වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




මේ අවමානය කාටද?

මේ අවමානය කාටද?

අපේ රටේ ප්‍රතිභාපූර්ණ රංගධරයකු වන විජය නන්දසිරි කලාකරුවාගේ අවමංගල කටයුතු පසුගිය 11 වෙනිදා ගල්කිස්ස සුසාන භුමියේදී සිදු විය. එදා අතුරු සිදුරු නොමැතිව ඔහුට ආදරය කරන කලාකරුවන්, විද්වතුන්, දේශපාලනඥයින්, රසික පිරිස් සුසාන භූමියේ පිරී ඉතිරී තිබුණු බව කාටත් නොරහසකි. මා මේ කීමට යන්නේ ආදරණීය විජය අයියාගේ අවසන් කටයුතු ගැන නොව ඊට වඩා හාත්පසින් වෙනත් වූ යමක් ගැනය. මෙය කොතරම් වැරදි ද කියන එක ඔබ තේරම් ගත යුතුව ඇත. මම එය ඉතා පිළිකුල් සහගත ලෙස හෙලා දකිමි. එම සුන්දර කලාකරුවාට කළ අවමානයකි. එය මෙසේ විය. 'එහෙනම් අපි දහතුන් වෙනිදා දෙහිවලදී හම්බ වෙමු' ඒ අගෝස්තු 7 ඉරිදා කුරුණෑගල රාත්‍රී දර්ශනය අවසන්වීමෙන් පසුව විජය අයියා විසින් තම සහෝදර නාට්‍ය ශිල්පීන්ව ඇමතූ අන්තිම වදන බව පුවත්පතක ඔහුගේ අභාවය පිළිබඳ කතිකාවක සඳහන් වී තිබුණි.

අගෝස්තු 8 වෙනි සඳුදා උදය ඔහු අප අතරින් සදහටම සමු ගත්තේය. අගෝස්තු 9, 10 දින දෙක ඔහුගේ මෘතදේහය ගල්කිස්ස කලාපුරයේ ඔහුගේ නිවසේ තැන්පත් කර තිබුණි. විවිධ පිරිස් අතුරු සිදුරු නොමැතිව ඒ දින දෙක තුළ කලාපුරයට පැමිණියහ. 11 වෙනිදා සවස විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් මල හිරු බැස යනවාත් සමඟ ඔහු අපගෙන් සදහටම සමුගත්තේය. ඒ බව එදින සුසාන භුමියට පැමිණි සියල්ලන්ගේම දුක්බර මුහුණුවල සටහන් වී තිබුණි.

අගෝස්තු 13 දින දෙහිවල ජයසිංහ ශාලාවේදී විජය රඟන එක්තරා නාට්‍යයක පෝස්ටරය ඒ වන විටත් දෙහිවල නගරයේ ගම් අවට පුරා ඇල වී තිබුණි. නාට්‍ය පෝස්ටරයක් අලවනු ලබන්නේ සංවිධානයකින් සතියකට කලින් නිසා එය ප්‍රශ්නයක් නොවිය යුතුව ඇත. මේ කතාවට අදාල ප්‍රශ්නය වන්නේ මෙයයි. විජය අයියාගේ මරණයේ උණුසුම සහ හත් දවසේ බණ කීමටත් පෙර එම නාට්‍යයේ අදාල ශිල්ප ශිල්පිණියන් සංවිධායකයින් නාට්‍යයේ දර්ශන අවලංගු නොකර ඒ වෙනුවට නාට්‍යයේ ඇතුළතින් තෝරාගත් ආදේශ නළුවෙක් යොදා අගෝස්තු 13 සෙනසුරාදා එම නාට්‍ය කිසිදු හිරිකිතයකින් තොරව මහජන දර්ශනය සංවිධානය කිරීම කොතරම් නොහිබිනා ක්‍රියාවක්ද? ඒ විජය නන්දසිරි නම් ප්‍රවීණ රංගධාරී උතුම් මිනිසාට එම නාට්‍ය කණ්ඩායමෙන් ලැබුණු අවසන් උපහාරයදැයි මම අසමි. විජය වැනි දැවැන්ත රංගධරයෙකුගේ නාට්‍ය චරිතයක් දින හතක් ඇතුළත වේදිකාවේ මරා දැමීම කෙතරම් සැහැසි ක්‍රියාවක්ද? එදින එම නාට්‍ය දර්ශනය විජේ අයියාට ගෞරවයක් ලෙස අවලංගු කර හත් දවසේ බණ හා දානයට සහභාගී වී නාට්‍ය වෙනත් දවසක යොදා ගත්තේ නම් එය රංගධරයාට කරන ඉමහත් ගෞරවයක් වන්නට ඉඩ තිබිණ.

නාට්‍ය දර්ශන වාර ගණනාවක් රට වටා ගිය නාට්‍ය පවුලේ එකම පරිණත පීතෘවරයා, වැඩිමල් සහෝදරයා මෙන්ම නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන රංගධරයාගේ අභාවයෙන් සත් දිනක්වත් යෑමට කලින් මෙවැනි දෙයක් කිරීම සමස්ත කලාකරුවන් වශයෙනුත් තවත් කොතරම් දුරට සිතිය යුතුද? යන්න තරයේ සිහි තබා ගත යුතුව තිබුණි.