|
||||||||
ඩීවීඩී යට යන්න කියමු
තම තමන් කැමැති දෑ එකතු කරන්නට මිනිසුන් පෙළඹුණේ මිනිස් සිතෙහි උපන් නොතිත් ආසාවන් තුලින් විනිර්මුක්ත වන්නට නොහැකි වූ හෙයිනි.එයට සීමාවක් නැත.කතා එකතු කරන්නට කැමැති වූ මිනිස් සමූහයා මෙන්ම සිනමාවට පෙම් බැඳ චිත්‍රපට විස්තර තාරකා පින්තූර සිහිවටන පමණක් නොව හැකි නම් චිත්‍රපට පවා එකතු කරන්නට පෙළඹුණ මිනිසුන් ද ලොව පුරා එමටය. සිනමාව කතා කියන්නට පෙළඹුණ දවසේ සිට තමා කැමැති චිත්‍රපටයක් කැමැති විටෙක නැවත නැරඹීමේ ආසාව මිනිස් සිත් තුළ ඉපැදීම සාමාන්‍ය කරුණක් විය.එහෙත් චිත්‍රපට එකතු කර ගැනීම පහසු කටයුත්තක් නොවීය. ගෘහස්ථ සිනමාවේ ආරම්භය මේ ආසාවේ ප්‍රතිඵලයයි.එසේ වුව ද එය වඩා ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ ඉතා මෑතක නව තාක්ෂණය සමගය.අපේ රටේ සිනමාහල් සංස්කෘතිය වෙනස් වන්නට පටන් ගත්තේ ද එයට සාපේක්ෂවය.මිනිසාගේ කාර්ය බහුලත්වය වැඩිවත්ම විනෝදාශ්වාදය උදෙසා නිවසින් පිටව යන්නට නොව එය නිවසට රැගෙන එන්නට සමත් වෙළඳ පොලක් ඇති විය. ලාංකික සිනමාවේ දිශානිතිය ඉතා ඉක්මනින් වෙනස් ව යන්නේය.වසර ගණනාවක් නවීකරණය නොවී එක තැන පල් වූ මෙරට සිනමාවේ වෙළෙඳ පොල තරගකාරී අවදියට පත් වෙමින් පවතී.එහි ලා දේශිය සිනමාව නම් ප්‍රපංචය රැක ගැනීම සඳහා සිනමා හලට අත් වනුයේ සුළු අවස්ථාවකි. එයට හේතුව නම් සිනමාහලට තමා රැක ගැනීම සඳහා වෙනමම හුදකලා අරගලයක යෙදීමට සිදුව ඇති නිසාය.පසුගිය දශකය ලෝක ඉතිහාසය පුරා අප සිතූ පැතූ සියළු දේවල් උඩුයටිකුරු කළ වකවානුවක් විය.සම්ප්‍රදායික මාධ්‍යය සියල්ල ගෙදරට එන්නට පටන් ගැනීමත් සමගය.පැවැති අධිපතිවාදි තේජස ඒ සමග බලා සිටියදී ගිලිහෙන්නට විය. සිනමා උපකරණ පෑන් පැන්සල් ගාණට යෑම මෙහි එක් අවස්ථාවක් විය.සිනමාවේ ඩිජිටල්කරණය ගැන ලොකුවට කයිවාරු ගැසුවද එය පවා මේ විපර්යාසයන් ගේ එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස හැඳීන්වීම යුක්ති සහගතය.මෙම විපර්යාසයන්ට මුහුණ දෙන්නට හෝ හඳුනා ගැන්මට වඩා දශක ගණනක් පුරාම ලාංකික සිනමාව පෙළැඹුණේ එදා වේල යැපෙන්නටය. ඒ ඒ වකවානුවන්ගේ දුවන චිත්‍රපට වල ආදායම් වාර්තා දැක බලා ගනිමින් ස්වයං වින්දනයක සැනසිලි බස් දෙඩවුව ද සමස්ත කර්මාන්තය පුරා විහිදෙන භයානක අනතුර වටහා ගැන්මට වුවමනාවක් කිසිවකුට හෝ නොවීය.