|
තුන් ඈඳුතු නවකතා සිනමාවට නැඟීමට මම ද දායක වීමි
‘ආරාධනා' චිත්‍රපටය නිෂ්පාදනය කොට නිම කළ විජය රාමනායක දිනක් හවසක හමු විය හැකිදැයි මගෙන් විමසීය. මේ 1982 වසරය. එවකට ඔහුගේ 'තරංගා' කැසට් ව්‍යාපාරය සංගීත ලෝකයේ ජය කෙහෙලි නංවමින් තිබුණි. අමරදේවයන්ගේ 'පාවෙනා නිල් වලාවේ' ඹ්.ර්‍ථ. තැටියට අධික ඉල්ලුමක් තිබුණි. උසස් කලා රස වින්දනයක් ඇති කිරීමට ඔහුගේ තරංගා කැසට් හා එල්. පී. තැටි ඉවහල් විය. නියම කරගත් පරිදි මාත් විජයත් ප්‍රකට අවන්හලකදී හමු වූහ. 'මචං මම 'ආරාධනා' ෆිල්ම් එක හදල ඉවර කළා. විජය ධර්ම ශ්‍රී හොඳට කරලා තියෙනවා. ඒක ලස්සන ෆිල්ම් එකක්. හරියට 'ගඟ අද්දර' වගේ. මට ඊළඟට ඕනෑ ඒ වගේ චිත්‍රපටයක් කරන්න මිස්ටර් ලෙස්ටර් ජේම්ස් පීරිස් එක්ක. උඹට මාව මිස්ටර් පීරිස්ට හඳුන්වලා දෙන්න පුළුවන්ද? මං වගේ මිනිහෙක් එක්ක එයා ෆිල්ම් එකක් කරයිද?' 'විජේ මිස්ටර් පීරිස් මහා සිනමාකාරයෙක් වුණාට හදවතින් පුංචි ළමයෙක්. නිහතමානිකමත් ඒ වගේමයි. උඹට මොකද මිස්ටර් පීරිස් ගැන එකපාරටම මතක් වුණේ?' මම විමසීමි. ඔහු තම අලුත්ම අළු පැහැති මිට්සුබිෂි ලාන්සර් රථය ළඟට ගොස් ඩිකිය ඇර බ්‍රවුන් පේපර් බෑග් එකක් ගෙන එයින් පොතක් එළියට ගත්තේය. 'මේ පොත උඹ කියවලා ඇති. මේක මගේ ජීවිත කතාවට කිට්ටුයි. මේක සිනමාවට නැඟීම මගේ සිහිනයක්' ඔහු මා අත තැබුවේ 'පාර දිගේ' නම් ලැටීෂියා බොතේජු ලියූ නවකතාවය. 'ගඟ අද්දර' නවකතාව ලියුවේ ඇයයි. එය මම පාසල් පුස්තකාලයෙන් කියවා බොහෝ කල් නිසා මම විජයගෙන් නැවත කියවා බැලීමට ඒ පොත ඉල්ලා ගතිමි. 'උඹ මට වැඩ දෙකක් කරන්න ඕනෑ. එක උඹ ලෙටීෂියා නෝනාව හඳුනනවා. මම දැක්කා 'නවයුගය' පත්‍රයේ ඒ නෝනා ගැන උඹ ලියලා තියෙනවා. දෙක ඒ කතාවේ තිර නාටකය ලියන්න තිස්ස අබේසේකර ගාවට එක්ක යන්න ඕනෑ.' පළමු කොට අපි රාජගිරියේ ශාන්ත ස්ටීවන් පාරේ ගල් පල්ලිය අසල පිහිටි ලැටීෂියා බොතේජු මහත්මියගේ නිවසට ගොස් පොතේ අවසර ලබා ඉන් පසු ඒ නිවසට යාබද නිවසේ සිටි තිස්ස අබේසේකරයන් හමු වී පොතත්, තිර නාටකය ලිවීමට අත්තිකාරම් මුදලක් ද දුන්නෙමු. වීර ගතියෙන් හා නොකැලැල් ආත්ම ශක්තියකින් ද හෙබි චරිත නිරූපණයක් කථානුසාරයෙන් බාල පරම්පරාව ඉදිරියේ ගෙනහැර දැක්වීම තමා මේ පොත ලිවීමෙන් බලාපොරොත්තු වූ බව ලේඛිකාව අපට කීවා මතකය. තිස්ස 'ගඟ අද්දර' නකතාවෙන් අපූරු තිර නාටකයක් ලියුවා සේම 'පාර දිගේ' නවකතාව තුළින් සිනමාත්මක තිර නාටකයක් ලියා අප අතට පත් කළේ එය අලුත් නමක් 'ගඟට උඩින් කොක්කු ගියා' නම ද තබමිනි. මම ලෙස්ටර් මහතාට කතා කළෙමි. 