|
මවුපිය මඟ යමින් දක්ෂ දූ දරුවන් පිරිසක් මා කලාවට දායාද කළා
අමර - දයා සංගීත පදනමේ ‘ප්‍රතිභා සංධ්වනි’ 21 වැනිදාරූපශිකා රණතුංග
තරු බැබළෙන අකාසේ සුපුන් සඳක් සේ තවමත් මේ යුවළ බැබළෙනවා. ඒ එළියෙන් මඟ හසර සොයාගත් නෙක විසිතුරු තාරකාවන් සංගීත ක්ෂේත්‍රය නැමැති මේ අහස් තලය අලංකාර කරනවා. එක රැයින් දිලී නොපෙනී යන්නට නොව දිලි දිලි සදා කල් රැඳෙන්නට ඔවුනට පාර කියාදුන් මේ යුවළ අපේ සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කළ ගායක ගායිකා යුවළක්. ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග, මේ නාමයන් දෙක මෙරට ගීත ක්ෂේත්‍රය තුළ පමණක් නොව සුවහසක් ශිෂ්‍ය පරම්පරාවකට සංගීත ඥානය බෙදා දෙන විශිෂ්ට ගණයේ ගුරු පරම්පරාවක ආරම්භකයින්ය. අපේ කතාවේ සුවිශේෂී සංසිද්ධිය වන්නේ ද ගුරුවරු වශයෙන් ඔවුන් දෙදෙනාගෙන් මෙරට සිසු පරම්පරාව වෙත තිළිණ වූ අනගි දායාදය වෙනුවෙනි. ඒ 'අමර - දයා' සංගීත පදනමය. මෙයින් ශාස්ත්‍රීය සංගීතය හදාළ සිසු පරපුරක් සිරිලක වටා පැතිරී පවතී. එදා ඔවුන් ඇරඹූ එම පදනම වර්තමානය වනවිට පවත්වාගෙන යන්නේ ඔවුන් දෙපළගේ දයාබර දියණිය වූ රූපශිකා රණතුංගය. මවුුපිය අඩි පාරේ යමින් දූ දරුවන් රැසකට සංගීත ඥානය බෙදා දෙන ඈ මේ දිනවල සූදානම් වනුයේ සිය ගෝල පරපුරේ දක්ෂතා කලඑළි දක්වන්නටය. දිනය හරියටම අගෝස්තු 21 වැනිදාය. දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේදී සවස 6.00 ට දිග හැරෙන 'ප්‍රතිභා සංධ්වනි' ප්‍රසංගයෙන් දූ දරුවන් රැසකගේ දක්ෂතා ඇය කලඑළි දක්වන්නේය. 'අමර - දයා' සංගීත පදනම ආරම්භ කළේ මගේ අම්මයි තාත්තයි. අපේ පදනමේ මූලික බලාපොරොත්තුව වෙන්නේ ශාස්ත්‍රීය සංගීතය නියම ආකාරයෙන් ඉගැන්වීම. වයස අවුරුදු 10 සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් දක්වා වූ විශාල කණ්ඩායමක් මේ පදනමෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරනවා. විෂයට මුල්තැන දෙනවා වගේම අපේ දරුවන්ගේ සෙසු කුසලතා වර්ධනයටත්, දක්ෂතා ඔප්නංවා ගැනීමටත් අපි විශේෂ අවධානය යොමු කරනවා. අපේ දරුවෝ ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව පෙන්නුම් කිරීමේ අවස්ථාවක් හැටියට තමයි 'ප්‍රතිභා සංධ්වනි' ප්‍රසංගය අපි සංවිධානය කළේ. මේ ප්‍රසංගයට සහභාගි වෙන්නේ සිසු දරු දැරියන් පමණයි. විවිධ දක්ෂතා තිබෙන දරුවන් අපි ළඟ ඉන්නවා. වාද්‍ය වෘන්දය සකසා ගත්තෙත් දරුවන්ගෙන්. ගායනා, නර්තන, නාට්‍ය, නිවේදන, වාදන මෙකී නොකී සියලු අංගයන්ට දායක වන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණයි.' රූපශිකා පවසන්නේ සුවිශාල සතුටකිනි. ගුරුවරයෙකුට තමන්ගේ ශිෂ්‍යයෙක්ගේ දක්ෂතා දකිනවා තරම් සතුටක් තවත් කොයින්ද? මේ සා විශාල කාර්ය භාරයකට උර දුන්නත් ඈට කිසිදු වෙහෙසක් නැති පාටයි. මේ වෙනකොටත් ඇගේ නිවසේ දස අතින් ඇහෙන්නේ සංගීත හඬ, දූ දරුවන් එහෙට මෙහෙට දිව යන හඬ. මුළු ගේම ශිෂ්‍ය පරම්පරාවෙන් පිරිලා. මහාචාර්ය අමරා මෙන්ම දයාරත්න රණතුංගයන් ද මේ සියල්ල දෙස බලා සිටින්නේ තුටු සිතින්. 