වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් මට ඊරිසියාවක් හිතෙන්නේ නෑ

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

දැන් මට ඊරිසියාවක් හිතෙන්නේ නෑ

‘මොකක් ද මේ විකාර වල තේරුම?

සුජිත් තෑ ගැසන හඩ අපායටත් ඇසෙන්නට ඇතැයි චාමරට සිතිණ.ටෙලි මාලාවේ දර්ශන රෑ ගැන්වීම් දිනෙන් දින නිමාවට පත් වද්දි සුජිත් ගේ විලාසය ද දිනෙන් දින වෙනස් ව යන බැවි සියල්ලට පැහැදිලිය.

අලුත් වලව්ව ටෙලි මාලා නාටකයේ රූ ගැන්වීම් එක දිගට සැලසුම් කළ පරිද්දෙන් සිදු කෙරිණ. දිගු කලක් සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ සුජිත් ගේ සැලසුම් අබිබවා චාමරගේ සැලසුම් සහ මානවී ගේ අදහස් නිර්මාණයේ රූ ගැන්වීමට වඩා උපකාරි වූයේය. මුලින් සැලසුම් කළ පරිදි එය රුහි කොටස් පහළොහක් රූ ගැන්වීමෙන් පසු ජයවර්ණ චැනලය ට යැවීමට මානවී කටයුතු කළාය. නිරංජන් ගේ අපේක්ෂාව වූයේ එය වෙනත් නාලිකාවකට යැවීමට වුවත් මානවී සියල්ල හොදින් සැලසුම් කළ ආකාරය දැක සතුටු වූවාය.

‘ඔව්. අපේ ටෙලියක් තවම පෙන්වනුවේ නැත්තේ ජයවර්ණ එකේ විතරනේ’

නිරංජන් වීරප්පෙරුම හමුවේ කියා පෑවේය. දැන් මානවීට එහා යමක් කියන්නට වීරප්පෙරුම ඉඩ නොදෙන බැව් නිරංජන් වටහා ගෙනය.

‘ඒ ළමයා මගේ මේ වයසෙට හම්බ වෙච්ච වටිනාම ළමයා. නිරංජන්.’

දවසක් දා නිරංජන් සමග වීරප්පෙරුම කියා සිටියේය.

ඔහුගේ හඩේහි වෙනදා ට වඩා මහලු ස්වරයක් ඇතැයි නිරංජන්ට නිකමට සිතිණ.

‘මට වෙලාවකට හිතෙනවා බං.ඒ මගේ නෝනා ආයේ ඉපදිලා ද කියලා’

වීරප්පෙරුම පශ්චත්තාප වන්නේ යැයි නිරංජන්ට සිතිණ. මේ පසුබෑම තමන්ට හොද නැත.මිනිසෙකු පව් මතක් කරන්නේ පින් පිරිහෙන කාලේ යැයි නිරංජන්ට සිතිණ. කලකට ඉහත තමා දහම් පාසැල් ගිහින් ඉගෙන ගත් හැටි නිරංජන්ට සිහිපත් විණ. වීරප්පෙරුම ද එබඳු විය හැකිය. එබඳු මිනිසුන් ගෙන් තව දුරටත් පළක් නොවනු ඇත.ලබන මැතිවරණයට ඔහු ඉදිරිපත් නොවී දේශපාලනයෙන් සමුගන්නට සිතෙන වග ද වීරප්පෙරුම පැවසුවේය. නිරංජන් පුදුමයෙන් මෙන් ඔහු දෙස බලා සිටියේය.

වීරප්පෙරුම නැගිට ගොස් විස්කි වීදුරුවක් පුරවා ගත්තේය.

‘ඒවා තාම සිතුවිලි විතරයි ඉලන්දාරියා. මෙව්වා සංසාරේ වගේ තමා.අපි මිදෙන්නට හිතුව ට දවසින් දවස බැඳෙනවා’

ඔහු මහ හඩින් සිනාසී විස්කි වඩිය එක උගුරට ගිල දැම්මේය.අනතුරුව අන්දමන්ද ව බලාසිටී නිරංජන්ගේ පිටට මහ හඩින් පහරක් දුන්නේය. වේදනාව පිට නොකළ ඔහු එය සිනහවකින් විඳ ගත්තේය.