'මිස්ටර් පීරිස් මගේ හොඳම යාළුවෙක් ඉන්නවා ඔබතුමා එක්ක චිත්‍රපටයක් කරන්න. එයා අපි එක්ක ලේක්හවුස් 'ජනතා' කර්තෘ මණ්ඩලයේ හිටියේ. එයා දැනටත් විජය ධර්ම ශ්‍රී එක්ක ෆිල්ම් එකක් කරලා ඉවර කරලා තියෙන්නේ.' 'එහෙනං එයා මල්ටි මිලියනර් කෙනෙක් වෙන්න ඇති' මිස්ටර් පීරිස් සිනාසෙමින් කීවේය. මම ද සිනාසුණෙමි. 'එහෙනං හෙට උදේ 10 ට විතර එන්න' විජයගේ සතුට දෝර ගලා යයි. අපි පසුදා ලෙස්ටර් - සුමිත්‍රා යුවළගේ නිවසට කියපු වේලාවටම ගියෙමු. 'මේ විජය රාමනායක. ජනතා පත්‍රයේ එඩිටෝරියල් එකේ හිටියේ. මිසිස් පීරිස්ට මතකද? ජනතා 'ලස්සන මුහුණු' තරඟය. ඒකේ ලස්සන කෙල්ලො මුල් වටයට තෝරන්න මිස්ටර් කාරියකරවන කර්තෘතුමා මෙයාට තමයි භාර දුන්නේ. අනෝමා වත්තතලදෙනිය, සුමනා අමරසිංහ, ශ්‍රියාලතා සුබසිංහ එහෙම තේරුණේ මේ තරඟයෙන්' මම විජය හඳුන්වා දී ඔහු ගැන හැඳින්විමක් කළේය. 'මෙයා තමයි 'තරංගා...' කියත්ම ලෙස්ටර් මහතා 'අපෝ කවුද 'තරංගා' ගැන නොදන්නේ' යයි කීය. විජය අමරදේවයන්ගේ ඹ් ර්‍ථ තැටියක් මිස්ටර් පීරිස්ට තෑගි කළේය. 'මිස්ටර් පීරිස්, විජය කැමතිම නවල් එක මිසිස් බොතේජු ලියපු 'පාර දිගේ' මම කීවෙමි. 'මම ඒක කියවලා තියෙනවා' සුමිත්‍රා මහත්මිය කීවාය. විජය, තිස්ස ලියූ තිර නාටකය ලෙස්ටර් පීරිස් අතට දුන්නේය. 'මේක හොඳ මිසිස් පිරිස්ට' කියු ඔහු එය තම බිරිඳ ගේ අතෙහි තැබුවේය. තේ පානයෙන් පසු ලෙස්ටර් මහතා පිළිසඳරේ සිටියදී මෙසේ කීය. 'මම මේ දවස්වල 'ගම්පෙරළිය' චිත්‍රපටයේ දෙවන කෙටස 'කලියුගය' ෆිල්ම් කරන්න ප්ලෑන් කරනවා. මාර්ටින් වික්‍රමසිංහගේ ත්‍රිලොජි එක (තුන් ඈඳුතු නවකතාව) සම්පූර්ණ කරන්න. ඩොක්ටර් ඒ. ජේ. ගුණවර්ධන තිර නාටකය ලියලා අපි ඒ ගැන සාකච්ඡා කර කර ඉන්නේ.' මිස්ටර් පීරිස් කීවේය. විජය මා දෙස බැලීය. ඔහුට අවශ්‍ය ලෙස්ටර් ලවා චිත්‍රපටයක් කර ගැනීමටය. 'කමක් නෑ මිසටර් පීරිස්, අපි මේක පසුව මිසිස් පීරිස් ලවා කර ගම්මු. අද ඉඳන් 'කලියුගයේ' වැඩ පටන් ගමු' සිගරැට්ටුවක් දල්වාගෙන නැඟී සිටි විජය මා පසෙකට කැඳවාගෙන තම නවීන පන්නයේ මෝටර් රථය අසලට ගොස් ඩිකිය ඇරියේය. එහි වූ අලුත් කඩදාසි බෑගයක බහා තිබූ මුදල් මිටියක් අතට ගත්තේය. 