වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ රමණීය ශෛලීය ගෙනා ලුබ්ච්

සිනමාවේ රමණීය ශෛලීය ගෙනා ලුබ්ච්

අර්නස්ට් ලුබිච්

ජර්මනිය - ඇමරිකා එක්සත් ජනපදය

ජනවාරි 28, 1892 - නොවැම්බර් 30, 1947

විශිෂ්ට චිත්‍රපට - මැඩම් ඩු බැරි, ඇනා බෝලින්, ද ලව්ස් ඔෆ් පේරෝ, ටු බී ඕර් නොට් ටු බී, ද ලව් පැරෙඩි, මොන්ටි කාලෝ, නිනෝචිකා, ද ෂොප් අරවුන්ඩ් ද කෝනර්

ලුබිච්ගේ ශිෂ්ට සම්පන්න කොමඩි ඔහු නිර්මාණය කළ ක්‍රියා කලාපය හේතු වෙන් ඔහුට හොලිවුඩ් හී වඩාත්ම ශෝභන මෙන්ම වඩාත්ම ශිෂ්ට අධ්‍යක්ෂවරයා ලෙස පිළිගැනීමක් ලබා දුන්නා. ඔහුගේ ගරුත්වය වැඩීමත් සමඟම ඔහුගේ චිත්‍රපට උසස් කොට සැලකූයේ ඒවායේ ලුබිච් ස්පර්ෂය ඇති බවටයි. අර්නස්්ට් ලුබිච්ට ලෝක සිනමාවේ එක් විකට මාස්ටර් කෙනෙකු ලෙස පිළිගැනීමක් තිබෙනවා. අති දක්ෂ ශිල්පියෙක් වූ ඔහුව ප්‍රධාන වශයෙන් අගය කෙරෙන්නේ ඔහු විසින් නිමැවුණු රසවත් දේශපාලන පරිහාස සහ ප්‍රබන්ධ නිදන කාමර හාස්‍ය නාඩගම් නිසාවෙනි.

ලුබිච් බර්ලින් හි උපත ලැබුවේ යුදෙව් ජාතික සන්නාලියෙකුට.... සහ රුසියානු සංක්‍රමණික තරුණියකට (ඇනා) දාවයි. පියාගේ සන්නාලි ව්‍යපාරයට පිටුපෑ ලුබිච් රංගනයට එක් වුණා. 1911 වන විට ඔහු මැක්ස් රයින්හාරිගේ සාමාජිකයකු වුණා. ඔහු නළුවෙකු ලෙස ගත කළ පළමු අවුරුද්දට පසු අවුරුද්දේම ලුබිච් තම ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. ඉන් පසුව ලුබිච් රඟපෑම කෙමෙන් කෙමෙන් අතහැර දැම්මේ අධ්‍යක්ෂණය කෙරෙහි මුළුමනින්ම අවධානය යොමු කිරීමටයි.

1918 දී ලුබිච් සැලකිය යුතු වැදගත් අධ්‍යක්ෂවරයෙකු ලෙස තම සලකුණ තැබුවේ දි අයිස් ඔෆ් ද මමි චිත්‍රපටයත් සමඟයි. පොලා නෙග්‍රී එහි ප්‍රධාන චරිතය රඟපෑවා. ලුබිච් මාරුවෙන් මාරුවට පලා යන කොමඩි සහ මහ පරිමාණයේ ඓතිහාසික නාට්‍යමය චිත්‍රපට නිර්මාණය කළා. එම දෙවර්ගයේම චිත්‍රපටවලින් අන්තර් ජාතික සාර්ථකත්වයක් භුක්ති විඳිමින් ලෝක සිනමාවේ මහා මාස්ටර් කෙනෙක් ලෙස ලුබිච්ට තිබුණු පිළිගැනීම තවදුරටත් නව උච්ඡ ස්ථානයක ගෙන යාමට ඔහුගේ අපූරු දර්ශණීය මැඩම් ඩු බැරි (පැෂන් ලෙස නැවත නම් කළ 1919) සහ ඇනා බෝලින් (ඩිසෙප්ෂන් 1920) සමත් වුණා. මේ චිත්‍රපට දෙකටම 1921 මුල් කාලයේදී ඇමරිකාව තුළ බෙදා හැරීමේ අවස්ථාව ලැබුණා. එම චිත්‍රපට දෙක සහ ලුබිච්ගේ කාර්මන් (ජිප්සි බ්ලඩ් ලෙස ඇමරිකාවේ 1921 දී තිරගත වූ) නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ එම වසරේ (1921) බිහි වූ වැදගත්ම චිත්‍රපට 15 ලැයිස්තුවට ඇතුළත් වුණා.