'අපි ආරම්භ කරපු පදනම දුව ඉස්සරහට කරගෙන යනවා. අපි දෙන්නත් තාම උගන්වනවා. දුව තමයි සියලු පරිපාලන කටයුතු කරගෙන යන්නේ.' මහාචාර්ය අමරා කියන්නේ හද පිරි සතුටකිනි. දරුවන්ට උගන්වනවා තරම් සතුටක් ඈට තවත් නෑ. මේ රටේ සංගීතය පිළිබඳ පළවෙනි මහාචාර්යවරිය ඇය. රූපශිකාගේ පූර්වාදර්ශය වූයේත් ඇගේ මවුපියන්. පුංචි කාලේ පටන්ම ඈට අහන්න දකින්න ලැබුණේ ශාස්ත්‍රීය සංගීතයේ සොඳුරු නාද. කුඩා කාලයේ පටන් පමණක් නොව මවු කුසයේ සිට අම්මාගේ තාත්තාගේ ගායනය මෙන්ම ඔවුන් සිසු පරපුරකට උගන්වන අයුරුත් ඇය හොඳින් බලා සිටියා. 'අම්මයි තාත්තයි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වන අයුරුත් මම පුංචි කාලේ ඉඳලම දැක්කා. ශාස්ත්‍රීය සංගීත ඥානය හරියටම දුන්නා වගේම ගුරු ගෞරවය, ඉගෙන ගන්න විදිය, හික්මීම, මේ හැම දෙයක්ම ශිෂ්‍යයෙක් තුළ ඇති කළා. ඒ විදිහම තමයි මමත් අද මගේ සිසු පරම්පරාව හදන්නේ. මෙතෙන්ට එන දරුවෙකුට ඒ හැම දෙයක්ම අපි දෙනවා.' රූපශිකා සංගීතය පිළිබඳ මූලික අධ්‍යාපනය ලැබුවේ සිය මවුපියන්ගෙන්. ඇය වැඩිදුර සංගීතය හැදෑරුවේ සිය මව සංගීතය හදාළ විශ්වවිද්‍යාලය වූ බෙනාරස් විශ්වවිද්‍යාලයෙන්. රූපශිකා සංගීත සම්ප්‍රදායන් ද්විත්වයක මිශ්‍රණයක්. බෙනාරස් උපාධිධාරිණියක වූවා සේම ඇය සංගීත් නිපුන් උපාධිය ලබාගෙන ඇත්තේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන්. අද වන විට දයාරත්න - අමරා නිවෙස තුළ පරම්පරා ත්‍රිත්වයක් ශාස්ත්‍රීය සංගීතය ඇසුරේ වැඩෙනවා. රූපශිකාගේ පුතුන් දෙදෙනා ද මේ වන විට සංගීතය හදාරමින් සිටිනවා. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ශිෂ්‍යයන් වන ලකිඳු වත්සර හා නඳුල අකාස්මික ද 'ප්‍රතිභා සංධ්වනි' ප්‍රසංගයෙන් මුල්වරට ප්‍රසිද්ධ වේදිකාවට එනවා. ගායිකාවක් ලෙසින් රූපශිකාට යා හැකි දුර කෙතරම් වුව ද, ඇගේ වැඩි අවධානය අධ්‍යාපනයටම යොමු වී ඇත. දයාරත්න - අමරා යුවළගේ 'උදුම්බරා' ප්‍රසංගයේ ඇය ගීත ගායනා කරනු අප දැක තිබුණ ද, ඇගේ නිර්මාණ එළිදක්වන්නට හෝ ගායිකාවක් ලෙස ඉදිරියට යාමේ උවමනාවට වඩා ඈ තුළ ඇත්තේ වෙනත් අරමුණුය. ඈ උගත් ශාස්ත්‍රීය සංගීතය හරියාකාරව අනාගත පරපුරට තිළිණ කිරීමේ බලාපොරොත්තුව හා උත්සාහය ඊට වඩා බෙහෙවින් උතුම්ය. 'විශේෂයෙන් දරුවන් සිටින මවුපියන්ට කියන්න මට විශේෂ කාරණාවක් තියෙනවා. වසර ගණනාවක් තිස්සේ දරුවන් සමඟ ජීවත්වෙන කොට මට දැනුණ දෙයක් තමයි බොහෝ දෙනෙක් කලාව කියන දේ සලකන්නේ අවතක්සේරුවකින්. හුඟක් දෙමව්පියන්ගේ බලාපොරොත්තුව තමන්ගේ දරුවා ඉංජිනේරුවෙක්, දොස්තරවරයෙක් කරන එක. දොස්තරලා, ඉංජිනේරුවෝ අපට අවශ්‍ය තමයි. ඒත් ඒ හැම දෙනාම සංවේදී පුද්ගලයන් කරන්නේ කලාවයි. හැඟීම්, දැනීම් නැති අනාගත පරපුරක් අපි බිහි කරලා වැඩක් නෑ. සංවේදී දරුවෙක් බිහි වෙන්න කලාව විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා දරුවන්ව කලාවට යොමු කරන්න පසුබට වෙන්න එපා කියන පණිවිඩය දෙන්න ඕනෑ.'
|