'මචං උඹ මිස්ටර් පීරිස්ට කියපන් අද හොඳම හොඳ නැකත් දිනයක්. අපි අදම 'කලියුගය' පටන් ගම්මු කියලා. ලෙස්ටර් මහත්තයට කියපන් ඒ සඳහා අත්තිකාරම් මුදලක් මම දෙනවා. බැහැ නොකියා බාර ගන්න කියලා.' මට කී දේ ලෙස්ටර් සුමිත්‍රා යුවළට කීවේ විජය ද ගේ තුළට කැඳවා ගෙන ගොස්ය. විජය මුදල් සහිත බ්‍රවුන් පේපර් බෑගය දෝතින් ලෙස්ටර් මහතා අත තැබීය. ඔහු තුෂ්නිම්භූතව බලා සිටියේය. 'රංජිත් ඔයාගේ යාළුවා පුදුම නිෂ්පාදකයෙක්නේ. මගේ ජීවිතේට කිසිම නිෂ්පාදකයෙක් එග්‍රිමන්ට් අත්සන් කරන්න ඉස්සර මුදල් දීලා නැහැ. අයිසේ රංජිත් මේක නම් ආශ්චර්යයක්. (එඩචබ ච ර්ඪපචජතඥ) තව ටිකක් යාලුව එක්ක කතා කරලා ඒ ගැන තව ටිකක් හිතල බලන්න කියමුද? එවර මා වෙනුවෙන් කතා කළේ විජයයි. 'මම හොඳට හිතල බලලා මේ තිරණය ගත්තේ මිස්ටර් පීර්ස්. අපි 'කලියුගය' ඉවර කරලා 'යුගාන්තයත්' කරමු.' ලෙස්ටර් - සුමිත්‍රා යුවළට සමු දෙමින් කී විජය මා සමඟ මෝටර් රථයට නැඟුණේය. සතියකින් පමණ පසු අප හා ලෙස්ටර් හා සුමිත්‍රා යුවළ ඊළඟ සාකච්ඡාවට සහභාගි වූයේ තිර නාටක රචක ආචාර්ය ඒ. ජේ. ගුණවර්ධන, කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න, සහාය අධ්‍යක්ෂ උපාලි පෙරේරා, සංස්කරණ ශිල්පී ග්ලැඩ්වින් ප්‍රනාන්දු හා රාජ් පෙරේරා සමඟය. 'විජය, කලියුගය ඉතිහාසගත චිත්‍රපටයක් වේවි. ගම්පෙරළිය කරලා හරියටම අවුරුදු 20 කට පස්සේ දෙවැනි කොටස 'කලියුගය' කරන්නේ. ගම්පෙරළියේ ඉන්න ප්‍රධාන චරිත 4 ක් නන්දා, පියල්, අනුලා, තිස්ස. ඒ චරිත රඟපෑ පුණ්‍යා, හෙන්රි, ට්‍රිලීෂියා, වික්‍රම බෝගොඩ දැන් පැසුණු අය. කලියුගයට කදිමට ගැළපෙනවා. ප්‍රශ්නයකට තියෙන්නේ පුණ්‍යාව. එය ඉන්නේ සැම්බියාවේ' ලෙස්ටර් මහතා කීය. 'ඉතින් අපි සැම්බියාවට කතා කරලා එයා ටිකට්ස් දීලා පුණ්‍යා ගෙන්න ගමු. ඒ වැඩේ මිස්ටර් පීරිස්ටයි, මිසිස් පීරිස්ටයි භාරයි' විජය කී යෝජනාව ස්ථිර විය. සියල්ල නිසි ලෙස ඉටු විය. මම මේ සියල්ලේ සම්බන්ධීකාරක වීමු. කලියුගයේ එන පියල් හා නන්දා සිටි මෝදර නිවස අප සොයා ගත්තේ තර්ස්ටන් පාරේ රැජින වීදියට ඇතුළුවීමට තිබෙන පාරේ විශාල ගේට්ටුවක් සහිත දැවැන්ත නිවසය. 