වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරේට පුළුවන්ද රණ්ඩු කරන්න

ආදරේට පුළුවන්ද රණ්ඩු කරන්න

නැතිවට කමක් නැති අය නැතිව බැරි අය කළ රාජිත දිසානායක

‘ආදරේට පුළුවනි ද සිහින දකින්න. ආදරේට පුළුවනි බලා සිටින්න. ආදරේ කියන්නේ ඉවසන එකමයි. විශ්වාසේ නැති වුණාට විශ්වාස කිරීමයි. නොඑනා බව දැන බලා සිටීමයි. ආදරේට පුළුවනි ද රණ්ඩු කරන්න. ආදරේට පුළුවනි ද මට්ටු කරන්න...

වේදිකාවේ අන්ධකාරයෙන් මතුවන මමෝරම්‍ය සංගීත රටා අතරින් 'වත්සලා' ජීවිතය ගැන ගීතයක් ගයනවා. බලය හා ආදරය අහිමි වූවන්ගේ ජිවිතවල දුක්ඛ දෝමනස්සයන් ඒ ගීිතයේ අපූරුවට කැටි වෙලා තිබෙනවා. මේ රාජිත දිසානායකගේ නවතම වේදිකා නිර්මාණය වන 'නැතිව බැරි කෙනෙක්' නාට්‍යයේ එන ගීතයක්. 1994 වසරේ සක්වාදාවල වේදිකා නිර්මාණය තුළින් ශ්‍රී ලාංකේය වේදිකාවට පිවිසි ඔහු අප හැම දෙනාගේම වීරයා මැරුණු බව අප හට ඒත්තු ගැන් වුවා. ඒ 1999 - 2009 කාල රාමුව තුළ වීරයා මැරිලා නාට්‍ය නිර්මාණය කරමිනි.

'මට වෙඩි තියන් නැද්ද', ' සිහින හොරු අරන්' විරවර්ධන පවුල ආදි ජීවිතය ප්‍රතිනිර්මාණය කළ සුභාවිත නාට්‍ය නිර්මාණයන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට තිළිණ කළ අපේ කාලයේ සොඳුරු ආඥාදායකයකු වෙනුවෙන් මෙවර සරසවියේ නාට්‍ය අවකාශය වෙන් වෙනවා. ඔහු සම්මානනීය නාට්‍යවේදී රාජිත දිසානායක.

ඔබගේ නාට්‍ය දේශපාලනිකයි?

මෙහෙමයි අපේ ජීවිත තීරණය කරන්නේ ඒ වගේම සමාජයේ පැවැත්ම තීරණය කරන්නේ දේශපාලනික කාරණාවන්. නිර්මාණකරුවා කියන තැනැත්තා හට විවිධ අරමුණු තිබෙන්නට පුළුවන්. නාට්‍ය නිර්මාණයක් හරහා මූලික වශයෙන්ම මම කරන්නේ වින්දනාත්මක අරුත් සම්පාදනය කිරීමක්. බෙහෝ වේලාවට මම අත්දැකීම් කර ගන්නේ සමකාලීන සමාජයේ අත්දකින හැඟීම්, වේදනාවන් සමඟ මගේ නිරික්ෂණ. ඒ තුළින් ජිවිතය තේරුම් ගන්නට, අවබෝධ කර ගන්නට මම දරන උත්සාහය තවත් පිරිසක් සමඟ බෙදා ගැනීමයි මෙහිදී සිදුවන්නේ. ඒ සඳහා මගේ කලා ප්‍රකාශනය වූ වේදිකා නාට්‍ය භාවිත කරනවා. මේ සමාජයේ අපේ ජීවිත පීඩාවට පත් කරන, අපේ ජීවිත සීමා කරන තත්ත්වයන් වෙනස් කිරීමට නම් අප තුළ සමාජය පිළිබඳ අවබෝධය තිබීම ඉතා වැදගත්. කලාව හරහා එම අවබෝධය ඇති කරවීමට පුළුවන් කියා මං විශ්වාස කරනවා. සමාජයෙන් එල්ල වන පීඩනයන් සීමා කිරීම් අවබෝධ කරවීමේ ශක්‍යතා කලාවට තිබෙනවා. ඉතින් ඒ අර්ථයෙන් ගත්තම ඔබ කියන කලාව දේශපාලනික කාර්යභාරයක් වෙනවා.