නැතහොත් එය වුවමනාවෙන් මග හැරියහ. වඩාත්ම උත්ප්‍රසායට කරුණ නම් සිනමාව සම්බන්ධ සියලු ගැටලු සඳහා අතීතයේ සිට මෙරට බලධාරින් විසඳුම් සොයන ලද්දේ ලංකාව යනු ලෝකයේ ඇති තවත් රටක් යන න්‍යාය මග හැරීමෙනි.නැතහොත් සියලු විපත් සිදුවනුයේ අපට පමණක් යන හීනමානයෙන් යුතුවය. ලංකාව හැරුණු විට කුඩා සිනමා වෙළඳ පොලක් ඇති රාජ්‍යයන් ගේ සිනමාව න් ද අප හා සමාන ගැටළු වලට මුහුණ දුන් අතර ඔවුන් ඒ සඳහා විසදුම් හුදකලා වෙමින් නොසෙවූ බව පෙනී යයි.අසල් වැසි ඉන්දියාවේ හින්දි සිනමාව ව්‍යාප්ත වීමේදී එහිම ඇසෑම් කේරළ වැනි ප්‍රාන්තයන් ගේ සිනමාවන් පමණක් නොව ඉරානය තායිලන්තය තායිවානය වැනි රටවල් සිනමාවන් එයට කදිම නිදසුන් සපයයි.ඔවුන් ලෝකයේ යා හැකි වෙනත් වෙළඳ පොල මානයන් සොයා ගියහ. සිනමා ශාලා එයට සාපේක්ෂව අලුත් ආකෘතින් අත්හදා බැලූහ.කෙසේ වෙතත් මේ සියලු සම්ප්‍රදායන් ගෙන් රැකුණේ අලුතින් සිතූ මිනිසුන් හෝ යාවත්කාලීන වන මිනිසුන් පමණී.සෙස්සන් කවර තරමේ බලපුලුවන් කාරයන් වුව ද ඉක්මනින් වැනසී ගියහ.වර්තමානයේ මෙරට සිනමාවේ ජනප්‍රියම වෙළඳ පොල සාධකයව ඇත්තේ ඩීවීඩී අලෙවියයි. අද රට පුරා සෑම හන්දියකම ඩීවීඩි විකුණනු ලබන්නේය.එම ගෘහස්ථ සිනමා වෙළඳ පොල ආරම්භ කරන ලද වී.එච්.එස් වෙළඳ පොළ ට වඩා පුළුල් ලෙස ඩීවීඩි ඉක්මනින් පැතිරුණේ එකි හේතුවක් වූයේ පරිගණක භාවිතය ඉහල යෑමයි. දෙවැන්න අතේ ඇති මුදලට කොටස් වශයෙන් ගෙවන්නට හෝම් තියටර් අලෙවි වන්නට පටන් ගැනීමය.කලක් සුඛෝපභෝගී භාන්ඩයක් ලෙස වැජඹුණ ගෘහස්ථ සිනමා උපකරණ චීනයට පින්සිදුවන්නට තුට්ටු දෙකට අපේ වෙළඳ පොලට පිවිසීමත් සමගය.මෙම චින භාන්ඩ ජනප්‍රිය වෙළඳ නාමයන් හෝ පේටන්ට් නීති තුට්ටුවට දැමූහ. කෙක්කෙන් හෝ කොක්කෙන් වැඩ කරන ජාතියේ ඒවා විය.ඩීවීඩී සදහා නිකුත් වන කලාපිය නිල තහංචි හමුවේ බොහෝ සුප්‍රකට වෙළඳ නාමයන් සහිත ඩීවීඩි වලට වඩා චීන ඩිවීඩී යන්ත්‍ර කවර ආකාරයේ තැටියක ඇති රූපයක් වුව හොඳීන් පෙන්වා දීමට සමත් විය.කොටින්ම ඩීවිඩි යක් නාව පීරිසයක් දැම්මත් එහි ඇති මල් පවා පෙන්වන ජාතියේ ඒවා විය. ගෘහස්ථ සිනමාව ලොව පුරා පැතිරෙන්න්ට පටන් ගත්තේ වීඩියෝ කැසට් ප්ලෙයරයේ පැතිරීමත් සමගය.ඒ 1976 වසරේ පටන් ය.අපේ රටට විඩියෝ යන්ත්‍ර බහුල වන්නට පටන් ගත්තේ 1979 දී පමණ වුවත් එය බොහෝ විට සුඛෝපභෝගී භාන්ඩයක් ලෙස සැළකිණ. මුලින් විදෙස් ගත වූවන් අත අරුම පුදුම භාන්ඩයක් වූ එය 1984 වසර පමණ වන විට මැද පන්තියේ නිවෙස් වල ට යාන්තමින් එබිකම් කළේය.