බැබලෙන විචාරම නම යටතට නතු කරගත් ලුබිච්ට ඇමරිකානු සල්ලිත් ඔහුගේ පැත්තට ගලා එන්නට පටන් ගත් බැවින් ඔහු තමන්ගේම නිෂ්පාදන සමාගමක් පිහිටුවා අති විශාල වියදමක් දරා නිපද විය යුතු අති සෝභන චිත්‍රපටයක් වු ද ලව්ස් ඔෆ් පේරෝ (1921) හි වැඩ කටයුතු ආරම්භ කළා. ලුබිච් ප්‍රථමවරට ඇමරිකාව බලා යාත්‍රා කළේ 1921 දෙසැම්බර් මස. එය ප්‍රචාරය සහ වෘත්තීමය කරුණු ගවේශණය මුල් කරගෙන දියත් වූ ටිකක් කල් ගතවෙන සංචාරයක් වුණා. එම සංචාරය උත්සවශ්‍රීයෙන් අවසන්වීමට සැලසුම් කර තිබුණත් පේරෝ හි පෙබරවාරි තිරගතවීමත් සමඟයි. පළවන ලෝක යුද්ධයේ උණුසුම මැකී නොගොස් තිබූ ඒ කාලයේ ජර්මානු නව රැල්ලේ චිත්‍රපට ගොන්නක් ඇමරිකානු සිනමා ශිල්පීන්ගේ ජීවිකාව ආක්‍රමණය කරමින් තිරගත වීමට පටන් ගෙන තිබුණු බැවින් ලුබිච්ට එතරම් උණුසුම් සතුටුදායක පිළිගැනීමක් මුල් වරට ඇමරිකාවට ගොඩ බැස්ස විට ලැබුණේ නැහැ. ඉතින් තම සංචාරය සති තුනකට මඳක් වැඩි කාලයක් තුළදී අතරමඟ නැවැත් වූ ලුබිච් නැවතත් ජර්මනියට පැමිණියා. නමුත් ඒ වන විටත් ඔහු ඇමරිකානු චිත්‍රපට කර්මාන්තය පිළිබඳ හොඳ හැටි දැක බලාගෙන තිබුණු බැවින් ඒවා සතු සම්පත් ජර්මනියේ සරල, සකසුරුවම් සමාගම් පහසුවෙන් අභිබවා යන බව ඔහු තේරුම් ගත්තා.

ලුබිච් අවසානයේදී ජර්මනිය හැර දමා හොලිවුඩයට ගියේ 1922 දී මෙරි පික්ෆෝර්ඩ් විසින් ඔහුට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ කොන්තරාත්තුවක් භාර දීම නිසයි. ඔහු පික්ෆෝර්ඩ්ව රොසිටා නම් චිත්‍රපටයට අධ්‍යක්ෂණය කළ. එය වාණිජමය වශයෙන් සාර්ථක වෙමින් හොඳ විචාරක ප්‍රතිචාර ද දිනාගත් නමුත් චිත්‍රපටය රූගත කරන අතරතුරදී ලුබිච් සහ පික්ෆෝර්ඩ් අතර නිතර ගැටුම් ඇති වුණා. එම හේතුවෙන් රෙසිටා ඔවුන් දෙදෙනා එකට එකතු වී නිර්මාණය කළ එකම සහ අවසාන චිත්‍රපටය වුණා. එක ඇමරිකානු චිත්‍රපටයකින් පසුව නිදහස් ඒජන්තයකු බවට පත් වුණු ලුබිච්ව වෝනර් බ්‍රදර්ස් චිත්‍රාගාරය විසින් වසර තුනක චිත්‍රපට 6 ක සුවිශේෂී කොන්ත්‍රාත්තුවක් අත්සන් කළේ ඔහුගේ සිතැඟි පරිදි නළු නිළියන් සහ කාර්ය මණ්ඩලය තෝරා ගැනීමේ පූර්ණ නිදහස සහ චිත්‍රපටයේ අවසන් පිටපතේ සම්පූර්ණ සංස්කරණය පිළිබඳ සියලු බලතල ද ඔහු වෙත පවරන බවට සහතික කරමිනි.