'කලියුගය' 1983 වසරේ මාර්තු 04 වෙනිදා තිරගත විය. විජය රාමනායකගේ ලෙස්ටර් මහතාගේ සිහිනය සැබෑ කරමින් 'යුගාන්තය' නිෂ්පාදනය කොට 1985 දෙසැම්බර් 27 දා තිරගත විය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ගාමිණි ෆොන්සේකාය. මාර්ටින් වික්‍රමසිංහගේ තුන් ඈඳුතු නවකතාව සම්පූර්ණ කිරීමට මටත් සම්මාදම් වීමට ලැබීම ගැන ඇත්තේ අසීමිත ප්‍රීතියකි. එහි ගෙෘරවය හිමි විය යුත්තේ විජය රාමනායක නම් මගේ මිතුරාටය. ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් අද්විතීය මහා සිනමාකරුවා ගැන මගේ තවත් මිත්‍රයකු වූ ඩිල්මන් ජයරත්න ඉතා හොඳින් දැන සිටියත්, චිත්‍රපටයක් ඔහු ලවා අධ්‍යක්ෂණය කිරීමේ කපුකමට මැදිවීමට සිදු වූයේ ද මටය. ඩිල්මන් මා හඳුනන්නේ 1965 වසරේ සිටය. කෑගලු විද්‍යාලයීය ශිෂ්‍යයකු වු කොළඹ පැමිණ උසස් සම්භාව්‍ය විදේශ චිත්‍රපට නැරඹීමට පැමිණි රංජිත් ලාල් හා මා හඳුනා ගත් ඔහු අපේ ගජයකු වීමට වැඩිකල් නොගියේය. එකල අපි ආනන්දයේ සිසුන් වීමු. අපි පාසල් යන කාලයේ තැනූ 'වෙර' නම් කෙටි වාර්තා චිත්‍රපටයේ කැමරා ශිල්පියා වූයේ ඩිල්මන්ය. ඉන් පසුව පාසල් වියේම අපි තැනූ 'නිම් වළල්ල' චිත්‍රපටයේ ද ඩිල්මන් කැමරා ශිල්පියා විය. 'රන්ජියෝ, මං මිස්ටර් පීරිස් එක්ක ෆිල්ම් එකක් කරන්න කැමතියි. උඹ ඒකට කපුකම කරන්න ඕනෑ. අපි ජී. බී. සේනානායකගේ 'අවරගිර' තෝරා ගතිමු. උඹ ගිහින් කතා කරපන්' මේ වන විට කේශව එදිරිසිංහ නම් තරුණ නිෂ්පාදකයකු 'අවරගිර' ලෙස්ටර් සමඟ සිනමාවට නැඟීමට සිතා සිටියත් එය නිෂ්ඵල විය. මම කේශව දැන සිටියෙමි. ඔහු තමා ලබාගත් නවකතාවේ අයිතිය ඩිල්මන්ට පැවරීමට කැමති විය. නිසි අවසර ගැනීමෙන් පසු ඩිල්මන් හා මා ගියේ පුංචි බොරැල්ලේ සිරිධම්ම මාවතේ පදිංචිව සිටි ටෝනි රණසිංහ හමුවීමටය. 'ටෝනි අයියා මෙන්න අවරගිර. ඔයා තිර නාටකය ලියන්න. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ මිස්ටර් පීරිස්' ටෝනි අයියා එම කාර්යය සතුටින් භාර ගත්තේය. ඩිල්මන් අත්තිකාරම් මුදලක් දී එය ස්ථිර කළේය. අපට අවශ්‍ය වූයේ 'අවරගිර' සංගීත අධ්‍යක්ෂණය සඳහා ප්‍රේමසිරි කේමදාසයන් ලබා ගැනීමටය. ලෙස්ටර් මහතා තම චිත්‍රපට සඳහා නිමල් මෙන්ඩිස් හා අමරදේවයන් සහභාගි කර ගත් නිසාදෝ කේමදාසයන් සිටියේ තරමක සිත් තැවුලකිනි. මම මාස්ටර්ට ටෙලිෆෝනයෙන් කතා කළෙමි. 