|
විජය සමඟ එක පැදුරක මමත් බන්දුත් නිදා ගත් දා
ගුණදාස අමරසේකරගේ 'කරුමක්කාරයෝ' නවකතාව ඇසුරෙන් තිස්ස අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ එම චිත්‍රපටයේ රූගත කිරීම් බලන්ගොඩ කල්තොට දී ඇරඹිණි. බලන්ගොඩට ගොස් ඒ අවස්ථාවන් ඡායාරූප ගතකොට හොඳ විශේෂංගයක් ලිවීමට සරසවිය කර්තෘ ධර්මදාස බොතේජුත්, කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාරත් මාත් එහි ගියෙමු. වෙනත් චිත්‍රපටවල නම් නළු නිළියන්ට හොඳ හෝටල්වල නවාතැන් ලැබේ. මාධ්‍යවේදීන්ට ද මේ වරප්‍රසාදය ලැබේ. එහෙත් බලන්ගොඩ දර්ශන තලයේ පේනතෙක් මානයේ විශාල ශාලාවක පැදුරු එලාගෙන නළුවන් නිදා ගත්තේ තිස්සටත් චිත්‍රපටයටත් තිබෙන ආදරය නිසාය. අනිික් ප්‍රධාන කාරණය වූයේ චිත්‍රපටයේ නිෂ්පාදක ෆ්‍රැන්සිස් සියඹලාපිටිය ද මානව හිතවාදී පුද්ගලයකු නිසා නළු නිළියෝ ද, කාර්මිකයෝ ද ඔහුට උපකාර කළහ. රූපගත කිරීම් අවසන තිස්ස අප අසලට පැමිණ බොතේජු මහතාගෙන් මෙසේ ඇසුවේය. 'මිස්ටර් බොතේජු අපට හෝටල්වල පහහසුකම් නෑ. තිබුණත් ඒවා ඈත තියෙන්නේ . . . ඔබතුමා කර්තෘ හැටියට අපිත් එක්ක මෙහෙ නිදාගන්න කැමතිද? රන්ජිත්ට, බන්දුට කිසිම ප්‍රශ්නයක් නෑ. ඕනෑ එකකට කැමතියි. ඔබතුමාව රෙස්ට් හවුස් එකේ නවත්වන්නද? 'කිසිම ප්‍රශ්නයක් නෑ තිස්ස. මමත් රන්ජිත්, බන්දුත් එක්කලා නිදාගන්නම්' බොතේජු මහතා කීවේය. විජය කුමාරතුංග, සිරිල් වික්‍රමගේ, උපාලි අත්තනායක, සෝමසිරි දෙහිපිටිය, යූ. ආරියවිමල්, ජී. ආර්. පෙරේරා, දයා අල්විස්, පියසේන අහංගම, දයා තෙන්නකෝන්, ලයනල් වික්‍රම සමඟ අපි රෑ පැදුරුවල නිදා ගතිමු. විජයගේ දෙපැත්තේ මාත්, බන්දුත් නිදා ගත් අතර බොතේජු මහතා සෝමසිරි අසල කොට්ටයක හිස තබා ගත්තේය. ගීතා කුමාරසිංහ, හයසින්ත් විජේරත්න, අසංකා මොනරවිල, රත්මලී ගුණසේකර වෙනත් තැනක නවාතැන් ගත්හ. විජය රෑ වනතුරු බන්දුත්, මාත් සමඟ කතාවට වැටී නින්දට වැටුණේය. රෙස්ට්හවුසියක සැප පහසු වායු සමනය කළ කාමරයකට වඩා සීතල දේශගුණයක් ඇති බලංගොඩ කොතරම් සුවදායක ද, විජය, සිරිල්, දයා, ආරියවිමල්, ජී. ආර්., ලයනල්, පියසේන හා තිස්ස සමඟ පැදුරු දමාගෙන රාත්‍රී කිහිපයක් ගත කිරීම කොතරම් සොඳුරුද? අපේ කෑම බීම ගැන සොයා බැලුවේ සෝමසිරිය. එහි තිබුණ ජංගම බාර් එකේ අධිපති ද ඔහුය. රූ ගත කිරීම් අවසන හවස සීතල වතුරෙන් ඇඟපත දෝවනය කර ගනිද්දී අපි සැමදෙනා උපන් ඇඳුමෙන් සිටියෙමු. රාත්‍රී බත ඉදෙන තුරු සැවොම ගීත ගයති. සෝමසිරි කට ගැස්ම හා මීවිත පිළියෙල කරයි. දර්ශන තලයේ අත්‍යවශ්‍ය හා ජනප්‍රිය පුද්ගලයා ඔහුය. අව්‍යාජ සිනාරැල්ලෙන් මුව පුරවා ගත් සෝමසිරි යන්ත්‍රයක් මෙන් දර්ශන තලය පුරාම ඇවිද්දේය. සෝමේ විටින් විට අප ළඟට ඇවිත් අඩුපාඩු විමසයි. අද අප අතර නැති සෝමේ කුහක ගති නැති හිත හොඳ මිනිසෙකි. දර්ශන නැති හැමවිටම විජය, ගීතාත්, මාත් බන්දුත් කාර් එකක නංවා බලන්ගොඩ අවට සිරි නැරඹීමට කැටුව යන්නේය. කරුමක්කාරයෝ දර්ශන තලය කොතරම් සොඳුරුදැයි අද මට වෙනදාට වඩා දැනේ. උපාලි අත්තනායක, විජය, තිස්ස, දයා අල්විස්, සිරිල්, ආරියවිමල් සමඟ පැරණි නාඩගම්, නුර්ති ගීත ගයති. 