ඇමරිකාවේ ස්ථිර පදිංචිය පිහිටුවා ගත් ලුබිච් හොඳ උසස් සංකීර්ණ කොමඩි චිත්‍රපට නිර්මාණය කිරීමේ හැකියාවක් ඇත්තෙක් බවට තම නාමය හොලිවුඩ් හී ස්ථාපිත කර ගත්තේ ද මැරේජ් සර්කල් (1942), ලේඩි වින්ඩර්මියර්ස් ෆෑන් (1925) සහ සෝ දිස් ඉස් පැරිස් (1926) යන ජැන්ඩි චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමෙන්ය. කෙසේ වුවත් මෙම චිත්‍රපට වෝනර් බ්‍රදර්ස් චිත්‍රාගාරයට වාණිජමය ගෙන ආවේ ඉතා කුඩා ලාභයක්. එම නිසා දෙපාර්ශ්වයේම කැමැත්ත පරිදි ලුබිච්ගේ කොන්ත්‍රාත්තුව කාලය ඉකුත් වීමට පෙර අවලංගු කර දැමුණා. එහි ඉතිරි කාලය එම්. ජී. එම්. - පැරමවුන්ට් චිත්‍රාගාරය විසින් මිලදී ගත්තා. එම්. ජී. එම්. චිත්‍රාගාරය සඳහා ලුබිච් තැනූ ප්‍රථම චිත්‍රපටය වූ ද ස්ටුඩන්ට් ප්‍රින්ස් ඉන් ඕල්ඩ් හයිඩර්බර්ග් (1927) හොඳ සැලකීමකට භාජනය වූ නමුත් වාණිජමය වශයෙන් පාඩු ලැබුවා.

ලුබිච් කතානාද චිත්‍රපට තැනීම ආරම්භ කළේ සංගීිතමය චිත්‍රපට අධ්‍යක්ෂණය කිරිමෙනුයි. ඔහුගේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ ද ලව් පැරෙඩ් (1929) හී මොරිස් වෙවැලියර් සහ පිඈනෙට් මැක්ඩොනල්ඩ් ප්‍රධාන චරිත රඟපෑ අතර එය නිහඬ චිත්‍රපටවලින් කතානාද චිත්‍රපටවලට ලුබිච් තැබූ සාර්ථක පියවරක් බවට පත් වූයේ ඔහුට තවත් ඔස්කාර් නිර්දේශයක් ලබා දෙමිනි. ද ලව් පැරෙඩ් (1929) මොන්ටි කාලෝ (1930) සහ ද ස්මයිලින් ලුටිනන්ට් (1931) එවකට අලුතින් නැඟී එමින් මතු වෙමින් තිබුණු සංගීතමය චිත්‍රපට ශෛලියේ අති විශිෂ්ට සිනමා කෘති බවට විචාරකයින් විසින් අවිවාදයෙන් යුතුව පිළි අරගෙන අගැයීමට ලක් කළා.

ඔහුගේ ඊළඟ චිත්‍රපටය සැම්සන් රෆායෙල්සන් සමඟ රචනා කළ ආදර කොමඩියක් වූ ට්‍රබල් ඉන් පැරඩයිස් (1932) මේ උපහාසාත්මක කොමඩිය ප්‍රේක්ෂකයින් මෙන්ම විචාරකයින් අතරත් ජනප්‍රිය වුණා. නමුත් එය නිෂ්පාදන නීතිය බලපැවැත්වීමට පෙර හෝ 1935 න් පසුව නිර්මාණය විය යුතු චිත්‍රපටයක් වූ නිසා ට්‍රබල් ඉන් පැරඩයිස් සිනමා ශාලාවලට බෙදා හැරිමෙන් වැළකීමට සිදු වුණා. එය නැවතත් එළියට පැමිණියේ 1968 දීය.