ඒ වන විට නවීකරණය නොවුන අපේ සිනමාව වෙනුවට 1985 වසර වන විට වීඩියෝ සිනමා හල් ද බොහෝ ප්‍රධාන නගර වල වැහි වහින්නට විය.මේ එතෙක් පැවැති සම්ප්‍රදායික සිනමාවට මුල් වරට පහර වදින්නට වූ අවස්ථාව විය.එකල ජින්තුපිටියේ වසා දැමුනු මයිලන් සිනමාහල වටා වීඩියෝ සිනමාහල් පහලොහක් පමණ එකල වූ බව මගේ මතකයයි. වීඩියෝ පට කුලියට දීම ඇරඹුනේ ද එසමයේය.අද ඩීවීඩී වෙළඳ පොළ මෙන් බහුලව නොතිබුන ද බොහෝ ප්‍රධාන නගර වල වීඩියෝ චිත්‍රපට කුලියට දෙන ස්ථාන රැසක් විය.එමෙන්ම එය ඉතා සරු ව්‍යාපාරයක් විය.ඇතැම් විට වීඩියෝ යන්ත්‍ර ද කුලියට ගත හැකි විය. බොහෝ වීඩියෝ කුලියට දුන් ස්ථානයන්ගේ කැසට් පට සඳහා ඇපයට තබා ගත්තේ ජාතික හැඳුනුම් පතයි. දවසක කුලිය රුපියල් පහලොවක් පමණ විය. බොහෝ විට වාරණයට ලක් වූ චිත්‍රපට සඳහා මෙන්ම ජනප්‍රිය හින්දි හා දෙමළ චිත්‍රපට සඳහා ද තිබුණේ ඉහල ඉල්ලුමකි.සිනමාහල් ඇතුලේ රැඟුම් පාලක මන්ඩලය මගින් සංස්කරණය කළ චිත්‍රපට පෙන්වද්දී එයට යාබද වීඩියෝ සිනමා හල් ඇතුලේ වාරණයකින් තොර චිත්‍රපට බලා ගත හැකි විය. සිංහල චිත්‍රපට හොරෙන් කොපි කරන්නට පටන් ගත්තේ ද මේ අවදියේය.ඒ අලුත් චිත්‍රපට ගෙදරට වී බලන්නට රසිකයා ගේ තිබුණ උනන්දුව නිසාය.විජය රාමනායක නිෂ්පාදනය කළ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ආරාධනා චිත්‍රපටය බම්බලපිටියේ ජිනී වීඩියෝ නම් ආයතනයක් මගින් නීති විරෝධි අන්දමින් පිටපතක් නිකුත් කළේය. එහි දී විජය රාමනායක සිය චිත්‍රපටය වෙනුවෙන් නඩු පැවරූ අතර ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙසට අදාල වීඩියෝ නිෂ්පාදකවරයාට අණ කෙරිණ.මගේ මතකය ට අනුව එහි දී විනිසුරු වරයා කියා සිටියේ විජය රාමනායක මෙයට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටියේ නම් එම මුදල පවා ගෙවන්නට නියෝගය දෙන බවය.කෙසේ වෙතත් මෙරට මුල් වරට නීත්‍යානුකූල මාර්ගයෙන් සිංහල චිත්‍රපටයක් එළි දුටුවේ රත්නපාල මරවනාගොඩ නිපද වූ එච්.ඩී ප්‍රේමරත්න තැනූ දෙවැනි ගමන චිත්‍රපටය සමගයය. එවකට කොළඹ නගරයේ පැවැති ජනප්‍රිය වීඩියෝ මධ්‍යස්ථාන පෙළ ක් වූ මැරතන් වීඩියෝ ආයතනය දෙවැනි ගමන වීඩියෝ වේ නිෂ්පාදක වරුන් වූහ.කෙසේ වෙතත් අනවසර කොපි කිරීම නිසා සිංහල චිත්‍රපට වීඩ්යෝ නිෂ්පාදනයට එකල කිසිවකු හෝ පසු උත්සුක නොවිණ.එහෙත් අලුත් සිංහල චිත්‍රපට තිර ගත වී මාසයක් ගත වන්නට මත්තෙන් හොර විඩියෝ වක් දැක ගන්නට ඉඩ ලැබිණ. ඒ ඇතැම් සිනමා හල් හිමියන් ගේ උපකාර මත චිත්‍රපට තිර ගත වද්දී කැමරාවක් යොදා කොපි කර ගත් චිත්‍රපට එළි දැක්වීමට ජාවාරම්කරුවන් උත්සුක වූ නිසාය.