'මාස්ටර් අද හවස අපි ගෙදර එනවා. ඩිල්මන් ජයරත්න ෆිල්ම් එකක් කරනවා. මිස්ටර් පීරිස් අධ්‍යක්ෂක. මාස්ටර්ට මියුසික් දෙන්න කියලා අපි යෝජනා කළා. ප්‍රේමසිරි තමයි මේකට හොඳ. අපිට කාලෙකට පස්සේ එකට වැඩක් කරන්න චාන්ස් එකක් ලැබිලා තියෙනවා' කිව්වා. කේමදාස මාස්ටර් මහා හඬින් සිනාසුණි. අපි එදා හවස කේමදාස මාස්ටර්ගේ නිවසට ගියේ රාත්‍රී 8 ට පමණයි. කේමදාස මහත්මිය අපට ඉඳගන්නට යැයි කීවාය. ගෙදර රසට කට ගැස්ම හදන මොයිසක්කාගේ කෑම සුවඳ සුපුරුදු ලෙස මගේ නැහැය සිසාරා යයි. 'මරු බයිට් සුවඳක්. ඉස්සෝ හරි දැල්ලෝ හරි' ඩිල්මන් මට සෙමින් කීය. 'බඩගිනිත් එනවා. මෙහෙ ආවොත් තමයි මොයිසක්කාගේ ඉස්තරම් බයිට් එක ලැබෙන්නේ. ඔයා මොයිසක්කා දැකලා නෑ. ඉන්න තව ටිකකින් එයි' මම කීවෙමි. මාස්ටර් ඇඟපත සෝදා තුවායක් ඇඳගෙන එහා කාමරයට ගියේ 'ඉන්න මම ඉක්මනට එනවා' කලබලයෙන් කියමිනි. ඊළඟට ඔහු පැමිණියේ ඉස්තරම් බ්‍රැන්ඩි බෝතලක් අතැතිවය. අවරගිර ගැන ලියන මේ මොහොතේ මට එවකට සිටි නවක නළු රන්ජන් රාමනායක මතකයට එයි. 'අවරගිර'ට මා සම්බන්ධ බව දැනගෙන ඔහු කිහිප වතාවක් අප නිවසට ආව ගියේය. 'රන්ජිත් අයියේ කොහොම හරි මිස්ටර් පීරිස්ට කියලා මට චරිතයක් අරන් දෙන්න. මම ආසයි එතුමාගේ චිත්‍රපටයක රඟපාන්න' 'උත්සාහ කරන්නම්' කී විට මගේ බිරිඳ දමයන්තිට ඔහු කීවේ 'අක්කත් රන්ජිත් අයියට මතක් කරන්න' කියාය. රන්ජන් අවංකව කලාවට කැප වූ තරුණයෙකි. 'සරසවිය' පත්‍රයෙන් (සුනිල් හොරේෂස්) ඔහුට නළුවෙකු වීමට හැම උපකාරයක්ම අපි නොපැකිළව ලබා දුන්නෙමු. 'සරසි' පත්‍රයෙන් බන්දුල පද්මකුමාර හා ආනන්ද පද්මසිරි ද උපරිම උපකාර කළහ. සරසවිය හා සරසි පුත්පත්වල ඔහුගේ පිට කවර බහුලව පළ කෙරිණ. තමාට උදව් කළ අය අමතක නොකළ රන්ජන් අද අමාත්‍යවරයෙක්. මා ඔහුගෙන් කිසිදු උපකාරයක් නොපතන අතර, කළ ගුණ දත් ඔහු හොඳ අනාගාතයක් ඇති තරුණ දේශපාලනඥයකු බව නම් මට විශ්වාසය. තමාට එදා අවරගිර' චිත්‍රපටයේ රඟපෑමට මා කළ උපකාරය ගැන කලකට පෙර 'රැජින' පුවත්පතේ ලියූ ජීවිත කතාවේ ඒ ගැන නිහතමානීව සඳහන් කර තිබුණි. කළ ගුණ දත් ඔබට තුති.
නිවැරැදි කිරීමයි පසුගිය සතියේ ලිපියේ ලක්ෂ්මන් ලොකුමාන සංස්කරණය කළ සිනමා සඟරාව 'තිරය (1965) යනුවෙන් පළ වූයේ ප්‍රමාද දෝෂයකිනි. එය 'මේලා' යනුවෙන් නිවැරදි විය යුතුය. අප මිත්‍ර සිරි කහවල මට දුරකථනයෙන් මේ බව දැනුම් දුන්නේ තමා 'මේලා' සඟරාවට ලිපි ලියූ ලේඛකයකු බව ද සනාථ කරමිනි. සිරි ඔබට ස්තූතියි. |