'මචං දැන් උඹ ලියපු සින්දුව කියමු' දයා අල්විස් උපාලිට යෝජනා කරයි. 'නංගිලා මල්ලිලා ඉන්නවා දෝ බලා දැන් එති දැන් එති දැන් කියා' දයා අල්විස්, උපාලි අත්තනායක ගීත රචනය කළ සිඩ්නි ආටිගල ගැයූ ගීතය පටන් ගනී. ඊට පසු ද ඔවුන් ගැයුවේ උපාලි ලියූ සිඩ්නි ගැයූ 'පැලේ වසන රන්මලී' ගීතයයි. ගී ගායනයේදි උපාලිගේ කටහඬ වඩාත් මතුව අන් අය අභිබවා ඇසෙයි. විජය ගැයූ 'කවුළුව අතරින්', 'උපන් බිමට', 'ඈත ඉඳන්', 'ආදරයක හැඟුමක්' (මාලිනී බුලත්සිංහල සමඟ) යන ගීත උපාලි රචනා කළ අතර 'බලන්න අරුණ සමඟ' හා 'ආදරයක හැඟුමක්' ගීතවල සංගීත අධ්‍යක්ෂවරයා ද ඔහුය. උපාලි ඉන්න තැන පාළුවක් නැත. ඔහු වැනි කලයාණ මිත්‍රයකු නැති විම කොතරම් දුකක්ද? කතාවට ද උපාලි තරම් ගජ හපනෙකු මා දැක නැත. 'මචං තිස්ස අපි සැන් ජෝසෆ් (මරදානේ) කොලේජ් එකේ එක පන්තියේ ඉගෙන ගන්න කාලේ අපේ පන්තියේ මරු බඩු ටිකක් හිටියේ. සිඩ්නි ආටිගල ගායකයා. පන්තියේ හොඳම ගායකයා ඌ. තිස්ස ලියනසූරිය, රෝයි ද සිල්වා අපිත් එක්ක හින්දි සින්දු කියපු පන්ති සගයෝ. පස්සේ අපි ඔක්කොම සිනමාවට එකතු වුණා. සිඩ්නි ජනප්‍රිය ගුවන් විදුලි හා චිත්‍රපට පසුබිම් ගායකයෙකු වුණා' උපාලි කතාව පටන් ගනී. 'මචං ඔය රෙකෝඩ් එක උඹ අපිට කී සැරයක් නං කියලා තියෙනවාද?' ආරියවිමල් උපාලිට වදේ ගහයි. 'මං කිව්වේ තිස්සයට. උඹ අහල තියෙනව නං කට වහගෙන හිටපං' 'මචං උඹ මටත් කිව්වේ' දයා අල්විස් උපාලිව අවුස්සයි. උපාලි ඊළඟට තිස්ස සමඟ ඉංග්‍රීසියෙන් කතා කරයි. ඔහු එකල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි උපදේකවරයෙකුව සිටියේය. විජය හා ගීතා අප සමඟ සිනමාවේ පැරණි තොරතුරු කියා සතුටු වෙති. එදා සිටි උපාලි, තිස්ස, විජය, සෝමසිරි, ආරියවිමිල් ද ජිවතුන් අතර නැත. පැරණි මතක සමඟ ඔවුන් මගේ මතක ලොවින් ඈත් වන්නේ නැත. පාසල් යන කාලයේ කලාව ගැන කතා කිරීමට හොඳ මිතුරන් දෙදෙනෙකු මට සිටියේය. කොස්ගස් හන්දියෙන් වමට ඇති ස්ටේස් පාරේ පිහිටි ව්ධ්ව්ඡ්ඩ්ඡ්ඒඅඊඉ ඡායාරූප ශාලාව අපේ කලා මධ්‍යස්ථානය විය. එහි අධිපති ඇල්බට් ගොඩමාන්න මහතා මා කුඩා කල සිට හඳුනන මගේ පියාගේ හා මාමාගේ හිතවත් මිතුරෙකි. එකල ඔහු පදිංචිව සිටියේ අප පදිංචිව සිටි ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ පාරේ කෙළවර (ආමර් වීදිය යන පාරේ) ප්‍රකට වෙළඳ ව්‍යාපාරික මුසින් හජ්ජියාර්ගේ නිවසට අල්ලපු නිවසේය. මගේ මතකය හරි නම් ගොඩමාන්න මහතාගේ නිවසේ ඉදිරිපස නිල් පැහැති කොටු කොටු ලැටිස්වලින් යුතු විය. ගොඩමාන්න මහතාගේ පුතු තිලක් ගොඩමාන්න (අද නයින්හාට්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති) අප සමඟ ආනන්දයේ ඉගෙන ගත් සමකාලීන ශිෂ්‍යයෙකි. ඇල්බට් ගොඩමාන්න මහතා කලා රසිකයෙකි. චිත්‍ර කලාව, ඡායාරූප කලාව හා චිත්‍රපට කලාව ගැන දැනුමක් තිබූ සහෘදයෙකි. මේ ඡායාරූප ශාලාවේ හවස් යාමයට කලාව ගැන ලොකු කතිකාවකි. එඩ්වඩ් පීටර්සන් නම් අපේ තවත් මිතුරෙක් සිටියේය. ඔහු ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියෙකි. අපේම තවත් මිතුරෙකු වූ සුමනසිරි (ප්‍රේමසිරි පෙරේරාගේ අයියා) යතුරු ලියනය කොට සංස්කරණය කළ 'දියුණුව' සඟරවේ චිත්‍ර ඇන්දේ එඩ්වඩ් පීටර්සන් හා මාය. ඔහු මට වඩා දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. චිත්‍රපට විචාරක රෙජී රණසිංහගෙන් චිත්‍ර කලාව උගත් ශිෂ්‍යයෙකි. (රෙජී ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයේ චිත්‍ර කලාව උගන්වා ඇත)' පීටර්සන් 'දියුණුව' සඟරාවට අඳින ලද එදා ලංකාණ්ඩුවෙන් නිකුත් කළ ශත 5 හේ 10 හේ මුද්දර කොතරම් සියුම් ද යත් අපි ඇත්තම ඒවාදැයි අත ගා බලන්නෙමු. ඔහු පසුකාලීනව ලංකවේ දක්ෂ පසුතල නිර්මාණ ශිල්පියෙකු මෙන්ම කලා ආචාර්යවරයකු විය. ස්වර්ණ සංඛ සම්මාන උලෙළේ වේදිකාවේ ඔහු දම් පැහැයෙන් නිර්මාණය කළ පසුතලය තවමත් අපට මතක තිබේ. අපේ කලා නිකේතනය වූ 'නයින්හාට්ස්' ඡයාරූප ශාලාවේ පීටර්සන්, තිලක් මා සමඟ ගොඩමාන්න මහතා කතා කරන විට පැරණි තොරතුරු ද මාතෘකා කොට ගති. එම ඡායාරූප ශාලවේ සේවය කළ අපේ පැරණි සිනමා ලේඛකයකු වූ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් ද වරින් වර හවුල් වේ. ඒ කාලයේ හෙන්රි වේදිකා ගත කළ නාට්‍යයකට ද ඇල්බට ගොඩමාන්න මහතා අනුග්‍රහය දැක්වීය. පසු කලෙක තිලක් 'බඹරු ඇවිත්' චිත්‍රපටයේ සම නිෂ්පාදකයා වූයේ ඔහු තුළ තිබූ උසස් කලා රසාස්වාදය හා කාර්මික ඥානය නිසාය. ඇල්බට් උසස් කලාත්මක චිත්‍රපටයක් නිපදවීමට බලාපොරොත්තුවෙන් සිටියේය. 1977 එ. ජ. ප. පාලන සමය කාලයේ පැවැත් වූ ප්‍රථම කොළඹ නගර සභා මැතිවරණයේදීත්, පළාත් සභා මැතිවරණවලදීත් දකුණු හා උතුරු ග්‍රෑන්ඩ්පාස් ආසන සංවිධානවල නියමුවා වූයේ ටී. එම්. සංඝදාසය. සෑම මැතිවරණ කාලයකම පළාත් සාමය ආරක්ෂා කිරීම, ගැටුම් ඇති නොවීමට ආසනයේ හැම පක්ෂයෙන්ම එක් නියෝජිතයෙක් ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති සතියකට වරක් හමු විය යුතුය. ඔවුන් තම පක්ෂයේ ක්‍රියාකාරකයන්, උදව්කරුවන් ගැන වගකිව යුතුය. මේ සඳහා සංඝදාස වෙනුවෙන් මටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ප්‍රේමසිරි පෙරේරාටත් සතිපතා පොලීසියට යාමට සිදු විය. වරක් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් අපව කැඳවූයේය. එවර ප්‍රේමසිරි පෙරේරා මුලින්ම කතාව පටන් ගත්තේය. 