‘සර්ත් මාර කතා තමයි කරන්නෙත් ඔහු අන්තිමට වචන ගැළපුවේය.’

ටෙලි නාට්‍යයේ මුල් කොටස් පහළොවක් චැනලයේ ලොක්කන් හමුවේ පෙන්වන්නට මානවී කටයුතු කළේය. ඒ සදහා ඇය ගියේ චමිල සමගය. මේ යන ගමන බොහෝ දෙනාගේ ඇස් අරින කටකතාවලට මුල පිරුමක් බැව් මානවී දැන උන්නාය. අම්මා ඒ ගැන පැවසුවාය.

‘එහෙම නැත්නම් මේ ටෙලියේ ඉතිරි ටික අපට අඩුවෙන් දෙන්න වෙනවා. මේ කටකතාව මට වාසියි’

මානවී උඩගු සිනහවකින් පැවසුවාය. නිර්මලාට දුක සිතිණ. දියණිය තමාගේ මානයෙන් එහා ගොස් ඇති වග ඇයට පැහැදිලිය. විටෙක ඇය ගැන ආඩම්බරයක් ඇති වුවත් මොකක්දෝ කියා ගත නොහැකි පිළිකුලක් ද ඇති නොවනවා නොවේ.මොනවා කළත් ඒ මගේම දුවනොවේ ද? අනිත් අතට ඇය දැන් යැපෙන්නේ ඇගේ මුදලිනි. කලක් ඉසුරුමත් ව වැ‍ජඹුණ තම පවුලට යළි ඉසුරු ගෙන ආවේ දියණියයි.තම පියා අසනීප ව රෝහල් ගත කළ විට ලැබුණු විශේෂ ප්‍රතිකාර සියල්ලට හේතු වූයේ දියණිය විසින් ලබා ගත් කීර්තියම නොවන්නේ ද?

තරාදියේ වැඩි බර ඇයටය. එලෙස සිත හදා ගන්නට ඇය තීරණය කළාය.

ටෙලි නාට්‍යයේ විශේෂ දැක්මට සහභාගි වූයේ නාලිකා වේ කිහිප දෙනෙකු පමණී.

‘එක්සලන්ට් මානවී’

වැඩසටහන් ලොක්කා පැවසුවේ මානවී ගේ අත මිරිකාලමිනි.

‘චමිල ට හොද අනාගතයක් තියෙනවා’

තවත් ලොක්කෙකු කියනු මානවී අසා සිටියාය.

‘මැඩම් ට බොහොම ස්තූතියි’

එයින් පසු කතා නිමා වූ පසු චමිල පැවසුවේ මානවී ගේ රථය පදවමිනි..

‘මොකක්ද ළමයෝ තවමත් මට මැඩම් කියන්නේ.මට මානවී කියනවකෝ’

‘මං කොහොමද මැඩම් ට මානවී කියන්නේ’

‘ඔය දැන් කිව්වා වගේම’

මානවී ඔහු ට නැඹුරුවෙමින් පැවසුවාය. ඔහු ඈ වෙතින් විහිදුණ විලවුන් සුවඳට ඇලුම් කරන්නට පටන් ගත්තේය. ඇය සිය වරලස තමා වෙත තබා ගැන්මට උත්සාහ කළාය. අනතුරුව ඇය සිය අත් බෑගයේ තිබුණ දුරකතනය විමසා බැලුවාය.

‘ඔහොමම හරවන්න.මට මිස්ටර් වීරප්පෙරුම හම්බුවෙන්න යන්න ඕනෑ.’

චමිල මානවී පැවසූ මග සලකුණු අනුව රථය පැදවූයේය.එය නතර වූයේ විරප්පෙරුම පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණය පාමුලය.රථය ඇඳින ගත් එහි මුරකරු වහා දුව ආවේය.

‘චමිල කාර් එක අරන් යන්න. හෙට මං කිව්වම එන්න.’

‘මං මැඩම්ගේ ගෙදරට ගිහින් කාර් එක දාන්නද ?’

ඔහු ඇසුවේ වැඩි යමක් හාරා අවුස්සන රිසි කුතුහලයෙනි.

‘ඇයි ඔයාගේ බෝඩිමේ දාන්න බැරිද?’