මේ පිටපත් තත්වයෙන් උසස් නොවිණ.ඇතැම් චිත්‍රපට නරඹද්දී සිනමා හලේ බාහිර ශබ්ද ද ඒවාට පිටතින් ඇතුළු ව තිබිණ. මේ කවර ආකාරය වුව පැහැදිලි කරන ලද්දේ සිංහල චිත්‍රපටයට මෙරට ගෘහස්ථ වෙළඳ පොලේ පැවැති ඉල්ලුමය.මෙම ගෘහස්ථ සිනමාවේ විකාශය පිළබඳ ඔබගේ අවධානය යොමු කරවන්නට ද මම කැමැත්තෙමි. අපේ පමණක් නොව ලෝකයේ බොහෝ රට වල සිනමාවේ සම්ප්‍රදායන් උඩු යටිකුරු කරන්නට වීඩියෝ පටය සමත් වූයේය.එය සිනමාහලේ අධිපති මානසිකත්වය බිඳ හෙලන්නට මුල් වූ ප්‍රධාන කරුණ විය.ටෙලිවිෂනය ලෝක සිනමාවේ ස්වර්ණමය යුගය බිඳ හෙලනු ලැබුව ද ඉතා ඉක්මනින් එය චිත්‍රපට පෙන්වීමේ විකල්ප මාර්ගය බවට පත්විය. ගෘහස්ථ සිනමාව යුන ලෝක සිනමාවේ දීර්ඝ ඉතිහාසයක් ඇති කරුණක් විය.සිනමාවේ මුල් යුගයේ සිටම ඇතැම් සිනමා ලෝලින් තම තම හැකි පරිද්දෙන් කැමැති චිත්‍රපට මිළට ගන්නට පුරුදු වූහ.එහෙත් එසේ කළ හැකි වූයේ යමක් කමක් යහමින් ඇති පිරිසකට පමණකි.එහි බලවත් වෙනසක් වූයේ 1965 වසරේ දී සුපර් 8 පටය ලෝකයට සොයා ගැනීමත් සමගය. සිනමා එකතු කරන්නන් වෙනුවෙන් ඇතැම් සමාගම් ජනප්‍රිය චිත්‍රපටයන්ගේ සුපර් 8 ප්‍රමාණයේ පිටපත් නිකුත් කළහ.ජපානයේ මට්ෂුසිටා සමාගම (පැනසොනික්) මගින් වීඑච්.එස් වීඩියෝ පටය නිකුත් කිරිම සමග චිත්‍රපටය ගෙදරට පැමිණීමේ කතාන්දරය අලුත් විය.එහි ලා වඩා මුල පිරුණේ අමෙරිකාව මගින් මැග්නටික් පටය හදුන්වා දීම සමගය. එය ටෙලිවිෂනය නිස්පාදනය සදහා වුව එයටම චිත්‍රපට රිංගවා ගෙදරට යැවීමට ජපානය කළ තිරණය ලෝක සිනමාවේ කතාන්දරය අලුත් මගකට යොමු කිරිමක් විය.පැනසොනික් ගෙනා වීඑච්එස් පටයට ආරම්භයේ දී දැඩි තරගයකට මුහුණ දීමට සිදුවූයේ ජපානයේම සෝනි ගෙනා බීටා මැක්ස් පටය සමගය. බීටා මැක්ස් තත්වයෙන් උසස් එකක් ලෙස සැළකුනත් තරගයෙන් පහසුවෙන් දිනන්නට වී එච් එස් පටයට හැකි වූයේය.එමෙන්ම එය වඩා ජනප්‍රිය වන්නට ද පටන් ගත්තේය.චිත්‍රපටයක් නිපද වුණ සැනින් එය වීඩියෝ වෙළඳ පොලට යවන්නට 1980 වන විට හොලිවුඩ් නිෂ්පාදකවරුන් වග බලා ගත්හ. එහෙත් එහි මාස්ටර් පිටපතින් හැර අන් සියලු පිටපතින් පිටපත කොපි කරද්දී රූපයේ ගුණාත්මක භාවය අඩු වන්නට වීම නිසා අපේ රටේ නිතරම දැක ගන්නට ලැබුනේ වඩා හොඳ පිටපත් නොවේ.