සමාජයේ පවතින විෂමතාවයන් පිළිබඳ නිර්මාණාත්මකව සමාජය වෙත දැන්වීම නිර්මාණකරුවාගේ කාර්යභාරයක්?

ඔව්. මම විශ්වාස කරන ආකාරයට අප ජීවත් වන සමාජයේ සීමාවන් පුළුල් කරන්න කලාකරුවාට හැකි නම් එය තමයි වැදගත් වෙන්නේ. බොහෝ වේලාවට පවතින දෙයම ආරක්ෂා කර ගන්න අවශ්‍ය වෙන්නේ පාලන තන්ත්‍රයට. නමුත් සමාජයේ පවතින විෂමතාවයන් පෙන්විම තමයි කලාකරුවාගේ කාර්ය විය යුත්තේ. ඒ නිසා හැම විටම කලාකරුවාට පාලන තන්ත්‍රය සමඟ එකඟතාවෙන් හිටගන්න බැරිව යනවා. සමාජයේ පවතින ආර්ථික විෂමතාවයන් සංස්කෘතිකමය විෂමතාවයන්, ජාතිකමය විෂමතාවයන් වගේම තව පිරිසක් කිහිප විදියකින් අපහසුවට පත්වන ආකල්පයන් තිබෙනවා. ඒවා පිලිබඳව සිතන්නට ඉඩක් නිර්මාණය කිරීම වගේම,, කතිකාවකට අවකාශය සැලසීම කලාකරුවාගේ වගකීමක්. අපේ ආර්ථික රටාවන්, මානව සබඳතා දෝලනය වන ජීවිත රාමුව තුළ සමහර දේවල් නාට්‍ය කලාවෙන් වෙනස් කරන්න බෑ. ඒත් යම් අදහසක් දනවන්නට, හිතන්නට කාරණාවක් එක් කරන්නට පෙළඹවීමක් ඇති කරන්නට නිර්මාණ තුළ අපූරු ශක්‍යතාවයක් තිබෙනවා. ඒ ශක්‍යතාවය නිරතුරුවම සමාජය උදෙසා මගේ නිර්මාණ තුළින් මුදා හරින්නට මං උත්සුක වෙනවා.

වේදිකා නිර්මාණයකට ගැළපෙන ශික්ෂණයක් ඇති ප්‍රේක්ෂකාගාරයක් නොමැති බවට බොහෝ නිර්මාණකරුවන් චෝදනා නඟනවා?

එය සම්පූර්ණයෙන්ම සත්‍යයක් නොවෙයි. සංඛ්‍යාත්මක විශාල නොවුණත් ඉතා හොඳ ප්‍රේක්ෂක සමාජයක් නාට්‍ය කලාව එක්ක බැඳී සිටිනවා. විශේෂයෙන්ම ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාව පදනම් කර ගනිමින් මේ ප්‍රවණතාව දැකගන්නට පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාල පරිශ්‍රයන්හි හොඳ ප්‍රේක්ෂකාගාරයක් හැඳින ගන්නට හැකියි. රසිකත්වය වර්ධනය කිරීමට අපේ අධ්‍යාපන ක්‍රමයත් ජනමාධ්‍යයත් මැදිහත් විය යුතුයි කියා මං හිතනවා. පේ‍්‍රක්ෂකයාගේ ශික්ෂණය වර්ධනය කරන්නට විවිධ ක්‍රමෝපායන් සම්පාදනය කළ යුතුයි. විශේෂයෙන්ම මිනිසුන් තුළ කලාව ගැන තියෙන අදහස් වෙනස් විය යුතුයි. කලාව පිළිබඳ ඔවුන්ගේ දැක්ම බොහෝම අල්පයි. බහුතරයකට කලාව පිළිබඳ නිශ්චිත අදහසක් නැහැ.

මේ සඳහා අධ්‍යාපන ක්‍රමවේදයෙන් හා ජන මාධ්‍යයෙන් පුළුල් දායකත්වයක් ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම නාට්‍යය නැරඹීම ගැන පුහුණු ප්‍රේක්ෂකාගාරයක අවශ්‍යතාවයක් අපට තිබෙනවා. නාට්‍යයක නළු නිළියන් සහ කාර්ය මණ්ඩලය පැය එකහමාරක නිර්මාණ කටයුත්තට මාස ගණනක් පුහුණුවිම්වල නිරත වෙනවා. නාට්‍ය රංගගත කරන දිනයේ මෙන්ම ඊට පෙර දිනයේත් ඔවුන් දවස පුරා මහන්සි වෙනවා. ඒ නිසා නාට්‍යයක් නැරඹිමට පැමිණෙන ප්‍රේක්ෂකයාටත් එවැනි පෙර සූදානමක් අවශ්‍යයි. අපි නාට්‍යයක් නරඹන්නේ සමූහයක් එක්ක. සෑම වචනයක්ම ප්‍රේක්ෂකාගාරය ග්‍රහණය කරගත යුතුයි. ඒ නිසා නාට්‍යය නැරඹීම සඳහා පුහුණු ප්‍රේක්ෂකාගාරයක අවශ්‍යතාව දැඩිව දැනෙනවා. ඔවුන් ශික්ෂණය කිරිමේ වගකීම නිර්මාණකරුවන් ලෙස අපටත් තිබෙනවා.

නිර්මාණකරුවෙක් ලෙසින් ඔබ කෙසේ ද ඒ ගැටලුවට විසඳුම් සොයන්නේ?

ඇත්තටම නිර්මාණකරුවෙකුට කිසිසේත්ම එයින් ගැලවෙන්නට බැහැ. නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණ මේ පොළවේ පය ගසා නිර්මාණය කළ යුතුයි. ඒ වගේම ඒ නිර්මාණය ග්‍රාහකයාගෙන් (රසික, ප්‍රේක්ෂක, පාඨක, ශ්‍රාවක) අත් නොහැරිය තරමට සමීප බද්ධතාවයක් තිබිය යුතුයි. නිර්මාණකරුවන් හැටියට අපි අපේ පැත්තෙන් උපරිමයට ළඟාවීමට වෑයම් කළ යුතුයි. හොඳ වින්දනාත්මක ප්‍රේක්ෂකයා අවදි කරවන නිර්මාණයක අපූර්වත්වය නිරන්තරයෙන් ප්‍රේක්ෂකයා වෙත සමීප කිරිමට නිර්මාණකරුවා වගබලා ගත යුතුයි.

ඔබ හිතනවාද ඔබේ නවතම නිර්මාණය 'නැතිව බැරි කෙනෙක්' මෙයට විසඳුමක් වෙයි කියා?

මේ නාට්‍යයට පාදක වෙන්නෙත් සමකාලීන සමාජය හා ජීවිතයමයි. මේ තුළ ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන්නේ බලය සහ ආදරය අහිමි වූ පිරිස් ඔවුන්ට අහිමි වූ දේ හඹා යාම තුළ ඔවුන්ට අත්වන ඉරණමයි. අපේ සමාජයට නැතුවට කමක් නැති අය නැතිව බැරි අය වෙලා තියෙනවා. ඒ වගේම සමහර අය හිතන් ඉන්නවා ඒ අය නැතිව බෑ කියලා. තවත් විදියකට කිව්වොත් මේ සමාජ ක්‍රමයට ආණ්ඩු කරන අයට සමහර අයව නැතිව බැරිවෙලා තියෙනවා. එහෙම නැතිව බැරි වෙච්ච කෙනෙකු වටා තමයි මේ නාට්‍යය අපි ගොඩ නඟන්නේ. මේ නාට්‍යය හරහා අපි විශේෂයෙන්ම ජාතිය ආගම සහ බලය පැවැත්ම වෙනුවෙන් අවස්ථාවාදී විදියට යොදාගන්න හදන උත්සාහය වගේම, තමන්ගේ භාෂාව කතා නොකරන කෙනාගේ වේදනාව තමන්ගෙන් මඟ හැරෙන විදිය පිළිබඳවත් අපි මූලික වශයෙන් කතා කරනවා. සමකාලීන සමාජය තුළ ඇතිවුණු දේශපාලන වෙනස්කම් එක්ක ඇතිවුණු නව තත්ත්වයන් වගේම ජිවිතවල මිනිස් සම්බන්ධතාවල ස්වභාවයන් පිළිබඳවත් මේ නාට්‍ය නිර්මාණයෙන් විමසා බලනවා.

