|
සෝනක්ෂි-කත්රිනා ගේ චිත්‍රපට දෙක එකවරAkira
බොලිවුඩ් රිදි තිරය බබළවන්නට පෙළ ගැසුණු සිනමා නිර්මාණ අතරේ මේ දිනවල කාගේත් යොමු වූ චිත්‍රපට කිහිපයක් වේ. ඒ අතරින් ‘Akira’ පසුගිය සැප්තැම්බර් 02 වැනිදා සිට තිරගතවීම ආරම්භ කෙරිණි. කරන් ජොහාර් සහ ෆර්හාන් අක්තාර් නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටය ‘Baar Baar Dekho’ ද හෙට (සැප්: 09) සිට තිරගත වීමට නියමිතව ඇත. වීර කාන්තා චරිතයක් වටා ගෙතුණු ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසින් ‘Akira’ විශේෂ වේ. එහි සෝනක්ෂි සිං අකිරා ශර්මා නමින් එම චරිතයට පණ පොවනු ලබයි. අකිරා ශර්මා විශ්වවිද්‍යාල තරුණියකි. සංස්කෘත භාෂාවෙන් අකිරා යන්නෙහි අර්ථය ‘ආශිර්වාද ලත් ශක්තිය’ යන්නයි. අකිරා තම පියාගේ මඟ පෙන්වීම යටතේ සටන් ප්‍රගුණ කර තිබෙන්නේ කුඩා වියේදී ය. සෝනක්ෂි සිං සමඟින් ‘Akira’ හි කොන්කොනා සෙන් ශර්මා සහ අනුරාග් කාශ්‍යප්, අමිත් සාද්, උර්මිලා මහන්තා සහ අතුල් කුල්කර්නි ඇතුළු පිරිසක් ද රංගනයෙන් දායක වෙති. ‘Akira’ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, හොලිවුඩයේ අති සාර්ථක චිත්‍රපටයක් වූ ‘ගජිනි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඒ. ආර් මුරුගදාස් විසිනි. අනුරාග් කාශ්‍යප් ‘Akira’ හි ඉහළ පෙළේ පොලිස් නිලධාරියකුගේ චරිතයට පණ පොවයි. අධිවේගි මාර්ගයක සිදුවන අනතුරක් ඔහුට දකින්නට ලැබේ. තම සහයක නිලධාරින් සමඟින් තුවාල ලත් තැනැත්තා ළඟම ඇති රෝහලට කැඳවාගෙන යාමට සැරසෙන විටදි ඔවුන්ට දකින්නට ලැබෙන්නේ රුපියල් කෝටි අසූවක මුදලකි. එම මුදල මේ පොලිස් නිලධාරින්ගේ අදහස ක්ෂණිකව වෙනස් කරවයි. ඔවුන් තුවාල ලත් තැනැත්තා රෝහල් ගත කිරීම වෙනුවෙට මරාදමා රුපියල් කෝටි අසූව තම සන්තකයට ගනියි. මරා දැමුණු පුද්ගලයා කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයකු වන අතර විශ්වවිද්‍යාල තරුණියකගේ කැමරාවේ මේ සිදුවීම පටිගත වේ. පොලිස් නිලධාරිණියක වෙත මෙම සිදුවීම සුලමුල සෙවීම භාර වේ. සිය පවුලේ නොසැලකිලිමත්කම සහ නේවාසිකාගාරයේ ගැටුමක් නිසා අහිංසක අකිරා ශර්මාටද මෙම සිදුවීමට මැදිවන්නට සිදු වේ. නමුත් අවසානයේ සිදු වී ඇති අසාධාරණයට විරුද්ධව ඇය සටන් කරන්නීය. ‘Akira’ හි සෝනක්ෂිගේ චරිතය සුවිශේෂි වන්නේය. මන්ද චිත්‍රපටය පුරාවටම ඇය තනිව සටන් කරන එඩිතර චරිතයක් වීම එයට හේතුවයි. විචාරකයන්ගේ අදහස නම් ඇය ඉතාම ඉහළ රංගනයක නියැළී ඇති බවයි. එසේම අනුරාග් සහ කොන්කොනා ද ‘Akira’ තුළ තම චරිතවල ඉහළ ප්‍රතිභාවක් පෙන්නුම් කරන බවටද ඔවුන් සඳහන් කරයි. සංස්කරණය, පසුබිම් සංගීතය සහ දෙබස්ද විචාරක පැසසීමට ලක් වී ඇත. සෝනක්ෂි, ‘Akira’ හි විශාල් ධද්ලානි සමඟින් ‘රාජ් රාජ් කේ ‘ ගීතය ගායනා කිරීමටද දායක වී තිබිම විශේෂය. තිරගත වී දින තුනක් ඇතුලත ‘Akira’ ඉන්දීය රුපියල් කෝටි 10.45ක ආදායමක් වාර්තා කළේය.