'එස්. පී. මහත්තයා, කොස්ගස් හන්දියේ කිසිම ගැටුමක් ඇති වන්නේ නෑ. මම සහතික වෙනවා. මමයි රන්ජිතුයි දේශපාලන පක්ෂ දෙකක. ඒ වුණාට අපි පුංචි කාලේම ඉඳලාම යාළුවෝ. අපි කවුරු දිනුවත් පැරදුණත් එක ලේ බිංදුවක් හැලෙන්න දෙන්නේ නෑ. අපි දෙන්නම දිවුරල කියන්නම්'. මම හිස සැලුවෙමි. 'එහෙනං අපිට පහසුයි. අනිත් ආසනවලත් ඔය වගේ ඉන්නවා නම් අපිට තවත් පහසුයි' පොලිස් අධිකාරීවරයා කීවේය. කොස්ගස් හන්දියේ කිසිදු කලබලයක් නොවීය. පසුව ප්‍රේමසිරි පෙරේරා පළාත් සභා මන්ත්‍රීවරයෙක් විය. පසු කලෙක ඔහු විජය කුමාරතුංගයන්ගේ සමීපතම මිත්‍රයෙක් විය. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රබල සෙන්පතිවරයකු විය. වසර 10 කට පසු (1970 වසරෙන් පසු) නැවත 1980 ආරම්භ කළ සරසවිය සම්මාන උලෙළ දින වූ එක්තරා සිදුවීමක් මට සිහිපත් වෙයි. එක් සම්මාන උලෙළක් පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී විජය කුමාරතුංගයන් මට හමු විය. 'රන්ජිත් මට ආරාධනා පත්‍රය ලැබුණා. පුළුවන් නම් මට තව ආරාධනා පත්‍රයක් දෙනවද සීට් දෙකක්. පස්සට වුණාට කමක් නෑ.' 'මම කර්තෘ මහත්තයට කියලා ඉල්ලලා දෙන්නම්. හැබැයි ඔයාට ආව ආරාධනා පත්‍ර දෙක මාරු කර ගන්න එපා. මොකද ඔයා ඉන්නේ ඉස්සරහ.' 'හරි . . . හරි . . ' විජය කීවේය. මම සරසවිය කර්තෘට කියා අමතර කාඩ් පතක් විජයට යැවීමි. එහි 'අමතර' කියා ලියා තිබුණි. සම්මාන උලෙළ දා 'අන්න විජයයි චන්ද්‍රිකයි දෙන්න පස්සේ ආසනවල ඉඳගෙන' සංවිධායක මණ්ඩලයේ කිසිවෙකු මට කීය. මම ඉක්මනින් විජය ළඟට ගියෙමි. 'විජය ඔයා මොකද මෙතැන. කෝ අනික් ආරාධනා පත්‍රය' 'ඒක මම මගේ හොඳම යාළුවටයි, එයාගේ නෝනටයි දුන්නා. ඒ දෙන්නා ඉස්සරහ හොඳට බලපුවාවේ. අපි හැමදාම ඉස්සරහ ඉන්නවානේ.' 'මම ඔයාට කියලම එව්වේ. ඉස්සරහ තව හොඳ සීට් දෙකක් තියෙනවා. එනවද ඉස්සරහට' 'බැහැ බැහැ දැන් කීයටවත් ඉඳගත්ත තැනින් නැඟිටින්න බෑ' 'අපිට මෙතැන හොඳයි' චන්ද්‍රිකා මහත්මිය කීවාය. 'සරසවිය 'කර්තෘ ද විජයට ඇවිටිලි කළ ද එයින් ඵලක් නොවීය. 'ඔයා පස්සට වෙන්න ඉන්න එක අපිට හොඳ නෑ' 'අපට හොඳනේ. ඔයා යන්න. කොච්චර වැඩ තියනවද' විජය කර්තෘට කීය. විජයගේ අමතර ආරාධනා පත්‍රය දී ඇත්තේ කාටදැයි මම සොයා බැලීමි. ප්‍රේමසිරි පෙරේරා සහ බිරිඳ ඒ අසුන් දෙකේ සිටියහ. 'මම විජයට මෙතැන ඉඳගන්න බැහැම කිව්වා' ප්‍රේමසිරි කිවේය. විජයගෙ හැටි එහෙමයි. තම සමීපතම මිතුරා හා බිරිඳ ඉදිරි අසුනේ සිටිනු දැකීමෙන් ඔහු අවංකවම සතුටු වන බව මම හොඳාකාර දනිමි. |