කාලයක් පුරා සිනමා නිර්මාණ රැසකට සංගීතය අධ්‍යක්ෂණය කළේය. ඒවා බොහොමයක් සම්මානනීය වූ අතර ඒ අතුරින් සිය සංගීත ජීවිතයේ ඔහු ලද ප්‍රථම සම්මානය වන්නේ සරසවිය සම්මානය යි. ඒ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘ආරාධනා’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙනි. එය රෝහණ කුළුඳුලේ කළ සිනමා සංගීත අධ්‍යක්ෂණය යි. 34 වසරකට පසු ඒ ජයග්‍රාහි මතකය ඔහු Road to Preatige වෙනුවෙන් යළිත් සිහිපත් කළා.
* ‘ආරාධනා’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට ආරාධනා ලද ඒ අවස්ථාව යළිත් සිහිපත් කරමු? මගේ සංගීත දිවියේ ආරම්භක කාලයේදී තමයි මට විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘ආරාධනා’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට ආරාධනාව ලැබුණේ. ඒ වෙනකොට මම සංගීත නිර්මාණ කටයුතු පටන් අරගෙන අවුරුදු හතක් විතර ඇති. මගේ ගී තනුවලටත් ඉහළ ප්‍රසිද්ධියක් හිමි වෙලා තිබුණා. සුනිල් එදිරිසිංහගේ ‘පාට දේදුණු’, ‘චන්ද්‍ර මඬල බැද්ද වටින්’, එඩ්වඩ්ගේ ‘සීතල පිනි මත’, ‘කරදිය ගැඹරේ’ රෝහණ සිරිවර්ධනගේ ‘ඔබේ අත ගෙන’, නීලා වික්‍රමසිංහගේ ‘සබඳකමක් නැති’ වැනි ගීත ගොඩක් ජනප්‍රිය වුණා. මේ අතරතුර තරංගා ලේබලය යටතේ ටී.එම් ජයරත්නගෙයි නීලා වික්‍රමසිංහගෙයි කැසට් පට දෙකකට ගීත හතරක් හදලා දෙන්න කියලා විජය රාමනායක මහත්තයා මට ආරාධනා කළා. ඒ කැසට් පටවල තවත් සංගීත අධ්‍යක්ෂවරු කිහිපදෙනෙකුගේ ගීතත් ඇතුළත් වුණා. ඒ අතරින් මගේ ‘එක සිත දෙතැනක’, ‘හිරුට හොරෙන්’ , එච් එම් ජයවර්ධනගේ ‘රත්තරන් නෙත් දෙකින්’ වැනි ගීත ගොඩක් ජනප්‍රිය වුණා. ඒ කැසට්පටත් ඉහළ අලෙවියක් වාර්තා කළා. මේ සමඟින් තරංගා අධිපති විජය රාමනායක අපි දෙන්නා ගැන ගොඩක් පැහැදුනා. ඒ නිසා අපි දෙන්නටත් පොඩි අවස්ථාවක් දෙන්න ඕනි කියලා ඔහුගේ ප්‍රථම සිනමා නිෂ්පාදනයේ සංගීත අධ්‍යක්ෂණය යුගල සංගීත අධ්‍යක්ෂවරු දෙදෙනෙක් හැටියට මටයි එච්. එම්ටයි භාර දුන්නා. ඒ අනුව ‘ආරාධනා’ චිත්‍රපටයේ ගීත දෙකක් හදන්න මට අවස්ථාව ලැබුණා. එච්. එම්ට එක ගීතයක් නිර්මාණය කරන්න ලැබුණා. චිත්‍රපටයක් වෙනුවෙන් මා නිර්මාණය කළ ප්‍රථම ගීතය වුණේ චිත්‍රපටයේ තේමා ගීය වූ “ආරාධනා” ගීතය. එය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කරන්න ලැබීම කිසි කෙනෙකු නොලද මම මගේ සංගීත දිවියේ ලද විශාලතම භාග්‍යය යි. ඒ නිසාම මම ඒ ගීතයේ තනු නිර්මාණය කළේ ඉතාම කැපවීමෙන්. ඒ ගීතයේ පද රචනා කළේ කුලරත්න ආරියවංශ. ඔහුත් ‘ආරාධනා’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය අපට භාරදෙන කටයුත්තේ මැදිහත්කරුවෙක්. “ආරාධනා” ගීතය චිත්‍රපටයේ ඉස්මතු වුණා විතරක් නෙවෙයි සරසවිය සම්මාන උලෙළේදී පණ්ඩිත් අමරදේවයන්ට හොඳම ගායනයට හිමි සම්මානයත් කුලරත්න ආරියවංශට හොඳම ගී පද රචනයට හිමි සම්මානයත් හිමිකර දුන්නා. මටත් හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය ලැබුණා. ප්‍රථම ගීතය අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කරන්න