සංගීතය සමඟ වුවත්, එම්. ජී. එම්. සමඟ සෑදූ සමෘද්ධිමත් මේරි විඩොවි (1934) සහ පැරමවුන්ට් සමග නිපැයූ වන් අවර් විත් වූ (1932) සහ 1933 ඩිසයින් ෆෝ ලිවිං චිත්‍රපට සමඟින් ලුබිච් කොමඩි චිත්‍රපට සෑදීමේ විශේෂඥයෙකු ලෙස දිගටම කටයුතු කළා. ඔහු එම කාලයේ නාට්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කළේ 1932 ද ඇන්ට් වෝර් බ්‍රෝකන් ලොලබායි (මෙවත් මෑන් අයි කිල්ඩ්) පමණයි.

1935 දී ඔහු පැරමවුන්ට් චිත්‍රාගාරයේ නිෂ්පාදන කළමනාකරු හැටියට පත් වුණේ විශාල චිත්‍රාගාරයක් මෙහෙයවීමට බලය ලත් ප්‍රථම ප්‍රධාන හොලිවුඩ් අධ්‍යක්ෂවරයා බවට පත් කරමින්. එහි ප්‍රතිඵලයක් ලෙස ලුබිච් තමාගේම චිත්‍රපට නිෂ්පාදනය කළා පමණක් නොව අනෙකුත් අධ්‍යක්ෂවරන්ගේ චිත්‍රපට නිෂ්පාදනය ද පාලනය කළා. නමුත් තම නියෝජිතයින්ට අධිකාරිය පැවරීම (බලය බෙදා හැරීම) ලුබිච්ට කරදරයක් වුණා. එය ප්‍රශ්නයක් බවට පරිවර්තනය වුණේ ඔහුට එකවර විවිධ චිත්‍රපට 60 ක් පමණ පරික්ෂා කිරීමට සිදුවීම නිසයි. වසරකට පසුව ඔහුව එම තනතුරන් පහ කරනු ලැබූ අතර ඉන් පසුව ඔහු නැවතත් පූර්ණකාලීන සිනමා නිර්මාණයට යොමු වුණා. 1936 දී ඔහුට ඇමරිකානු පුරවැසිභාවය ලැබුණා.

1939 දී ලුබිච් එම්. ජී. එම්. චිත්‍රාගාගරයට බැඳී ග්‍රේටා ගාර්බෝ ප්‍රධාන චරිත රඟපෑ නිනෝවිකා අධ්‍යක්ෂණය කළා. ගාර්බෝ සහ ලුබිච් අතර බොහෝ කලක සිට මිත්‍රත්වයක් පැවති අතර ඔවුන් දෙදෙනා එකට එකතු වී චිත්‍රපටයක් කිරීමට වසර ගණනාවක සිට බලාපොරොත්තු වූ නමුදු නිනොවිකා ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහි වූ එකම චිත්‍රපටය වුණා. බිලි වයිල්ඩර් සමඟ රචනා කළ පරිහාස කොමඩියක් වු මෙහි සීරියස් නිළියන් ලෙස ප්‍රසිද්ධ ගාර්බෝ ගේ සිනමාවෙන් ජවනිකවක් මතු කොට දක්වමින් ප්‍රචාරක කටයුතු කිරීම චිත්‍රාගාර ප්‍රචාරක කමිටුව ක්‍රියා කළේ ‘ගාර්බෝ සිනහවෙයි‘ පාඨය චිත්‍රපට ප්‍රචාරය සඳහා භාවිත කරමිනුයි.