මෙය දේශපාලන ප්‍රහසනයක්?

මුළුමනින්ම ප්‍රහසන ගණයේලා සලකන්නට බැහැ. නමුත් ඒ ඒ චරිතවල සහ ඒ ඒ් අවස්ථාවල හැසිරීම් තුළින් බොහෝ විට ප්‍රේක්ෂකයාගේ සිනහව ප්‍රේක්ෂකාගාරයේ මතුවේවි. සිනහව මතු කිරිම ඇතුළේ ඒ චරිතවල හැසිරීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වන්න පුළුවන්. යම් කෙනෙකුට ජාතිය පිළිබඳව තමන්ගේ ආගම, භාෂාව හා සංස්කෘතිය පිළිබඳව හැඟීමක් තිබුණාට කමක් නෑ. නමුත් ඒ තුළින් වෙනත් අයෙකුගේ සංස්කෘතිය පහත්ය. තමන්ගේ සංස්කෘතිය පමණක් උසස්ය කිය උත්කර්ෂයට නැංවීම තම තමන්ගේම පැවැත්මට සිදු කරන්නක්. යමෙක් නොදැනුවත්වම මෙවැනි අදහස් හා ආකල්ප තමන් තුළට ඇතුළු කර ගන්න පුළුවන්. එවැනි අයට කිසියම් අවබෝධයක් නාට්‍යයන් හරහා ඇති කරන සාකච්ඡාවකින් හිතන්න ඉඩක් හැදීමයි නිර්මාණකරුවන් විදියට අපි කරන්නේ. ඒ් වගේම අපේ සමාජය තුළ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අවස්ථාවදීව ක්‍රියාත්මක වෙන්න ජාතිය ආගම වගේ කාරණා සකසා ගන්න විදිය මේ නිර්මාණයෙන් අපි නිරූපණය කරනවා.

ඔබේ නිර්මාණයට ආලෝකය සපයන ශිල්පීන් පිළිබඳවත් කතා කරමු?

මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය හඳුන්වා දෙන්න පුළුවන් හොඳම විදිය මොකක්ද කියා අපි හිතුවා. එයා හිතනවා එයා නැතිවම බැරි කෙනෙක් කියා. ආණ්ඩුවලට එයා නැතිව බැරි කෙනෙක් වෙලා තියෙනවා. සමහර අයව ආණ්ඩුවලට නැතිව බෑ. ඊළඟට ආණ්ඩු කරන අයටත් ඒ අයව නැතිව බෑ. එවැනි කෙනෙක් මූලික කරගෙන තමයි මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය විකාශනය වෙන්නේ.

ඒ චරිතයට දීර්ඝ කාලයක් මාත් එක්ක වැඩ කරමින් ඉන්න ධර්මප්‍රිය ඩයස් (ජයන්ත) ශාම් ප්‍රනාන්දු (පෙරේරා) කියන දක්ෂ රංගන ශිල්පීයන් වගේම මෑත කාලයේ මාත් එක්ක එකතු වුණු නදීශානි පේලිආරච්චි, නලින් ලුසේනා වගේම ඉංග්‍රීසි වේදිකාවේ නාට්‍ය බොහෝමයකට දායක වුණු බිම්සරා ප්‍රේමරත්න, පසන් රණවීර වගේම සිරිවර්ධන පවුල නාට්‍යයට මාත් එක්ක එකතු වුණු ශිල්පීන් පිරිසත් මගේ අලුත් නිර්මාණයට දායක වෙනවා. කපිල පුගලආරච්චි වෙනදා වගේ මගේ නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂවරයා වෙනවා.