Baar Baar Dekho
ඔබේ අනාගතය හා අනාගතයේ දී ඔබේ සම්බන්ධතාවලට කුමක් සිදු වී ඇති දැයි වර්තමානයේදී දැක ගැනීමට ලැබුණොත් ඔබ කරන්නේ කුමක්ද? වෙනස් ආකාරයේ කතා තේමාවක් රැගෙන එන 'Baar Baar Dekho' චිත්‍රපටයෙන් කියන්නේ එය යි. සිද්ධාර්ත් මල්හෝත්‍රා සමඟින් කත්රිනා කයිෆ් එහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. බොලිවුඩයට එක්වන නවක අධ්‍යක්ෂිකාවක වන නිත්‍යා මෙහෙරා විසින් ‘Baar Baar Dekho’ අධ්‍යක්ෂණය කර තිබේ. නිත්‍යා මීට පෙර ‘Life of Pi’ සහ ‘The Reluctant’ චිත්‍රපටවල සහය අධ්‍යක්ෂිකාවක ලෙසින් කටයුතු කළාය. මෙම චිත්‍රපටය වෙනුවෙන් මුලදී අමීර් ඛාන්ගේ නමත් ඉන් පසුව රිතික් රෝෂන්ගේ නමත් යෝජනා වුවද අවසානයේ ජායි වර්මා ලෙසින් ප්‍රධාන චරිතය සිද්ධාර්ත් මල්හෝත්‍රාට භාර විය. දීපිකා පදුකෝන්ගේ නම යෝජනා වී තිබු ඩියා වර්මාගේ චරිතයට පණ පොවන්නේ කත්රිනා කායිෆ්ය. ආදර කතාවක් ගෙන එන ‘Baar Baar Dekho’ චිත්‍රපටයේ කතා කරන්නේ වයස අවුරුදු 18 සිට 60 දක්වා පුද්ලයකුගේ ජීවිතය ගැනයි. එය අතීතයේ සිදුවීම් සහ අනාගතයේ සිදුවීම් අතර දෝලනය වන වෙනස්ම ආකාරයේ කතාවකි. එය එම චිත්‍රපටයටම අනන්‍ය වූ සහ අසාමාන්‍ය කතාපුවතක් ලෙසින් රචනා කර තිබෙන්නේ ශ්‍රී රාඕ විසිනි. චිත්‍රපටය ඇරඹෙන්නේ ජායි වර්මා නම් තරුණයා සැණෙකින් වයසට යාම සමඟිනි. පළමු දිනයේ දින දහයකුත්, දෙවැනි දිනයේ වසර දෙකකුත් තෙවැනි දිනයේ වසර දහසයකුත් ආදි ලෙසින් ඔහු වයස් ගත වේ. සිව්වැනි දිනයේදී තමන් මරණයට වුවද පත් විය හැකි බවට සිතා ඔහු කනස්සල්ලට පත් වේ. නමුත් එක්වරම සිදු වූ මේ විපර්යාසය ගැන සොයා ගත යුතුව ඇත. ඒ නිසා මේ අභිරහස් ක්රියාදාමයේ සුලමුල සොයා යාමට ජායි වර්මාට සිදු වේ. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු නළුවෙකු මෙන්ම මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයකුද වන ෆර්හාන් අක්තාර් ‘Baar Baar Dekho’ චිත්‍රපටය ගැන පවසන්නේ මෙවන් අදහසකි. “අපි අපේ සම්බන්ධතාවලින් අත්වන ප්‍රතිඵල දැක ඒවා හොඳ හෝ නරක වී නම් ඒ ගැන කුමක් කරන්නේද යන්න මෙයින් දැක්වෙනවා. ‘Baar Baar Dekho’ චිත්‍රපටය පුරාවට එම ප්රශ්නය සේම එයට ආදාළ පිළිතුර ද යන දෙකම ඇතුළත්.”
|