ලැබීම වගේම ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය සරසවිය සම්මානයකින් පිදුම් ලැබීමත් එදා ආධුනිකයකු ලෙසින් මා ලද ස්වර්ණමය අවස්ථාවක්. මීට වසර 35ට පමණ පෙර එදා ‘ආරාධනා’ චිත්‍රපටය වෙනුවෙන් මම නිර්මාණය කළ “ආරාධනා” ගීතය වගේම “සීත අරණේ’ ගීතයත් අදටත් එකවගේම ජනප්‍රියයි. ඒ ගැන තියෙන්නෙත් ලොකු සතුටක්. * කුළුඳුලේ සිනමා නිර්මාණයකට සංගීත අධ්‍යක්ෂණය කිරීම අභියෝගයක් වුණාද? චිත්‍රපටයක් කියන්නේ අතිශය දැවැන්ත කර්තව්‍යයක්. එහි තේමාව හොඳීන් වටහා ගෙන අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන පරිදි ඇතැම් අවස්ථාවල රූපයෙන් මතුකළ නොහැකි දේ මතු කරන්නේ සංගීතයෙන්. තමන්ගේම මතයේ පිහිටා නොසිට අධ්‍යක්ෂවරයාගේ කෘතියක් ලෙසින් එය හරිහැටි හඳුනාගෙන කළ යුතු දෙයක්. ඒ වෙන විට චිත්‍රපට ක්ෂේත්‍රයේ සංගීත අධ්‍යක්ෂවරුන් වුණේ, ආචාර්ය කේමදාසයන්, ආචාර්ය වික්ටර් රත්නායකයන්, සරත් දසනායක, එම්. කේ රොක්සාමි, මුත්තුසාමි, සෝමදාස ඇල්විටිගල, ලයනල් අල්ගම, ෂෙල්ටන් ප්‍රේමරත්න වගේ දැවැන්තයන්. අපි ආධුනික කලාකරුවන්. සියලු දෙනාගේම ආශිර්වාදය අපට ලැබුණා. වාදක මණ්ඩලයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. වාදක මණ්ඩලයේ ප්‍රධානියා වුණේ එම්. කේ රොක්සාමි. ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙක් වුණත් පුංචි ළමයෙක් වගේ නිහතමානි කලාකරුවෙක්. අපි ආධුනිකයෝ කියලා හිතන්නේ නැතුව ‘ආරාධනා’ චිත්‍රපටයේ “ආරාධනා” ගීතයේ සංගීත සංයෝජනයට පුදුම දායකත්වයක් ලබා දුන්නා. සංගීත කණ්ඩායමේ සමාජිකයන් තිස් දෙනෙක් විතර හිටියා. ඒ සියලු දෙනාගෙන්ම ලද සහයෝගය ඉතාම ඉහළයි. ඒ වෙනකොටත් මම ගුවන්විදුලියේ වැඩසටහන්වලට සහභාගි වෙමින් සිටි නිසා ඒ සියලු දෙනාම මගේ හැකියාවන් හොඳීන් හඳුනාගෙන හිටියා. ආචාර්ය වික්ටර් රත්නායකගේ සෙවනැල්ල මට ‘සා’ ප්‍රසංගයේදී ලැබුණා. පණ්ඩිත් අමරදේවයන්ගේ, විශාරද නන්දා මාලිනියගේ ප්‍රසංගවලට දායකවී තිබීමත් එයට ප්‍රධාන හේතුවක් වුණා. * සරසවිය සම්මාන උලෙළෙකට ආරාධනාවක් ලැබීම වගේම එහිදී සම්මායකින් පිදුම් ලැබීම ගැන මොකද හිතුනේ? ඒ වෙනතෙක් මම කිසිම සම්මාන උලෙළකට සහභාගි වෙලා තිබුණේ නැහැ. ඒක මට හීනයක් වගේ. 1964 වසරේ ප්‍රථම සරසවිය සම්මාන උලෙළ පවත්වන විට මම පාසල් ශිෂ්‍යයෙක්. අපි ඒ තොරතුරු දැන ගත්තේ පත්තරවලින්. ‘රන්මුතුදූව‘, ‘ගම්පෙරළිය’, ගාමිණි ෆොන්සේකා, පුණ්‍යා හීන්දෙණිය, ජීවරාණි කුරුකුලසූරිය එහෙම සම්මාන ලබන අයුරු පත්තරේ පින්තූරවලින් තමයි අපි දැක්තේ. ඒ වගේ අවස්ථාවකට මටත් සහභාගි වෙන්න ලැබේවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. නමුත් එදා සරසවිය සම්මාන උලෙළේ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් මගේ නමත් කියවෙනකොට ඇති වුණේ තිගැස්මක්. ඒ වෙලාවේ ඇති වුණ වික්ෂිප්ත බව නිසා මොකුත්ම හිතාගන්න බැරි වුණා. සරසවිය සම්මානලාභි යන විශේෂණ පදය නමට එකතු වුණාම සංගීත ගමනේ ලොකු ගැම්මක් ඇතිවුණා. එදා මට මුලින්ම සුබ පැතුවේ පණ්ඩිත් අමරදේවයන්. එතුමා නිරන්තරයෙන් මට ආශිර්වාද කරන කෙනෙක්. එදා මම සංගීතය නිර්මාණය කළ “ආරාධනා” ගීතය අදත් එතුමා ප්‍රසංගවලදී ගායනා කරනු ඇසීමත් ලොකු සතුටක්. * ඉන් පසුව තවත් අවස්ථා කිහපයකදීමත් ඔබ හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලබනවා? 