ප්‍රහසන ගණයේ යැයි කියා ගන්නා නාට්‍ය කලාවක් තුළින් සුභාවිත නාට්‍ය කොළඹින් පිට පළාත්වල රංගගත කිරීම බොහෝම අඩු වෙලා?

ඔබ පැවසූ ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් කලාත්මක ගණයේ නාට්‍ය කලාව වෙතට තිබෙනවා. මං පෞද්ගලිකව ප්‍රහසන නාට්‍ය කලාවට බොහෝ සෙයින් කැමතියි. ඒත් පසුගිය කාලයේ ශ්‍රී ලාකේය වේදිකාවේ තිබූ නාට්‍ය අතරින් සාර්ථක ප්‍රහසන තිබුණේ ඉතාම අඩුවෙන්. ප්‍රහසනයේදී බලෙන් ප්‍රේක්ෂකාගාගරය හිනස්සා වැඩක් නැහැ. සිනහව ඉපදිය යුත්තේ ඒ ඒ චරිතයන් ඒ ඒ අවස්ථාවල හැසිරිම් තුළින්. අපේ බොහෝ ප්‍රේක්ෂකයන් 'එකම වර්ගයක' නාට්‍ය පමණයි නරඹා තිබෙන්නේ. ඉතින් එවන් තත්ත්වයක් තුළ උසස් රසවින්දනයක් පිළිබඳ සිතන්නට අපහසුයි. ඒ වගේම සංවිධායකවරුන්ට රස වින්දනාත්මක නාට්‍ය පිළිබඳ අවබෝධයක් නැහැ.

කොළඹදී සාර්ථක වූ 'නැතිව බැරි කෙනෙක්' ගමට ගෙනයාමට කෙසේද ඔබේ සැලසුම්?

සැප්තැම්බර් මස 02, 03 දිනයන්හි ලයනල් වෙන්ට්ඩ් ප්‍රේක්ෂකාගාරය පිළිබඳ කණ්ඩායමක් විදියට අපි බොහෝම සංතෝස වෙනවා. ඒ නාට්‍ය රසයම කොළඹින් බැහැර ඈත ගම් දනව්වලට රැගෙන යන්නට අපි සැලසුම් කර තිබෙනවා. දැනටත් විශ්වවිද්‍යාල රැසකින් නාට්‍ය දර්ශන වෙන් කරගෙන තිබෙනවා. නැවත ලබන මාසයේ (02) දෙවැනිදාත් ලයනල් වෙන්ඩ්ට් ප්‍රේක්ෂකාගරයට ගොඩ වෙන්නට අපි බලාපොරොත්තු වෙනවා.

 (සන්නිවේදකයකු) නිර්මාණකරුවෙකු හැටියට මේ මොහොත වන විට ඔබ තෘප්තිමත්ද?

ඕව් සත්තකින්ම. අති විශාල පිරිසකට නාට්‍ය මාධ්‍යයෙන් අමතන්නට නොලැබුණත් ඒ සීමිත පිරිස අතර කිසියම් ආකාරයක සාකච්ඡාවකට බඳුන් වෙන්න මගේ නිර්මාණ හරහා අවස්ථාව උදා වුණා. ඇතැම් අය අපේ නාට්‍යවල අප මතු කළ අරුත් වටහා ගත්තා වගේම තවත් සමහරු අප මතු කලාටත් වඩා අරුත් මතු කරගන්න සමත් වුණා. ඒ වගේම අපි බලාපොරොත්තු වූ පමණින් අර්ථ නොකියූ පිරිසකුත් හිටියා. ඒ කෙසේ වුවත්, ප්‍රේක්ෂකයාට වින්දනීය අත්දකිමක් ලබා දෙන්නට හැකිවීම පිළිබඳ නාට්‍යකරුවෙකු ලෙසින් මට තෘප්තිමත් වෙන්න පුළුවන්.