‘එහෙනම් අමාරුයි’

ඔහු කෙඳිරි ගෑවේය.

‘එහෙනම් චමිල වාහනේම මෙහේ පාක් කරන්න. මං ඔයාට යන්න කැබ් එකකට කතා කරන්නම්’

ඇය තම දුරකතනය පුරු අත සැරි සැරුවේ අංකයකට කතා කරන්නටය.

‘නෑ.මැඩම් මට යන්න ඇහැකි. තවම එච්චර රෑ වෙලා නෑ’

මානවී කිසිත් නොකිව්වාය.රථ ගාලේ කෙළවරකට වන්නට රථය සීරුවට නතර කළ චමිල මානවී ගේ අතට යතුර දුන්නේය. ඔහු මුරකරු දෙස මද සිනහවක් සැලුවේ ගොඩනැගිල්ලෙන් පිටව යද්දිය. ඒ මොහොතේ ඔහු ආපසු හැරී බැලුවේය. මානවී විදුලි සෝපානය දිගේ ඉහළට යනු ඔහු දුටුවේය. ගොඩනැගිල්ලෙන් පිටට පැමිණි චමිල ගොඩනැගිල්ල මුදුනත බැලුවේ සිතා මතා නොවේ.එහි කෙළවර පියාඹන වලාකුළු ද තරුවක් ද ඔහුට පෙනිණ.

මානවී එනතුරු බලා සිටි වීරප්පෙරුම දොර ඇරියේය. කුඩා කල නොලද සෙල්ලම් බඩුවක් ලැබුන් බිලිඳෙක් මෙන් විරප්පෙරුම ඇය දෙස බලා උන්නේය.

‘මොකද කට්ටිය කිව්වේ’

ඔහු ඇසුවේ අනතුරුවය. එන්නටත් පෙරාතුව එහි ප්‍රතිඵලය කවරේදැයි වීරප්පෙරුම දන්නවා බැව් මානවී දන්නේය.

‘අර අලුත් ඉලන්දාරියා ද ගෙනත් බැස්සුවේ’

වීරප්පෙරුම විතාලේ මනවී ඔහුට හේත්තු වද්දීය.ඈ ඔහු වෙතින් හිස ඉවත් කර ගත්තාය.

‘ඔව්.ඇයි මොකේ ඉරිෂියා හිතුණද?’

මානවී ඇසුවේ විහිළුවක ස්වරයකිනි.වීරප්පපෙරුම මානවී ගේ නකටින් අල්ලා ගත්තේය.

‘දැන් මට ඊර්ෂ්‍යාවක් හිතෙන්නේ නෑ දරුවෝ’

ඔහු අනතුරුව අසුනක වාඩි වූයේය. මේ හාන්සි පුටුව වීරප්පෙරුම ගේ පහස නිතර ලබන්නේ ඔහු පොතක් කියවන විටය.

‘ඒ මොකෝ සර්. අනේ මං විහිළුවට කිව්වේ’

ඇය ඔහු ඉදිරියේ බැගෑපත් වගක් පළ කලාය.

විහිළුවට වුනත් කිව්වේ ඇත්ත‘

“සර් මාව කාට හරි දන් දෙන්න හිතවද ?”

“මං වෙස්සන්තර කෙනෙක් නෙමෙයි මානවී.”

අතින් අල්ලා ගෙන සිටි ඇය තම උකුලට ඇද ගන්නට තරම් ඔහුගේ බාහු යුග ශක්තිමත් විය.

‘ඒ හින්දා දන් දෙන්න නම් හිත හදා ගන්න බෑ. උඹට මොන තරම් අපල ආවත් වරද්දන්න බෑ කියන එකත් මං දන්නවා”

‘කොහොමද සර් දන්නේ?’

‘මං දරුවාගේ කේන්දරේ බැලුවා”

පසුගිය දවසක වීරප්පෙරුම මානවී ගේ උපන් වේලාව ඉල්ලා ගත්තේ නිර්මලාට දුරකථන ඇමතුමක් දෙමිනි.එය ඇය සතු නොවුණෙන් නිර්මලා එය ඉල්ලා ගත්තේ ගමට ඇමතුමක් දෙමිනි.