වීඩියෝව හරහා චිත්‍රපට නැරඹීමට පුරුදු වූ අප වැන්නන්ට එකල හොඳ පිටපත් සොයන්නටදුෂ්කර ක්‍රියා කරන්නට සිදු විය. හොඳ චිත්‍රපට පිටපත් ලබා ගන්නට හැකි වූයේ එකල වැල්ලවත්තේ (පසුව හැව්ලොක් ටවුමේ) පැවැති ප්‍රෙසස්, බම්බලපිටියේ වීඩියෝ සිටි වැල්ලවත්තේ මොහාන්ස් වැනි ආයතන කිහිපයක පමණී.මේ ආයතනයන්ගේ පිටපත් නිකුත් කරන ලද්දේ සාමාජිකයන්ට පමණක් විය.සාමාජික ගාස්තුව සෙසු වීඩියෝ කුලියට දෙන ස්ථාන වලට වඩා තරමක් ඉහල විය.වෙනත් බොහෝ තැන් වල තිබුණේ අවිදිමත් බාල වර්ගයේ චිත්‍රපට පිටපත් ය. වීඩියෝවට විකල්පයක් ලෙස වඩා පැහැදිලි රූප සහිත තැටියක් නිකුත් වන්නට පටන් ගත්තේ 1978 වසරේ වුවත් එය වෙළඳ පොලට හදුන්වා දීමට තවත් දස වසරකට වඩා කල් ගත විය. ඒ පිලිප් සහ පයනියර් සමාගම් මගින් හදුන්වා දෙනු ලැබූ ලේසර් තැටියයි. එහෙත් එය ඉක්මනින් ම ජනතාව ගෙන් ඇත් වූයේය. ප්‍රෙසස් වැනි ආයතන කිහිප යකම ලේසර් තැටි කුලියට දෙනු ලැබුව ද එය සාර්ථක නොවීය.පැරනි එල් පී තැටියක් සිහියට නංවන මෙම තැටිය ජනප්‍රිය නොවුනේ එකක් එය වී එච් එස් ප්ලෙයරයට සාපේක්ෂව ඉහල මිලක් නිසාම නොවේ. එමගින් චිත්‍රපට ලබා ගන්නට තිබුණ අපහසු ව නිසාමය.මට ජීවිතයේ එක් වරක් පමණක් ලේසර් තැටියක් මින් චිත්‍රපටයක් දැක ගන්නට ඉඩ ලැබුණ අතර ඒ මා හිතවත් නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ නිවහනේ දීය.1996 වසරේ දී මට එලෙස නරඹන්නට ලැබුණේ මයික් ෆිගිස් අධ්‍යක්ෂණය කළ ලීවින්ග් ලාස් වේගාස් චිත්‍රපටයයි.ලේසර් තැටියට විකල්පයක් ලෙස ඉක්මනින් එළි දුටුවේ වීසීඩි (VIDEO COMPACT DISC)තැටියයි.එහි දාරිතාවය අඩු වූ ව ව ද වීඩියෝවට වඩා පැහැදිලි රූප රාමු එමගින් දැක ගන්නට හැකි විය. මේ එතෙක් පැවැති ගීත කැසට් පට වෙනුවට ගීත අඩංගු සංයුක්ත තැටි ඛ්ච්) එළි දකිමින් තිබූ යුගයයි.එම ප්‍රමාණයේ ම රූප සහිත තැටි ඉක්මනින් ජනප්‍රිය වුව ද එයටත් තිබුනේ ඉතා අඩු ආයු කාලයකි .ඒ ඩීවීඩී හදුන්වා දීම සමගය.ඩී වී ඩී (DIGITAL VIDEO DISC)ය පිලිප් සෝනි ටොෂිබා සහ පැනසොනික් එකතුවේ පර්යේෂණයක ප්‍රතිඵලයක් විය. ඩීවීඩිය යනු සිනමාව කරකවා පොළවේ ගසන්නට පටන් ගත්තේ ඒ සමග සිදු වූ සංන්නිවේදන තාක්ෂනික විප්ලවය සමගය.පරිගණකය නිවසින් නිවසට යොමු වන්නට පටන් ගත් අතර එයට සාපේපක්ෂව අන්තර් ජාලය ලොව පුරා ජනප්‍රිය වන්න්ට පටන් ගත්තේය.එය සම්ප්‍රදායික සියලු මාධ්‍යයන්ට අලු ගසන්නට හේතුව විය
මා ඩීවීඩියට යන්න කියන්නේ ඇයි ? අපි ලබන සතියේ කියවමු |
||||||||