1940 දී ලුබිච් ද ෂොප් අරවුන්ඩ් ද කෝනර් අධ්‍යක්ෂණය කළා. එය හරස් අරමුණු ඇති කලාත්මක කොමඩියක් වුණා. මෙම චිත්‍රපටය ඔහුගේ මෙරි විඩොව් චිත්‍රපටයේ තිර රචකයා වූ රෆායෙල්සන් සමඟ ලුබිච්ව නැවත එක් කළ අතර ජේම්ස් ස්ටුවර්ට් සහ මාගරට් සලිවන් එහි ප්‍රධාන චරිත රඟපෑවා. ඔවන් දෙදෙනා නොවැදගත් දේ ගැන රණ්ඩු වන බුඩාපෙස්ට් හී එකම තැන රැකියාව කරන දෙදෙනකු වූ නමුත් ඔවුන් දෙදෙනාම දන්නේ නැහැ අනිකා තමාගේ රහස් ආදර ලියුම් ගනුදෙනු කරන්නා / කරන්නිය බව.

ලුබිච් චිත්‍රාගාරයක ආධාරයකින් තොරව ස්වාධීනව දැටි අන්සර්ටන් ෆ්ලිං (1941) අධ්‍යක්ෂණය කළා. එය ඔහුගේම 1925 චිත්‍රපටයක් වූ කිස් මී අගේන් හී නැවත නිර්මාණයක් වුණා. 1942 දී ඔහු අඳුරු නාසි හාස්‍ය නාඩගමක් වූ ටු බී ඕර් නොට් ටු බී අධ්‍යක්ෂණය කළා.

ලුබිච් තම සිනමා දිවයේ ඉතුරු කාලය ගත කළේ ට්වන්ටියත් සෙන්චරි ෆොක්ස් චිත්‍රාගාරය සමඟයි. දුර්වල හෘද සෞඛ්‍ය තත්ත්වය ඔහු රිසි දේ ක්‍රියාකාරී වන්නට තිබූ ඉඩ ඇහිරූ අතර එවකට තමා කාලයෙන් වැඩි ප්‍රමාණයක් ලුබිච් ගත කළේ සුපර්වයිසර් කෙනෙකු හැටියටයිි.

තමාටම ආවේණික වූ තම නිර්මාණවල පැහැදිලිව කැපී පෙනුණු ස්පර්ෂය සමඟ ලුබිච් නිර්මාණය කළ අවසන් චිත්‍රපටය වූ හැවන් කැන් වේට් (1943) සඳහා නැවතත් ඔහුට රෆායෙල්ගේ සහය ලැබුණා. මෙම චිත්‍රපටයේ කතාව වූයේ අපායේ දොරටුව අසල සිටගෙන තව ජීවිතය ගැන සහ තම මවගෙන් පසු තම ජීවිතයේ ඇසුරු කළ ගැහැනුන් ගැන නැවත පුනරාවර්ජනයක යෙදෙන හෙන්රි වැන් ක්ලිව් නම් පුද්ගලයකු පිළිබඳවයි. ඔහු එහිදී වැඩි අවධානයක් යොමු කරන්නේ මාර්තා නම් ගැහැනිය සමග ඔහු ගත කළ සතුටුදායක එහෙත් විටෙක දුෂ්කර වු වසර 25 ක විවාහ ජිවිතය ගැනයි.

හැවන් කැන් වේට් චිත්‍රපටයන් පසු ලුබිච් එඩින් ජස්ටස් මයර් සමඟ අ රෝයල් ස්කැන්ඩල් (1945) චිත්‍රපටයේ තිර රචනය සම්පූරණ කර තිබුණා. අ රෝයල් ස්කැන්ඩල් ලුබිච් ගේ නිහඬ චිත්‍රපටයක් වූ අ ෆොරබිඩන් පැරඩයිස් හි නව නිර්මාණයක් වුණා. මයර් අ රෝයල් ස්කැන්ඩල් සඳහා තිර නාටකය ලිවු අතර ඔහු ඊට පෙර ලුබිච් සමඟ ටු බී ඕර් නොට් ටු බී (1942) හී එකට වැඩ කර තිබුණා. අ රෝයල් ස්කැන්ඩල් හි පිටපත ලියා සකස් කළේ අර්නස්ට් ලුබිච්ගේ යටතේ වූ අතර ඔහු එහි මුල් අධ්‍යක්ෂවරයා වූවා මෙන්ම එහි පෙරහුරු ද අධ්‍යක්ෂණය කළා. රූපගත කිරීම් අතරතුරදී රෝගාතුර වූ ලුබිච් ඉතිරි රූගත කිරීම් සම්පූර්ණ කිරීම සඳහා ඔටෝ ප්‍රෙමින්ඩර්ට භාර කළා. නමුත් අ රෝයල් ස්කැන්ඩල් සැලකෙන්නේ ලුබිච් චිත්‍රපටයක් ලෙසයි. අ රෝයල් ස්කැන්ඩල් නිමැවුණු පසු ලුබිච්ගේ සෞඛ්‍ය යහපත් අතට හැරුණ බැවින් ඔහු ක්ලුනි බ්‍රවුන් (1946) අධ්‍යක්ෂණය කළා.