1987 වසරේදී ‘ආදර හසුන’, 1991 වසරේදී ‘සහරාවේ සිහිනය’, 1994 ‘මදාරා පරසතු’, 1996 ‘සෙයිලම’, 1998 වසරේ ‘විසිදැල’ චිත්‍රපටවල සංගීත නිර්මාණ වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මාන මට හිමි වුණා. ඒ වෙනකොට මුල්ම සරසවිය සම්මාන උලෙළට යනවිටදී තිබූ අනපේක්ෂිත බව නැති වෙලා ගිහින් තරගකරුවෙක් කියන සිතුවිල්ල ඇති වෙලා තිබුණා. සරසවිය සම්මාන නාමයෝජනා අතරට එක් වෙලා නම කියවේවිද නැතිද කියලා අහගෙන ඉන්නේ ඇස් පියාගෙන. ඒ වගේම ඒ බොහෝ අවස්ථාවල ආචාර්ය කේමදාසයන්ගේ නිර්මාණත් තිබුණා. 1991 වසරේ මට ‘සහරාවේ සිහිනය’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය ලැබෙනකොට ආචාර්ය කේමදාස විසින් සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයක්ම එතැන තිබුණා. ඒ අතරෙන් මගේ නම කියවුණාම ඇති වුණේ දරාගත නොහැකි සතුටක්. හැබැයි ඒ නිසා මම කවදාවත් ආඩම්බර වුණෙත් නැහැ. සම්මාන ප්‍රතික්ෂේප කළෙත් නැහැ. * එදා සරසවිය සම්මානය සමඟින් ආරම්භ කළ සිනමා සංගීත චාරිකාව ගැන මොකද හිතෙන්නේ? කුඩා වියේ පටන්ම මට ගායන හැකියාව තිබුණා. නවදෙනෙකුගේ පවුලේ බාලයා හැටියට හැමෝගෙම අගය කිරීම මට ලැබුණා. පාසල් අවධියේ පටන් කේ. වී. එස් පෙරේරා, කිත්සිරි අලුත්ගේ වැනි ප්‍රවීණයන් සේම රජයේ කලායතනයේ හොඳ සංගීත ගුරුවරු හමු වුණා. පසුව ආචාර්ය කේමදාසයන්, ආචාර්ය වික්ටර් රත්නායකයන්, පණ්ඩිත් අමරදේවයන් සමඟින් කටයුතු කරන්න ලැබුණා. ඒ හැමදෙයක්ම මේ ගමන එන්න ලොකු බලපෑමක් කළා. හැබැයි පෙර භවයේ සිය පැවත එන ප්‍රතිභාව වගේම වාසනා ගුණය පිහිටීම ගැනත් මං විශ්වාස කරනවා. සිනමාවේදී මට ආරම්භයේ පටන්ම ඉතාම විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සමඟින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒක මා ලද භාග්‍යයක්. විජය ධර්ම ශ්‍රීගේ පටන් ආචාර්ය ඩී. බී නිහාල්සිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න, වසන්ත ඔබේසේකර, ආචාර්ය සෝමරත්න දිසානායක, අශෝක හඳගම, ජැක්සන් ඇන්තනි, බෙනට් රත්නායක වැනි බොහොමයකගේ සිනමා නිර්මාණවලට මම සංගීත අධ්‍යක්ෂණය කළා. මම වැඩි වාර ගණනක් සංගීත අධ්‍යක්ෂණය කළේ එච්. ඩී ප්‍රේමරත්නයන්ගේ චිත්‍රපටවලට. ඒ අතරින් බෙහොමයකට සම්මාන හිමි වුණා. උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ කටයුත්තත් භාර වුනේ මට. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ටෙලි නාට්‍ය කිහිපයකම සංගීත අධ්‍යක්ෂණය කරන්න ලැබුණත් එතුමාගේ සිනමා කෘතියක සංගීතය අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව නොලැබීම ගැන නම් තියෙන්නේ කනගාටුවක්. |