|
සම්මානය මගේ දියණියට කියලා විජය අයියා පැවසුවා
නැගී එන නිළිය වූ උලෙළේ නිවේදිකාව හිමාලි සයුරංගි
* සරසවිය සම්මාන උලෙළට ලද ප්‍රථම ආරාධනාව ඔබට සුවිශේෂයි? මට මුලින්ට සරසවිය සම්මාන උලෙළකට ආරාධනා ලැබෙනකොට මා දායක වූ චිත්‍රපට අතරින් ‘සිකුරු හතේ’ ප්‍රථමයෙන්ම තිරගත වෙලා තිබුණේ. ඒක බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප්‍රදර්ශනය වුණු චිත්‍රපටයක් බවට පත් වුණා. හැමෝම මට සමන්මලී කියලා කතාකරන තරමට මමත් ජනප්‍රිය වුණා. 2010 වසරේ පැවති 32 වැනි සරසවිය සම්මාන උලෙළේ නිවේදන කටයුතු කරන්න තමයි මට ආරාධනා කළේ. මට නිවේදන කටයුතු කරන්න නියමිත වුණේ පසුගියදා හදිසියේ අප අතරින් වියෝවූ විජය නන්දසිරි අයියා සමඟින්. ඒ වෙනකොට මම නිවේදන කටයුතු කරලා තිබුණත් සරසවිය කියන්නේ අපේ රටේ සිනමාවේ සුවිශේතම සිනමා උලෙළක් නිසා තරමක තිගැස්මක් තිබුණා. සිනමාවේ දැවැන්තයන් දකිනකොට මම කියන්න යන දේ කියා ගන්න බැරි වේවිදෝ කියලත් හිතුණු අවස්ථා තිබුණා. විජය නන්දසිරි අයියාගේ සහයෝගයත් සමඟින් මට එය සාර්ථකව ඉටු කරන්න හැකි වුණා. ඒ අතරේ මගේ නමත් හොඳම නැඟී එන නිළිය නිර්දේශිත නාම අතර තියෙන බව දැනගත්තේ නිවේදන කටයුතු වෙනුවෙන් දායක වෙන්න ගියාමයි.
මට නිවේදන කටයුතු භාර වුණු නිසා සම්මානයක් ගැන නම් පුංචි බලාපොරොත්තුවක් වත් තිබුනේ නැහැ. මම හිතුවේ නිවේදන කටයුතු වෙනුවෙන් මාව තෝරා ගත්තේ මට සම්මානයක් නැති නිසා කියලයි. නමුත් එදා සම්මාන උලෙළේදී මගේ නම සම්මානය වෙනුවෙන් නිවේදනය කළේ විජය අයියා.
* ඒ වෙලාවේ මොනවද හිතුණේ? එකපාරටම මම ගැස්සුණා. මම සිතුරු හතේ චිත්‍රපටයේ රඟපෑවෙත් ඔහුත් එක්ක. එහිදී ඔහු මංගලජය කපුමහත්තයා. මම ඔහුගේ දියණිය සමන්මලී. මෙවර සරසවිය සම්මාන උලෙළේ හොඳම නැඟී එන නිළියට හිමි සම්මානය ලැබෙන්නේ මගේ දියණියට කියලා තමයි ඔහු නිවේදනය කළේ. මම විජය අයියාගේ කකුල් දෙක අල්ලලා වැඳලා තමයි සම්මානය ගන්න ගියේ. මේ අවස්ථාවේදි නම් එය සිහිපත් වෙනකොට දැනෙන්නේ ලොකු දුකක්. එදා මම සම්මානය ගත්තේ ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනි සේරසිංහ මහත්මිය අතින්. මට ලොකු සතුටක් හිතට දැනුණා. නමුත් සම්මානය අතට අරගෙන එහි සතුට විශේෂයෙන් රසවිඳීන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද ඊළඟ නිවේදන කටයුත්ත භාරවෙලා තිබුණේ මට. සරසවිය සම්මානයක් ලැබීම මට මගේ රංගන ජීවිතයට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම ලොකු වගකීමක්. ඉදිරිය සාර්ථකර ගන්න ලොකු අත්වැලක්.
* සම්මානය ලැබුණම සමන්මලී ආඩම්බර වුණාද? රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට සම්මානයක් ලැබෙනවා කියන්නේ ලොකු සතුටක්. මම ඒ සතුට බොහොම නිහතමානිව විඳගත්තා.
* සිකුරු හතේ චිත්‍රපටය නිසා ලද ප්‍රතිචාර කොහොමද?
* සිකුරු හතේ චිත්‍රපටය රූගත කිරීමේදි ලද අත්දැකීම් යළිත් සිහිපත් කළොත්? සිකුරු හතේ චිත්‍රපටයට දායක වූ නළු නිළි කණ්ඩායම ගත්තොත් ඔවුන් හැමෝම අපේ රටේ ප්‍රවීණයන් පිරිසක්. එතැන එකම ආධුනිකයා වුණේ මම. ඒ අත්දැකීම මගේ ජීවිතයේ නොමැකෙන මතක සටහනක්. සිකුරු හතේ අධ්‍යක්ෂ ගිරිරාජ් කෞෂල්‍ය අයියා චිත්‍රපටයේ කටයුතු ඉතාම හොඳ සූදානමකින් ආරම්භ කළා. කිසිම කරදරයක්, කලබලයක් නැතුව බොහොම පිළිවෙලට කටයුතු කරගෙන යන්නත් අවස්ථාව ලැබීම ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. අපි එක දවසකට කළේ සීන් දෙකතුනක් විතරයි. ඒ නිසා මහන්සියක් දැනුණේ නැහැ. විජය අයියා, සුසිලා අක්කා, ඇන්ටන් ජූඩි, ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල අයියලා සමඟින් ගත කළ කාලය ලොකු සතුටකින් ගත කළේ. හැම වෙලාවකම විහිළු තහළු තමයි. මට මතකයි මට එහි රොඩ්නි අයියයි ප්‍රියන්ත අයියයි ජූඩ් අයියයි එක්ක රණ්ඩු වෙන දර්ශනයක් තිබුණා. ඒ රණ්ඩුව වෙලාවේ මට හිනා යනවා නවත්වගන්නම බැහැ. කැමරාවට පේන නිසා බැරිම තැන මම බිම බලාගත්තා.
* පුංචි තිරයෙන් සිනමාවට පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ? පුළුල් තිරයෙන් මාව දකිනකොට ලොකු වෙනසක් සතුටක් දැනුණා. සිකුරු හතේ තරම් මා ජනප්‍රිය කළ වෙනත් චිත්‍රපටයක් ලැබුණෙත් නැහැ. ඉහළ ජනප්‍රියත්වයක් ලද චිත්‍රපටයක් සමඟින් ජනතාව අතරට එන්න ලැබීම සතුටක්. ඒ ගමන ආරම්භයේදීම සරසවිය සම්මානයකින් පිදුම් ලැබීම වාසනාවක්. |