‘පරිස්සමින් කටයුතු කරන්න ඔයා දන්නවා’

වීරප්පෙරුම කතා ව හමාර කරන්නට මෙන් පැවසුවේය.ඔහුගේ කතා විලාසය දන්නා ඇය පසු විපරමට ඉඩ තබා කතාව නතර කළාය.අනතුරුව ඇය නාන කමරයට වැදුණේ ඇඟ පත සෝදා ගන්නටය.ඔහු එහි වීදුරු දොර අසලට ලංවන අයුරු ඇයට පෙනිණ.එහෙත් එයට රිංගා එබිකම් කරන්නට ඔහු උත්සාහ නොකළේය.

‘කවද්ද ආයේ ෂෙඩූල් එක’

‘අනිද්දා’

ඔහු එයින් මෑත්ව කාමරයට යන අයුරු ඇය සිතන් මවා ගත්තාය.

පයින්ම ඇදුණු චමිල මහ පාරට වැදුණේ ත්‍රී වීලරයක් සොයන්නටය.පැමිනි වාහන සියල්ලේම කිසිවකු හෝ සිටියේය.ඔහු තවත් රථයකට අත දැම්මේය.එය මදක් ඉදිරියට ගොස් නැවතිණ.එහි කිසිවකු හෝ සිටිනු ඔහුට පෙනිණ.වැරදි රථයකට අත දැමීම ගැන චමිල ට කෝපයක් ඇති වින.කිසිවක් එයින් හිස දමා කෑ ගසනු ඔහුට පෙනිණ.

‘ඒයි චමිලයා වරෙං’

ඒ චාමරය.චමිල වහා ඉදිරියට දිව ගියේ එයට ගොඩ වන්නටය.රථයේ එක් පැත්තක හිස ගසා සිටියේ සුජිත්ය.

‘කොහේද බං උඹ ගියේ’?

වාඩි වූ තැන තරමක් ඉඩ සකසා චමිලටත් ඉඩ දී චාමර ඇසුවේය.

“මං මේ බෝඩිමට යනවා.හන්දියට ගියොත් වාහනයක් හොයා ගතෑකි.”

චමිල ගේ නවාතැනට එතැන සිට කිලෝමීටර් ගණනාවකි.

‘අද එහේ යන්න ඕනෙ නෑ වරෙං මගේ කාමරේ ඉදිමු’

සුජිත් කෑගෑවේය.ඔහු බීමත්ව ඇති වග පැහැදිලිය.

“අය්යා මේ තමා මං ගෙනාපු අලුත් තරුව.මෙයා අපෙ සිනමාව ටෙලිවිෂන එක කවදා හරි බබළනවා.”

සුජිත් පැවසුවේ රිය පදවන්නාටය.

ඔහු කිසිත් නොකියා චමිල දෙස බැලුවේය. මොකා උනත් කමක් නෑ රෑ සවාරියේ මුදල් ලැබුණොත් ඇතියැයයි ඔහුට සිතිණ.බේබද්දන් ගෙන යෑමට ඔහු සාමාන්‍යයෙන් අකමැති වුවත් චාමර කෙසේ හෝ ඔහු කැමැති කරවා ගෙන තිබිණ.

‘කොහේද මචං උඹ ගියේ?

විමසුවේ චාමරය.

‘ප්‍රඩක්ෂන් එක චැනල් එකට පෙන්වූවා අයියා ආවේ නැත්තේ ඇයි?’

‘ඔහු ඇසුවේය.

‘මට කිව්වේ නෑ බං’

සුජිත් කෑගෑවේය.

‘දැන් ඔය උඹ එහේ ඉදල එන ගමන් ද?’

නෑ .ඊට පස්සේ මැඩම් මට කිව්වා අර වීරප්පෙරුම මිනිස්ටර් ලා ගෙදරට එක්ක යන්න කියලා.”

සුජිත් රථය ඇතුළේම ඇඹරී චමිල ගේ කමිසයෙන් අල්ලා ගත්තේය.චාමර ඔහු දෙපැත්තකට කරන්නට උත්සාහ කළේය.සිදුවන කිසිවක් තෝරා ගන්නට තරම් චමිල අපොහොසත් විය.

උඹව ගත්තේ ඇට් කරන්න මිසක් පිම්පි වැඩ කරන්න නෙවේ යකෝ‘