1947 මාර්තු මසදී ලුබිච්ට වසර 25 ක් පුරාවට චලන චිත්‍රපටවලට දැක් වූ දායකත්වය හේතුවෙන් විශේෂ ඔස්කාර් සම්මානයක් හිමි වුණා.

සම්මානය ලැබීමෙන් ටික කලකට පසු එම වසරේදීම ලුබිච් හොලිවුඩ් හිදීම මිය ගියේ ඔහු 6 වන වරටත් වැලඳුණු හෘදයාබාධයකිනි. ඔහුගේ අවසන් චිත්‍රපය වූ දැට් ලේඩි ඉන් එරමයින් ඔටෝ ප්‍රෙමින්ජර් විසින් සම්පූරණ කර ලුබිච්ගේ මරණයෙන් පසු 1948 දී තිරගත වුණා.

ලුබිච්ගේ අවමඟුල් උත්සවය අහවරව ආපසු යන බිලි වයිල්ඩර් දුක්බරව ‘NO MORE LUBITSCH’ යැයි පැවසූ අතර ඊට පිළිතුරු වශයෙන් විලියම් වයිලර් ‘WORSE THAN THAR. NO MORE LUBITSCH PICTURES’ කියා පැවසූ බවට වාර්තා වෙනවා. බිලි වයිඩර්ගේ කාර්යාල දොරේ සවිකර තිබූ පුවරුවක කිියවුණේ  ‘HOW WOULD LUBITSCH DO IT?’ යන්නයි.

අර්නස්ට් ලුබිච් කොතරම් ශිෂ්ට රමණීය අදියුරු ශෛලියක් ප්‍රගුණ කළාද කිවහොත් ඔහුගේ එම ඔරිජිනල් ඉතාමත්ම පැහැදිලව පෙනෙන වෙනස නිසා ඔහුගේ නිර්මාණවල ඒ ගුණය වර්ණනා කළේ ඒවායේ ලුබිච් ස්පර්ෂය සංගත බවයි. සෞන්දර්ය සහ හාස්‍ය එකට සංයෝජනය කරමින් අති විශාල උණුසුමක් සහ මානව දයාවක් ඉතාමක් දියාරුම තිර නාටකයකට හෝ ගෙන ඒමට සමත් වූ ඔහු සරල ආදර කොමඩි සඳහා නව ප්‍රමිතියක් සාර්ථක ලෙස හඳුන්වා දෙන්නට ප්‍රමුඛ වුණේ එම ශෛලියට නව අර්ථ කථනයක් දෙමින්ය. එයින් නොනැවතුණු ඔහු සංගීතමය චිත්‍රපට මෙන් පටිගත කිරීමේ සිද්ධාන්ත මුළුමනින්ම වෙනස් කරන්නට උදව් ‘කළා. ඒ විතරක් නෙවෙයි ඔහු කතානාද චිත්‍රපට යුගයේ වැඩියෙන්ම අනුකරණයට ලක්වුණු සිනමාකරුවාද වූවා.

PERSONAL QUOTE

මාං ප්‍රේක්ෂකයින්ට ඔවුන්ගේ පරිකල්පනය පාවිච්චි කරන්නට ඉඩ දෙනවා. ඉතින් මගේ යෝජනා ඇඟවීම් ඔවුන් වැරදියට තේරම් ගන්නවා නම් ඒකට මං මොනවා කරන්නද?